ශ්‍රී ලංකාව මේ වනවිට රටක් හැටියට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී. එහෙත් මෙය ගෝලීය ආර්ථික ගැටලුවකි. නොඑසේව ජාතික ආර්ථික ගැටලුවක් නොවේ. ගෝලීය ප්‍රශ්නයක් නිසා එයින් පරිධියේ රටවලට ඇතිකරන බලපෑම වැඩිය. සාමාන්‍යයෙන් ලෝක ආර්ථිකයේ දිගුකාලීන කම්පනයක් දරාගෙන සිටීම පහසු මධ්‍යයේ පවතින රටවලටය. රටේ ආර්ථික ශක්තිය, මූල්‍ය සංචිත ප්‍රමාණය, දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය යම් පමණකට ආරක්ෂා කිරීමට ඔවුනට හැකියාව තිබේ. ඔවුන් ඒ සඳහා භාවිත කරන උපක්‍රම ද වෙනස්ය.
නිදසුනකට ගතහොත් නිවෙසේ සිට වැඩ කිරීමේ දී මේ රටවලට තිබුණේ ඉහළ තාක්ෂණික හැකියාවකි. එනිසා සේවා ස්ථානයෙන් බැහැර සිට වැඩ කිරීම ඔවුන්ට ලොකු කම්පනයක් වුණේ නැත. තවත් සරලව කිවහොත් ධනවත් පුද්ගලයකුට රැකියාව අහිමිව ජීවත්වීමට ඇති හැකියාව සහ දුප්පතෙකුට ඇති හැකියාව සමාන නැත. මෙහි තවත් සුවිශේෂී කරුණක් වූයේ මෙම තත්ත්වය නිසාම ගෝලීය ධනය නැවතත් මධ්‍යයේ රටවල් හෙවත් ධනපති රටවලට සංකේන්ද්‍රණය වීමය. කොවිඩ් වසංගතයට එන්නත් සොයාගනු ලැබුවේ ඔවුන් විසිනි.
එවිට ඒවා විකිණීමෙන් ආදායම ලැබෙන්නේ ඔවුන්ටමය. ලංකාව වැනි රටවල සංචාරය කර මුදල් වියදම් කරනු ලැබුවේ ද ඔවුන් විසිනි. දැන් සංචාරක සීමා නිසා එම මුදල් ද ඇත්තේ ඔවුන් අතය. කොවිඩ් සමයේ බිඳ වැටුණු සමාජ බැඳීම් ගැට ගසන අන්තර්ජාල සමාජ ජාල සබඳතා හිමිකාරිත්වය ඇත්තේ ද ඔවුන්ටය. එවිට එමගින් ලැබෙන ලාභය ද නැවත යන්නේ ඔවුන් වෙතය. ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ආදායම් කොවිඩ් වසංගත සමයේ දී ඉහළ ගොස් ඇත්තේ මේ පසුබිමේය.
2021 මැද භාගය වනවිට ආසන්න වශයෙන් ඩොලර් ට්‍රිලියන 3.5ක පමණ ආදායමක් ලෝකයට අහිමිව ඇතැයි කියැවේ. මේ අහිමිවීමේ වැඩි බලපෑම ඇත්තේ ලංකාව වැනි රටවලටය. චීනයේ ආර්ථික වර්ධන වේගය සියයට 9.8 - 10 අතර යැයි විශ්වාස කෙරේ. ඔවුන්ගේ ආදායම මේ වනවිට ඩොලර් ට්‍රිලියන 14ක් පමණ වේ. එය සියයට 10කින් පමණ වැඩිවීම යනු ආදායම ඩොලර් බිලියන 140කින් පමණ වැඩිවීමය.
එහෙත් අපේ රටේ මුළු වත්කම ද ඇත්තේ ඩොලර් බිලියන 84 සීමාවේය. එවැනි අගයකට සියයට 2ක පමණ වර්ධනයක් යනු සොච්චමකි. තවත් කරුණක් නම් බොහෝ සංවර්ධිත රටවල් යනු තවත් රටක නිෂ්පාදන මත යැපෙන්නෝය. එහෙත් ඇතැම්විට ඒ නිෂ්පාදන අත්‍යවශ්‍යම නැත. නිදසුනකට අපේ රටේ ඇඟලුම් නිෂ්පාදන නැති වුවත් ඔවුන්ට සිය පැරැණි ඇඟලුම් භාවිත කළ හැකිය. ලංකාවේ තේ වෙනුවට වෙනත් පානයක් පරිභෝජනය කළ හැකිය. අපේ සුළු අපනයන බෝග වුවත් මාළු වුවත් එසේය. අපේ විදෙස්ගත කම්කරු ශ්‍රමයට වුව මේ කාරණය පොදුය. එහෙත් මෙවැනි දෙයින් ලංකාව වැනි රටවලට අහිමි වන වත්කම අති විශාලය.
ලෝකයේ මේ වනවිට වැඩිම වත්කම් උපයන්නේ සේවා අංශයෙනි. එහෙත් ලංකාවේ පවතින්නේ අතිශය දුර්වල සේවා අංශයකි. ලංකාවේ සේවා අංශය යැයි කියද්දී සංචාරක කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තයේ ඇතැම් අංශ, විදෙස්ගත ශ්‍රමිකයන් පෙන්වා දිය හැකිය. කොවිඩ් වැනි වසංගත තත්ත්වයක දී මේ අංශවලට එල්ල වන්නේ මරු පහරකි. එසේ බලද්දී කොවිඩ් වැනි වසංගතයක දී සංවර්ධන රවලට ඇත්තේ ධනය නොලැබීම ගැන ප්‍රශ්නයක් නොවේ. ධනය ලැබීමේ වේගය ගැන ප්‍රශ්නයකි.
ලංකාවට කිසියම් ප්‍රමාණයකට හෝ විදේශීය මුදල් ගලා ඒමක් තිබුණේ නම් දැන් එය අපට අහිමිව තිබේ. එහෙත් අපේ ජනයා භාවිත කරන්නේ නතර කළ හැකි භාණ්ඩ නොවේ. අපට ඉන්ධන ආනයනය නතර කරන්නට බැරිය. ගෑස් ද එසේය. හාල්, පිටි සහ ලූනු වුව එසේය. ගෝලීය ආර්ථික ලෝකයෙහි අන්තර්ජාලය නොමැතිව ජීවත්වීමට ද නොහැකිය. කාරණය නම් අප මෙම සියලු දෑ සපයා ගන්නේ ලෝක වෙළෙඳපොළෙන් වන බැවින් ඒ සඳහා ජාත්‍යන්තර මිලක් ගෙවීමට සිදුවීමය. එසේ වුවද දැන් කොවිඩ් නිසා පෙර පරිදි එම නිෂ්පාදන සිදුවන්නේ ද නැත. නිදසුනකට නවසීලන්තයේ බැටළුවන්ගේ ලොම් මිලදී ගැනීමට චීනය සූදානම් නැත. එසේය කියා බැටළුවන් මරා දමන්නට නොහැකිය. තවද ගල් අඟුරු ආකරවල සේවය කිරීම් නතර කර ඇත.
මේ ක්‍රියා සෘජුවම නිෂ්පාදනයට බලපායි. නිෂ්පාදනය සිදුවුවත් සැපයීම්, ප්‍රවාහන, රක්ෂණ වැනි අනෙක් ක්‍රියාවලිවල මිල ඉහළ ගොස් ඇත. යූරියාවල ලෝක වෙළෙඳපළේ මිල සීයට තුන්සීයකින් පමණ වැඩි වී ඇත. ගෑස් මිල වැඩි වී ඇති අතර ඉන්ධන මිල වැඩිවෙමින් පවතී. මේ එළඹෙන්නේ බොහෝ රටවලට සීත කාලයයි. සීතලෙන් බේරෙන්නට මින් පෙර ගෑස් භාවිත කළ පිරිස් ගෑස් මිල ඉහළ නිසා ඩීසල්, පෙට්‍රල්, ලාම්පුතෙල් යන විකල්පවලට යොමුවී සිටිති. ලෝක නිෂ්පාදන නොමැතිව ජීවත්වීමට බැරි තත්ත්වයට අප පත්ව ඇතත් ලෝකයට එසේ නැත.
එවිට අපනයන කර ලාභ උපයන තත්ත්වයක ලංකාව නැත. අවුරුදු පනහක් හැටක් තිස්සේ ආර්ථිකයේ දියුණුවක් නොමැතිව ගිය ගමන නිසා මෙවැනි වාතාවරණයකට මුහුණ දෙන්නේ කෙසේද? යන්නත් අපට ආගන්තුකය. මෙවැනි තත්ත්වයක දී ඩොලර් වත්කම් වර්ධනය කරගන්නේ කෙසේදැයි අප තවමත් සිතා නැත. එක්කෝ අපට සිදුවන්නේ අපේ දේපළ විකුණා දමන්නටය. එසේ නැත්නම් තවදුරටත් ණය වීමටය.
මේ ආර්ථික අර්බුදයේ දී ඇතැමුන් විවේචනය කරන්නේ දේශපාලකයන්වය. එහෙත් මේ අවුලේ මුල ඇත්තේ සමස්තයේය. පළමු ශ්‍රේණියට ඇතුළත් කළ දරුවන්ගෙන් උසස් පෙළ සමත් වන්නේ දක්ෂතමයෝය. එයින් ද විශ්ව විද්‍යාලවලට බඳවා ගැනෙන්නේ විශිෂ්ටයෝය. එවිට විශ්වවිද්‍යාල උපාධි ලබන්නේ මේ රටේ ප්‍රශස්තම මට්ටමේ පිරිස යැයි අපට පිළි ගැනීමට සිදුවේ. මේ විශිෂ්ට යැයි කියන පිරිසෙන් අතිබහුතරයක් දැන් සේවය කරන්නේ රාජ්‍ය අංශයේය. එහෙත් අපේ රටේ වඩා අකාර්යක්ෂම අංශය ද රාජ්‍ය අංශයයි.
එවිට රාජ්‍ය අංශය නියෝජනය කරන්නේ මේ රටේ බුද්ධිමත් යැයි කියන පිරිසය. මෙය විරුද්ධාභාසයකි. සැබැවින්ම ලංකාවේ රාජ්‍ය අංශය ශක්තිමත්ව තිබුණේ නම් මීට වඩා ආදායමක් ලබා ගැනීමට ඉඩ තිබුණි. ඇතැමුන් කියන පරිදි ලංකාවේ ආර්ථික වර්ධනයේ ප්‍රශ්නයට හේතුව දේශපාලනයම පමණක් නොවේ. ලංකාවේ බොහෝ අය කරන්නේ රැකියාවක් ලැබීම සමග ණයක් ගෙන නිවෙසක් ඉදිකිරීමය.
ඉන්පසු කරන්නේ කුමන හෝ අයුරකින් සිය දරුවන් ලොකුම පාසලකට ඇතුළත් කිරීමය. ඉන්පසු ඔවුහු තවදුරටත් දුෂ්කරතාවට පත් වෙති. නිවෙස ඉදිකර අවසන් නැති නිසා කුලී නිවෙසකට වියදම් කිරීමට ද නොහැකිය. පදිංචි ස්ථානය වෙනස් කළත් දරුවන් අධ්‍යාපනය ලබන පාසල වෙනස් කිරීම කිසිසේත් පහසු නැත. මෙසේ බලද්දී ලංකාව යනු සමාජ ආර්ථික දේශපාලනික යන අංශවලින් උගුලකට ලක් වූ රටකි.
මිනිසුන්ගේ ආදායම් ඉහළ නොදමා බඩු මිල පමණක් ඉහළ ගියහොත් ඒ රටේ මිනිස්සුන්ට ජීවත්වෙන්නට විදියක් නැත. එහෙත් මේ එහෙම කියන වකවානුවක් නොවේ. බංගලාදේශයට ඇති ආර්ථික වත්කම අපට නැත. ලෝකය විසින් අපට සපයනු ලබන භාණ්ඩ මිල ඉහළ යද්දී ලංකාව තුළ ද නිෂ්පාදන මිල වැඩි විය. මේ අතරේ ගුරුවරුත් වැඩි වැටුප් ඉල්ලා බල කරද්දී ආණ්ඩුවට සිදුවන්නේ මුදල් අච්චු ගැසීමටය. එසේ අති විශාල මුදල් ප්‍රමාණයක් පසුගිය කාලයේ දී අච්චු ගැසීය. විශේෂයෙන්ම කොවිඩ් වසංගතය සඳහා දැන් වැය කරන මුදල මීට පෙර අපේක්ෂා කළ කරුණක් නොවේ. මේ මුදල යනු ඔවුන් පරිභෝජනය කරන භාණ්ඩවල මිලයි.
කොවිඩ් වසංගතය සඳහා ආණ්ඩුව වෙන් කරන සමස්ත වියදම ජනගහනයෙන් බෙදූවිට එන අගයට වැඩි මුදලක් ඔවුහු බදු ලෙස ගෙවා ඇත. එහෙත් ජනතාවට මේ කතාව තේරෙන්නේ නැත. කොවිඩ් සම්බන්ධයෙන් වුව අපරීක්ෂාකාරී වීම සමස්ත සමාජය අනතුරේ හෙළන බව ඔවුන්ට දැන් මතක නැත. බොහෝ දෙනෙක් මේ වනවිට විනෝද සවාරි යන්නට පටන්ගෙන තිබේ. මෙසේ අනතුරේ වැටීමෙන් අවසන දඬුවම් ලබන්නේ සියලු දෙනාය.
ආර්ථික අර්බුදය ගැන මගේ කියවීමේ දී නම් ඊට ජනතාවගේ ද සංයුක්ත මැදිහත්වීමක් අත්‍යවශ්‍යය. එය හුදෙක් දේශපාලකයන්ට පමණක් බාර කළ කාලය දැන් අවසානය. පොදු ජනයා මින් ඉදිරියට දේශපාලකයා පමණක් නොව රාජ්‍ය සේවය මෙන්ම තමන් ගැන ද මීට වඩා සිතිය යුතුය. පොහොර ප්‍රශ්නය යැයි කියමින් ගොවීහු මේ දිනවල වීදි බසිති. එහෙත් කොවිඩ් වයිරසය නැවත හිස එසෙව්වහොත් ඊට ආණ්ඩුව වෙන්කරන්නේ මහජන බදු මුදල්ය. මහජන බදු මුදල් යනු මහජනයාගේම සල්ලිය. එවිට කිසියම් ආකාරයකට මේ ගොවීන්ගේම සල්ලි නැවතත් වැය කෙරෙන්නේ වසංගතය මඩින්නටය. ඒ අර්ථයෙන් ගත්කළ තමා පරෙස්සම් වීම යනු හුදෙක් සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමම නොව සිය ධනය ද ආරක්ෂා කරගැනීමය.
අනෙක් අතට ලෝකය තිබෙන තත්ත්වය අනුව ලංකාව සිටින්නේ ද ආයෝජන ළඟා කර ගත හැකි තැනක නොවේ. මේ වේලාවට යම් ආයෝජනයක් පැමිණියත් ඒවා අපට වාසිදායක ඒවා නොවේ. එනිසා අප බැලිය යුත්තේ අඩුම තරමින් රටක වියදම අඩු කරගැනීම ගැනය. නිදසුනකට පෙට්‍රල් රුපියල් 10කින් අඩු කර ඇතැයි පුවතක් ඇසූ පුද්ගලයෝ වහාම ඉන්ධන හල් කරා යති. වැඩි වේලාවක් යන්නට පෙර අප දකින්නේ දිගු පෝලිම්ය. ලීටර් 50ක් ලබා ගත්තත් ලාබය රුපියල් 500කි. එහෙත් මිනිසුන් පෝලිම්වලට වී පිච්චූ ඉන්ධන හා මිනිස් පැය ප්‍රමාණය හා සසඳද්දී ලැබූ ලාභයක් නැත. ප්‍රශ්නය නම් මිනිසුන් මෙවැනි දේ ගැන තාර්කිකව නොසිතීමය.
ඇත්ත වශයෙන්ම මෙවැනි කාල පරිච්ඡේදයක දී මිනිසුන් කළ යුත්තේ වියදම් ඇතිවීමට ඇති අවකාශයක් වේ නම් එය හැකි සෑම අයුරින්ම අවම වන පරිදි කටයුතු කිරීමටය. නිදසුනකට ඇතැමුන් කියන්නේ කිරි පිටි නොබී බැරි බවය. මොහොතකට එය සැබෑම යැයි සිතමු. අඩුම තරමින් කිරි පිටි බොන වේල් ගණන අඩු කළ නොහැකිද? මගේ යෝජනාව නම් ආනයනික භාණ්ඩ පරිභෝජනය වැඩි වන තරමට රට උගුලට හසුවීමේ වේගය වැඩි වන බවයි. අත්‍යවශ්‍ය භාණ්ඩ අරපරෙස්සමින් භාවිත කළ යුතුය.
ගෑස් හා විදුලිය යනු එසේ අරපරෙස්සමින් භාවිත කළ යුතු ඉන්ධනය. එහෙත් අපට පෙට්‍රල් නැතිව ජීවත්වීමට හැකියාවක් ඇත. වෙනදා පෙට්‍රල් ලීටර් 100ක් භාවිත කළ අයකුට අත්‍යවශ්‍ය ගමන් සඳහා පමණක් වාහනය භාවිත කර ලීටර් ගණන 25 දක්වා අඩු කළ හැකිය. විදුලිය වුව දල්වන විදුලි පහන් සංඛ්‍යාව අඩු කළ හැකිය. මේ අයුරින් අප රටක් හැටියට සිතා සකසුරුවම් ජීවන ශෛලියකට සක්‍රීය ලෙස මැදිහත් වන්නේ නම් පවතින අර්බුදයෙන් යම් දුරකට ගොඩ ආ හැකිය. නොඑසේව අර්බුදයට විසඳුම ආණ්ඩු හෝ පුද්ගල මාරුවක් ලෙස දකින්නේ නම් එයින් විසඳුමක් නැත. මේ අවස්ථාවේ ඇතැම් සාකච්ඡා දියත් වන බව පෙනෙන්නේ එවැනි පුද්ගලවාදී දෘෂ්ටිකෝණයෙන් බව පෙනේ. එය කනගාටුදායක තත්ත්වයකි. සැබැවින්ම කොවිඩ් අවුල යනු දේශපාලනික කාරණයක් නොවේ. ස්වාභාවික උපද්‍රව්‍යයකි. එය ප්‍රශ්නයක් හැටියට සලකා කළමනාකරණය කිරීම දේශපාලනික කාරණයකි. එහිදී වැදගත්ම කරුණ ලෙස මා දකින්නේ රටේ ජනතාව සමග ප්‍රශ්නය ගැන සාකච්ඡාවකට යෑමය.
නිදසුනකට ගුරු ප්‍රශ්නයේ දී මතු වූ කරුණ වූයේ නිසි සාකච්ඡාවක් නොතිබුණේය යන්නයි. ගොවි ප්‍රශ්නයේදී ද එසේය. යුගදනවි බලාගාර ප්‍රශ්නය වුව එසේය. මහජනයාගේ ස්වභාවය නම් තොරතුරු මත කලබල වීමය. සාකච්ඡා විරහිත ක්‍රියාමාර්ග විසින් සිදුකරනු ලබන්නේ එකී මහජනයා කලබලයට පත්කිරීමය. ආණ්ඩුකරණයේ දී අත්‍යවශ්‍ය පියවරක් වන්නේ තොරතුරු සහිත සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් මහජනයා දැනුවත් කරමින් වැඩ කිරීමය. කරන වැඩ නිරවුල්ව නිරවද්‍යභාවයෙන් කරද්දී මහජනයා කලබල වන්නේ නැත. එය ආණ්ඩුකරණයට ද පහසුවකි.
නිදසුනකට ගිවිසුමක් රෑ දොළහට අස්සන් කිරීම නොකොට දවල් දොළහට අස්සන් කළ නොහැකි ද? අස්සන් ගැසීමට පෙර සතියක් දෙකක් ජනතාව සමග සාකච්ඡා කළ නොහැකි ද? රසායනික පොහොර වෙනුවට කාබනික කෘෂිකර්මයට විතැන්වීම ලංකාවේ සියලු ජීවීන්ගේ අයිතින් සුරක්ෂිත කරන මුළු ලෝකයක් පිළිගන්නා අගනා වැඩපිළිවෙළකි. එහෙත් එය කළ යුත්තේ මහජනයා සමග වූ සක්‍රීය සාකච්ඡාවකින් පසුය. එවැනි සාකච්ඡාවකට විශාල කාලයක් වැය වන්නේ ද නැත. ධනවාදී ලෝකයෙහි මිනිසකු පරයා තවත් මිනිසකු ලාභ උපරිම කරගැනීමට වෑයම් කරන්නේ යම් සේද එක රටක් සෙසු ලෝකය සමග ගැටෙන්නේ ද එපරිද්දෙන්මය. එවිට මේ කොවිඩ් සමයේදී ලංකාව වැනි පරිධියේ රටවලට සිදුවන්නේ ගෝලීය හා ජාතික යන තල දෙකේදීම ඉතාම පරීක්ෂාකාරී ලෙස ආර්ථික තීන්දු ගැනීමටය. එහිදී ප්‍රධාන සාධකයක් වන්නේ රටේ මහජනයාය.
සැබැවින්ම දැන් මහජනයා සිටින්නේ විපිළිසරවය. දේශපාලනික වශයෙන් කලබෑගැනිවලට ඔවුන් පැටලෙන්නේ ද එහෙයිනි. එහෙත් මේ ආරාවුල විසඳාගත හැක්කේ ඔවුන් සමග පරතරය වැඩිකර ගැනීමෙන් නොව සක්‍රීය සංවාදයක් මගින් නිසි තොරතුරු සන්නිවේදනයෙනි. යහපත් තීරණ විනිවිදභාවයෙන් යුක්තව සාකච්ඡාවෙන් සම්මුතියෙන් ක්‍රියාවට නැගීමෙනි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය මාලක රණතිලක
සංවාද සටහන -බිඟුන් මේනක ගමගේ