ධනාත්මක වෙනසකට මුල පුරන අයවැයක්


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන වසර සඳහා වන අයවැය ඉදිරිපත් කරමින් එළඹෙන වසර ඇතුළත රටේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කර ගැනීමට හැකිවනු ඇති බවට දැඩි විශ්වාසයක් පළ කළේය. ‘‘ශ්‍රී ලංකාව නව ආරම්භයක් කරා’’ යන තේමාව යටතේ ඉදිරිපත් කෙරුණු එම අයවැය යෝජනාවලිය රනිල් වික්‍රමසිංහ රජයේ දෙවැනි අයවැය ලේඛනය විය. මීට පෙර මේ වසරේ අවසන් මාස හතර සඳහා අතුරු අයවැයක් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබීය.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ දෙවැනි අයවැය මෑතකාලයේදී මේ රටේ ඉදිරිපත් කෙරුණු සියලු අයවැයවලට වඩා වෙනස්ම මගක් ගත් යෝජනාවලියක් බව බැලූ බැල්මටම පෙනී යයි. රටේ පොදු මහජනතාව විසින් පොදුවේ ‘‘කැරට්’’ වශයෙන් හඳුන්වනු ලබන වැටුප් වැඩිකිරීම්, මිල අඩුකිරීම්, බදුකපා දැමීම් වැනි කිසිවක් මෙවර යෝජනා අතර නැත. ඒ වෙනුවට ඇත්තේ රට අනාගතයේදී ගත යුතු ආර්ථිකයේ ගමන් මග පිළිබඳ ප්‍රතිපත්තිමය තීන්දු සමුදායකි.

රට ආර්ථික වශයෙන් වෙනස් විය යුත්තේ කෙසේද යන්න පෙන්වා දෙන මාර්ගෝපදේශ අයවැය ලේඛනයේ ඇතුළත්ය. ප්‍රතිපත්තිමය විශාල වෙනසක්  බලාපොරොත්තු වන සෑම පාර්ශ්වයකගේම අවධානයට ලක්විය යුතු මෙන්ම අධ්‍යයනය කළ යුතු යෝජනා මෙවර අයවැය ලේඛනයේ ඇතුළත් බව සඳහන් කළ යුතුය.

මේ රටේ ආර්ථිකයට සිදුවී ඇති හානියත් ඒ හේතුවෙන් ජනතාව මුහුණ දී සිටින බරපතළ ප්‍රතිවිපාකත් පවතින්නේ පහසුවෙන් ගොඩදැමිය හැකි තත්ත්වයක නොවේ. ආර්ථිකය යම් තරමකට හෝ ධනාත්මක පැත්තට හරවා ගැනීමට නම් බඩුමිල පහත දැමීමෙන් වැටුප් වැඩිකිරීමෙන් සුබසාධන කටයුතු සඳහා වඩ වඩාත් ප්‍රතිපාදන මුදාහැරීමෙන් එය කළ නොහැකි බව  අතීතය අපට පෙන්වා දී තිබේ.

එවැනි යෝජනා හරහා රට ආර්ථික වර්ධනයක් අත්කර ගත්තා නම් අද රට තිබිය යුත්තේ වර්තමානයේ පවතින ආකාරයට නොවන බව තේරුම් ගැනීමට මහා විශාල ආර්ථික දැනුමක් අවශ්‍ය නැත. සංකල්පමය සහ ප්‍රතිපත්තිමය වශයෙන් කැපී පෙනෙන පරිවර්තනයක් සිදු නොකර එවැනි වර්ධනයක් අත්කර ගත නොහැක. මෙවර අයවැය යෝජනා මගින් එවැනි ව්‍යුහාත්මක වෙනසකට අත ගසා තිබෙන බව පැහැදිලිය.

අපනයන බෝග වගාව දිරිගැන්වීම, කුරුඳු වගාවට වෙනම දෙපාර්තමේන්තුවක් ඇති කිරීම, පළාත්බදව ආර්ථික කලාප පිහිටුවීම, රාජ්‍ය ණය පාලනය කිරීම, විදේශ වෙළෙඳාම හා ආයෝජනය සම්බන්ධව නව ආයතනයක් පිහිටුවීම සහ අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම හා සමුද්‍රික සම්පත්, කර්මාන්ත, වෙළෙඳ හා ආයෝජන ආදී සියල්ල නවීකරණයට ලක් කිරීමට පියවර ගැනීම වැනි යෝජනා දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණයකට සහ ප්‍රතිසංවිධානයකට වැදගත් වන යෝජනා අතරින් කිහිපයකි.

එසේම ශ්‍රී ලංකන් ගුවන් සේවාව, ටෙලිකොම්, රක්ෂණ සංස්ථාව, හිල්ටන්, වෝටර්ස්එජ් ආයතන ප්‍රතිව්‍යුහකරණය කිරීමට යෝජනා කිරීමද සියලු දේ රජය මගින් පාලනය කළ යුතුය යන මිථ්‍යාවෙන් බැහැර වී ජාතික ප්‍රතිපත්තියකට අනුව ආර්ථිකය නැංවීමට රජයේ සූදානම පිළිබඳවද පැහැදිලි පණිවුඩයක් ලබා දී තිබේ.

මේ වන විට රජය රාජ්‍ය ආයතන සහ ව්‍යවසාය 420ක් නඩත්තු කරන බවද මේ අතුරින් ප්‍රධාන ව්‍යවසායක 52කින් රටට සිදුවන වාර්ෂික පාඩුව රුපියල් බිලියන 86ක් බවද ජනාධිපතිවරයා සිය අයවැය කතාවේදී හෙළිකර තිබිණි. දින කිහිපයකින් එම ආයතන සියල්ලේ ලැයිස්තුව සභාගත කරන බවත් මේ ආයතනවලින් රටට සිදුවී ඇත්තේ සුගතියක් ද නැත්නම් අගතියක්ද යන්න එවිට තීරණය කළ හැකිවනු ඇති බවත් ජනාධිපතිවරයාගේ කතාවේ සඳහන් විය.

පැරණි ආර්ථික සංකල්ප තවදුරටත් අපේ රටේ අනාගතය හදා ගැනීමට වලංගු නැත. ජාතික සම්පත් රැකගැනීම වැනි සටන් පාඨ කර පින්නාගෙන එවැනි සම්පත් කිසිදු ආකාරයකින් සංවර්ධනය නොකර දිරා යාමට ඉඩ හැරීම හෝ පාඩු ලබමින් රැකියා මධ්‍යස්ථාන වශයෙන් පවත්වාගෙන යාමට හේතු තවදුරටත් රටට දරාගැනීමට හැකියාවක් නැත. රටේ ජනතාව අද මේ දුකට වැටී ඇත්තේ එවැනි අදූරදර්ශී ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කිරීම ආධාර සහ අනුබල දීම හේතුවෙනි. රටේ ජනතාව අන්ත දුකට පත් වෙනතුරු සුබසාධන ආර්ථිකයකට ආවඩමින් ජාතික සම්පත් ආයෝජන ආකර බවට පත් කිරීම වළක්වමින් ගත කළ කාලයට සමුදීමට දැන් කාලය පැමිණ තිබේ. ඒ සඳහා මේ අයවැය යෝජනා විශාල මග පෙන්වීමකි.

ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා කාලෝචිත යෝජනා ඉදිරිපත් කිරීම පමණක් ප්‍රමාණවත් නැත. ඒවා ක්‍රියාත්මක කරමින් එහි ප්‍රතිලාභ රටට දැනෙන්නට සැලැස්වීම ද අවැසිය. 1970 වසරේ සිට ආචාර්ය එන්.එම්. පෙරේරා ද මේ ආකාරයටම ප්‍රතිපත්තිමය වශයෙන් රටේ ආර්ථිකය වෙනස් කිරීමට සිය අයවැය ලේඛනයේ අලුත් යෝජනා ඉදිරිපත් කළේය. එහෙත් ඒ යෝජනා සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට බොහෝ බාධක පැමිණීම හේතුවෙන් එයින් රටට කිසිදු සුගතියක් අත්නොවීය.

එම වැරැද්දම මෙවරද සිදු නොවීමට නම් රජය සතුව ශක්තිමත් සැලසුම් ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් තිබිය යුතුය. ජනාධිපතිවරයා බලාපොරොත්තු වන ජාතික ප්‍රතිපත්තියකින් සමන්විත ධනාත්මක පරිවර්තනය සිදුවනු ඇත්තේ එවැනි යාන්ත්‍රණයක් තුළින් පමණක් බවත් පෙන්වා දෙනු කැමැත්තෙමු.

(***)