නව වසරේ ආර්ථිකය කොයිබටද?


ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධ කරන ලද වාර්තාවකට අනුව, 2022 වර්ෂයේ තෙවැනි කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සියයට සෘණ 11.2 ක් දක්වා ආර්ථිකය පසුබැස තිබේ. උද්ධමනය සියයට 50 ඉක්ම වූ මට්ටමක පවතියි. ගෙවුම් ශේෂ හිඟය පවතින්නේ ද යහපත් මට්ටමක නොවේ.

මේ අනුව පැහැදිලි වන්නේ 2022 වසර පුරා පැවති ආර්ථික පරිහාණිය සමගින් 2023 වසරට අවතීරණවීමට සිදු වූ බවය. සාර්ව ආර්ථික ප්‍රශ්න, මිල අස්ථායීතාව, ගෙවුම් ශේෂ අස්ථායීතාව, දිළිඳුකම යනු 2023 දී ද ශේෂව පවතින ප්‍රශ්න කිහිපයකි. එසේම ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත් වන බවට වන පෙර නිමිති නොමැතිව අපි මෙම නව වසරට ප්‍රවිෂ්ට වුණෙමු. මෙය ඛේදනීය තත්ත්වයකි.

ශ්‍රී ලංකා ආර්ථිකය පුපුරා ගියේ 2022 වර්ෂයේ පෙබරවාරි මාසයේදීය. එතැන් සිට එම අර්බුදය උත්සන්න වූවා මිස යළි පණගැන්වෙන ස්වභාවයක් නොතිබිණි. විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණය නිසා ආනයන කටයුතු ආදිය යම් පමණකට ස්ථාවර වී ඇති බවක් පෙනේ.

විදේශ ණය ගෙවීම අත්හිටුවීමට තීරණය නොකළේ නම්, 2022 වසර ආරම්භයේ පැවති දුෂ්කර තත්ත්වය එලෙසම පැවතීමට ඉඩ තිබිණි. පුරෝකථනවලට අනුව 2023 මුල් කාර්තුවේදී ද ආර්ථිකය සියයට සෘණ 3 කින් හැකිළීමට ඉඩ තිබේ.

මා මීට ඉහතදී ද සඳහන් කර ඇති පරිදි 2023 අයවැය මූලිකව සකස් කර තිබෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම අරමුණු කර ගෙනය. අයවැයෙහි මූලික ශේෂය ලබා ගැනෙන්නේ පොලී හැර රාජ්‍ය වියදම රාජ්‍ය අය භාරයෙන් අඩු කිරීමෙනි. එම මූලික ශේෂය යහපත් මට්ටමකට ගෙන එන බව ද අයවැය කතාවේදී ප්‍රකාශ විය. ඊට අදාළව ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ වන්නේ ඉහළ දමන ලද බදු ප්‍රතිපත්තියයි.

බදු ඉහළ නැංවිය යුතු බව අපි පිළිගන්නෙමු. ඒ, රජයේ අයවැය හිඟය අඩු කිරීම වෙනුවෙන් බදු වැඩි කළ යුතු හෙයිනි. ආර්ථිකය දරුණු පසුබෑමකට ලක්ව ඇති අවස්ථාවක මෙම බදු සංශෝධනය කිරීම මෙහි ඇති ප්‍රශ්නයයි. වෙසෙසින්ම ඉකුත් දා පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලද පුද්ගල ආදායම් බදු සංශෝධන මගින් වෘත්තිකයන් ඉලක්ක කර ඇති අතර උද්ධමනය සියයට 60 කට ආසන්න අගයක පවතින සන්දර්භයක අදාළ බදු සංශෝධන නිසා වෘත්තිකයෝ දැඩි පීඩාවකට පත් වෙති.

මේ බදු සංශෝධන මගින් විදේශ විනිමය උපයන කර්මාන්තකරුවන් ද ඉලක්ක කර තිබේ. පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මෙන්ම මහා පරිමාණ කර්මාන්තකරුවෝද පීඩාවට පත්ව සිටිති. 2023 වසරට අප පිය නගන්නේ වෘත්තිකයන් සහ කර්මාන්තකරුවන් ද ආර්ථිකමය වශයෙන් පිරිහෙමින් පවතින තත්ත්වයකදීය. එවැනි සන්දර්භයක රජය කළ යුතුව තිබුණේ මූලික ශේෂය අවම කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද සහාය ලබා ගනිමින් රජයේ වියදම් අඩු කරන වැඩපිළිවෙළක් සකස් කිරීමය.

රාජ්‍ය සේවාවන්හි කටයුතු දැඩි සීමාවට යටත් කිරීම, ප්‍රවාහන වියදම් පාලනය කිරීම, මාර්ගගත ක්‍රමය වැඩි වශයෙන් යොදා ගනිමින් රාජ්‍ය වියදම් පාලනය කිරීම, ප්‍රාග්ධන වියදම් හැකිතාක් අඩු කිරීම යනු ඒ අරබයා ගත හැකිව තිබූ ප්‍රයෝජනවත් පියවර කිහිපයකි. එම ක්‍රියාමාර්ග මගින් වියදම් පාලනයට පියවර ගත් පසු බදු සංශෝධනවලින් රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට ක්‍රමානුකූලව කටයුතු කළ හැකිව තිබිණි. එහෙත් 2023 වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත මේ බදු සංශෝධන මගින් වෘත්තිකයන් සහ කර්මාන්තකරුවන් දැඩි පීඩනයකට පත්විය හැකි අතර ජීවන වියදම ඉහළ ගොස් සමාජයේ නොයෙක් අර්බුද ඇති වීමට ද පිළිවන.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ලබාදීමට නියමිත අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය පහසුකම සම්බන්ධ අවසන් ගිවිසුම අස්සන් කිරීමට අපි මෙතෙක් අපොහොසත් වී සිටිමු. ඊට බලපා ඇති ප්‍රධාන හේතුව නම්, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පැරිස් සමාජය නියෝජනය නොකරන චීනය සහ ඉන්දියාව මෙතෙක් ඒ සම්බන්ධව නිල එකඟතාව ප්‍රකාශයට පත්කර නැති නිසාය. එම එකඟතාව ලැබෙන තෙක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක සභාව අදාළ ණය පහසුකම් ලංකාවට ලබාදීම සඳහා අවසන් අනුමැතිය ලබා නොදේ.

මෙයින් පැහැදිලි වන්නේ 2022 වසරේ මාස හයක් පුරාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම් ලබාගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ණය හිමි රටවල එකඟතාව ලබාගැනීම යන කාරණා වෙනුවෙන් කළ වැඩ කොටස සාර්ථකව අවසානයක් කරා ළඟා කර ගැනීමකින් තොරව 2023 වසරට ප්‍රවිෂ්ට වීමට සිදුව ඇති බවය. එබැවින් විදේශ සංචිත ගොඩනැගීම, ආනයන මූල්‍යනය හෝ එමගින් ඇති වන දේශීය මූල්‍ය ස්ථාවරත්වය ගොඩනැගීමට ඇති හැකියාව ද සීමාසහිත වේ.

මීළඟ වැදගත් කාරණය නම්, පසුගියදා සම්මත කරද ලද නව බදු සංශෝධන රාජ්‍ය සේවකයන්ට ද අදාළ වීමය. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් මත බදු අය කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළ ද මගේ අදහස වන්නේ එය වැටුප් කප්පාදුවක් බවය. රාජ්‍ය සේවක වැටුප් ගෙවනු ලබන්නේ මහා භාණ්ඩාගාරය විසිනි. ආණ්ඩුව ලබා දෙන වැටුප් නැවත බද්දක් පනවමින් කපාහැරීම සමාන කළ හැක්කේ වැටුප් කප්පාදුවකටය.

වැටුප් කප්පාදුවක් යැයි සෘජුව සඳහන් කරමින් ක්‍රියාත්මක කළ නොහැකි නිසා වෙනත් නමකින් එය මුදුන්පමුණුවාලීමට ගන්නා ලද උත්සාහයක් ලෙස මම එය දකිමි. මෙපරිදි වෘත්තිකයන් ඉල්ලක කරගෙන ආදායම් බදු පැනවීම හේතුවෙන් මේ වනවිටත් වෘත්තිකයෝ විශාල  පිරිසක් රට හැර ගොස් සිටිති. එබැවින් 2023 දී වෘත්තිකයන් රැකියාවලින් ඉවත් වීම සහ රට හැර යාම ඉහළ යෑමට ඉඩ තිබේ. වෛද්‍යවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ තවත් වෘත්තිකයෝ මේ බදු සංශෝධනවලට විරුද්ධව විසල් හඬක් නගමින් සිටිති.

2022 වර්ෂයේදී දිළිඳුකම සියයට 27 දක්වා වැඩි වී ඇති බව රජයේ සංඛ්‍යා ලේඛන මගින් අනාවරණය කෙරිණි. එසේම ආහාර අහේනියද දරුණු තත්ත්වයකට පත් විය. දෛනික ආහාර වේල් තුන දෙක හෝ එක හෝ දක්වා අඩු කරන ලද පවුල් සංඛ්‍යාව වැඩි වී ඇත. සමහරු ගත් ණය ගෙවා ගත නොහැකිව සිටිති. මෙපරිදි 2022 වසරේදී ආර්ථික අර්බුදය නිසා රටේ ජනතාවට මුහුණ දීමට සිදු වූ පීඩනය තවත් ඉහළ යමින් තිබේ. මේ තත්ත්වය නව වසරේදී කෙසේ සමනය කළ හැකිද යන්න ප්‍රශ්නකාරී විය හැකිය.

උද්ගත වූ ආර්ථික අර්බුදය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත විශාල ප්‍රමාණයක් මේ වනවිට වැසී ගොස් තිබේ. රැකියා අහිමිවීම් ද දිනෙන් දින ඉහළ යන ප්‍රවණතාවක් දැකිය හැකිය. ආර්ථිකය යළි පුනර්ජීවනය නොවන තත්ත්වයක ඇති විය හැකි ප්‍රතිවිපාක කිහිපයකි. එකක් නම්, මහා පරිමාණ කර්මාන්ත ආයෝජන රට හැර යෑමය. වාර්තා වන තොරතුරුවලට අනුව මේ වනවිටත් එය සිදු වෙමින් තිබේ. ඉකුත්දා සම්මත කරන ලද බදු සංශෝධන හරහා ද ඒවාට බලපෑම් එල්ල වන බැවින් 2023 වර්ෂයේදී කර්මාන්තකරුවන් ඔවුන්ගේ ආයෝජන වෙනත් රටවලට ගෙන යන ප්‍රවණතාව වේගවත් විය හැකිය.

උද්ධමනය පාලනය කිරීම සහ මිල ස්ථායීතාව ඇති කිරීම සඳහා මහ බැංකුවත් මහා භාණ්ඩාගාරයත් ක්‍රියාත්මක කරමින් සිටින්නේ සංකෝචනාත්මක මුල්‍ය සහ පිස්කල් ප්‍රතිපත්තියකි. ඉල්ලුම පාලනය කිරීම මගින් මිල කෙරෙහි ඇති වන පීඩනය පාලනය කිරීම එහි මූලික අරමුණ වේ. එහෙත් මින් ඇති විය හැකි ප්‍රතිවිපාකය නම්, ඉල්ලුම අඩු වීම හරහා ජන පීඩනය තවදුරටත් වැඩි විය හැකි වීමය.

මාගේ මතය අනුව උද්ධමනය පාලනය පිණිස යොදා ගත හැකි වඩාත්ම ප්‍රයෝජනවත් ප්‍රවේශය වන්නේ කෘෂිකාර්මික, කාර්මික සහ සේවා අංශයේ ආර්ථික කටයුතු පෞද්ගලික අංශය ඔස්සේ ප්‍රවර්ධනයට පියවර ගැනීමෙනි. ඊට හේතුව, ශ්‍රී ලංකා ආර්ථිකයේ සියයට 80 කට වැඩි ප්‍රමාණයක් පෞද්ගලික අංශය නියෝජනය කරන නිසාය.

මේ සියලු තත්ත්ව මධ්‍යයේ 2023 වසරේදී රජය හමුවේ ඇති ප්‍රධාන අභියෝගය වන්නේ 2022 දී සියයට සෘණ 11.2 ක් වශයෙන් වාර්තා වූ ආර්ථිකයේ හැකිළීම යථාවත් කරන්නේ කෙසේද යන්නය. ඒ වෙනුවෙන් පෞද්ගලික අංශයේ ආයෝජන සියයට 45 කට වඩා වැඩි විය යුතුය. එසේම ඵලදායීතාව දියුණුවීම ද අවශ්‍ය වේ. එහෙත් ඒවා වන බවක් නොපෙනේ. සමස්තයක් ලෙස ගත් විට කිව හැක්කේ වත්මන් ආණ්ඩුව මෙම ආර්ථික අර්බුදය විසඳීමට අදාළ මූලික කර්තව්‍යයන් සැපිරීම සම්බන්ධයෙන් අසමත් වී ඇති බවය.

රට තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ තිබේ. සත්‍ය ලෙසම ආර්ථික අර්බුදයට වසර දෙකකට වඩා වැඩිය. එය මහජනතාවට දැනී වසරකට ආසන්නය. මේ නව වසරේදී මහා මැතිවරණයකට නොයා ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නොමැත.

ඊට හේතුව නම්, අලුත් ආණ්ඩුවක් බලයට පත් වූ පසු නව මහජන ගිවිසුමක් ඇති වීමත් කිරීමට අපේක්ෂා කරන ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති පිළිබඳ ජනතාවට සන්නිවේදනය කළ හැකි වීමත් ඊට බාහිර ලෝකයෙන් විශාල පිළිගැනීමක් ලැබිය හැකි වීමත්ය. ජනාධිපති ධුරයෙහි වෙනසක් සිදු වුවද පෙර ආණ්ඩු බලයේ සිටි කණ්ඩායම තවදුරටත් බලයේ සිටීමත් නිලධර තන්ත්‍රය වෙනස් නොවී තිබීමත් නිසා  ජාත්‍යන්තර විශ්වාසය යළි ගොඩනැගීමට ඇති ඉඩ අල්පය.

දැනට ප්‍රකාශයට පත් වන පුරෝකථනවලට අනුව, 2022 වසරේ දෙසැම්බර්වල පැවති තත්ත්වයට සාපේක්ෂව 2023 දෙසැම්බර් වනවිට මෙරට ජනතාව තවත් දුප්පත් විය හැකි අතර මන්දපෝෂණ තත්ත්වය ද ඉහළ යා හැකිය. විරැකියාව ද වැඩිවීමට පිළිවන. එබැවින් ජනතාවාදී ආණ්ඩුවක් මගින් මේ අර්බුදයට පිළියම් යෙදීමත් අවැසිය.

ආහාර සුරක්ෂිතතාවට පියවර යෙදීම ද නව වසරේදී කළ යුතුය. එහිදී ජාත්‍යන්තරයේ සහාය අවශ්‍ය වේ. විදේශ සංචිත ශූන්‍ය වී ඇති තත්ත්වයක දේශීයව ඊට විසඳුම් සෙවීම දුෂ්කරය. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, යුරෝපා සංගමය වැනි ආයතනවලින් ලබා දෙන සංවර්ධන ආධාර නොගෙන මේ ප්‍රශ්නයට ආමන්ත්‍රණය කළ නොහැකිය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ලබාගැනීමට අදාළ අනුමැතිය ලබාගැනීම පෙර කී ආයතනවල සහයෝගය ලබාගැනීමට පදනමක් සපයයි. මේ සියලු ආධාර ලබාගැනීමට නම්, අලුත් මහජන ගිවිසුමක් සහිත පාලනයක් අත්‍යවශ්‍ය වේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා

සටහන - උපුල් වික්‍රමසිංහ