හොඳ කෘෂිකාර්මික ප්‍රතිපත්ති තිබෙන රටවල රටේ භූමිය භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්ති තිබේ. ඒ රටවල් කෘෂිකර්මාන්තය සඳහා වඩාත් සුදුසු ප්‍රදේශ පහසුවෙන් හඳුනාගනියි. කර්මාන්ත සඳහා සුදුසු ප්‍රදේශ මේවාය, ධීවර කර්මාන්තයට සුදුසු ප්‍රදේශ මේවාය කියා පහසුවෙන් හඳුනාගනියි. ඒ ඒ ප්‍රදේශවල වෙනත් වෙනත් කර්මාන්ත දැමීමට උත්සාහ නොකරයි. එහෙත් අපේ රටේ තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. එවැනි ප්‍රතිපත්ති තීරණ නොගනියි. හුදු ජනප්‍රිය දේශපාලන වාසි ලබාගත හැකි තීරණ ගැනීම ලංකාවේ සාමාන්‍ය තත්ත්වයයි.
මා කියන ඒ කාරණය හම්බන්තොට දිස්ත්‍රික්කය උදාහරණයට ගෙන පැහැදිලි කළ හැකිය. හම්බන්තොට ලංකාවේ සරුසාරම කුඹුරු තිබෙන දිස්ත්‍රික්කයයි. මෙහිදී මා භාවිතා කරන්නේ ආණ්ඩුවේ නිල සංඛ්‍යා ලේඛනය. ඒ දත්තවලට අනුව පොහොර තහනමට පෙර ලංකාවේ වී වගාවේ දළ අස්වැන්න එනම් හෙක්ටයාරකින් ලබාගත හැකි අස්වැන්න කිලෝ ග්‍රෑම් 4,300 කි.
ලංකාවේ සාමාන්‍ය හෙවත් පොදු අස්වැන්න හෙක්ටයාරයකට කිලෝ 4,300 ක් වෙද්දි හම්බන්තොට දිස්ත්‍රික්කයේ දළ අස්වැන්න හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 5,900 කි. හම්බන්තොට දිස්ත්‍රික්කය කෘෂිකර්මාන්තයට කෙතරම් උචිත ද කියා ඒ සංඛ්‍යා දත්තවලින්ම අනාවරණය වෙයි. වෙනත් කිසිදු දිස්ත්‍රික්කයකින් එතරම් අස්වැන්නක් නොලැබෙයි. කෘෂිකර්මාන්තයට වඩාත් සුදුසු ඉහළම අස්වැන්නක් ලබාගත හැකි ඒ දිස්ත්‍රික්කයේ භූමිය භාවිත කළේ කෘෂිකර්මාන්තය සඳහාම ද?
ඒ දිස්ත්‍රික්කයේ වනසතුන් ගැවසෙන අක්කර 5000 ක ලඳු හා මහා කැලෑ ප්‍රදේශයක් එළිකර ඉදිකළේ ගුවන් තොටුපොළකි. ගොඩබිම ඉදිකළ හම්බන්තොට වරායට යට කළ භූමි ප්‍රමාණය අක්කර 4000 කි. හම්බන්තොට ඉදිකළ සෆාරි උයනට යට කළ ප්‍රදේශය අක්කර 500 කි. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකළේ අක්කර 45 කය.
හම්බන්තොට ඉදිකළ මහා මාර්ග ජාලයට යට කළ ඉඩම් ප්‍රමාණය ඊටත් වඩා විශාල ය. කොළඹ හා නුවර නගරවල තිබෙන වාහනවලට අවශ්‍ය තරමට මහාමාර්ග නැත. එහෙත් හම්බන්තොට එහි අනෙක් පැත්තය. හම්බන්තොට අවශ්‍ය තරමට වඩා පාරවල් තිබුණත් තිබෙන ඒ පාරවල් තරමට වාහන නැත.
වී සහ තල වේලන්න ඒ පාරවල් භාවිත කරන්නේ ඒ නිසාය. එය හම්බන්තොට දිස්ත්‍රික්කයට පොදු දෙයකි. ඒ පාරවල් ඉදිකළේ වන සතුන් ගැවසුණු ලඳු හා මහ කැලෑවලය. මහා විශාල සම්මන්ත්‍රණ ශාලාවක් ඉදිකර තිබෙන්නේ ද එවැනි කැලෑ ප්‍රදේශයකය. කුරුලු උයන් හා උද්භිද උද්‍යාන ඉදිකළේ ද එවැනි ඉඩම්වලය.
කැලෑ එසේ එළිකළ විට සුළු නියඟයක් පවා මහා නියඟයක් බවට පත්වෙයි. මට දැනෙන හැටියට සංවර්ධන ව්‍යාපෘති සඳහා එසේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් යටකර තිබෙන භූමිය අවම වශයෙන් අක්කර 20,000 කි. එසේ එළිකළේ බොහෝ විට වනසතුන් ගැවසුණු කැලෑය. නැතිනම් ලඳු කැලෑය.
කැලෑ එසේ එළිකිරීම නිසා නියඟය දරුණු ලෙස දැනෙයි. ගොවීන් ඇතුළු සමස්ත ජනතාවම දැන් එය අත්විඳිමින් සිටියි. කැලෑ එසේ එළිකිරීම නිසා වන සතුන්ට තමන්ගේ ස්වභාවික වාසස්ථාන නැතිවෙයි. ඒ වන සතුන්ට ප්‍රශ්න දෙකක් මතුවෙයි. එකක් ජල ප්‍රශ්නයයි. දෙවැන්න ආහාර ප්‍රශ්නයයි. ඒ නිසා ආහාර සහ ජලය සොයාගෙන වන සතුන් කැලයෙන් එළියට එයි. ඒ නිසා ගොවීන්ගේ වගාබිම් වන සතුන්ට ගොදුරු වෙයි.
වගාව සඳහා විශාල වතුර ටැංකි භාවිතා කරන වගා බිම්වල තිබෙන වතුර ටැංකිවලට දැන් දැන් වල් අලින්ගෙන් සිදුවන හානි වැඩිවෙයි. ඒ ඇතැම් වතුර ටැංකි ලීටර් 5000 ක් තරම් ගබඩා කළ හැකි විශාල ටැංකිය. වගාව සහ වන සතුන්ට තිබූ කැලෑ එළිකිරීම නිසා වගාවට ඉඩම් සේම ජලයත් නැතිවෙයි. දහදුක් විඳ අමාරුවෙන් හා අපහසුවෙන් කළ වගාවලට වන සතුන්ගෙන් හානි සිදුවෙයි.
හම්බන්තොට විශාල වශයෙන් ගව පාලනය කරන දිස්ත්‍රික්කයකි. ඒ ගවයන්ටත් අලින්ට සේම තමන්ගේ තණ බිම් නැති වී තිබේ. ජලය දැන් ගවයන්ටත් ප්‍රශ්නයකි. ඒ නිසා වගා කරන ගොවීන් සහ සත්ව පාලනයේ යෙදෙන ගොවීන් අතර ද ගැටුම් නිර්මාණය වී තිබේ. වතුර නැති නිසා ඇතිකරන සත්තු වතුර සොයාගෙන යති. ඒ සියල්ල දැන් දැඩි අර්බුදය. ඒ නිසා හම්බන්තොට ගොවීහු දැන් බොහෝ පැතිවලින් බැට කති.
කෘෂිකර්මාන්තයට ඉහළම සුදුසුකම් තිබෙන දිස්ත්‍රික්කයක ජනතාව එසේ බැටකෑම නැවැත්වීමට තිබෙන පිළිතුරු මොනවාද? වනසතුන්ට දිය හැකි අලුත් ඉඩම් නැත. ඒ නිසා වනසතුන් හා මිනිසුන් අතර ගැටුම ඉදිරියේදීත් දිගින් දිගටම වර්ධනය වෙයි. ඒවා වැළැක්වීමට පහසු විසඳුම් තිබෙන බවක් නොපෙනෙයි. කෘෂිකර්මාන්තයට ඉහළම සුදුසුකම් තිබෙන දිස්ත්‍රික්කයේ පවතින මේ ගැටලු නිසා ඉදිරි අනාගතයේදී ලංකාවේ කෘෂිකර්මාන්තයේ ඇති විය හැකි ප්‍රතිඵල ඉතා භයානකය. ඒ නිසා හාල් ඇතුළු අනෙක් ආහාර ද්‍රව්‍යවල අනාගතය ගැන සතුටුදායක පුරෝකතන කළ නොහැකිය.
කෘෂිකර්මාන්තයට වන සතුන්ගෙන් වන හානිය ද ඉතා ඉහළය. වල් අලින්ගෙන් වන හානි වැළැක්වීමට විදුලි වැට පිළිතුරක් ද නොවේ. විදුලිවැට පමණක් නොව සාම්ප්‍රදායික අලි වැට සේම එල්ලෙන වැට ද පිළියමක් වී නැත. අලි වැටට ඉදිරියෙන් හා පිටුපසින් අගල් කැපීම සහ දෙහි දොඩම් වැනි කටු සහිත ගස් සිටුවීමත් පිළියම් වී නැතැයි මා කියන්නේ ප්‍රායෝගික භාවිතයෙන් හා පරීක්ෂණවලින් ලද අත්දැකීම් මතය. ගොවීන් සේම වන සතුන් ද අත්විඳින පීඩා විදින මේ ප්‍රශ්න සියල්ල නිර්මාණය කළ ප්‍රශ්න මිස ස්වභාවිකව ඇතිවූ ප්‍රශ්න නොවේ.
එහෙයින් මේ ප්‍රශ්නවලට ක්ෂණික විසඳුම් දිය නොහැකිය. මේ ප්‍රශ්නවලට සෙවිය යුත්තේ දිගුකාලීන විසඳුම්ය. දිගුකාලීන විසඳුම් සොයන කාලය ඇතුළත බොහෝ දේ සිදුවිය හැකිය. ඇතැම් ගොවීන් ගොවිතැනින් ඉවත්වීමේ අවදානමක් ද පවතී. එසේ වූ කල ආහාර නිෂ්පාදනය පැත්තෙන් රටේ බරපතළ ගැටලු ඇතිවිය හැකිය. අපට පෙනෙන්නේ ටිකකි. ගැඹුර සහ පතුළ අපට නොපෙනෙයි. ඒ නිසා අනාගත අවදානම අප උපකල්පනය කරනවාට වඩා බරපතළ විය හැකිය.
මේ ප්‍රශ්න සම්බන්ධයෙන් ගොවීන්ටම ඇඟිලි දිගු කිරීම අතාර්කිකය. පසුගිය දිනවල උඩවලව ගොවීන්ට ඇතිවූ ජල ප්‍රශ්නයේදී බොහෝ දෙනා චෝදනා කළේ ගොවීන්ටය. ගොවීන් කන්න රැස්වීමට නොපැමිණි බවටත් කන්නයට වගා ආරම්භ නොකළ බවටත්, කන්න රැස්වීමේදී දුන් උපදෙස් පිළිපැද්දේ නැති බවටත් ඔවුහු ගොවීන්ට චෝදනා කළහ. ඒ චෝදනාවල ඇත්තේ අර්ධ සත්‍යයකි.
ගොවීන් සිටින්නේ පිට පිට කන්න තුනක් අසාර්ථකව සිටින තත්ත්වයකය. රසායනික පොහොර තිබෙන බව ගොවීන් දැක්කේ කන්න තුනකට පසුවය. කන්නය ආරම්භ කිරීමට පමාවූ බවට කරන චෝදනාව සත්‍යයකි. එහෙත් පමා වූයේ ඇයිදැයි කිසිවෙක් කතා නොකරති. කරුණු සොයාගෙන යද්දී අනාවරණය වන්නේ ඒ ප්‍රමාදයටත් පසුගිය කාලයේ පැවැති රසායනික පොහොර තහනමම හේතුවී තිබෙන බවය.
2022 යල් කන්නයේ මඩ වැඩ නිමකර පැළ සිටුවා, වපුරා නිම කිරීමට නියමිතව තිබුණේ 2022 ජුනි මුල් සතියේදීය. ඒ සතිය වෙද්දි ඒවා කර තිබුණේ ගොවීන්ගෙන් සියයට 25 කි. ඉතිරි සියයට 75 ම ඒ වනතුරුත් සිටියේ වගා නොකරන තීන්දුවකය. ඒ පොහොර හා රසායනික කෘමිනාශක, වල් නාශක සහ දිලීර නාශක නැති නිසාය.
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ යූරියා මෙට්‍රික් ටොන් 65,000 ක් ලංකාවට ලැබෙනවාය කියන තොරතුරු දැන ගන්නේ වගා නොකරනවාය කියන තීන්දුවේ සිටියදීය. ඒ ආරංචිය නිසා ගොවීන්ට පුංචි බලාපොරොත්තුවක් ඇතිවෙයි. එසේම සාගතයක පෙරනිමිති පහළ වෙමින් පවතින බවට අප ද ඇතුළත්ව ගෙන ගිය ප්‍රචාරක ව්‍යාපාරය නිසා රටේ අවශ්‍යතාව සහ තමන්ගේ පරිභෝජනය සඳහා හෝ ගොවිතැන් කළ යුතුය කියා ගොවියෝ කල්පනා කළහ.
අනෙක් කාරණය ලංකා ඉතිහාසයේ ඉහළම මිලකට වී කිලෝවක් අලෙවි වූයේ ඒ කාලයේය. ඇතැම් අවස්ථාවල වී කිලෝව රුපියල් 150 ද ඉක්මවා අලෙවි විය. සාගතයක බිය නිසා කිසිදිනෙක වී එකතු නොකළ අයත් ඒ වෙලාවේ වී එකතු කළහ. වී මිල අතිවිශාල ලෙස ඉහළ ගියේ ඒ නිසාය. ඒ නිසා ටිකක් හෝ වගා කළොත් තමන්ගේ පරිභෝජනයටත් වැඩි මිලකට අලෙවි කරගැනීමටත් හැකිවෙයි කියා ඇතැම් ගොවීහු කල්පනා කළහ. ඒ ගොවීන් සියලුදෙනා එනම් වගා නොකරනවාය කියා තීන්දුවේ සිටි ගොවීන්ගෙන් සියයට 75 ම වගාවට බැස්සේ 2022 ජුනි මුල් සතිය පසුවීය. දිගටම ගියේ ඒ ප්‍රමාදයයි.
ඒ යල්කන්නය පමාවන විට ඊළඟ මහ කන්නයද පමාවෙයි. ඉන්පසුව එන යල් කන්නයද පමාවෙයි. එපමණක් නොව අපේක්ෂිත ප්‍රමාණයට ඒ යල් කන්නයට වර්ෂාවද නොලැබෙයි. ඒ සියලු කාරණා නිසා මෙවර යල් කන්නය පමාවෙයි. එහෙයින් එහි සම්පූර්ණ වගකීම ගොවීන් වෙතම පැවරිය නොහැකිය. පැටවිය නොහැකිය.
ඒ තිබෙන ප්‍රශ්නය. ඒවාට කළයුතු පිළියම් මොනවාද? හාල් හිඟයට පිළියමක් ලෙස හාල් ආනයනය කළ හැකිය. එහෙත් එමගින් වෘත්තීමය ගොවීන්ගේ ආදායම් මාර්ග අහිමිවීමට පිළිතුරක් නොලැබෙයි. ඔවුන් ගොවිතැනින් ඉවත් වුණොත් වෙන කාටවත් ගොවිතැන් කළ නොහැකිය.
ඒ ගොවීන්ටද ඔවුන් දැවෙන ප්‍රශ්න තිබේ. දරුවන්ට ඉගැන්වීම, තමන්ගේ අනාගත දිවිපැවැත්ම තහවුරු කරගැනීම ඒ අතර ප්‍රමුඛය. ඒ පැත්ත නොසලකා හැර එනම් ගොවීන්ගේ ආදායම් මට්ටම් සහ සමාජ තත්ත්වය නොසලකා හැර ප්‍රශ්නයට පිළිතුරු සෙවිය නොහැකිය. ඒ නිසා පොහොර තහනමත් සමඟ නිර්මාණය කළ ප්‍රශ්නවලට පිළියම් යෙදිය යුතුය. පොහොර තහනම පැය කීපයකින් ගත් තීන්දුවකි.
එහෙත් ඉන් ඇතිවන ප්‍රශ්න කන්න කිහිපයක් ගියත් නිරාකරණය නොවන බවට මා එදා කළ පුරෝකතනය අද සත්‍යයව පවතී. එහෙයින් පළමුව කඩා වැටුණු ගොවි ජීවිත නගාසිටුවිය යුතුය.
සැනසිල්ලේ වගා කළ හැකි තත්ත්වයක් යළි නිර්මාණය කළ යුතුය. සාමාන්‍ය තත්ත්වයකදී වගාවට ආණ්ඩුව හෝ රාජ්‍ය නිලධාරීන් මැදිහත්වීමේ අවශ්‍යතාවක් නැත. සාමාන්‍ය තත්ත්වයකදී ගොවීහු සැනසිල්ලේ වගාකරති. ගොවීන්ගේ සැනසිල්ල නැතිකර ඔවුන් ගිනි කබලකට ඇද දැම්මේ ආණ්ඩුවය. ඒ නිසා මේ අර්බුදයෙන් ගොවීන් ගොඩගැනීම ආණ්ඩුවේ වගකීමකි. ආණ්ඩු තියෙන්නේ අර්බුද කළමනාකරණයට සහ විසඳීමටය. දැන් රටේ තිබෙන්නේ අර්බුද කළමනාකරණය කළයුතු, විසඳිය යුතු අවස්ථාවකි.
පළමුව ගොවීන්ට අතිශය සාධාරණ වන්දියක් ගෙවිය යුතුය. එය අර සාම්ප්‍රදායික වන්දිය නොවිය යුතුය. සාම්ප්‍රදායික වන්දිය අක්කරයකට උපරිම රුපියල් 40,000 කි. ආණ්ඩුවේ තීරණය නිසා කන්න කිහිපයක්ම එකදිගට අසාර්ථකව නිෂ්පාදන පිරිවැය ඉතා ඉහළ ගිය අවස්ථාවක රුපියල් 40,000 ක වන්දිය වැඩකට නැත.
මේ වෙලාවේ දිය යුත්තේ නිෂ්පාදන පිරිවැයට සරිලන වන්දියකි. එසේම ආණ්ඩුව නිර්මාණය කළ ප්‍රශ්න නිසා ගොවීන් අපහසුතාවට පත්වීම ගැනද එහිදී සලකා බැලිය යුතුය. ඒ වන්දිය තම එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමටත් ඊළඟ මහ කන්නය සඳහා සූදානම් වීමටත් ඉවහල් වෙයි. දෙවනුව කුණු කොල්ලයට ගොවි නිෂ්පාදන මිලදී ගැනීමට තිබෙන ඉඩ අහුරා සාධනීය රාජ්‍ය මැදිහත්වීමක් කළ යුතුය. අතිවිශාල මහජන මුදලක් වැය කර නඩත්තු කරන වී අලෙවි මණ්ඩලය වැනි රාජ්‍ය යාන්ත්‍රණ වහා සක්‍රීය කළ යුතුය. මිලදී ගැනීමේ ක්‍රියාවලියට ආණ්ඩුව මැදිහත්වූ විට වෙළෙඳ පොළේ තරගයක් ඇතිවෙයි. ඒ තරගයේ වාසිය සැලසෙන්නේ ගොවියාට සහ පාරිභෝගිකයාටය.
රුහුණ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර
සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්