දෙසිය වැනි ජන්ම දිනය සමරන මොහොට්ටිවත්තේ ගුණානන්ද මාහිමි


මොහොට්ටිවත්තේ ගුණානන්ද මාහිමිපාණන් වහන්සේගේ 200 වැනි ජන්ම දිනය අදට 9 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
බළපිටිය ග්‍රාමය එදත් අදත් ශ්‍රේෂ්ඨ ගිහි - පැවිදි උගතුන් බිහිවූ ගමකි. මෙකී ග්‍රාමයේ පදිංචිව සිටි කළුදුර මල්දෝ ද සිල්වා හා ලද්දු අසනේරිස් මැන්ඩිස් යන අයට දාව වර්ෂ 1823 පෙබරවාරි මස 09 වැනිදා උපත ලැබූ මෙම කුල කුමරු‘‘මිගෙල්’’ නම් විය.

එකල අකුරු කරන්නට බෞද්ධ පාසලක් නොවූයෙන් මවුපියෝ මෙම දරුවා බළපිටියේ ගුණරතන නාහිමිපාණන් වැඩ විසූ බළපිටිය ශ්‍රී සුභද්‍රාරාම පුරාණ මහා විහාරය වෙත අකුරු කරන්නට යොමු කළහ. එහිදී බළපිටියේ ගුණරතන නාහිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි දිවියට පත්විය.

තම පියාණන් හා නායක හිමිපාණන්ද අභාවයට පත්වීම නිසා ටික කලකින් මෙම පොඩි හාමුදුරුවෝද මහණ දම් අතහැර උපැවිදි විය.
මෙම තරුණයාගේ මව අසනීපයෙන් පසුවූ අවස්ථාවේ ඇය බලන්නට ගිය ඇයගේ සොහොයුරකු වූ සීනිගම ධීරක්ඛන්ධ හිමියන් සමග කතා බස් කළ මෑණියන් තමාගේ පැවිදිව සිටි බාල පුතා දකින්නට ආශාවෙන් පසුවන බව කියා ඇත.

මේ කතාබහත් සමගම ධීරක්ඛන්ධ නාහිමියෝ මෙම තරුණයා සොයා කොළඹ ඔබ්සර්වර් පත්‍ර කාර්යාලයට ගොස් මෑණියන්ගේ අසනීපය පිළිබඳව මොහුට සැලකර දින කිහිපයකට පසු මෑණියන්ගේ දුක සැප බැලීම සඳහා ගමට පැමිණි විට මොහුට දැනගැනීමට හැකිවූයේ මෑණියන් ඒ වනවිට මියගොස් ඇති බවකි.

මෑණියන්ගේ අභාවයෙන් පසුව ධීරක්ඛන්ධ හිමියන් වැඩ විසූ සීනිගමට ගොස් ටික කලක් එහි නැවතී සිට දොඩන්දූව කුමාර මහා විහාරයේ ත්‍රිපිටක පොත් ලිවීමේ පින්කම බැලීමට ගිය විට එම අයගේ කැමැත්ත ඇතිව එම කටයුතුවලට සහයවීම සඳහා එහි නැවතී එම කටයුතුවල යෙදී ඇත.


නාමය බැබළේ

මිහිබට වදනිසුරු බිහි කළ හෙළ  එඩිය
ඉතියුණු වාද බිම්වල දිළි රන්  කොඩිය
ගුණනද හිමි සවිය බල මුළු මැද  දැඩිය
මතුවී පෙනේ වටිනාකම වැඩි  වැඩිය

මොහොට්ටිවත්ත නම මුළු ලොව සතර  අත
සවනට මිහිරි මනසට හිත අපරි  මිත
සුර මතුරක් බවට පත් කළ අවිජ හිත
සුරැකිණ හිමි නිසා බොදුබල පොළව  මත

බණ දම් දෙසූ හිමි වැඩ සිටි කොට හේනේ
දීපදුත්තාරාමය නම් මිණි  පානේ
ආලෝකය පැතිර නව ලොව බොදු  යානේ
පැමිණෙති දකින්නට පඬිවරු දින  ගානේ

පස්මහ වාදයට දහසක්  කතාවට
පළ කළ පත පොතට එක් එක්  වතාවට
විමැසුම් නුවණ යොමුකළ නැණ  ලතාවට
මහජැරවරු පුදුම වෙති සිත  සිතා සිට

ලක්මිණි කිරුළ, රිවිරැස පත් නව  ආරේ
එඩිතර විරු හඬක් විය සුපුරුදු  වාරේ
හිමිකළ සටන් තැන් තැන්වල මහ  පාරේ
නවමල් පොපියැවී සම්බුදු මිණි  ආරේ

සම්බුදු සසුන සහ දසුනද අසම  සම
හොබවන මහ සවිය ඇරගෙන අතට  තම
යුගයෙහි වීරයා වී දිනු සිහල  බිම
බැබැළේ හැම කල්හි ගුණනද සමිඳු  නම

කතා බැන්ද ජය ටැම් පා අනු  බාවේ
වනා දැන්ද යස සිතියම් තුළ  යාවේ
ගුණානන්ද විරු හිමියන් කළ  සේවේ
ජනානන්ද තෙර මහ බලයෙකි  පෑවේ

මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද චරිතාපදානයෙන් උපුටා මෙසේ පළ කරනුයේ 
අදට 09 වැනිදාට යෙදෙන උන්වහන්සේගේ ජන්ම ද්විත්ව ශත සංවත්සරය වෙනුවෙනි.


පසුව තම ඥාතිවර ධීරක්ඛන්ධ හිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් මොහොට්ටිවත්තේ ගුණානන්ද නමින් පැවිද්ද ලබාගෙන ඇත.
මෙසේ පැවිදි බව ලබා සිටි මෙහිමියෝ විසිවයස් ඉක්මවා සිටි වර්ෂ 1844 දී දඩල්ලේ වාලුකාරාමාධිපතිව වැඩ විසූ බෝපාගොඩ ඥාණාලංකාර සිරිසුමන අමරපුර නිකායේ මහානායක හිමිපාණන්ගේ උපාධ්‍යායත්වයෙන් බළපිටි මෝදර මාදු නදියෙහි වූ උදකුක්ඪෙ සීමාවේදී උපසම්පවදා භූමියට ලැබූව.

උපසම්පදාවෙන් අනතුරුව බළපිටියේ ගුණරතන හිමිපාණන්ගේ ඇසුරෙන් ධර්ම ශාස්ත්‍රය වැඩිදුරටත් ඉගෙනීමෙන් පසු තම ගුරු හිමියන් වෙත පූජා කර තිබූ කොළඹ කොටහේනේ ආවාසයක් ඉදිකර එහි සිට මෝදර මිරන්දාරාමයේ වැඩ සිටි වැලිතර ගුණරතන හිමිපාණන්ගෙන් වැඩිදුර ධර්ම ශාස්ත්‍රය ඉගෙන ගන්නා ලදී.

මෙම කාලය වන විට ලංකාවේ කතෝලික බලය ව්‍යාප්තව තිබී ඇති අතර බෞද්ධ හිමිනමකට පිඩු සිඟා වැඩීමට පමණක් නොව බෞද්ධ ගිහියකුටවත් පාරේ ගමන් කරන්නට නොහැකි තත්වයක් තිබී ඇත. එපමණක් නොව කතෝලික මිෂනාරීන් විසින් බෝ ගස් කපා දමමින් බෞද්ධාගමට විරුද්ධව පොත් පත් ලියා පළකරන්නටත් විය. එපමණක් නොව බෞද්ධයින් වෙත නම්බුනාම හා පදවි පවා ලබා දෙමින් ඔවුන් කතෝලික ආගමකට හරවා ගන්නටද කටයුතු කළහ.

මේ පිළිබඳව අවධානයෙන් සිටි මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි කතෝලික ආගම, බයිබලය හා බුද්ධාගම පිළිබඳව හොඳ දැනුමක් ලබා සිටි හෙයින් කතෝලික මිෂනාරීන් විසින් ලියා පළකළ පොත්පත්වලට විරුද්ධව පොත්පත් ලියා පළ කරන්නට විය.

අභීත කේශර සිංහරාජ විලාශයෙන් වාද කිරීම නිසා මෙහිමියෝ වාදීභසිංහ නමින් ප්‍රසිද්ධියට පත්වූහ. මෙම වාද පිළිබඳව පොත්පත් ලියා පළකළ අතර එදා පානදුරේදී පැවති වාදය පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් එකල සිලෝන් ටයිම්ස් පත්‍රයේ කර්තෘ ධුරය දැරූ ජෝන් කූපර් මහතා තම පත්‍රයෙහි පළකරන්නට විය.

ඇමරිකානු දේශ සංචාරකයකුවූ ආචාර්ය සීබල් මහතා ඇමරිකාවට ගොස් ඉහතකී වාර්තාව අනුව සොයා බලා පානදුරාවාදය පිළිබඳ ග්‍රන්ථයක් ලියා පළකර ඇති අතර එම ග්‍රන්ථය කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට්තුමාට කියවන්නට ලැබී ඒ පිළිබඳව ඉමහත් සතුටට පත්ව මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් දැක ගැනීමට හා බුද්ධාගම වැළඳ ගැනීම සඳහා 1880 මැයි මස 17 වැනිදා ගාලු වරායෙන් ලංකාවට පැමිණ ඇත.

මෙසේ ලංකාවට පැමිණ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් බැහැදැකීමෙන් පසු 1880 මැයි මස 25 වැනිදා අක්මීමන ධම්මාරාම ස්ථවිරයන් වහන්සේ වෙතින් තිසරණය සහිත පංච ශීලය සමාදන්ව බුදුදහම වැළඳගත් ඕල්කොට්තුමා විසින් ගුණානන්ද හිමියන් හා තවත් බෞද්ධ නාහිමිවරුන් සමග එක්ව පරමවිඥානාර්ථ බෞද්ධ සමාගම ආරම්භ කරන ලදී.

මෙසේ ශ්‍රී සම්බුද්ධ සාසනයේ පුනර්ජීවය නැවත ඇතිකොට වදාළ වාදීසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියෝ බෞද්ධ කොඩිය නිර්මාණය කිරීමේ කමිටුවේ සාමාජිකයකු වශයෙන් කටයුතු කළහ. අද බෞද්ධ කොඩිය ලෙස භාවිත කරන ෂඩ් වර්ණයන්ගෙන් යුත් බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයා ද උන්වහන්සේය. එම බෞද්ධ කොඩිය ප්‍රථමවරට ඔසවා ඇත්තේ වර්ෂ 1885 අප්‍රේල් මස 28 වැනිදා කොළඹ, කොටහේනේ දීපදුත්තාරාම මහා විහාරස්ථානයේදී මෙහිමියන් සුරතිනි.

වාදීසිංහ මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද හිමිපාණන් 1890 සැප්තැම්බර් මස 21 වැනිදා අපවත්වී වදාළහ. ශ්‍රී සම්බුද්ධ ශාසනයේ පුනර්ජීවය නැවත ඇතිකොට වදාළ වාදීභසිංහ මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද හිමිපාණන්ට අජරාමර නිවන් සුව අත්වේවායි! ප්‍රාර්ථනා කරමු.

නිමල් ඒ. ද එස්.කනකරත්න