ගෝලීය වශයෙන් බලපවත්නා නියං කාලගුණය හේතුවෙන් වසරකට මිලියන 55 ක පමණ රටවැසි පිරිසක් පීඩාවට පත් වෙති. එසේම ලෝක ජනගහනයෙන් සියයට 40 ක පිරිසක් ජලය හිඟකම හේතුවෙන් පීඩාවට පත් වෙති. මේ හේතුවෙන් නියඟය විවිධ ආර්ථික හා සාමාජීය ගැටලු නිර්මාණය කරන සාධකයක් බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකාවට මේ වන විට බලපා ඇති වැසි රහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කෘෂිකාර්මික, කාර්මික සහ සේවා යන අංශවල සිදුව ඇති හානිය පිළිබඳ නිශ්චිත සංඛ්‍යා දත්ත ඉදිරිපත් කිරීම අසීරුය.
මන්ද, මේ දක්වා ඊට අදාළ ගණනය කිරීම් කර නොමැති බැවිනි. එහෙත් මීට පෙර ඇති වුණු නියං තත්ත්වලදීත් මෙරට ආර්ථිකයට දැඩි අයහපත් බලපෑම් ඇති විය. සෘජු හා වක්‍ර හානි වශයෙන් කොටස් දෙකක් යටතේ ඒ ගැන කතා කළ හැකිය.
කෘෂිකර්මාන්තය, ජල විදුලි නිෂ්පාදනය, ආහාර සුරක්ෂිතතාව සහ සංචාරක හා විනෝද කටයුතු ක්ෂේත්‍රය යනා දී අංශවලට වන බලපෑම මෙන්ම ගොවීන්ගේ ආදායම් පහළ යෑම වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ යෑම සහ විවිධ රෝග ව්‍යාප්තිය ආදී දේවල් ද මේ යටතේ සාකච්ඡා කළ හැකිය.
වර්ෂ 2017 දී වී වගා කර ඇති මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ 8 කට වැඩිය. එයින් තුනෙන් එකක ප්‍රමාණයක් වගා කර තිබෙන්නේ නියං කාලගුණ තත්ත්ව යටතේය. එසේම එම නියං කාලගුණ තත්ත්වය මිලියන 1.2 ක ජනතාවකට දැඩිව බලපා තිබේ. තවද එම වසරේ මුළු අස්වැන්නෙන් සියයට 63 ක් අඩු වී තිබෙන්නේ පැවති නියං කාලගුණ තත්ත්වය හේතුවෙනි. එය වසර ගණනාවකට පසු වාර්තා කළ ඉහළ අස්වනු අඩු වීමක් වශයෙන් සැලකිය හැකිය.
මේ අනුව පැහැදිලි වන්නේ නියඟය හේතුවෙන් වැඩිමනත් බලපෑමට ලක් වන ක්ෂේත්‍රයක් වන්නේ කෘෂිකර්මාන්තය බවය. විශේෂයෙන්ම වියළි කලාපවල කෘෂිකාර්මික කටයුතු සිදු වන්නේ ජලාශ වැව් ආදී ජලය එක් රැස් කරන වාරිමාර්ග පද්ධති මගිනි. වර්ෂා ජලය හිඟ වූ විට කෘෂි බිම්වලට අවශ්‍ය ජලය සපයා ගත නොහැකි වීමෙන් කෘෂිකාර්මික කටයුතුවලට මහත් බලපෑමක් සිදු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස කෘෂි අංශයේ නිෂ්පාදන පහළ වැටේ. තවද ජලය නොමැති වීම හේතුවෙන් ජනතාවට විශාල වශයෙන් පානීය ජල ගැටලුවලට ද මුහුණ දීමට සිදු වේ.
“දේශගුණික විපර්යාස: ජලය සහ ආර්ථිකය” මැයෙන් ලෝක බැංකුව 2016 දී වාර්තාවක් නිකුත් කළේය. එම වාර්තාව මගින් පෙන්වා දෙන්නේත් දැඩි නියං කාලගුණ තත්ත්ව පවතින රටවල කෘෂිකාර්මික කටයුතුවලට දැඩි හානි සිදු වන බවය. එකී වාර්තාවෙන් පුරෝකථනය කර ඇති ආකාරයට නියං කාලගුණය හේතුවෙන් විවිධ රටවල 2050 වන විට දළ දේශීය නිෂ්පාදිතය සියයට 6 කින් අඩු වනු ඇත.
නිදසුනක් ලෙස 2017 වන විට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට කෘෂිකර්මාන්තයෙන් ලැබුණු දායකත්වය සියයට 12 ක මට්ටමක පැවතිණි. ඊට පෙර වසර සමග සැසඳීමේදී එය සියයට 6 ක පහළ යෑමකි. එම අඩුවීමට හේතු වූයේ එවක පැවැති නියං කාලගුණ තත්ත්වය නිසා කෘෂි අස්වනු අඩු වීමය.
නියඟය හේතුවෙන් කෘෂි අස්වනු අඩු වන විට ගොවීන්ගේ ආදායම් පහළ යෑමට එය සෘජුවම බලපායි. එසේම කෘෂි කටයුතු සඳහා ලබා ගත් ණය ගෙවීමට ද ගොවීන්ට නොහැකි වනු ඇත. සිය දිවි නසා ගැනීම් වැඩිවීමට ද එය හේතුවක් වනු ඇති අතර එය ප්‍රබල සමාජීය ගැටලුවකි. අනෙක් අතට ගොවීන්ට ණය ලබාදෙන බැංකු හා මූල්‍ය ආයතනවලට ද විවිධ ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදු වේ.
කෘෂි නිෂ්පාදන අඩු වීමෙන් ආහාර සුරක්ෂිතතාව අවදානමට ලක් වේ. විශේෂයෙන්ම ඉල්ලුමට සරිලන සැපයුමක් සහතික කිරීමට නොහැකි වුවහොත් ඒවායෙහි මිල ගණන් ඉහළ යයි. එවිට ආර්ථිකයේ උද්ධමනාත්මක බලපෑම් වුව ඇති වීමට ඉඩ තිබේ. මේවා සැලකිය හැක්කේ වක්‍ර බලපෑම් හැටියටය.
කෘෂිකර්මාන්තයට සිදු වන මේ අයහපත් බලපෑම්වලින් රටේ සමස්ත ආර්ථිකයේ වර්ධනය අඩාළ වනු ඇත. දළ දේශීය නිෂ්පාදිතය පහළ වැටීම, මිල මට්ටම් ඉහළ යෑම, මිනිසුන්ගේ මිලදී ගැනීමේ හැකියාව දුර්වල වීම ආදී තත්ත්ව ඔස්සේ ආර්ථිකයට වන බලපෑම තේරුම් ගත හැකිය.
මේ තත්ත්වය මගින් කර්මාන්ත ක්ෂේත්‍රයට ද අහිතකර බලපෑම් ඇති කරයි. කර්මාන්ත අංශයට අවශ්‍ය ආහාර සහ අමුද්‍රව්‍ය සපයන්නේ කෘෂි අංශය මගිනි. ඒ සඳහා ප්‍රමාණවත් කෘෂි වගාවක් සහ ආහාර නිෂ්පාදනයක් රටේ සිදු විය යුතුය. එය නිසි අයුරින් සිදු නොවුණ හොත් එමගින් කර්මාන්ත අංශයේ පිරිවැය ඉහළ යයි. ඒ අදාළ අමුද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා වැඩි මිලක් ගෙවීමට සිදු වන හෙයිනි.
ජලය කෘෂිකාර්මික කටයුතුවලට මෙන්ම විදුලි බලය නිෂ්පාදනයටත් යොදා ගැනේ. පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය අඩු මට්ටමක පවතින බව අපි දනිමු. එය ඉදිරියේ දී කර්මාන්තවලට කවරාකාරයකට බලපෑම් ඇති කරනු ඇත්දැයි අපි නොදනිමු.
සමනළ වැව ජලාශයෙහි ජල ධාරිතාව පහළ යෑමත් සමග එයින් නිපදවන විදුලිය ප්‍රමාණය ගිගාවොට් පැය 3.9 දක්වා අඩු වී තිබෙන බව පසුගියදාක ප්‍රකාශ විය. එසේම උඩවලව ජලාශය වසර 50 කට පසු සම්පූර්ණයෙන්ම හිඳී ගියේ මේ වසරේ බවද ප්‍රකාශ වේ. එවැනි සන්දර්භයක ජල විදුලි නිෂ්පාදනය සඳහා ගැටලු මතු වේ. විදුලි කප්පාදුවකට යෑමට සිදු වුව හොත් එයින් සමස්ත ආර්ථිකයටම දැඩි අයහපත් බලපෑමක් එල්ල විය හැකිය.
සංචාරක ක්ෂේත්‍රය හා විනෝද කටයුතුවලට ද මෙයින් අයහපත් බලපෑම් එල්ල වේ. විශේෂයෙන්ම ජලය ආශ්‍රිතව සිදු කෙරෙන විනෝද ක්‍රීඩා සංචාරකයන් අතර ප්‍රකටය. ජලය හිඟ වූ විට එම ක්‍රීඩා පැවැත්වීමට නොහැකි අතර එයින් සංචාරක කර්මාන්තයටත් ආර්ථිකයටත් සෘජු බලපෑම් ඇති කරයි.
මේ සියලු තත්ත්ව හමුවේ සාමාජීය ගැටලු ද පැන නැගිය හැකිය. විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී පවුල්වල ආදායම් පහළ යෑම හේතුවෙන් ඔවුන් තවදුරටත් දිළිඳු වීම සිදු වේ. එවිට අත්‍යවශ්‍ය වියදම් කිරීමට පවා ඔවුන්ට නොහැකි වනු ඇත. ඊට අමතරව ජලය නොමැතිවීම හේතුවෙන් විවිධ රෝග පැතිර යෑමේ හැකියාවක් ද පවතී. ජලය යනු මූලික මිනිස් අවශ්‍යතාවකි. ජලය මිනිසුන්ට මෙන්ම සතුන්ට ද ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය වේ. පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ වන සතුන්ටත් ජලය හිඟ වී තිබේ. ඒ හේතුවෙන් වන අලින් ගම් වදින තත්ත්ව පවා ඇති විය හැකි අතර එමගින් අලි මිනිස් ගැටුම් ද උග්‍ර විය හැකිය.
නියඟය ස්වාභාවික සංසිද්ධියක් නිසා අපට එය නතර කළ නොහැකි වුවත් එයින් උද්ගත වන ආර්ථික සාමාජීය ප්‍රශ්නවලට පිළියම් යෙදිය හැකිය. ශ්‍රී ලංකාවේ වර්ෂාපතන රටාව විමසා බැලීමේ දී පැහැදිලි වන්නේ ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලයේ දී වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවය. ඒ ගැන කෘෂිකර්මයට සම්බන්ධ සියලු ආයතනවලට මෙන්ම ගොවීන්ටත් අවබෝධයක් තිබේ. එබැවින් වඩාත් වැදගත් වන්නේ මනා ලෙස සූදානම් වීමයි. එහිදී තද පෑවිල්ල හේතුවෙන් මතු වන ගැටලුවලට විසඳුම් සෙවිය යුත්තේ කෙසේද යන්න ගැන සැලකිලිමත් වීම අවශ්‍ය වේ.
ජල සංරක්ෂණය සඳහා පියවර ගැනීම වැදගත් වේ. එනම්, වැසි සහිත කාලවල දී ජලය අපතේ නොයන ආකාරයට රැස් කර තබා ගැනීම සඳහා ජල සංරක්ෂණ ක්‍රමවේද අනුගමනය කළ යුතුය. ඒ යටතේ ජලය ප්‍රතිචක්‍රීයකරමින් නැවත පාවිච්චියට ගත හැකි ක්‍රමවේද ක්‍රියාවට නැංවීම ද කළ යුතුය. වාරිමාර්ග පද්ධතිය දියුණු කිරීමත් එහි කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමත් කළ යුතුය. නියඟයට ඔරොත්තු නොදෙන භෝග වගාවට ගොවීහු වැඩි පිරිසක් නැඹුරු වී සිටිති.
තද පෑවිල්ල පවතින කාලයට වගා විනාශ වීමට එය ද හේතුවකි. එබැවින් නියඟ කාල සීමාවේ දී ඊට ඔරොත්තු දෙන භෝග වගා කිරීමට ගොවීන් දිරිමත් කළ යුතුය. එසේම ඉදිරි කාලගුණ තත්ත්ව සම්බන්ධයෙන් මෙන්ම කෘෂිකර්මයට විය හැකි බලපෑම් ගැන ගොවීන් දැනුම්වත් කිරීමත් කළ යුතුය.
දැඩි නියං තත්ත්ව ඇති වීමට බලපාන එක් හේතුවක් නම්, වන විනාශයයි. වනාන්තර විනාශ කිරීම හා එළි පෙහෙළි කිරීම, ඉදි කිරීම් සිදු කිරීම් ආදිය නිසා ජල උල්පත් සිඳී යෑම වර්ෂාව අඩු වීම ආදිය සිදු වේ. එබැවින් වන වගා කිරීම සහ පාංශු රක්ෂණයට අදාළ ක්‍රමවේද ගැන ගොවීන් හා අදාළ අංශ දැනුම්වත් කිරීමත් අවශ්‍ය වේ. එසේම ඉඩම් තිරසාර ලෙස භාවිත කරන ආකාරය ගැන කෘෂිකර්මයෙහි නියුතු පිරිස් හට අවබෝධය ලබා දීමත් වැදගත්ය.
විදුලිය නිෂ්පාදනය සඳහා ජලය වැඩි වශයෙන් යොදා ගැනෙන හෙයින් විදුලිය නිෂ්පාදනය සඳහා ජලය වැඩි වශයෙන් යොදා ගැනෙන හෙයින් හොඳින් හිරු එළිය පතිත වන ප්‍රදේශවල සූර්ය ශක්තියෙන් විදුලිය නිපදවීමත් වැදගත්ය. එහිදී පෞද්ගලික හා ආයතන මට්ටමින් සූර්ය බලයෙන් විදුලිය නිපදවීම සඳහා පුද්ගලයන් උනන්දු කළ හැකිය. ඒ ඔස්සේ වැසි රහිත කාලවල දී ජල විදුලිය වෙනුවට වෙනත් විකල්ප ක්‍රමවලින් විදුලිය නිෂ්පාදනය කිරීමටත් කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීමටත් හැකියාව ලැබේ.
ගොවීන් වෙනුවෙන් විකල්ප ආදායම් මාර්ග හඳුන්වා දීමත් වැදගත්ය. ඒ සඳහා අවශ්‍ය දැනුම මෙන්ම මූල්‍ය පහසුකම් ලබා දීම ආණ්ඩුවේ වගකීමයි. සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන් යටතේ දැනට පීඩාවට පත්ව සිටින ප්‍රජාවට සහන සැලසීම කළ යුතුය. ජලය හා විදුලිය අරපරෙස්සමෙන් භාවිත කිරීම සඳහා පුරවැසියන් වන අපට තිබෙන වගකීමත් මෙහිදී සිහිපත් කළ යුතුය.
සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය ප්‍රසංශා කුමාරි