ලෝක ව්‍යවහාර නීතියේ මෙතෙක් භාවිත නොවූ යෙදුමක් මෑතකදී ප්‍රකාශයට පත්විය. එම ප්‍රකාශය නිකුත් වූයේ ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවෙනි. මානව හිමිකම් මහ කොමසාරිස්ගේ වාර්තාවේ ශ්‍රී ලංකාව ගැන සඳහන් වන පරිච්ඡේදයේ දැක්වෙන විශේෂ නෛතික යෙදුමක් මගින් ප්‍රථම වරට ආර්ථික අපරාධ චෝදනාව මෙරට දේශපාලකයන්ට එල්ල කර තිබේ.
දේශපාලනඥයන් සිදුකරන දූෂණ වංචා සහ අනීතික ක්‍රියා නිසා රටක ආර්ථිකයට සිදුවන්නා වූ හානිය ආර්ථික අපරාධයක් ලෙස ජිනීවා කොමිෂන් සභාව අරුත්ගන්වා ඇත.
එහෙත් ශ්‍රී ලංකාවේ පැවති ආණ්ඩුවලට ආර්ථික අපරාධ චෝදනා සේ දමා ගැසීම සාධාරණ නොවන බවත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ජිනීවා කොමිසම ඇමතූ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්‍රි ප්‍රකාශ කර ඇත.
මේ සම්බන්ධයෙන් ඇති තර්ක විතර්ක ව්‍යතිරේක කෙසේ වෙතත් ජිනීවා කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එල්ල කරන චෝදනා පත්‍රයෙන් ආර්ථික අපරාධකරුවන්ට දඬුවම් කළ යුතුය යන්නද දැඩි ලෙස අවධාරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ පමණක් නොව බොහෝ දියුණු වන රටවල සංවර්ධන ව්‍යාපෘති සහ ටෙන්ඩර් ප්‍රදාන ආදිය විනිවිද භාවයෙන් සිදුනොවන බවට අනන්තවත් චෝදනා නැගී තිබේ.
මෙරට ආර්ථිකය දැන් කඩා වැටී ඇති අන්තරාදායක මට්ටමට පත්වූයේ මෙතෙක් රටේ ආර්ථිකය මෙහෙයවූවන් විසින් ගත් වැරදි තීරණ සහ සිදුකළ වංචා දූෂණ නිසාය යන්න බහුතර පොදුජන පිළිගැනීමයි.
විනිවිද භාවයෙන් තොර ගනුදෙනු ගැන සමාජය දක්වන්නේ පිළිකුල් සහගත ආකල්පයකි. මෙබඳු බොහෝ අගතිගාමී ගනුදෙනුවලට සම්බන්ධ බවට චෝදනා නැගෙන්නේ ප්‍රබල දේශපාලනඥයන්ට සහ බලවත් නිලධාරී තන්ත්‍රයටයි. එහෙත් අතීත කාලයේ පැවති තත්ත්වයට වඩා විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය සහ සමාජ ජාලා මාධ්‍යය මගින් මෙවන් වංචා දූෂණ සම්බන්ධයෙන් කරන හෙළිදරව් හේතුවෙන් චෞර දේශපාලනය බරපතළ ලෙස සසල වී තිබේ.
දූෂිත ගනුදෙනුවලදී සමාජය වඩාත් කලබල වන්නේ කවර ආණ්ඩුවක් යටතේවත් වැරදි හා දූෂණ කරන්නන්ට නිසි දඬුවම් නොලැබීම නිසාය. රටේ මහජනතාවගේ බදු මුදල් වියදම් කරනා ආණ්ඩු එම අරමුදල් තමන්ගේ පෞද්ගලික බූදලයක් ලෙස සලකා ක්‍රියා කිරීම මෑතකාලීන සම්ප්‍රදායක් වී ඇත.
එවන් පසුබිමක එක් ආණ්ඩුවක් විසින් කරනු ලබන වැරදි ඊළඟ ආණ්ඩුව විසින් වසාදමනු ලබන අතර දිගින් දිගටම සිදුවන්නේ ජනතාවගේ බදු මුදල් අයථා ලෙස දේශපාලනඥයන්ගේ සුඛ විහරණය උදෙසා ගරා ගැනීමයි. කලකට පෙර ගෞරව පූර්වක දේශපාලන සංස්කෘතියක් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනයෙන් ගෞරවය ගිලිහී තිබේ.
විවිධ ව්‍යාපාර ටෙන්ඩර් කොන්ත්‍රාත් කරන බොහෝ දේශපාලනඥයන් ඒවා කරන්නේ තමන්ගේ දේශපාලන හයියෙනි. මේ බොහෝ දෙනා නිසි අධ්‍යාපනයක් නොමැති අය වීමද විශේෂයකි. වත්මන් පාර්ලිමේන්තුවේ සිටි උගතකු ලෙස පිළිගැනෙන හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වන සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා වරක් ප්‍රකාශ කර තිබුණේ වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන්ගෙන් 94 දෙනකු අ.පො.ස. සා.පෙළවත් සමත් නැත කියායි.
ඒ අතර අගෞරවනීය දේශපාලනය රජ වූ යුගයක ගෞරවනීය දේශපාලනය ගැන උනන්දු වන සමාජයට කදිම ආදර්ශ සපයාගත හැකි මතවාද දෙකක් පසුගිය සතියේ ජාත්‍යන්තර මාධ්‍යයේ දැක්විණ. ඒ මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය දේව මෙහෙයේදීය. එහි පැමිණ සිටි 100කට ආසන්න ලෝක නායකයන් හමුවේ මේ පළමු ප්‍රකාශය කළේ එංගලන්ත සභාවේ ප්‍රධානී කැන්ටබරියේ අගරදගුරු ජස්ටින් වෙල්බි හිමිපාණන්ය.
අගරදගුරුවරයා එහිදී සඳහන් කළේ බ්‍රිතාන්‍ය මහ රැජිනට ලෝකයා ගෞරව කරන්නේ තමන් සතු අප්‍රමාණ බලය හා වරප්‍රසාද පවිත්‍ර ලෙස භාවිත කළ නිසා බවය. විනිවිදභාවය හා අගති රහිත බව නිසා එතුමිය සම්භාවනාවට පාත්‍ර වූ බවද අගරදගුරු හිමියෝ වැඩිදුරටත් පැවසූහ.
මහ රැජිනගේ අවමංගල්‍යයයේ විශේෂ දේව මෙහෙයක් පැවැත්වූ වෙස්ට් මිනිස්ටර් දේවස්ථානයේ පීඨාධිපති ඩේවිඩ් හොයිල් හිමිපාණන් සඳහන් කළේ ලෝකයේ වංචා දූෂණ නොමැති රාජ්‍ය නායකයන්ට ජනතාවගේ සදාකාලික ගෞරවය හිමිවන වගය. බ්‍රිතාන්‍ය මහරැජින ජනතාවගේ ගෞරවය හා ප්‍රසාදය එක ලෙස දිනාගත්තේ එතුමියගේ අතිශය යහපත් දේශපාලන භාවිතාව නිසා යැයිද උන්වහන්සේ කීහ.
බ්‍රිතාන්‍ය මහරැජින සම්බන්ධයෙන් ලැබුණු මෙම නිර්දේශ මගින් බලය දූෂණයට හේතුව බව කියන ලෝක සම්මත යෙදුමට නව අරුතක් සපයා තිබේ. එහෙයින් යහපත් දේශපාලන සංස්කෘතියක් කෙරේ කැපවන දේශපාලන නායකයන් ජන සමාජයේ සදාකාලික ගෞරවය දිනාගනු ලබන බව අමුතුවෙන් කිවයුතු නොවේ.
අතීතයේ එබඳු තත්ත්වයක් පැවති ශ්‍රී ලංකාව තුළද ඒ ආකාරයේ යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වනු දැක්ම බහුතර සමාජයේ අභිලාෂයයි. විනිවිදභාවයෙන් යුතු ගෞරවපූර්ව දේශපාලන ක්‍රියාවලියට අප අනුගත වන්නේ නම් ආර්ථික අපරාධ වැනි චෝදනාවලින් අපට දමා ගසන්නට ජාත්‍යන්තරයට ඉඩක් නැති වන බව අමුතුවෙන් නොකිව මනාය.
(***)