නැවට එරෙහි නඩුව යට ගහන්න අල්ලස්


එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගත්තේ අපගේ මුහුදු සීමාවේදීය. ඉන් සමුද්‍රයට, පරිසරයට සිදුවූ හානිය ගණනය කළ නොහැකි තරම්ය. එහෙත් එසේ යැයි අතපය බැඳ නිහඬව සිටිය නොහැකිය. ඒ සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන සුදුසු වන්දියක් අයකර ගත යුතුය. රටකට ආණ්ඩුවක් තිබිය යුත්තේද එබඳු අවස්ථාවලදී ක්‍රියාත්මක වීමටය.

එහෙත් සිදුව ඇත්තේ කුමක්ද? ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍යවරයා රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා චාමර ගුණසේකර නම් පුද්ගලයකු නෞකාව හිමි සමාගමෙන් ඩොලර් කෝටි 25ක අල්ලසක් ලබාගත් බවට තොරතුරු ලැබී ඇති බවය. ජනාධිපති නීතිඥයකු වන අධිකරණ ඇමැතිවරයා එම ප්‍රකාශය කළේ අල්ලස් වශයෙන් ලබාගත් බව කියන ඩොලර් කෝටි 25ක මුදල තැන්පත් කළ බව කියන බැංකුවේ හා ගිණුම් අංකයද ඉදිරිපත් කරමිනි.

විශ්වාස කළ නොහැකි තරමේ අල්ලස් ගැනීමකි. එහෙත් මේ රට යනු සියලු ආකාරයේ චෞර කප්පිත්තන්ගේ දඩබිමක් බවට පත්ව ඇති රටකි. ඉහළ සිට පහළට තරාතිරම් බේදයකින් තොරව හොරකම් සම්බන්ධ චෝදනා එකපෙළට එල්ලවන රටක් බවට අප රට පත්ව තිබේ. ඒ බව සනාථ කරන පුවතක් අප පුවත්පත ඉකුත්දා  වාර්තා කළේය.

අප පුවත්පත වාර්තා කළ එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ මැදවච්චිය දුම්රිය ස්ථානයේ නවතා තිබූ ඉන්ධන ප්‍රවාහන දුම්රියට දුම්රිය ආරක්ෂක නිලධාරීන් පැය 24 පුරා ආරක්ෂාව ලබාදී තිබියදීත් එහි ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 1510ක් සොරකම් කර ඇති බව කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මැදවච්චිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත හල්යාල මහතාට දැනුම් දුන් බවය.

සොරකම තනි තනිව මෙන්ම සාමූහිකවද කළ හැකි දෙයකි. විසි හතර පැය පුරා රැකවල් ලා තිබූ දුම්රියකින් ඩීසල් ලීටර් 1510ක් තනි පුද්ගලයකුට කළ හැකි හොරකමක් ලෙස සැලකිය නොහැකිය. මෙබඳු මහා පරිමාණ හොරකමකට රංචුවකගේ සහායද බලවන්තයන්ගේ ආරක්ෂාවද ලැබිය යුතුය යන්න ඇසට පෙනෙන සත්‍යය වේ.

උතුරු දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සිදුකරන දුම්රිය එන්ජින් ඇතුළු යන්ත්‍රෝපකරණ සඳහා අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ගැලුම් 5,000 ක ධාරිතාවෙන් යුත් මෙම ඉන්ධන බවුසර් රථය මැදවච්චිය දුම්රිය ස්ථානයේ ස්ථානගත කර තිබියදී රුපියල් ලක්ෂ 57කට අධික වටිනාකමින් යුත් ඩීසල් මෙලෙස සොරකම් කර ඇතැයි කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අධිකරණයට දැනුම් දී ඇති බව ද අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත්  සඳහන් වේ.

සාමනේර භික්ෂුව, නයිපැටවා, ගිනිදැල්ල හා රජ කුමරා ‘කුඩා’ යැයි නොසිතන ලෙස බුදුපියාණෝ අනුදැන වදාළහ. මන්දයත් යම් කලෙකදී උගතමනා බණ දහම් ඇති මහතෙරුන් වහන්සේ නමක බවට පත්වන්නේ අද සාමනේර පොඩි හාමුදුරුවන්ය. නයි පැටවා සතුව තිබෙන්නේද නයි විෂමය. ගිනි දැල්ලට මහා ගිනි ජාලාවක් මැවිය හැකිය. කෙදිනක හෝ රජකමට පත්වන්නේ රජ කුමාරාය. එහෙයින් ඔවුන් කුඩාවට ගෙන සිතීම අනුවණය.

සොරකමද එසේමය. රුපියලක් සොරකම් කළද ඩොලර් කෝටි 25ක් සොරකම් කළද සොරකම සොරකම මය.

සොරකමට එරෙහිව බොහෝ කයිකතන්දර නිරන්තරයෙන් අසන්නට ලැබේ. සොරකමට එරෙහිව විවිධ අණ පනත් ද සම්මත කරගනු ලැබේ. එම අණ පනත් ප්‍රමාණවත් නොවන බැවින් නව අණ පනත් ගෙන එන බව ද කියති. එහෙත් දිනෙන් දින සිදුවන සොරකම්වල අඩුවක් නැත.සමාජයේ අවවරප්‍රසාදිත පුරවැසියාගේ සිට සුදු කරපටිධාරීන් දක්වා පිළිලයක් මෙන් සොරකම ව්‍යාප්ත වී තිබේ. “පොහොසත්වීමට නම් සොරකම් කළ යුතුමය” වැනි මතවාදවලට වැඩි ඉඩක් සමාජය තුළ වේ. සෙත් පිරිතෙන් අවදි වී මහ පිරිතෙන් නින්දට යන රටක් වුවද සොරකම බහුල වෙමින් තිබෙන්නේ එහෙයිනි.

“සිස්ටම් චේන්ජ්” යනුවෙන් ප්‍රදර්ශන පුවරු ඔසවාගෙන උගුර ලේ රහවන තුරු සටන්පාඨ හඬ නැගූ පුරවැසියන් අතර ‘දැක්කොත් බුවා - නැත්නම් එබුවා’ පන්නයේ රංගන ශිල්පීන් කොතෙක් සිටින්නට ඇත්ද. එහෙයින් සොරකමට එරෙහි මාධ්‍ය සංදර්ශනවලින් මේ රට ගොඩ නැගිය නොහැකිය. මැදවච්චිය දුම්රිය ඩීසල් හොරකමෙන් පවා  පැහැදිලි වන්නේ එයමය.

(***)