නිදහස් රටක මවු බස කොයිබටද?


නියම නිදහස නම් චින්තනයේ නිදහස යැයි බොහෝ විට කියනු ලැබේ. චින්තනය නිදහස් වීමට නම් චින්තනයේ මාධ්‍යය නිදහස් විය යුතුය. චින්තනයේ මාධ්‍යය නම් භාෂාවයි. ඒ හෙයින් භාෂාවත් නිදහසත් අතර ඇත්තේ අවියෝජනීය වූ  අන්‍යොන්‍ය සම්බන්ධතාවෙකි. මෙහි ලා අරමුණු කැරෙනුයේ ඉංගිරිසීන්ගේ පාලනයෙන් 1948 දී මෙරට නිදහස ලද හයි කියැවෙන කල්හි සිට මේ කල වන තෙක් පන් සැත්තෑ වසක් සිංහල භාෂා විෂයක වැ සිදුවූ ආවර්තන ආවර්ජනය කිරීමයි.

මෙ කියන ‘දේශපාලන නිදහස’ ලබාගනු වස් යම් හෝ තැතක් දරන ලද නම් එහි ලා භාෂාවද ප්‍රමුඛ සාධකයක් වූ හයි පැහැදිලි වැ පෙනේ. ජාතික වශයෙන් භාෂාවෙහි වැදැගත් කම, ජේම්ස් ද අල්විස්, ජෝන්ද සිල්වා වැන්නවුන් වරින් වර පෙන්වා දුනද එය පදනම් කොටගෙන ජාතිකත්වය බිහි කිරීමේ දර්ශනයක් ගොඩ නඟන ලද්දේ කුමාරතුංග මුනිදාසයන් විසිනි. බස-රැස-දෙස යැයි ‘තෙරුවනක්’ ඔවුන් විසින් ඉදිරිපත් කැරිණි. බස නැඟීමෙන් රැස හෙවත් ජාතියත් රැස නැගීමෙන් දෙස හෙවත් රටත් නැගිය හැකිය යන දර්ශනය එයින් හෙළි කැරිණි. ඉංගිරිසීන්ගෙන් නිදහස ලබාගැනීමේ සටනේදී දේශපාලකයන් ඉටු කළ කාර්ය භාරයට වෙනස් වූ නමුදු ඉතා වැදගත් සේවාවක් කුමාරතුංගයන්ද ඔවුන් ඇරැඹි හෙළ හවුල ද විසින් ඉටු කරන ලදී. භාෂාව පාදක කොටගත් එබඳු ජාතික ව්‍යාපාර ලෝකයේ වෙනත් රටවලද පැවැතුණු බව දක්නා හැකිය.

ඉංගිරිසි පාලනයෙන් නිදහස ලැබීමේ සටන හා අත්වැල් බැඳ ගත්තක් වූයේ රජ බස් සටන යි. ඉංගිරිසිය සතුව පවත්නා රාජ්‍ය භාෂා තත්ත්වය ස්වභාෂාවට දිය යුතුය යන්න මෙහි මුලින් පැවැති අදහස වුවද පසු වැ බලවත් ලෙස නැඟුණේ සිංහලය රාජ්‍ය භාෂාව  කළ යුතුය යන හඬයි. සිංහල, දෙමළ දෙ බස ම රජ බස් කළ යුතුය යන අදහසෙහි මුලින් පිහිටි ඇතැම් දේශපාලනඥයනුදු පසු වැ සිංහල පමණක් යන තැනට එළැඹියේ එයින් ලද හැකි වාසිය සලකමිනි. එ වුවද, හෙළ හවුල වැනි ආයතනද වෙනත් අවංක භාෂා හිතකාමීහුද සිංහලය රාජ්‍ය භාෂාව කරනු වස් පෙරමුණ ගත්හ. 1943 දී සිංහලය රාජ්‍ය භාෂාව කිරීම සඳහා රජයට යෝජනාවක් ඉදිරිපත් විය. හෙළ හවුලේ පසු කලෙක නයු (නායක) වූ ජයන්ත වීරසේකරයන්ගේ බලපෑම එයට බෙහෙවින් හේතු වූහයි කියැවේ.

රජ බස් සටන වඩාත් පණවත් වූයේ 1948 න් පසුවයි. එයද වෙසෙසින්ම 1956 පෙරැළිය මුල් කොටගෙනයි. සිංහල, දෙමළ දෙබසම රජ බස් කිරීම පිළිගෙන සිටි බණ්ඩාරනායකයන් පසුවැ සිංහල පමණක් රජ බස කරන බවට දුන් පිළිනය ඔවුන් ගේ ජය ගැනීමට මහත් වූ හේතුවක් විය. මෙ කල රජ බස් සටන ඉතා ඉහළට නැගුණේ ‘භාෂා පෙරමුණු’ ආදිය පිහිටුවාගෙන ඇතැමුන් ගෙන ගිය ව්‍යාපාරය නිසා යි. තල්පාවිල සීලවංස, බද්දේගම විමලවංස, හේන්පිටගෙදර ඤාණසීහ ආදී බොහෝ භික්ෂූහු මෙහිලා ප්‍රමුඛ වූහ.

අගමැති බණ්ඩාරනායකයන් සිය පිළිනය ඉටු කරමින් 1956 දී සිංහල රාජ්‍ය භාෂාව කළද එය ක්‍රියාත්මක කරනු වස් තවද කලක් ගත විය. එයට හේතු වූයේ රාජ්‍ය භාෂාවක් වීමට තරම් සිංහලය සකස් ව නොතිබීමයි. දේශපාලන ප්‍රතිඥාවක් ඉටු කිරීම් වස් මෙසේ හදිසියෙන් සිංහලය රාජ්‍ය භාෂාව කිරීම ඇතැම් භාෂා හිතකාමීන් විසිනුදු අනුමත නො කැරිණි. 

සිංහලය රාජ්‍ය භාෂාව කිරීමෙහි දේශපාලන භාවිතය කුමක් වුවද එයින් සිංහලයෙහි පාරිහාරික අගය අභිවර්ධනය වූ බව පැහැදිලිව පෙනේ. සිංහලයෙහි කාර්ය සාධනය එයින් බොහෝ ව්‍යාප්ත වන්නට විය. සිංහලය උගතුනට ලැබුණු සමාජීය තත්ත්වයද ඉහළ ගියේය. උසස් අධිකරණවල කටයුතු පවා සිංහලයෙන් කිරීම ඇරැඹිණි. මෙය නව අවදියෙක උදාව ලෙස ඇතැම් විචාරකයන් විසින් දක්වනු ලැබිය.

1955 දී පිහිටුවා තුබූ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව යටතේ රාජ්‍ය භාෂාව වශයෙන් සිංහලය භාවිත කිරීමෙහිලා ඇවැසි කටයුතු සිදුකරන ලදී. රජයේ කටයුතු සිංහලයෙන් කිරීම සඳහා අවශ්‍ය කාර්ය සම්පාදනය, අන්‍ය භාෂාවලින් රචිත අවශ්‍ය ග්‍රන්ථ සිංහලයට පරිවර්තනය කිරීම, පාරිභාෂික වචන සම්පාදනය කිරීම වැනි වැදගත් කටයුතු රැසක් එමගින් ඉටු විය.

මෙහිලා සැලැකිය යුතු තවද කරුණක් නම් සිංහලය රාජ්‍ය භාෂාව වීමට පෙරම, 1953 දී අධ්‍යාපන මාධ්‍යය මාතෘ භාෂාව හෙවත් ස්වභාෂාව බවට පත් කිරීමයි. මෙය ඉතා වැදගත් වූවකි. තම මවුබසින් ඉගැනීමට ඇති අයිතිය මෙයින් තහවුරු කැරිණි. ඉහළපෙළේ පෞද්ගලික විද්‍යාලවල පවා සියබසින් ඉගැන්වීමට පටන් ගැනිණි. ඒ සඳහා ඇවැසි පතපොත අලුතින් ලියැවෙන්නටද පරිවර්තනය වන්නටද විය. විද්‍යාව, ගණිතය වැනි නූතන විෂය ඉගැන්වීම සඳහා ඇවැසි නව වදන් නිපැදැවෙන්නට ද විය. මෙය සිංහලයේද මහත් දියුණුවට හේතු විය. සැබැවින් ම, සිංහලය රාජ්‍ය භාෂාව වීම සිංහලයෙන් අධිකාර බලය ස්ථාවර කරන්නක් වුවද එහි පාරිහාරික, ප්‍රායෝගික ශක්‍යතාව වර්ධනය වූයේ අධ්‍යාපනය විශේෂයෙන් උසස් අධ්‍යාපනය – ස්වභාෂාවෙන් සිදු කිරීම නිසා යි.

සිංහලය මෙරට එකම රාජ්‍ය භාෂාව කිරීම භාෂා හිතකාමීන් ආදීන් ගේ අනවරත අතිමහත් ප්‍රයත්නයක ප්‍රතිඵලයක් වුවද එය නැති කිරීම ඉතා නිශ්ශබ්ද වැ, නිර්බාධවැ කරන ලදී. 1943 දී සිංහලය පමණක් රාජ්‍ය භාෂාව කිරීමට යෝජනා කළ ජේ.ආර්. ජයවර්ධන විසින්ම 1987 දී නිකුත් කළ ගැසට්ටුවක් මගින් සිංහල  දෙමළ දෙකම රාජ්‍ය භාෂා වශයෙනුත් ඉංගිරිසිය සම්බන්ධීකරණ භාෂාව (Linking Language) වශයෙන්ද ප්‍රකාශ කැරිණි.

මෙසේ කළද සැබැවින්ම සිදු වූයේ සිංහල දෙමළ දෙකම යටපත් කොට ගෙන ඉංග්‍රීසිය නැවැත ඉහළට එසැවීමයි. එයට ඇවැසි පසුබිම 1977 දේශපාලන පරිවර්තනයෙන් පසුව අනුක්‍රමයෙන් නිර්මාණය විය. අන්තර්ජාතික පාඨශාලාවල (International Schools) ඉංගිරිසි මාධ්‍යයෙන් ඉගැන්වීමට අවසර ලැබීම මෙහිලා ප්‍රධාන හේතුවක් විය.

සිංහලයේ ප්‍රායෝගික භාවිතයද පාරිහාරික අගයද වර්ධනය වන්නා හා ම එය විධිමත් වැ, විස්කීර්ණ වැ දියුණු වන්නට විය. මෙය 1948 න් පසු එක් වර වූවක් නොව එයට පෙර පටන් අනුක්‍රමයෙන් වෙමින් පැවැතියකි. පුද්ගලයන්ද (හෙළ හවුල වැනි) ආයතනද විසින් මෙහි ලා කැරුණු කටයුතු රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, සංස්කෘතික අමාත්‍යාංශය, ජාතික භාෂා පිළිබඳ අමාත්‍යාංශය වැනි රාජ්‍ය ආයතන මගින් නිල කටයුතු ලෙසිනුදු කරන්නට වීම 1948 න් විශේෂයෙන් 1956 න් පසු අවදියේ සිදු විය.

අක්ෂර ලේඛනය හැඩ ගැස්ම – එ නම්, බැඳි අකුරු, රේඵය ආදිය භාවිතය අනුක්‍රමයෙන් අඩු වීම, සංස්කෘත, පාලි තත්සම ශබ්දවලද ඒ, ඕ දීර්ඝ ස්වර භාවිතය ආදිය. විරාම ලක්ෂණ යෙදීම, පද බෙදීම වැනි කරුණු පෙර පටන් සිදු වෙමින් පැවැතිණ. ඒ අනුව භාෂාව සැලැසුම් කොට යෙදීමේ (Language Planing) ප්‍රයත්න වඩාත් ක්‍රමවත් වැ සිදු වූයේ 1948 න් පසු අවදියේ යැයි කිව හැකිය. මෙහිලා ප්‍රමුඛ වැ සැලැකිය හැකි අවස්ථා කිහිපයක් වෙයි.

පාරිභාෂික ශබ්ද නිර්මාණය ඉන් ප්‍රධාන වුවකි. නව විද්‍යා ශාස්ත්‍ර සිංහලයෙන් ඉදිරිපත් කිරීමේදී අවශ්‍ය වන වචන මෙසේ සාදනු ලැබිණි. මෙයට එල්ල වූ චෝදනාවක් නම් සාමාන්‍ය ජනයාට නොවැටැහෙන සේ සිංහලයේ අනන්‍යතාව මැකෙන සේ සංස්කෘත වචන යොදමින් මේ පාරිභාෂික ශබ්ද සාදා ඇති බවයි. ඒ අනුව, මේ ශබ්ද ජනයාගෙන් ඈත් වන බව ද ඉංගිරිසි වචන භාවිතය ස්ථාවර වන බවද පෙන්වා දෙනු ලැබිණි.

සිංහලයේ පද බෙදීම පිළිබඳ වැ පැවැති ආකූල තත්ත්වය නිරාකුල කරනු පිණිස 1958 දී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් කමිටුවක් පත් කරනු ලැබ සිංහලයේ පද බෙදීම පිළිබඳව පුස්තිකාවක් නිකුත් කරන ලදී. එහෙත් එය ඒ තරම් දුරට භාවිත වූයේ නැත.
1969 දී ඊරියගොල්ලයන් අධ්‍යාපන අමාත්‍යව සිටියදී ඉදිරිපත් වූ සම්මත සිංහල කමිටු වාර්තාව සිංහලය පිළිබඳ ඉතා වැදගත් වූවකි. එයින් එක් සම්මතයක් අනුව භාෂා භාවිතය හැඩ ගස්වන්නට මඟ දැක්විණ. එහෙත් එය පක්ෂග්‍රාහී වුවකැයි ද පුරාතන ව්‍යවහාරයට නැඹුරු වුවකැයිද චෝදනා කරමින් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයන් ඇතුළු පිරිසක් දැක්වූ විරෝධය නිසා එය භාවිත කිරීම නැවැතිණ.

ඉක්බිතිව 1989 දී යළිදු වි.ජ.මු. ලොකුබණ්ඩාරයන්ගේ මෙහෙයවීමෙන් හෙළ හවුල, පිරිවෙන්, විශ්වවිද්‍යාලය ආදී සියලු ආයතනවල ප්‍රාමාණික විද්වතුන්ගේ සහභාගීත්වයෙන් සිංහල ලේඛන රීතිය නමින් මධ්‍යස්ථ, අපක්ෂපාතී, සරල රීති සංග්‍රහයක් සම්පාදනය කරන ලදී. එ වුවද, එයද ප්‍රායෝගික භාවිතයට මුල් වූ ජාතික අධ්‍යාපන ආයතනය වත් එය භාවිත කළහයි කිව නොහැකිය.

1990 දශකයේදී භාෂාභිවර්ධන සංගමය, සංස්කාරකවරුන්ගේ සංගමය යන තාවකාලික සංවිධානවල මෙයෙවීමෙන් නිර්දේශිත භාෂා රීති, සිංහලයේ වචන වෙන් කිරීම යනුවෙන් කුඩා රීති මාලා සම්පාදනය වුවද ඒවා එතරම් අවධානයට පාත්‍ර නොවීය. ඒ සඳහා දායක වූ වියතුන් වත් ඒ රීති සපුරා අනුගමනය කළ බවක් නොපෙනේ.

ගෙවුණු පස් සැත්තෑ වසරෙක කාලයේදී භාෂාව විෂයක වැ ඇති වූ ප්‍රධාන මතවාදයක් නම් කථන ව්‍යවහාරය (කට වහර) ලේඛනය සඳහා යොදා ගත යුතුය යන්නයි. කට වහරේ වියරණයත් වදන් වැළත් දෙකම ලේඛනය සඳහා යොදාගත යුතුයැයි ඇතැමුන් යෝජනා කළ ද ම.ව. සුගතපාල ද සිල්වා වැනි ඇතැමුන් යෝජනා කළේ කට වහරේ වියරණය පමණක් ලේඛනයට යොදා ගත යුතුය යනුයි. ජන සම්මත සිංහල ව්‍යාපාරය නමින් මෙ සඳහා ව්‍යාපාරයකුදු ඇති විය. සිරිපාල ලීලාරත්න, චාල්ස් ගොඩකුඹුර, යක්කඩුවේ ප්‍රඥාරාම ස්වාමීන් ආදීහු එහි ප්‍රමුඛයෝ වූහ. සෙනරත් පරණවිතාන, මාර්ටින් වික්‍රමසිංහ වන් වියතුන්ගේ සහයද එයට ලැබුණත් ඒ වැඩි කල් පැවැතියක් නොවීය.

සිංහලයේ ස්වර සංකේතවත් කිරීම පිණිස ව්‍යඤජනාක්ෂර සමඟ යොදන පිලි, හල් ලකුණ ආදිය එක් ස්වරූපයකට ගෙන ඒමේ ප්‍රයත්නද මෙකල්හි සිදු විය. එහි ලා ප්‍රමුඛ වූවේ අජිත් තිලකසේනයන්ගේ ව්‍යාපාරයයි. මුලදී කට වහර ලිවීමට ගත යුතු යැයි කියුවද එහි අසාර්ථකභාවය වටහාගත් ඔහු මැදි වහර නමින් වහරක් ඉදිපත් කළද එයද සාර්ථක වූ බව නොපෙනේ.

සම්භාව්‍ය සිංහල ව්‍යාකරණ රීති නූතන සිංහලය සඳහා ප්‍රමාණවත් නොවන බව පවසමින් නව ව්‍යාකරණ ග්‍රන්ථ සම්පාදනය සඳහා මහාචාර්ය ජේ.බී. දිසානායකයන් වැනි විද්වත්හු උත්සුක වූහ. සම්භාව්‍ය සිංහලය අනුදන්නා විද්වන්ගේ දෝෂ දර්ශනයටද ඒ බඳු ප්‍රයත්න භාජන වීය. සිංහල ශබ්ද කෝෂ සම්පාදනයේ නිමාවක් දැකිය හැකි වීමද මෙකල්හි භාෂා විෂයක වැ වැදගත් සිදුවීමෙකි. 1927 දී ඇරැඹි මේ කාර්යය නිමා වූයේ 1991දීය. එහිදු නොයෙක් අඩු තැන් හා වැරැදි ඇතැයි ඇතැම්හු පෙන්වා දෙති.

මුද්‍රණ, විද්‍යුත් මාධ්‍යවල වර්ධනයද පරිගණකය වැනි තාක්ෂණික උපකරණවල ඇති වීමද සිංහල භාෂාව විෂයෙහිලා වෙනස් කම් සිදුවීමට විශේෂයෙන් හේතුවිය. ඒ වුවද එ ගැන වැඩිදුර විමැසීමට මෙහිලා තැත් කරනු නොලැබේ. මෙහිලා විමර්ශිත කාලච්ඡේදය මුළුල්ලේ සිංහලය උදෙසා අඛණ්ඩව කාර්ය සම්පාදනයෙහි යෙදුණු එකම සංවිධානය ලෙස හෙළ හවුල හැඳින්විය හැකිය. එමගින් සිංහලයේ ප්‍රගතිය උදෙසා විශිෂ්‍ට සම්ප්‍රදානයන් සිදු කැරිණි.

වර්තමාන සිංහලය මුළුල්ලෙහි ගෙන බලන කල්හි පෙනෙනුයේ සතුටු විය හැකි තතුවක් නොවේ. සිංහලය තවදුරටත් නාමික රාජ්‍ය භාෂාවක් වුවද අනුක්‍රමයෙන් සියලු කටයුතු ඉංගිරිසියට හැරෙමින් පවතී. නීති විද්‍යාලයයේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් ඉංගිරිසියට හැරැවීම, ප්‍රාථමික පංක්තිවල සිට ඉංගිරිසි මාධ්‍යයෙන් ඉගැන්වීමට ඉඩ ලැබීම වැනි කරුණු එහි ඉතා මෑත නිදසුන්ය. අනාගතය වඩාත් අඳුරු විය හැකි බවට ඒ මනා ලකුණුයි.

ප්‍රායෝගික වැ සිංහල භාවිතයද අතිශය ශෝක ජනක තත්ත්වයෙක පවතී. නිවැරැදි වැ වැකියක් ගළපා ගැන්ම දැන් බොහෝ උගතුන් හට පවා දුෂ්‍කර සේ පෙනේ. සිතෙහි පහළ වන අදහස් නොවරදවා දැක්වීම සඳහා අර්ථාන්විතවැ පද ගළපා ගැන්ම කළ හැකි පිරිස අනුක්‍රමයෙන් හීනවී යති ‘කෙසේ කියුවත් අරුත වැටැහේ නම් ඒ පමණි’ යි දැක්වූ මතයේ ප්‍රතිඵල වශයෙන් අද අරුතද වටහාගත නොහැකි වාක්‍ය සම්පාදනය සඳහා සිංහලය යෙදේ.

අන්ධකාරය ඉතා බලවත් හෙයින් ආලෝකය ලැබීමටද බලවත් ප්‍රයත්නයක් කළ යුතුය. ඒ සඳහා උත්සුක වනු පිණිස වත් මේ නිදහස් සංවත්සරය යොදා ගැනුණ හොත් මෙයින් යම් ඵලයක් ලැබුණු සේ සැලැකිය හැකිය.

ශ්‍රීනාත් ගණේවත්ත