ඔහු ලාංකේය සිනමාවේ සක්‍රීය ලෙස අඛණ්ඩව චිත්‍රපට නිර්මාණය කරන අධ්‍යක්ෂවරයා බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඔහුගේ නිර්මාණ එකිනෙකට වෙනස් අතර ඒ සෑම නිර්මාණයක්ම ප්‍රේක්ෂකයා ආකර්ෂණය කර ගැනීමට සමත්වී තිබේ. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ද ප්‍රේක්ෂක ආකර්ශණය දිනාගත් ඔහු අද දවසේ දී මෙරට සිනමාවේ කාගේත් කතාබහට ලක්වූ සිනමාකරුවා බවට පත්වී තිබෙන්නේ ඔහුගේ සිනමා නිර්මාණයක් එනතුරු ප්‍රේක්ෂකයා බලා සිටින බව දන්නා හෙයිනි. ඔහුගේ ‘ගින්දරී -3’ චිත්‍රපටය තිරගත වනතුරු බලා සිටින ප්‍රේක්ෂකයාට ඔහු දැන් වෙනස්ම ආකාරයේ නිර්මාණයක් ඔවුන්ට ලබාදීමට බලාපොරොත්තු වේ. ඒ ඔහුගේ 25 වැනි සිනමා නිර්මාණය එළිදැක්වීමටය.
මේ සිනමාකරුවා උදයකාන්ත වර්ණසූරියයි. ඔහු වෙනස් මගක යමින් කොරෝනා වසංගතය හමුවේ ඉතා ඉක්මනින් නිමකළ ‘ගිනිමල් පොකුරු’ චිත්‍රපටය අද (03) සිට මෙරට සිනමා ශාලා රැසක තිරගත කිරීමට කටයුතු යොදා තිබේ. අවුරුදු 18ට වැඩි අය වෙනුවෙන් නිර්මාණය කළ මේ චිත්‍රපටය ඔහුගේ සිනමා ගමන් මගේ එක් හැරවුමක් ලෙස හැඳින්වේ. ඒ නිසාවෙන්ම ඔහු සමග වත්මන් සිනමාව ‘ගිනිමල් පොකුරු’ චිත්‍රපටය හා සිනමාව කර්මාන්තයක් වීම ගැන කතා කළෙමු. මේ එම කතාබහේ ලිඛිත සටහනයි.
♦ • කොරෝනා වසංගතයෙන් පසු සිනමා ශාලා විවෘත වුවද තවමත් ප්‍රේක්ෂකයින් පැමිණීම අඩුවක් තිබිය දී ‘ගිනිමල් පොකුරු’ මුදා හරිනවා. මේ අභියෝගය ඔබ බාර ගත්තේ කුමන හේතුවක් නිසාද?
මේ කොරෝනා වසංගත අර්බුදය නිසා මෙරට සිනමා ප්‍රේක්ෂකයන් ඇතුළු ජනතාව දැන්නම් හොඳටම හෙම්බත් වෙලා. ජන ජීවිතය අඩාල වෙලා. අපගේ සිනමා කර්මාන්තයටත් මෙම ගැටලු දැඩිව බලපා තිබෙනවා. රටේ තත්ත්වය අයහපත් නිසා නිෂ්පාදකවරු බොහෝ පිරිසක් ලක්ෂ කෝටි ගණන් මුදල් වියදම් කර තැනූ චිත්‍රපට ප්‍රදර්ශනය කරගත නොහැකිව ප්‍රශ්න රාශියක් මැද කල් ගෙවනවා. හොඳ ආකර්ක්‍ෂණීය චිත්‍රපට නොමැතිව සිනමාශාලා හිමියනුත් අර්බුද රැසක ගිලී සිටිනවා. ඒ වගේම සිනමා ශාලාවකට ගොස් හොඳ සිංහල චිත්‍රපටයක් බලා සිනමා ආශ්වාදයක් ලබා ගැනීමේ ආශාවකිනුත් සිටිනවා.
මා ‘‘ගිනිමල් පොකුරු’’ චිත්‍රපටය ඉක්මනින් නිර්මාණය කළේ මේ සියලු කරුණු ගැන සිතාමතාමයි. සිනමා ශාලා විවෘත වුවද ඒවාට ප්‍රේක්ෂකයින් පැමිණීමේ අඩුවක් තිබෙනවා තමයි. එහෙත් කිසියම් සුවිශේෂී චිත්‍රපටයක් සිනමා ශාලා වෙත මේ අවස්ථාවේ මුදා හැරෙන්නේ නම් බලාපොරොත්තු නොවූ අයුරින් ප්‍රේක්ෂක පිරිසක් සිනමා ශාලා වෙත එන්නට පුළුවන්. එවැනි සුවිශේෂී චිත්‍රපටයක් ලෙස ගිනිමල් පොකුරු මා හඳුන්වන්න කැමතියි.
• එම සුවිශේෂිත්වය මෙම චිත්‍රපටයේ ඇතැයි කියන සරාගී දර්ශනද?
සිනමාව හැර ගිය සුපුරුදු ප්‍රේක්ෂකයා සිනමා ශාලාවලට යළි ගෙන්වා ගැනීමයි අධ්‍යක්ෂකවරුන්ටත් නිෂ්පාදකවරුන්ටත් අද තිබෙන ලොකුම අභියෝගය. සිනමා ප්‍රේක්ෂකයා වෙනත් දෘශ්‍ය මාධ්‍යයන්ට ඇබ්බැහි වීම තුළ සාමාන්‍ය අන්දමේ චිත්‍රපටයකින් මේ අභියෝගය ජය ගැනීමට අද කොහෙත්ම බැහැ.
ලිංගිකත්වය යනු අපගේ ජීවිතය හා බැඳුණු සාමාන්‍ය සංසිද්ධියක්. එය චිත්‍රපටයක් හෝ වෙනත් නිර්මාණයක් තුළ දකින විඳින ආකාරය තම තමන්ගේ රුචිකත්වය මත සිදුවන දෙයක්. තම තමන්ගේ රුචිකත්වය මත සිදුවන සරාගී දර්ශන කතාවට බද්ධ එක් කාරණාවක් පමණයි. මෙය රැඟුම් පාලක මණ්ඩලයෙන් වැඩිහිටියන්ට පමණක් ලෙස වර්ගීකරණය කරන ලද චිත්‍රපටයක්. එයත් මේ මොහොතේ එක්තරා විදියක සුවිශේෂ කාරණයක් තමයි.
• රැඟුම් පාලක මණ්ඩලයේ හා වෙනත් අයගේ බලපෑම් මත මෙම චිත්‍රපටයේ තිබූ සමහර දර්ශන ඔබ ඉවත් කළ බවක් අසන්නට ලැබෙනවා. එය ඇත්තක් ද?
කාගේ හෝ ඉල්ලීමකට එක් දර්ශනයක්වත් මා ඉවත් කළේ නෑ. චිත්‍රපටය කපා කොටා දමන්නට යැයි කියන තරම් බාල තීරණයකට සභාපතිනිය ඇතුළු රැඟුම් පාලක මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් පෙළඹුණේ නැහැ ඔවුන් බුද්ධිමත් තීරණයක් ගෙන තිබුණා. මෙම කතාවේ ඇති ප්‍රබල බව සියලුම සරාගී දර්ශන ඉක්මවා යනවා කියා මා සිතනවා. මෙය සත්‍ය සිදුවීම් මත පදනම් වූ කතාවක්. මීට විසි වසරකට පමණ පෙර මෙරට සිදුවූ සැබෑ සිද්ධියක්.
• මේ චිත්‍රපටයට පසුවත් එවැනි සරාගී කතා රැගත් චිත්‍රපට හැදෙමින් පවතින බවක් අසන්නට ලැබෙනවා. යළිත් කාම රැල්ලක් චිත්‍රපට ක්ෂේත්‍රයට එක් වෙන්නද මේ හදන්නේ?
සරාගී දර්ශන ඇතුළත් වූ පමණින් එය බාල නිර්මාණයක් වෙන්නේ නැහැ. විශ්ව සිනමාවේත් එවැනි සරාගී දර්ශන ඇතුළත් ගුණාත්මක චිත්‍රපට කොතෙක් තිබෙනවාද? අලුත් රැල්ලක් හදන බලාපොරොන්තුවෙන් නෙමෙයි මම ‘ගිනිමල් පොකුරු’ නිර්මාණය කළේ. මා මීට ඉහත කළ සරාගී දර්ශන ඇතුළත් ‘‘බහුභාර්යා’’ චිත්‍රපටය මෙයට හොඳ උදාහරණයක්. මා එම චිත්‍රපටය නිර්මාණය කළේ නිසරු සිනමා රැල්ලක් පැන නැගී තිබූ කාලයක. මා දන්නා තරමින් ‘‘බහුභාර්යා’’ චිත්‍රපටයෙන් පසු එම කාම රැල්ල නැවතුණා. හොඳ වැඩිහිටි චිත්‍රපටයක් තැනීම ඉතාමත් ආයාසකර නිර්මාණශීලී කාර්යයක්. අභියෝගයක්.
• කොතෙක් හොඳින් සතුටින් චිත්‍රපටයක් නිර්මාණය කළත් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම ඊට හාත්පසින්ම වෙනස් වෙහෙසකාරී ක්‍රියාදාමයක්. ඔබ ඒ අභියෝගය ජය ගත්තේ කෙසේද?
මේ මගේ විසිපස් වැනි චිත්‍රපටය. මට නම් කෙදිනකවත් මගේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම අභියෝගයක් වුණේ නැහැ. ඒත් අද වෙන අභියෝගයක් තිබෙනවා. ඒ තමයි මෑත කාලයේ සිනමාව හැර ගිය බොහෝ ප්‍රේක්ෂකයන් හා වසංගත තත්ත්වය නිසා සිනමාශාලාවලට පැමිණීමට දෙගිඩියාවෙන් පසුවන ප්‍රේක්ෂකයන් යළිත් සිනමා ශාලාවලට ගෙන්වා ගැනීම.
තවමත් රට කිසියම් අයහපත් තත්ත්වයක තිබෙන නිසා වියදම් දරා ආකර්ෂණීය චිත්‍රපට තැනූ බොහෝ නිෂ්පාදකවරුන් තම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට මැලිකමක් දක්වනවා. ඒ නිසා මේ මොහොතේ ‘ගිනිමල් පොකුරු’ චිත්‍රපටය සමග මම ඉදිරිපත්වීම ගැන ප්‍රදර්ශකයින් හා සිනමා මණ්ඩල සතුටට පත් වී සිටනිවා. වැසී තිබූ සිනමා ශාලා කිහිපයක් මෙම චිත්‍රපටය සමග යළි විවෘත වී තිබෙනවා.
අප මොන දේ කළත් අවසානයේ දී චිත්‍රපටයක වෙළෙඳ සාර්ථකත්වය රඳා පවතින්නේ ප්‍රේක්ෂකයන්ගේ නැරඹුම් ප්‍රතිචාර මතයි. මේ චිත්‍රපටය එවැනි සාර්ථක්තවයක් ලැබුවහොත් එයින් සිනමා කර්මාන්තයට කිසියම් ප්‍රබෝධයක් ලැබේවි. තම චිත්‍රපට සමග පෙළ ගැසී සිටින අනෙකුත් නිෂ්පාදකවරුනුත් ප්‍රදර්ශනය සඳහා දිරිමත් වේවි.
• සිනමාව කර්මාන්තයක් ලෙස පසුගියදා කැබිනට් අනුමැතියකින් පිළිඅරන් තිබුණා. මේ තත්ත්වය සිනමාකරුවකු ලෙස ඔබ දකින්නේ කෙසේද?
සිනමාව කලාවක් මෙන්ම කර්මාන්තයක් ලෙසයි ලෝකය පිළිගෙන තිබෙන්නේ. පසුගිය කාලය පුරාම සියලු තීරණ අරගෙන තිබෙන්නේ සිනමාව කලාවක් ලෙස සලකමින් පමණයි. සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගන්නා ලෙස දීර්ඝ කාලයක් තිස්සේ සිනමා ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්වයන් අරගලයක යෙදෙමින් සිටියා. අද දවසේ එය ඉටුවී තිබීම ඇත්තෙන්ම සතුටට කාරණයක්. මෙයින් කර්මාන්තයකට ලැබෙන සහන රැසක් සිනමාවටත් ලැබෙනවා. එය අපේ සිනමාවේ දියුණුවට විශාල රුකුලක්. නොයෙකුත් හැල හැප්පීම් මැද්දේ අද දවසේ ගෙවී යන අපගේ සිනමාවේ සැබෑ දියුණුවක් ලැබිය හැක්කේ ගතානුගතික හා රාජ්‍ය බැඳීම්වලින් බැහැරව නිදහසේ වැඩෙන්නට ඉඩ හැරීමෙන් පමණයි කියා මා සිතනවා. එමෙන්ම එය සිදුවිය යුත්තේ රාජ්‍ය නියාමනයකට යටත්වයි.
සංවාද සටහන සමන්ත යහම්පත්
ගිනිමල් පොකුරු චිත්‍රපටයේ අධ්‍යක්ෂක උදයකාන්ත වර්ණකුලසූරිය