පසුගිය සතියේ සෙනසුරාදාට යෙදී තිබුණු නිදහස් උත්සවය වර්ජනය කරන ලෙස ඇතැම් පිරිස් ප්‍රසිද්ධ ජනමාධ්‍ය මගින්ද සමාජ මාධ්‍ය ඔස්සේ ද මහජනතාවගෙන් ඉල්ලා සිටියෝය. තවත් පිරිසක් ‘පෙබරවාරි 4වැනි දින නිදහස් උත්සවය පවත්වන හැටි බලාගන්න පුළුවන්’ යැයි තර්ජනය කරන ආකාරය ද දැකගත හැකි විය.
රිමාන්ඩ් භාරයෙන් නිදහස් කෙරුණ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුවකු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ පෙබරවාරි මස 4 වැනි දින කොළඹ නිදහස් සැමරුමට ඉඩ නොතබන බවය. එදින විරෝධය පෑම සඳහා දස දෙසින් කොළඹට පැමිණෙන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ඒ අතර තවත් පිරිසක් නිදහස් උත්සවයට රුපියල් මිලියන 200ක් වියදම් කිරීම මේ අවස්ථාවේ නොකළ යුතු දෙයක් බවත් ජනතාව පීඩනයට පත්ව සිටින අවස්ථාවක ඖෂධ සහ කිරිපිටි වැනි දේ මිලදී ගැනීම සඳහා එම මුදල් යෙදවිය යුතුව ඇති බවත් ප්‍රකාශ කළහ. නිදහස් උත්සවයේ සජීවී විකාශය පැවැත්වෙන අවස්ථාවේදීත් ජනාධිපතිවරයා නිදහස් උත්සවය වෙනුවෙන් ජාතිය අමතන අවස්ථාවේදීත් රූපවාහිනී සේවා නැරඹීමෙන් වැළකී සිටින ලෙසත් ඉල්ලා සිටියහ. උතුරේ ඇතැම් දේශපාලන පක්ෂ ද නිදහස් උත්සවය වර්ජනය කරන බවත් විරෝධතා පවත්වන බවත් ප්‍රකාශ කර තිබුණි.
විපක්ෂ නායකවරයා මෙවර නිදහස් උත්සවයට සහභාගී නොවන බව ප්‍රකාශ කළේය. උතුරේ ද්‍රවිඩ දේශපාලන පක්ෂ ද ඒ ආකාරයටම ප්‍රකාශ නිකුත් කළේ උතුරේ ප්‍රශ්න විසඳීමට රජය කටයුතු නොකරන බව ප්‍රකාශ කරමිනි. කාදිනල් තුමන් ද කතෝලික පල්ලිය ද නිදහස් උත්සවයට සහභාගී නොවන බව ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කර තිබුණි.
මේ සියලු අභියෝග මැද 75 වැනි ජාතික නිදහස් සමරු උළෙල පෙබරවාරි 04වැනි දින ගෝල්ෆේස් පිටියේදී නිදහසේ පැවැත්වුණි. ආරාධිතයන් සඳහා ද සාමාන්‍ය ජනතාව සඳහා ද වෙන්කර තිබූ සියලු ආසන පිරී ගොස් තිබුණි. ජපානය ඇතුළු රටවල් අටක අමාත්‍යවරුන් ද පොදුරාජ්‍ය මහලේකම්වරිය ද උත්සවයට සහභාගී වූහ. යාපනයේ සමහර දේශපාලන පක්ෂ නිදහස් සැමරුමට විරුද්ධව උද්ඝෝෂණය කළ ද ඊට වඩා විශාල පිරිසක් සහභාගී වූ නිදහස් සැමරුම් පෙරහැරක් උතුරේ පැවැත්වුණි.
නිදහස් දිනයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර එළඹෙන්නේ 75 වැනි නිදහස් සංවත්සරය බැවින් එය අභිමානවත්ව පැවැත්විය යුතු බවත් එහෙත් එය චාම් විය යුතු බවත් ප්‍රකාශ කළේය. රාජ්‍ය ආයතන විසින් සකස් කර තිබූ වියදම් ඇස්තමේන්තු ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට හැකි තාක් අවම වියදමකින් උත්සවය පවත්වන ලෙස නියෝග කළේය. මිලියන 200ක් ඇස්තමේන්තු කර තිබුණ ද වැය වී ඇත්තේ ඊට වඩා අඩු මුදලක් බව ද එම වියදම පිළිබඳ විස්තර ප්‍රසිද්ධියට පත් කරන ලෙස ද ජනාධිපතිවරයා උත්සවයෙන් පසු නියෝග කර ඇතැයි වාර්තා වේ.
වෙසක්, පොසොන්, සිංහල අලුත් අවුරුද්ද, දීපාවලී, රාමසාන් සහ නත්තල මෙන්ම නිදහස් උත්සවය ද ජාතියේ විවිධත්වයත් ජාතික අනන්‍යතාවත් පිළිඹිබු කරන උත්සව වේ. නියමිත කාල පරිච්ඡේදවල දී ඒ ඒ උත්සව ඒ ඒ ජන කොටස් විසින් සමරන අතර නිදහස් දිනය සියලුම ජාතීන් විසින් එකමුතුව සැමරේ.
පසුගිය වසරේ මැද භාගයේ සිට ශ්‍රී ලාංකිකයන්ට තරමක නිදහසකින් ඒවා සමරන්ට හැකි විය. ජනවාරි පළමුවැනි දා හෝ නත්තල් දින හෝ සිංහල අලුත් අවුරුද්ද දින හෝ ඒවා සැමරීමෙන් වළකින ලෙස හෝ මුදල් වියදම් කිරීමෙන් වළකින ලෙස හෝ කිසිවෙක් කියන්නේ නැත. එක්ව ද වෙන් වෙන්ව ද සැමරෙන ජාතික දින සහ ජාතික උත්සව පවතින වාතාවරණයට ගැළපෙන ලෙස සැමරීම ජාතියේ වගකීමකි. කවර තත්ත්වයක් යටතේ වුවද හැකි සෑම අවස්ථාවකදීම ඒවා සමරති.
නිදහස් දිනය වෙනුවෙන් ඇස්තමේන්තු කර තිබූ මුදල රුපියල් මිලියන 200කි. එය හැකි තාක් අඩු කරන ලෙස ජනාධිපතිවරයා විසින් දන්වා තිබුණි. එහෙත් ළඟදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අයවැය ලේඛනය මගින් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන දස දහසකි. මුළු වියදම මීට වඩා අඩු විය හැකි යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබුණ ද එය මීට වඩා බෙහෙවින් වැඩි විය හැකි බව දැන් වාර්තා වී තිබේ.
ඡන්ද ප්‍රකාශන සහ පත්‍රිකා මුද්‍රණයට පෙරට වඩා විශාල මුලක් වැය වේ යැයි අපේක්ෂා කෙරේ. මැතිවරණයේ දී පොලිසියේ වියදම් වෙනුවෙන් පසුගිය මහ මැතිවරණයේ දී වැය වූ මුදල රුපියල් මිලියන 853කි. එහෙත් මෙම මැතිවරණය සඳහා රුපියල් මිලියන 2800ක් වැය වන බවට පොලිසිය විසින් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබුණි. ඡන්දයේ මූලික වියදම සඳහා මුදල් ලබා දෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් කරන ලද ඉල්ලීමට භාණ්ඩාගාර ලේකම්රයා විසින් ප්‍රතිචාරයක් ලබා නොදුනහොත් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කරන බව එම සභාපතිවරයා පෙරේදා (06) ප්‍රකාශ කර තිබුණි. රජයේ වියදම් යන්තමින් පියවා ගැනීමට පමණක් රජයේ ආදායම ප්‍රමාණවත් වන අවස්ථාවක මුදල් ලේකම්වරයා මැතිවරණයට මුදල් ලබා දෙන්නේ කෙසේ ද යන්න විශාල ගැටලුවකි.
මෙම ඡන්දය කල් දැමීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ හානියක් වේයැයි කවරකු හෝ සිතන්නේවත් විශ්වාස කරන්නේවත් නැත. ප්‍රාදේශීය සභා ක්‍රමය හඳුන්වා දුන්නේ 1991 වසරේදීය. එදා සිට මේ දක්වා පැවත්වීමට නියමිතව තිබූ මැතිවරණ වලින් නියමිත දිනට පවැත්වූයේ එක මැතිවරණයක් පමණි. අනෙක් සියලුම ප්‍රාදේශීය සභා මැතිවරණ නියමිත දින නොපවත්වා ඒවා කල් දමා තිබුණි. ඡන්ද ප්‍රකාශන මුද්‍රණය නවත්වා පාසල් ළමයින්ට අවශ්‍ය අභ්‍යාස පොත් මුද්‍රණය කර නොමිලේ බෙදා හරින ලෙස නිදහස් උත්සවයට වියදම් නොකරන ලෙස ඉල්ලා සිටි කිසිවකුත් දැන් ඉල්ලා සිටින්නේ නැත.
සමහර දේශපාලන පක්ෂ විසින් පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රසිද්ධ රැස්වීම් පැවැත්වීම දැන් ආරම්භ කර තිබේ. අලංකාර වේදිකා, දිදුලන ධජ පතාක, නේක වර්ණයෙන් විසිතුරු වී ඇති පෝස්ටර් හා බැනර් ඔබට දැකගත හැකි වේ.
බත් පැකට් සහ මුදල් දී සෙනග ගෙන්වන්නේ නැතැයි ප්‍රකාශ කරන පක්ෂ පවා මෙම රැස්වීම්වලට රැස්වීම් පැවැත්වෙන ස්ථානයේ සිට ඉතා ඈත ප්‍රදේශවලින් බස්වලින් සෙනග ගෙන්වන ආකාරය සුලභ දර්ශනයක් වී ඇත. පැවැත්වීමට නියමිතව ඇත්තේ පළාත් පාලන මැතිවරණයයි. මැතිවරණය පැවැත්වෙන්නේ ඒ ඒ කොට්ඨාස මට්ටමිනි. එවන් මැතිවරණයක් සඳහා මේ සා විශාල බස් ප්‍රමාණයකින් සෙනඟ ගෙන්වීමට ඇති අවශ්‍යතාව කුමක්ද? නිදහස් උත්සවයේ වියදම පිළිබඳව වැළපෙමින් ආඩාපාලි කියන පක්ෂවලට කොට්ඨාස මට්ටමින් ඡන්දය පැවැත්වෙන ප්‍රාදේශීය මැතිවරණයේදී රැස්වීම් සහ ප්‍රචාරක කටයුතුවලට වියදම් කරන මුදල් අඩු කර ඒවා පීඩනයට පත්ව ඇති ජනතාවට සහනයක් සැලසෙන කටයුතුවලට යොදා ආදර්ශයක් දිය නොහැකිද?
මැතිවරණය සඳහා අපේක්ෂකයන් හා පක්ෂ විසින් වැය කරනු ලබන වියදම් සීමා කිරීම සඳහා වන පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබීය. විපක්ෂ දේශපාලන පක්ෂ ප්‍රකාශ කළේ රජය විසින් පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා මෙම පනත ගෙන එන බවය. එබැවින් සමහරක් පක්ෂ මෙම මැතිවරණය සඳහා එය බල නොපාන ආකාරයේ සංශෝධනයක් ඉදිරිපත් කරනු ලැබීය. එහෙත් රජය එය පිළි නොගත් අතර මෙම මැතිවරණයට ද බලපාන ආකාරයට එය සම්මත කර ගත්තේය. එම පනත උපයෝගී කරගෙන ඡන්ද කල් දැමීමක් සිදු නොවුණි. දශක කිහිපයක් තිස්සේ මෙවැනි පනතක් මගින් ඡන්ද වියදම් පාලනය කිරීමට සහ නියාමනය කිරීමට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත.
කිසිදු රජයකට ඒ සඳහා අවශ්‍ය පනතක් ගෙන විත් සම්මත කිරීමට හැකි වූයේ ද නැත. ඡන්දය කල් දැමීමට ගෙන එනු ලබන උප්පරවැට්ටියක් ලෙස හැඳින්වුව ද එවැනි අරමුණකින් තොරව හුදෙක් වියදම් නියාමනය කිරීමම අරමුණු කරගත් පනතක් බව දැන් පැහැදිලිය. එම පනත සම්මත නොකළේ නම් මෙම මැතිවරණය වෙනුවෙන් පක්ෂ සහ අපේක්ෂකයන් තරගයට මුදල් වියදම් කරන ආකාරය දැක ගැනීමට අපට ඉඩ තිබුණි.
ආර්ථික අර්බුදයෙන් හෙම්බත්ව සිටින අවස්ථාවක නිදහස් උත්සවය වෙනුවෙන් රුපියල් කෝටි 20ක් වැය කිරීමට විරෝධය දක්වන ඇතැම් පක්ෂවලට එමඟින් හොඳ සටන් පාඨයක් නිර්මාණය කරගත හැකියැයි සිතූ බවක් පෙනේ. සමාජ මාධ්‍යවල සැබෑ ගිණුම් හිමියන්ට මෙන්ම ව්‍යාජ ගිණුම් (Fake account) රාශියක් පවත්වාගෙන යන දේශපාලන පක්ෂවලට සහ කණ්ඩායම්වලට ද එම ව්‍යාපාරයෙන් හොඳ පාඩමක් ලැබුණා යැයි සිතමි.
රටේ සැබෑ තත්ත්වය ජනතාවට නිවැරැදිව හෙළි කිරීමේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතී. අර්බුදය හමුවේ කළ යුතු කැප කිරීම් කවරාකාර විය යුතු ද යන්න මහජනතාව හඳුනාගෙන සිටිති. අත මිට සරු වූව ද නොවූව ද අලුත් අවුරුද්දට ළිප ගිනි දල්වා කිරි උතුරවා, කිරිබතක් උයා, අනුභව කර, වැඩ අල්ලා, ගනුදෙනු කර අවුරුද්ද සමරති. ඒ තම ගෘහයට සහ තම පවුලට සෞභාග්‍ය කැන්දන් ඒමටත් තම පවුලට ආශිර්වාද සහ සතුට ලබා දීමටත්ය. නිදහස් උළෙලට අවමන් කළේ ශ්‍රී ලාංකික සංස්කෘතියේ ඒ උතුම් ලක්ෂණය හඳුනා ගැනීමට නොහැකිව ඇති ගන්ධබ්බයන්ය.
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර