දේශපාලකයන් පාතාලයන් ළංකර ගැනීමේ විනාශය


ශ්‍රී ලංකාවේ දේශපාලනය තරම් මජර දේශපාලනයක් ලොව වෙනත් කිසිදු රටක නැතැයි යන්න මුසාවක් නොවේ. අරගලය නමින් පණපෙව් උත්කර්ෂවත් ලෙස ප්‍රකාශයට පත් වූ ජනතාවගේ හඬ එයට හිමි බරින් හඳුනා ගැනීමට අසමත් මෙරට දේශපාලකයන්ටත් එම නුවණ පහළ කරගැනීමට තව කොතෙක් අරගල අවශ්‍ය වේදැයි අපි නොදනිමු. ලජ්ජාව සහ බිය යම් පමණකට හෝ රුධිර ධාතුවේ තැන්පත්ව තිබේ නම් මෙම දේශපාලනඥයන්ට මෙතරම් නින්දිත ලෙස හැසිරිය නොහැක. ඒ බව පසක් කරවන ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

‘‘හිටපු ඇමතිවරයෙක් පාතාල දෙදෙනකු බලන්න සිරගෙදරට ගිහින්’’  අප ප්‍රවෘත්තියේ සිරස්තලය එය විය.

දේශපාලනඥයන් හා පාතාලයන් අතර කුමන ආකාරයක හෝ සම්බන්ධයක් තිබිය නොහැක. එහෙත් අප රටේ දේශපාලනය බොහෝ වෙනස්ය. බොහෝ දේශපාලනඥයන් බොහෝවිට ළඟ සමීප සබඳතා පවත්වනු ලබන්නේ මහජනයා සමග නොව පාතාලයන්, කුඩුකාරයන් සමගය. සූදු අන්තුවන් හා චෞර කප්පිත්තන් සමගය. ගණිකා මඩම් මෙහෙයවන්නන් සමගය. ස්ත්‍රී දූෂකයන් හා ළමා අපචාරකරුවන් සමඟය.  ඉතිහාසයේ දරුණුතම නරකාදියට මේ රට ඇද වැටුණේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියට අනුව හිටපු අමාත්‍යවරයකු පොලිස් ස්ථානාධිපතිවරයකු හා තවත් පිරිසක් සමග පාතාල සාමාජිකයන් දෙදෙනකුගේ සුවදුක් විමසීම සඳහා කළුතර බන්ධනාගරයට ගොස් ඇත.  පයාගල ප්‍රදේශයේ දී සිය නැන්දම්මා උස්සා පොළොවේ ගසා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් බන්ධනාගාරයේ රඳවා සිටින ‘කලමුල්ලේ ටසි’ සහ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් ‘කළුතර සගා’ නමැති පාතාල සාමාජිකයන්  මුණගැසීම සඳහා එලෙස පැමිණි බව කළුතර බන්ධනාගාර ආරංචි මාර්ග වාර්තා කරන බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

දේශපාලනඥයා පාතාල සාමාජිකයන් දෙදෙනා මුණගැසීමට ගොස් ඇත්තේ දේශපාලන ව්‍යාපාරයේ දී ඔවුන්ගෙන් ලැබුණු සහයෝගයට කෘතගුණ දැක්වීමට බව ද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

රටේ ගම - නගරය  වෙනසකින් තොරව විසි හතර පැය මුළුල්ලේ ගිනි අවි දැල්වෙමින් තිබේ. අනු අංකයක් නැති ගිනි අවිවලින් නික්මෙන වෙඩි උණ්ඩ ඉදිරියේ අභය දානය ඉල්ලා දණින් වැටීමට මෙරට සාමාන්‍ය නිරායුධ සාමකාමී ජනයාට සිදුවන තරමට තත්ත්වය බෙහෙවින් භයංකාර වී තිබේ. පාසල් දරුවෝද ඉතාම දරුණු ගණයේ ප්‍රචණ්ඩත්වයක් ප්‍රදර්ශනය කරති. මෙම ගමන නිමාවනු ඇත්තේ ලේ විල් ඉදිවීමෙන් හා මිනී කඳු ගොඩ ගැසීමෙන්ය.

නියත වශයෙන්ම මෙම මහා ව්‍යසනය වළක්වා ගත යුතුව තිබේ. එහිදී ගරු කටයුතු දේශපාලඥයන්ට මහජන නියෝජිතයන්ට අති මහත් වගකීමක් පැවරී තිබේ. එහෙත් මුග්ධ බව  සාඩම්බර පදක්කම් සේ පළඳින තක්කඩි දේශපාලනඥයෝ පාතාලයන්ගේ සුවදුක් විමසීමට බන්ධනාගාරවලට යති.

බන්ධනාගර භාර ඇමතිවරයකු අධික ලෙස බීමත්ව සිය සුරූපිනියකට වැඩ පෙන්වීමට මහ රෑ වැලිකඩ බන්ධනාගාරයට ගොස් සිරකරුවන් දණ ගස්වා ඔළුවට පිස්තෝලය තබා මරා දමන බවට තර්ජනය කළ සිදුවීමක් ඉකුත් සමයේ වාර්තා විය. නවතම සිදුවීම තවත් හිටපු ඇමතිවරයකු පාතාලයන් බැලීමට පොලිස් ස්ථානාධිපතිවරයකු සමග කළුතර බන්ධනාගාරයට යාමය.

නිල ඇඳුමේ ගරුත්වය ආරක්ෂා කළ නොහැකි නම් එවැන්නන් පොලිස් සේවයට සුදුසුම නැත. එබඳු කාකි සූට් කාරයන්ගෙන් සිදුවන්නේ පාතාල ලෝකය තව තවත් ප්‍රසාරණය වීමය. අනීතික නියෝගවලට අවනත නොවී සිටීමේ කශේරුකාවක් පොලිස් නිලධාරීන්ට තිබිය යුතුය. එහෙත් සිදුව තිබෙන්නේ අනෙකකි. මෙම සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන පුළුල් පරීක්ෂණයක් කළ යුතුය. රටේ අනාගතය වෙනුවෙන් එය කළ යුතුමය. 

(***)