‘‘වළක වැටීම මොළයට ලාභයක්’’ බවට පැරැණි කියමනකි. එහෙත් එය ‘ලාභයක්’ කර ගැනීමට ‘මොළයක්’ තිබිය යුතුය. ‘මොළය’ නැත්තෙකු ‘වළක’ වැටුණද එය ‘ලාභයක්’ කර නොගනී. ඒ වෙනුවට රෑ වැටුණු වළේ මහ දවාලේත් වැටී බරපතළ අනතුරු කරගනි.
මෙරට ජරපත් ත්‍රාඩ දේශපාලනයට ඉතා පහසුවෙන් ඉහත තත්ත්වය ගළපා ගත හැකිය. ඒ බව සනාථ කෙරෙන සිදුවීම් මෙරට දේශපාලන ක්ෂේත්‍රයෙන් එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වේ.
‘‘ගෝල්ෆේස් අරගලය’’ නමින් හැඳින්වෙන නිර්පාක්ෂික නිරුත්සාහක ජනතා නැගිටීමෙන් නික්මුණ ‘පණිවිඩය’ එළැඹගත් සිහියෙන් යුතු කිසිඳු දේශපාලනඥයකුට අමතක විය නොහැක. හිරිකිතයකින් තොරව ක්‍රියාවට නැඟුණු ජුගුප්සාජනක දේශපාලන නාඩගම්වලට එරෙහි රළ නගන විරෝධය එම ජන අරගලයට මූල බීජය සැපයුවේය.
විනාශය – විනෝදයක් කර ගැනීම ජාතික සිරිතක්ව වරනගන සෙයකි. රටේ සාතිශය බහුතරයක් ජනයාගේ අභිමතාර්ථ එයට හිමි නිසි බරින් හඳුනා නොගෙන එම අභිමතාර්ථයන්ට ‘කොළොප්පම්’ කිරීම ශිෂ්ට ජනයා නොඉවසති. එහෙත් ජනහද ගැස්ම හඳුනා නොගන්නා සදාචාරාත්මක දේශපාලන නොදන්නා දේශපාලනඥයන්ට අනුව ඔහු නියෝජනය කරන බලප්‍රදේශය සදාකාලිකවම ඔහුට ලියාදුන් නින්දගමකි. එහෙයින් එහි සියලු කටයුතු තමන්ට ඇවැසි පරිදි සිදුවිය යුතු යැයි මෙම දේශපාලනඥයෝ සිතති. එම සිදුවීමට ලිංග බේදයක් ද නැත. පුත්තලමේ සහ රත්නපුර සිදුවීම් දෙකකින් ඒ බව මනාව ඔප්පුවී තිබේ.
අප පුවත්පත වාර්තාකළ එක් ප්‍රවෘත්තියකින් කියැවුණේ ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත් කරනු ලැබූ මීගමුව කොට්ඨාසයේ රාජකාරී කරන පොලිස් නිලධාරියකුගේ පත්වීම පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩුපක්ෂ දේශපාලකයකුගේ මැදිහත්වීම මත අත්හිටුවා ඇති බවය.
දේශපාලකයාගේ අනුදැනුමකින් තොරව තමන් නියෝජනය ඡන්ද කොට්ඨාසයේ පොලිස් ස්ථානයට පොලිස් ස්ථානාධිපතිවරයකු පත් කළේ යැයි කියමින් එම දේශපාලකයා ඉහළ බලධාරීන්ට බලපෑම් කර මෙම පත්වීම අවලංගු කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකු අප පුවත්පතට ප්‍රකාශ කළ බවද එම ප්‍රවෘත්තියේ වැඩි දුරටත් සඳහන්ය. තමා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ කිසිදු පොලිස් ස්ථානයකට තමාගේ අනුදැනුමකින් තොරව පොලිස් ස්ථානාධිපතිවරයකු පත් කිරීමට ඉඩ නොතබන බව මෙම දේශපාලකයා ප්‍රකාශ කර ඇතැයි ද එම ප්‍රවෘත්තියේ වැඩි දුරටත් සඳහන්ය.
තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ රත්නපුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතා බස්නාහිර පළාත් රථවාහන අංශය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර තිබෙන බවය. මෙම මාරුකිරීම පිටුපස රත්නපුර දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරියක සිටින බවද එම මාධ්‍ය වාර්තාවන්හි සඳහන්ය.
පොලිස් සැරයන්වරයකුගේ ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් අදාළ මන්ත්‍රීවරිය ලබාදුන් දුරකථන ඇමතුමකට නියෝජ්‍ය පොලිස්පතිවරයා සවන්දීමක් නොකළ නිසා තමන් අපහසුතාවට පත්වූ බව පවසමින් අදාළ මන්ත්‍රීවරිය ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනත් ප්‍රදේශයකට මාරුකර යවන ලෙස යැයි ද එම මාධ්‍ය වාර්තාවල වැඩි දුරටත් සඳහන්ය.
තම බල ප්‍රදේශ නින්දගම් ලෙස නොසලකන්නේ නම් තම දේශපාලන බලය මෙතරමට නිර්ලජ්ජිත ලෙසත් නිහීන ලෙසත් ප්‍රදර්ශනය නොකරනු ඇත. තමන්ට කැමැති පොලිස් ස්ථානාධිපතිවරයකු පත් කර ගත නොහැකිනම් දේශපාලන බලයෙන් පලක්වේදැයි රාජ්‍ය ඇමැතිවරයා සිතුවා විය හැකිය. තමන් අකමැති නියෝජ්‍ය පොලිස්පතිවරයකු වෙනත් පළාතකට මාරු කර යැවිය නොහැකිනම් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන තමන්ගේ මන්ත්‍රී ධුරයෙන් ඇති ඵලය කුමක්දැයි මන්ත්‍රීවරිය සිතුවා විය හැකිය. රට මෙතෙක් පැමිණියේ මේ ශාපලත් මාවතේය.
සියලු ස්ථාන මාරුවීම් රාජකාරි අවශ්‍යතා සඳහා යැයි කියමින් පහසුවෙන් ඇඟ බේරා ගැනීමේ හැකියාවක් බලධාරීන්ට තිබේ. එහෙත් එය ‘මොනර නැටුමකින්’ කිසිලෙසකින් හෝ වෙනස් නොවන්නකි. දේශපාලන බලය ඉදිරියේ තම වෘත්තීය ගරුත්වය පාවා දෙමින් මහජන මුදලින් යැපීම කෙතරම් දුරට ශිෂ්ට සම්පන්න දැයි පොලිසියේ ඉහළ නිලධාරීන් කල්පනා කළ යුතුය.
මෙරට පොලිස් කොමිසමක් තිබේ. එය ස්වාධීන යැයි ද කියති. එය ස්වාධීන ද දීනද යන්න තීරණය වන්නේ ‘බෝඩ්ලෑල්ලට’ අනුව නොව ක්‍රියාමාර්ග හරහාය.
(***)