අඩු කාර්යසාධනයක් පෙන්වීයැයි වන කාණ්ඩයේ දෙවැනි තැන සිටියේ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියයි. සෞඛ්‍ය ඇමැතිනිය ලෙස තමාට වැඩි වගකීමක් ලබා දී, නැතැයි ඇය සිය හිතවතුන් හමුවේ මැසිවිලි නඟා තිබිණ. කෙසේවුවත් ඇය වසංගත තත්ත්වය මර්දනය කිරීම වෙනුවෙන් පිහිටුවා තිබෙන කාර්යසාධන බලකායේ සාමාජිකාවකි. අනෙක් පසින්, ඇය සෞඛ්‍ය ක්ෂේත්රයට පමණක් නොව මුලු රටටම දැඩි හානියක් අත්කර දුන් ක්‍රියාවල නියැලුණා මෙන්ම ප්‍රකාශද කළා ය.
පළමු අවස්ථාවේ ඇය ජීවං කරන ලදැයි සදහන් වුනු පැන් කල, ගලන ගගකට අත හැරියාය. එසේ කළේ අධ්‍යාත්මික ජීවකයෙක් යැයි තමන් හදුන්වාදෙන එලියන්ත වයිට්ගේ ජප කිරීම්වලින් කොරෝනා වෛරසය මර්දනය කළ හැකි යැයි දැරූ විශ්වාසයක් මුල්කරගෙනය. ඉන් අනතුරුව ඇය කොරෝනා මර්දන ඔසුවක් යැයි යකදුරෙක් සකස් කළ පානයක් රූපවාහිනී කැමරා ඉදිරියේ ප්‍රසිද්ධියේම ගෙන පානය කළා ය.
එය ඇයව ලෝක පූජිත කිරීමට සමත්වූ සිදුවීමක් විය. මෙම පැනියට ලබා දී තිබූ අවසරය අහෝසි කරන බව ආයුර්වේද දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මීට යන්තම් දින කිහිපයකට පෙරය. ඇය දැන් ප්‍රවාහන ඇමැතිනිය ලෙස පත්වීම් ලැබ සිටී.
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ප්‍රකාශයකින් හිටපු ඇමැතිනියව හාස්‍යයට ලක්කර තිබුණේ දොස්තරයෙක් නොව කොන්දොස්තරයෙක් වූ ඇයව දැන් සැබෑවටම කොන්දොස්තර සේවයට පත්කර ඇතැයි කියාය.
ඇතිවූ තත්ත්වය අනුව තමන් කළකිරීමට පත්ව සිටින්නේය යන්න පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සැඟවූයේ නැත. සිය පුරෝහිතයා සමග දඩයමේ ගිය සිංහල රජෙක් ගැන අටුවා කතාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේ නික්ම යාමේ අවස්ථාවේ දී ඇය ගෙනහැර දැක්වූවා ය.
රජු දුන්නෙන් විද මුවෙකු දඩයම් කරගැනීමට තැත් කළත් එය සාර්ථක නොවූ තැන පුරෝහිත තෙමේ ඔහුට පවසා තිබෙන්නේ සියලු දේ වන්නේ හොඳකට යැයි කියාය. ඊළග අවස්ථාවේ දී දුන්න මානන විට රජුගේ ඇගිල්ල තුවාළව තිබෙන අතර එම අවස්ථාවේ ද පුරෝහිත තැන කියා තිබෙන්නේත් එයමය. එය අසා කෝපයට පත්වූ රජු පුරෝහිතව පණ පිටින් වළලන්ට අණකර ඉදිරියට ගොස් ඇත.
එසේ යාමේ දී ඔහුව ගෝත්‍රික කණ්ඩායමක ග්‍රහණයට හසුව තිබෙන අතර රජුව බිලිපූජාවක් ලෙස ඔප්පු කිරීමට ඔවුන්ට වුවමනාවී ඇත. නමුත්, ඇගිල්ලේ තුවාළක් තිබූ නිසා ඔහු ඊට සුදුස්සෙක් නොවන බව හදුනාගැනීමෙන් පසුව ඔවුන් රජුව මුදාහැර තිබේ. සිය පුරෝහිතයා එතෙක් පවසා තිබෙන්නේ ඇත්තක් යැයි රජුට තේරුම්ගොස් තිබෙන්නේ එවිටය. වහාම ඔහුව නිදහස් කිරීමට රජු කටයුතු කර ඇත.
කෙදිනක හෝ තමා මෙතෙක් දැරූ සෞඛ්‍ය අමාත්‍යධූරය නැවත තමාට ලැබෙනු ඇතැයි අපේක්ෂාවක් පවිත්‍රාගේ පසුතැවීම පසුපස තිබෙනවා වන්නට හැකිය. කෙසේවෙතත් සෞඛ්‍ය ඇමැතිනිය ලෙස නිදහසේ කටයුතු කිරීමට තමාට අවස්ථාව නොතිබුණු බව ඇය සිය හිතවතුන්ට පැමිණිලි කර තිබීමත් මෙහිදී සැළකිල්ලට ගත යුතු ය.
වන්නිආරච්චි මහත්මිය වෙනුවට නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීම් ලැබ සිටින්නේ කැබිනට් මණ්ඩල ප්‍රකාශකවරයෙක් ද වන කෙහෙළිය රඹුක්වැල්ල මහතාය. ඔහුගේ ඇතැම් ප්‍රකාශ හමුවේ රජය ඉතා දැඩිව අපහසුතාවයට පත්වූ අවස්ථා ගණනාවක්ම විය.
එක් අවස්ථාවක අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමග රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඔලිම්පික් උළෙලට සහභාගීවීම සදහා ජපානයේ ටෝකියෝ නුවරට ගොස් තිබීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙමින් තිබෙන්නේයැයි ඔහු කීවේය. නමුත් එවැනි විමර්ශනයක් සිදුවෙමින් තිබුණේ නැත.
මේ කාණ්ඩායමේ සිටින තෙවැන්නා වන්නේ හිටපු විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ය. ඔහුගේ අමාත්‍යංශය පිළිබදව කළ විවරණයක දී හිටපු අමාත්‍යවරයා ගෙවුණු සමයේ වැදගත් යැයි සැළකිය හැකි ව්‍යාපෘති කිසිවක් ආරම්භ කිරීමට හෝ දැනට ක්‍රියාත්මකව පවතින ව්‍යාපෘති කිසිවක් අවසන් කිරීමට හෝ සමත්ව නැතැයි අනාවරණය වුනු බව රජයේ ආරංචි මාර්ගයක් පැවසුවේය.
හිටපු මාධ්‍යවේදියකු වන අලහප්පෙරුම කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අදහස් දැක්වූයේ ප්‍රවේසමින් වචන ගලපාගනිමිනි. ඔහුගෙන් හිස්වන තනතුරට නව විදුලිබල අමාත්‍යවරයා ලෙස පත්වීම් ලැබ තිබෙන්නේ හිටපු ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාය. පිළියන්දල සිදුවීමෙන් පසුව මේ ඔහුට ලැබුණු උසස්වීමක්දැයි සිතේ. එම ප්‍රදේශයේ ලොක්ඩවුන් ක්‍රියාමාර්ගයක් පනවා තිබුණු අතරවාරයේ එය ඉවත්කරන්නැයි ඔහු ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට අණ කළේ ය.
කැබිනට් තනතුරු මාරුව අතරතුරම නව කැබිනට් තනතුරක් ද ඇති කෙරිණ. සංවර්ධන සම්බන්ධීකරණ සහ අධීක්ෂණ යන එම තනතුර පිරිනැමුනේ නාමල් රාජපක්ෂට මහතාය. අමාත්‍යධූරය සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනයේ සදහන් වන ආකාරයට ජාතික සංවර්ධන වැඩසටහන වන සෞභාග්‍යයේ දැක්ම යටතේ ජනතා කේන්ද්‍රීය සංවර්ධන වැඩසටහන් දියත් වන බව සහතික කිරීම සදහා ජනපතිවරයාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ සියලු සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය සහ නියාමනය කිරීම මෙම ධූරයේ වගකීම වේ.
නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අනුව, නව අමාත්‍යධූරයේ කාර්යයන් සහ කර්තව්‍යයන් සදහන් වන්නේ මෙසේය.
■ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව සහ රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික ප්රතිපත්තීන් මත පිහිටා සංවර්ධිත රටක් බිහි කිරීම සදහා නියමිත නීති සහ අණපනත්වලට අනුකූලව සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ විෂයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය, ජාතික අයවැය, රාජ්‍ය ආයෝජන හා ජාතික සංවර්ධන වැඩපිළිවෙල යටතේ ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ පහත දැක්වෙන දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනයන්හි විෂයයන් හා කාර්යයන් හා ඊට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, ක්‍රියාත්මක කිරීම පසුවිපරම් කිරීම හා ඇගයීම.
■ දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය මට්ටමින් රාජකාරි කරන සියලුම නිලධාරීන් ද, ඇතුළත් වන පරිදි වෙනත් සියලුම ආයතනවල ප්‍රධානීන් ද, ආවරණය කැරෙන පරිදි නාමල් රාජපක්ෂට බලය ලබා දී තිබෙන අතර, එසේ බලය ලබා දී තිබෙන්නේ එකිනෙකට වෙනස් විශේෂ ව්‍යාපෘති 6 කට අදාළවය. විවිධ සංවර්ධන ව්‍යාපෘති අවසන් වන බවට සැළසුම් කර තිබෙන කාලරාමුවලදී ම, එම ව්‍යාපෘති අවසන් කිරීමට අදාළ කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගැනීමටත් අවැසි බලතල අමාත්‍යවරයාට ලබා දී තිබේ.
ගෙවුණු සතියේ කැබිනට් තනතුරු මාරුවේ දී ඉහළම ඇවරිය හිමිවූයේ නාමල් රාජපක්ෂට බවට සැකයක් නොමැත. වඩාත් වැදගත් වන්නේ, ජනපතිවරයාට පමණක් දෙවැනි වන පරිදි සියලු සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීමේ බලය, විශේෂයෙන්ම ගම සමග පිළිසදර වැඩසහන වැනි, ඔහුට හිමිව තිබීමයි.
නාමල්ගේ මෙම උසස්වීම අවධානයට ගෙන ඒ අනුව වැඩකටයුතු කිරීමට අනෙක් සියලුම අමාත්‍යවරුන්ට සිදුවනු ඇත. ඔවුන් දියත් කරන වැඩසටහන් සහ ක්‍රියාකාරකම් ආදිය මින් ඉදිරියට ගෙනයා යුතුවනු ඇත්තේ නාමල් හරහාය. මෙම කටයුතු සදහා වෙනම දෙපාර්තමේන්තුවක්, ව්‍යාපෘති කළමණාකරනය සහ අධීක්ෂණය මැයෙන්, පිහිටුවීමටත් නියමිතය.
අනාගත නායකත්වය ඉලක්ක කරගනිමින් නාමල් රාජපක්ෂ සූදානම් කෙරෙමින් පවතින්නේය යන්න සන්ධානයේ හවුල්කාර පක්ෂවල නායකයින්ගේ අදහසයි. මෙසේ ඔහුට නව තනතුරු හා වගකීම් ලබාදීම ඔවුන් දකින්නේ රජයේ විවිධ අංශවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට අත්දැකීම් ලබාදීමට ගන්නා උත්සාහයක් ලෙසය.
නාමල් රාජපක්ෂට ලැබුණු උසස්වීම හැරෙන්නට ගෙවුණු සතියේ සිදුවුණු කැබිනට් තනතුරු මාරුව, කැබිනට් සංශෝධනයක් යැයි අර්ථ දැක්වීමට තරම් හැකියාවක් නොමැත. පැවැති තත්ත්වයට අනුව සිදුකැරුණු වෙනසක් මිස එයින් ගතහැකි අනෙකක් නොමැත.
එහෙයින්ම, මෙතැනදී නැගෙන පැනය වන්නේ තනතුරු මාරුවකට මුහුණදුන් අමාත්‍යවරු අයෙක් හෝ කිහිපදෙනෙක්, ඔවුන්ගේ නව තනතුරුවලදීත්, දුර්වල ලෙස කටයුතු කළහොත් ඔවුන්ට කුමක් සිදුවනු ඇති ද? යන්නය. එම කාරණය සැළකිල්ලට ගැනීමේ දී, මීට පෙර අවස්ථා කිහිපයකදීම කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්ට සිය විෂය පථය යටතේ පැවැති විවිධ ආයතන සහ සමාගම් අත්හැරීමට සිදුවිය.
යන අත වෙනස් කිරීමේ දැඩි වුවමනාවක් පැවැති හෙයින්, මෙම කැබිනට් තනතුරු මාරුව සිදුකෙරුණු බව පැහැදිලිය. මෙය මෙතැනින් නොනවතින බව රජයේ ආරංචි මාර්ග තහවුරු කළේය.
ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය - කොවිද ගුණසේකර