විශේෂයෙන් වත්මන් සමාජ දේශපාලන ක්ෂේත්‍රය තුළ ද අද කතාබහට ලක් නොවන ශ්‍රී ලංකාවේ අතුරු මැතිවරණ ඉතිහාසයේ (1947 – 1988) පළමුවැනි අතුරු මැතිවරණය පැවැතියේ 1948 අප්‍රේල් 19 වැනිදා අවිස්සාවේල්ල ඡන්ද කොට්ඨාස වෙනුවෙනි.
1949 මාර්තු මාසයේ 02 වැනිදා ජන්ම ලාභය ලැබූ වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන 1983 මැයි 18 වැනිදා පැවැති මහරගම අතුරු මැතිවරණයෙන් ම.එ.පෙ. නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය.
එහෙත් දිනේෂ් ගුණවර්ධන ජන්ම ලාභය ලබන්නට පෙර පාර්ලිමේන්තු සභා ගර්භයට (අම්මාගේ - කුසුම්සිරි ගුණවර්ධන කුස තුළ සිට) පිවිසි අවස්ථාවේ එවකට පළාත් පාලන හා සෞඛ්‍ය අමාත්‍ය අත්තනගල්ල මන්ත්‍රී බණ්ඩාරනායක මහතා ගැඹුරු අර්ථයෙන් සරදම් ලෙස සිනාසී අනාගතයෙහි තවත් බොරලුගොඩ සිංහයෙක් මෙම සභාවට පත්වීම ඒකාන්ත යැයි සුපුරුදු සිනහවෙන් පැවසීමත් සමග අත්පොළසන් නාදයෙන් මුළු පරිසරයම පිරී ඉතිරී ගියේය.
1977දී යූ.එන්.පී. විරෝධී ඡන්ද තුන් දෙනකුට බෙදීම නිසා දිනේෂ් ගුණවර්ධනට තාත්තාගේ සුපුරුදු අසුන අහිමි වුණේය. එය වෙනම කතාවකි.
අවිස්සාවේල්ල අතුරු මැතිවරණයට 1948 අප්‍රේල් 19 වැනිදා නාමයෝජනා භාර ගත්තේය. 1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අවිස්සාවේල්ල කොට්ඨාසයෙන් ජයග්‍රහණය ලද පිලිප් ගුණවර්ධන 1947පාර්ලිමේන්තුවෙන්ද විජයග්‍රහණය ලැබීය. 48 අප්‍රේල් 19 වැනිදාම පිලිප් ගුණවර්ධනගේ බිරිඳ කුසුම්සිරි ගුණවර්ධන මන්ත්‍රී ධුරය හිමිකර ගත්තේය. ඒ නිතරගයෙනි.
1947පැවැති ඓතිහාසික වැඩ වර්ජනයේ දී සවුත්වෙස්ටර්න් බස් සමාගමේ සේවකයන් වැඩ නැවැත්වීමකට නීති විරෝධී අන්දමින් පොළඹවන ලදැයි චෝදනා කොට එවකට දකුණු කොළඹ මහේස්ත්‍රාත්වරයා පිලිප් ගුණවර්ධනට බරපතළ වැඩ ඇතිව තුන් මසක සිර දඬුවමක් නියම කළේය. පිලිප්, ශ්‍රේෂ්ඨාධිකරණයටත් අනතුරුව එංගලන්ත රාජාධිකරණයටත් ඉදිරිපත් කරන ලද අභියාචනා නිෂ්ප්‍රභ විය. පිලිප් සිර භාරයට පත්විය.
කුසුම්සිරි ගුණවර්ධන පාර්ලිමේන්තුවට පිවිසි පළමු දවසේම අමාත්‍ය බණ්ඩාරනායක සුපුරුදු සිනහවෙන් කළ සරදම සැබෑවූයේ 1983 මැයි 18 වැනිදා පැවැති මහරගම අතුරු මැතිවරණයෙනි. ඒ වසර 35 කට පසුවය.
අද බණ්ඩාරනායක – පිලිප් ගුණවර්ධන – කුසුම්සිරි ගුණවර්ධන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ග්‍රේෂන් ද ජීවතුන් අතර නැත. අතුරු මැතිවරණ ක්‍රියාවලින් ද නැත. බොරලුගොඩ පරම්පරාවේ සිංහයෙක් ශ්‍රී ලංකාවේ අගමැති ධුරයට පත්ව ඇත.
දැනට අක්‍රියාත්මක අතුරු මැතිවරණ ක්‍රියාවලිය ගැන අපි හිටපු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිසානායක මහතාගේ තොරතුරු විමසමු.
1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මකවීමට පෙර පැවැති මැතිවරණ ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ පැවැති පුරප්පාඩු පිරවීම සඳහා පත්වන ලද අතුරු මැතිවරණ, එම මැතිවරණ ක්‍රමයේ ප්‍රජාතන්ත්‍රීය ලක්‍ෂණ වැඩි දියුණු කිරීමට හේතුවූ වැදගත් ලක්‍ෂණයක් ලෙස සැලකිය හැකිය. එය බොහෝ හේතු නිසා මැතිවරණය හා සම්බන්ධ සෑම අංශයකම උද්ෙ යා්ගය වැඩි දියුණු කළේය.
අතුරු මැතිවරණ, පාලක පක්‍ෂයේ ජනප්‍රියත්වය මෙන්ම විරුද්ධ පක්‍ෂයේ බලය මැනීමට මිනුම්දණ්ඩක් විය. ඊට අමතරව එමගින් ඡන්දදායකයන්ගේ අප්‍රසාදය පාලන පක්‍ෂය කෙරෙහි පළ කිරීමට අවස්ථාවක් උදාවිය. සමහර ස්වාධීන අපේක්‍ෂකයන් ඔවුන්ට තිබූ අභියෝගාත්මක හැකියාව තරග කරන පක්‍ෂවලට එරෙහිව පෙන්නුම් කිරීමට මෙය අවස්ථාවක් කර ගැනිණ.
වත්මන් මැතිවරණ ක්‍රමයෙන් අතුරු මැතිවරණ ඉවත්ව ගියද, මේ තත්ත්වය යටතේ 1947 සිට පැවැති මැතිවරණ සම්බන්ධ තොරතුරු රැස්කර මෙම පොත් සැකසීම සඳහා අතුරු මැතිවරණ කොමසාරිස් පී.එම්. සිරිවර්ධන මහතා දරන ලද ප්‍රයත්නය පැසසිය යුතුය.
1988 වර්ෂයේ අවසන් වූ කාලපරිච්ඡේදය තුළදී පවත්වන ලද අතුරු මැතිවරණ හා සම්බන්ධ ඓතිහාසික තොරතුරු සොයන අයට මෙම පොත ප්‍රයෝජනවත් වෙතැයි මම විශ්වාස කරමි. - දයානන්ද දිසානායක
(සටහන - මැතිවරණ මහලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය 2008.06.09)
අතුරු මැතිවරණවලට විකල්පයක් වශයෙන් දෙවනි ජනරජ ව්‍යවස්ථාවෙන් චිට් මන්ත්‍රී ධුර ක්‍රමය ආරම්භ විය. මේ ගැන එකල පක්‍ෂ විපක්‍ෂවලින් විවිධ මතවාද මතුවුවද චිට් මන්ත්‍රී ක්‍රමවේදය 1988 න් පසු ක්‍රියාත්මක විය. මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් නිකුත් වූ 052 පොත අනුව ප්‍රතිඵල සටහන් වන අවසානම අතුරු මැතිවරණය 1988.09.01 දින පැවැත්වූ අංක 123 හොරොව්පතාන මැතිවරණ කොට්ඨාසයේ මැතිවරණය වේ.
අද විවිධ දේශපාලන පක්‍ෂවල සිටින බහුතරයක් ක්‍රියාකාරීන්ට කිසියම් මැතිවරණයක් නොමැතිවීම එක්තරා ආකාරයක මානසික ව්‍යාධියක් බැව් අසත්‍යයක් නොවේ. පළාත් පාලන මැතිවරණ නොපැවැත්වීම සහ පළාත් සභා මැතිවරණය ගැන කල්මැරීම නැත්නම් ඡන්ද මේනියාව බහුතරයකට බරපතළ ගැටලුවකි. ඡන්දදායකයන්ගේ අප්‍රසාදය පාලකයන්ට පළකිරීමට අතුරු මැතිවරණ පවත්වන්නේ නම් විවිධ ගැටලු අරභයා මතුවන ගැටුම් මේ තරම් උත්සන්න නොවන බවටද මතයක් පවතී.
1949.04.19 වැනිදා පටන්ගත් අතුරු මැතිවරණ ක්‍රියාවලිය 1988.09.29 දා අංක 123 හොරොව්පතාන අතුරු මැතිවරණයෙන් අවසන් විය. 1949 – 1988 වසර 39ක් තුළ අතුරු මැතිවරණ 89 ක් පැවැත්වුණු බැව් අනාවරණය වේ. මෙම අතුරු මැතිවරණවලින් 1984 ඔක්තෝබර් 25වන දින පැවැති අංක 129 මින්නේරිය සහ අංක 46 කුණ්ඩසාලේ අතුරු මැතිවරණ දෙක සුවිශේෂව සටහන් කළ යුතුවේ.
අතුරු මැතිවරණ ඉතිහාසයේ විවිධ පක්‍ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්‍ෂකයන් විශාල පිරිසක් ඉදිරිපත් වූයේ මෙම අතුරු මැතිවරණයටය. ඉනුත් මින්නේරිය අතුරු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයන් ගණන 51 කි. එ.ජා.ප. යෙන් ඉදිරිපත් කළේ ඇස්.බී. විජේකෝන් ය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ රත්නප්‍රිය සේනානායක ඉදිරිපත් විය. ඡන්ද ලකුණු වශයෙන් ලකුණු 51 කි. ශ්‍රී ලංකා මහජන පක්‍ෂය නියෝජනය කරමින් විජය කුමාරතුංග ඉදිරිපත් වූ අතර ඡන්ද ලකුණ ඇස ය.
අතුරු මැතිවරණ ප්‍රතිඵල මෙසේ ය.
විජේකෝන් ඇස්.බී. (අලියා) - 19,744
විජය කුමාරතුංග (ඇස) – 10,568
සේනානායක රත්න දේශප්‍රිය (අත) 6260
මෙම අතුරු මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය නොව ප්‍රකාශිත ඡන්ද සලකුණු අතර හාවා, ගවයා, හංසයා, කිඹුලා, මොණරා, සමනලයා, මුවා, අශ්වයා විශේෂිත විය. ස්වාධීනව ඡන්දයට ඉදිරිපත්වූ ස්වාධීන අපේක්‍ෂකයන් අතරින් පී.බී. විජේකෝන් (ස්වාධීන) ඡන්ද 209 ක් ලබාගත් අතර පොල්ගස ලකුණෙන් ඉදිරිපත් වූ ඇම්.ඒ. අප්පුහාමිට හිමිව තිබුණේ ඡන්ද දෙකකි. ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ අපේක්‍ෂක විජය කුමාරතුංග පරාජයට ලක්කිරීම එ.ජා. පක්‍ෂ නායකත්වයේ ප්‍රධාන චේතනාව වූ බව දේශපාලන විචාරකයන්ගේ මතය විය.
මැතිවරණ පෙත්සම්වලින් පරාජයට ලක්වීම හෝ මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීම හෝ මියයාම අතුරු මැතිවරණයකට ප්‍රධාන හේතුවක් විය.
1982 දෙසැම්බර් 22 වැනි දින පවත්වන ලද ජනමත විචාරණයෙන් පසු 1983 මැයි 18 වනදා අතුරු මැතිවරණ 18 ක් පැවැත්විණි. අතුරු මැතිවරණ ඉතිහාසය තුළ එකම දිනයකදී පැවැති එම මැතිවරණය සුවිශේෂී වේ. දෙවිනුවර ආසනයෙන් ඉල්ලා අස්වූ මුදල් සහ ක්‍රමසම්පාදන ඇමති රොනී ද මැල් පසුදින බුලත්සිංහල ආසනයේ මන්ත්‍රීවරයා ලෙස නැවත දිවුරුම් දී ඇමති පදවියට පත්විය. පානදුර ආසනයට අතුරු මැතිවරණයක් නොපවත්වා මර්වින් කුරේ මන්ත්‍රීවරයා ලෙස පත් කරනු ලැබීය. මේ ආකාරයට අතුරු මැතිවරණ පැවැත්වීම හෝ නොපැවැත්වීම තීරණය කරන ලද්දේ රාජ්‍ය නායකයා විසිනි.
1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් පසුව අතුරු මැතිවරණ නොපවත්වා චිට් මන්ත්‍රීවරුන් පත් කිරීමක්ද සිදුවිය. 1978 සිට 1987 දක්වා ඡන්ද කොට්ඨාස 26 ක චිට් මන්ත්‍රීවරු පත්කිරීම සිදුවිය. කලවාන ඡන්ද කොට්ඨාසයෙහි චිට් මන්ත්‍රී කෙනකු පත් කළ අතර අර්බුද රාශියක් මධ්‍යයේ නැවත අතුරු මැතිවරණයක් ද පැවැත්විණි.
1964 ජනවාරි 18 වනදා පැවැති බොරැල්ල අතුරු මැතිවරණයත් 1981 ජනවාරි 12 වනදා පැවැති කලවාන සටනත් අතුරු මැතිවරණයත් ඉතිහාසයේ නොමැකෙන අතුරු මැතිවරණ සටන් වශයෙන් සඳහන් වේ.
එවකට විපක්‍ෂ නායක ජේ.ආර්. ජයවර්ධන බටහිර කොළඹ මන්ත්‍රී වශයෙන් සිටියදී පාර්ලිමේන්තුවේ නිල කාලය නව ව්‍යවස්ථා මගින් අවුරුද්දට වඩා දීර්ඝ කිරීමට විරෝධය පෑමක් වශයෙන් ඉල්ලා අස්වීම නිසා 1975 ජනවාරි 18 දා අතුරු මැතිවරණයක් පැවැත්විණි. අභියෝගාත්මක එම සටනට ස්වාධීන අපේක්‍ෂකයකු වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජේ.ආර්.පී. සූරියප්පෙරුම ඉදිරිපත්ව පරාජය වීම සුවිශේෂීව සටහන් විය යුතු වේ. ස්වාධීනව අපේක්‍ෂකයෝ හත් දෙනෙක්ම ඉදිරිපත් වූහ. අතුරු මැතිවරණ ඉතිහාසය තුළ මෙබඳු විශේෂ සුවිශේෂ සිද්ධි රාශියකි.
මේ ආදී වශයෙන් 1949 – 1988 දක්වා අතුරු මැතිවරණ සටන් පැවැතුණි. 1971 – 1946 දක්වා රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයෙහි ද අතුරු මැතිවරණ රාශියක් පැවතුණි. ඒ සටන් අතුරෙන් මහත්වරුන්ගේ ගිවිසුමක් හේතුකොට ගෙන මැතිවරණයෙන් දිනූ පුද්ගලයා දිවුරුම් දීමටවත් නොයාමේ සිද්ධියක් වාර්තා වේ.
මෙසේය:- සර් ක්ලෝඩ් කොරයා එක්සත් රාජධානියේ ලංකා තානාපති පදවියට පත්වීම නිසා හිස්වූ හලාවත අංක 41 ආසනයේ අතුරු මැතිවරණයක් පැවැත්වීමට සිදුවිය. ඇල්බට් පීරිස් හා සී.ඒ. අබේරත්න මුදලි ඉදිරිපත් වූහ. දෙදෙනා කුළුපග මිත්‍රයෝ වූහ. මෙනිසා දෙදෙනා තරග නොකරන ගිවිසුමකට බැඳී සිටියහ. නියමිත දිනයේ ඡන්ද විමසීම පැවැත්විණි. දෙදෙනාම ඡන්ද ව්‍යාපාරයකට සම්බන්ධ නොවූ බව විශේෂයෙන් සටහන් කළ යුතුවේ.
එහෙත් පාක්ෂිකයෝ ඡන්ද ව්‍යාපාරයෙහි යෙදුණහ. නියමිත දිනයේ ඡන්ද විමසීම පැවැත්වුණි. ඇල්බට් පීරිස්ට ඡන්ද 351ක්ද අබේරත්න මුදලිට ඡන්ද 216 ක්ද ඡන්දය දී තිබුණහ. අංක 41 හලාවත මන්ත්‍රී වශයෙන් ඇල්බට් පීරිස් මහතා පත්වී ඇති බැව් ප්‍රකාශ නොකර සිටින්නට දිස්ත්‍රික් ඡන්ද නිලධාරියාට නොහැකි විය. ඇල්බට් පිරිස් මන්ත්‍රී වශයෙන් පත්වුවද ඒ මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාව විසුරුවා හරින තුරු දිවුරුම් දෙන්නටවත් මැති සබයට ගියේ නැත. මෙබඳු සිද්ධි වත්මනෙහි සිදුවේ ද?
රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අංක 45 බිබිල කොට්ඨාසයේ මන්ත්‍රීව සිටි ජී.ඩී. රඹුක්පොත මිය යාම නිසා අතුරු මැතිවරණයක් පැවැත්විණි. 1944.03.12 වන දින පැවැති මැතිවරණයෙන් එස්.ඒ. පීරිස් ජයග්‍රහණය කළේය. ප්‍රතිවාදියා දකුණෙන් ඌවට ගිය ඩබ්ලිව්. දහනායකය. දහනායක ගාල්ලෙන් ඌවට ගියේ ගුරුවරයකු හැටියටය. උග්‍ර සටනකින් පරාජිත වූ ඔහු පෙත්සමක් ඉදිරිපත් කළේය. කැස්බෑවේ මහා කවි සෝමවීර චන්ද්‍රසිරි ද එකල ඌවේ කරක් ගැසුවේය. දැන් හිටපු මන්ත්‍රී එස්.ඒ. පීරිස් සහ දහනායක අතර ඡන්ද සටනකි. සෝමවීර චන්ද්‍රසිරි දහනායකගේ දෙවැනියාය.
බිබිලේ ඡන්ද රැස්වීමක සෝමවීර රසබර හරබර චතුර දේශනයක් පවත්වන අතර එස්.ඒ. පීරිස්ගේ ආධාරකරුවෙක් සෝමවීරට හූ කීවේය.
1944.10.14දා පැවැති ඡන්දයෙන් වැඩි ඡන්ද 1108 ක් ලබා දහනායක දේශපාලන ජීවිතය ආරම්භ කළේය.
බන්ධුල ආර්.ගුලවත්ත