නිර්මාණ රචනය උසස් රසිකත්වයේ ප්‍රතිඵලයක්


 

(සටහන ගාමිණී කන්දේපොළ)

ආරාධනා, සඳ හොරෙන් හොරෙන් හෙරෙන් බලා, පුංචි සිතේ පුංචි සිනා, සඳ තරු නිහඬයි, ප්‍රේමයේ මන්දහාසිනී, රාත්‍රිය උදාවුණා, සිනා  පොදක්වී, මාවවුලන් රෑ පුරාම, සෙනේ සිතින් සැනසිල්ලෙන් ඇතුළු සුභාවිත ගී රැසක් මෙරට ගී ක්ෂේත්‍රයට දායාද කළ ප්‍රවීණ ගීත රචක කුලරත්න ආරියවංශයන්ගේ ගීත පද රචනා ඇතුළත් නවතම කෘතිය ‘සීතල දිය දෝතක්’ නමින් පසුගියදා එළි දැක්වුණි. ඒ සමුද්‍ර වෙත්තසිංහ ප්‍රකාශනයක් ලෙසිනි. මෙවර සංවාදය ආරියවංශ මහතා සමග පැවැත්වෙන්නේ එම නවතම කෘතිය පදනම් කොටගෙනය.

• සීතල දිය දෝතක් නමින් වන මෙම ගීත පද රචනා එකතුවට ඇතුළත් නිර්මාණ කෘතියක් ලෙස සංග්‍රහ කිරීමට කල්පනා කළේ ඇයි? එම නිර්මාණවලට බලපෑ අත්දැකීම් ඔබේ නිර්මාණ ක්ෂේත්‍රය තුළ වඩා වැදගත් යැයි කල්පනා කරන්නේ ඇයි?

මේ කෘතියේ ඇතුළත් ගීත වැඩි සංඛ්‍යාවක් මීට අවුරුදු හතරකට පහකට පෙර රචනා වූ ඒවා. මේ බොහෝ ගීත ගයන්නේ ප්‍රකට ගායකයන් නොවෙයි. ප්‍රවීණ ගායක ගායිකාවන් බොහෝ දෙනෙක් දැන් අලුතින් ගීත ගායනා කරනවා අඩුයි. ඊට හේතුවක් තියෙනවා. ප්‍රවීණ ගායක ගායිකාවන් බොහෝ දෙනකුගේ ගීත රසිකයන් අතරට ආවේ කැසට්පට ලෙස හෝ සංයුක්ත තැටි වශයෙන්. අමරදේවයන්ගේ පටන් මිල්ටන්, කැලැරන්ස්, වික්ටර්, සනත් දක්වා බොහෝ දෙනා ගීත එකතු නිකුත් කළේ තරංගා, සිංග් ලංකා වැනි කැසට් නිෂ්පාදන ආයතන හරහා.

ඒත් පසුගිය දශකයකට ආසන්න කාලයක් සිට කැසට් නිෂ්පාදකවරුන්ට එම කටයුත්තතෙන් ඈත් වෙන්න සිද්ධ වුණා. දැන් එය නැත්තටම නැතිවෙලා. තාක්ෂණයේ ප්‍රවණතාවක් ලෙස ඩිජිටල් අවකාශය තුළ යූ ටියුබ්, ෆේස්බුක්, මාධ්‍යයෙන් ගීත රසවිඳින්න රසිකයෝ පෙළඹුණා. එහි ප්‍රතිඵලය වුණේ ගීත ගායනයේ කැමැත්තක් තිබුණ අය එක් ගීතයක් ගායනා කළත් මේ ඩිජිටල් අවකාශයට මුදා හැරීමට තිබුණ හැකියාවයි. මේ විදිහට නවක ගායක ගායිකාවන් බොහෝ දෙනෙක් තමන්ගේ නිර්මාණ යූ ටියුබ්වලින් මුදා හැරියා. මේ අතරේ සැබෑ ගායන හැකියාවන් ඇති සුභාවිත ගීතය පිළිබඳ හැඟීමක් දැනීමක් තිබෙන ගායක ගායිකාවන් ප්‍රවීණ රචකයන්  ලවා සාර්ථක ගීතයක් රචනා කර ගැනීමට පෙළඹුණා. අපේ සමකාලීනයන් බොහෝ දෙනෙක් එවැනි නව නිර්මාණකරුවන්ට ගීත ලියා දුන්නා. මටත් ඇතැම් අවස්ථාවල සිද්ධ වුණා ඔවුන් වෙනුවෙන් ගීත ලියන්න. මේ කෘතියට ඇතුළත් ගීත වැඩි සංඛ්‍යාවක් එවැනි ගීත.

• ඒත් යූ ටියුබ් හා ෆේස්බුක්  මාධ්‍යයෙන් මුදා හැරෙන ගීත පොදු රසික සමාජය වෙත යාමේ ගැටලුවක් තිබෙනවා නේද? එසේම ගීතයක සැබෑ රසික ප්‍රතිචාරය කුමක්ද යන්න මෙවැනි මාධ්‍යයකින් තහවුරු කර ගැනීම දුෂ්කරයි නේද?

ඔව්. ඒක ඇත්තක්. මේ බොහෝ ගීතවලට පොදුජන රසික සමාජය තුළ ජනගතවීමට  අවස්ථාව ලැබෙන්නේ නැති තරම්. අනෙක් පැත්තෙන් විද්‍යුත් නාලිකාවලින් අලුත් ගීත සඳහා ලැබෙන ඉඩකඩ ඉතාම අඩුයි. තමන් නිර්මාණය කරන ගීතය ෆේස්බුක් මාධ්‍යයෙන් පළ කළත් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ වැඩිපුර ඉන්නෙ ඔහුගේ ඥාතීන්, මිත්‍රයන් වැනි තමන්ට සමීප පිරිසක්. ඒ නිර්මාණ දැකලා ඔවුන් හැම විටම දක්වන්නේ හොඳයි කියන යහපත් ප්‍රතිචාරය පමණයි. ඒක නවක නිර්මාණකරුවන්ට සිදුවන අවාසියක්. අපක්ෂපාතී  විචාරයක් මෙමගින් ලැබෙන්නේ නෑ.

ඒත් අපි ගීත රචනය ආරම්භ කළ කාලයේ ගුවන් විදුලියෙන් පද මාලා ප්‍රමිතිගත වුණා. ඒවායේ සාර්ථක අසාර්ථකකම් විමර්ශනයට ලක්වුණා. පද මාලා අනුමත වුණේ සමීක්ෂණ මණ්ඩලයකින්. ගීතය පටිගත කිරීමේදීත් ශ්‍රවණ තත්ත්වය බැලුවා. ඊට පස්සෙ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වීමෙන් පොදු රසික ජනයා අතරට ගීතය සමිප කෙරුණා. එහි උසස් පහත් බව, සාර්ථක අසාර්ථක ගුණය තීරණය කරන්නට රසිකයාට අවස්ථාව ලැබුණා. රසිකයාට නොදැනුණු ගීත ඔවුන් ප්‍රතික්ෂේප කළා.

ඒත් දැන් එබඳු පරිසරයක් නෑ. අද අලුත් ගීත රචකයකුට ගීතයක් නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාව තියෙනව නම් එය මුදල් වියදම් කරලා කරන මට්ටමක් තියෙන්නෙ. එහෙම කළත් ඒකට පොදු රසික ප්‍රතිචාරයක් ලැබෙන්නෙ නෑ. එය ගීතයේ ප්‍රගමනයට ලොකු බාධාවක්. මා අලුතින් ලියූ ගීතත් බොහෝ විට පොදු රසිකයන් අතරට ගියා කියලා හිතන්න අමාරුයි. ඒත් මේ ගීත බොහොමයකට පෞද්ගලිකව මම කැමතියි. ඒ නිසයි මම කල්පනා කළේ මේ ගීත කෘතියකට සංග්‍රහ කරන්න. එතකොට අඩු ගානේ රසිකයන්ට මේ නිර්මාණ අඳුනාගන්න යම් ඉඩක් ලැබේවි.

• ගීතය යනු කුමක්දැයි කෙනෙක් ඔබෙන් විමසුවොත් ඔබ ඊට දෙන පිළිතුර කුමක්ද?

ගීතයක කිසියම් කවීත්වයක් තිබිය යුතුයි. ඒත් එය පමණක් ගීතයක් සාර්ථක වීමට ප්‍රමාණවත් නැහැ. ගීතයට තියෙන්න ඕනෑ ගීතෝචිත වදන් භාවිතයක්. එය සංගීතඥයාගේ කාර්යයට  පහසුවක් වීමට බලපානවා.

ඒ නිසා ගීතයක රිද්ම ලක්ෂණ ගැන රසිකයාට යම් හැඟීමක් දැනීමක් තිබීම වැදගත්. ගීතයක රිද්මානුකූල පදවැලක් තිබුණොත් ගායනවල අලංකාරවල රසාලිප්ත බව මතු වෙන්න එය හේතු වෙනවා. ඇතැම් විශිෂ්ට රචනා කවීත්වයෙන් කෙතරම් ඉහළ වුණත් රසිකයා  වැළඳ නොගන්නෙ අර හේතුව නිසයි.

මම හිතන්නේ ගීතය පහළම මට්ටමේ රසිකයාට වගේම ඉහළම මට්ටමේ විදග්ධ රසිකයාටත් ගැලපෙන්න ඕනෑ. ඒ දෙක අතරේ ගීතයක් රචනා වුණාම තමයි පහළ මට්ටමේ රසිකයකුට ඉහළට යන්න පුළුවන් වෙන්නෙ.

• ඒත් ගීතයක කල්පැවැත්මට එහි පද මාලාවේ සාහිත්‍යමය ගුණය බලාපනවා නේද?

සාර්ථක ගීතයක පදමාලාව කවීත්වයෙන්ම උපදින එකක්. එහි කල්  පැවැත්මට සාහිත්‍ය ගුණය බලපානවා තමයි. ඒත් ඒ ගැඹුරු කවීත්වය තුළ රසිකයාට සමීපවීමේ ගුණයක් නැත්නම් ගීතය සාර්ථක වන්නේ නෑ. අපි ගීත රචනාවලට යොමුවුණ කාලේ වැඩපුරම අහන්න ලැබුණෙ මහගමසේකර, මඩවල එස්. රත්නායක වගේ අයගෙ ගීත. මේ ගීතවල ඉහළ කවීත්වය වගේම  සරල බව සුගම වදන් භාවිතය තිබුණා. ඒ අත්දැකීම් තවදුරටත් පුළුල් වීමක් මහාචාර්ය සුනිල් ආරියරත්න, ලූෂන් බුලත්සිංහල, ආචාර්ය  අජන්තා රණසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්, වැනි අයගේ ගීත රචනාවල දකින්නට ලැබුණා. කාව්‍යමය ලක්ෂණ, රිද්ම ලක්ෂණ, පද සංඝටනාව, ගීතවත් බව වගේ කාරණා ඒ ගීත රසික සමාජය වැළ ද ගැනීමට හේතු වුණා.

මම හිතන්නේ එහෙම ගීතයක් රචනා කරන්න නම් ඒ නිර්මාණකරුවාට හොඳ රසිකත්වයක් තියෙන්න ඕනෑ. ගීතයකට වචන ගලා එන්නත් ඒ රසිකත්වය  බලපානවා. සංගීතය ග්‍රහණය කර ගන්න හේතුවක් වෙනවා. රසවින්දනයෙන් පෝෂණයවී ගබඩා වූ රසය තමයි නිර්මාණයේදී එළියට එන්නේ. නිර්මාණ රචනය උසස් රසිකත්වයේම ප්‍රතිඵලයක් හැටියට සලකන්න පුළුවන්.

• ප්‍රේමය, විප්‍රලම්භය වැනි ​ තේමා ඔබේ බොහෝ ගීතවල දැකිය හැකියි. ඒ තුළ ගොඩනගන සංයමය එයින් මතු වන අපූර්වත්වය ප්‍රබලයි. එවැනි නිර්මාණාත්මක පරිසරයක් කොහොමද රචකයකු තුළ ගොඩනැඟෙන්නේ?

අත්දැකීම් ලැබෙන ක්‍රම කිහිපයක් තිබෙනවා. තමන්ම ලබන අත්දැකීම්, තව කෙනෙකුගෙන් ලබන අත්දැකීම් වගේම  පොතපතින් සමාජයෙන් ලබන අත්දැකීම් ද එහිදී වැදගත්. ඒ නිසා නිර්මාණ රචකයකුට අත්දැකීම් පරාසය පුළුල් එකක්. මාවවුලන් වගේ ගීතයකට බලපාන්නෙ ළමා කාලයේ කුටුම්භගත ජීවිතයේ සහෝදර සහෝදරියන් අතර ගෙවූ කාලයේ මතකවල අත්දැකීම්.

ඒත් සම්භෝගය, විප්‍රයෝගය  වගේ මාතෘකා පොදු සමාජය තුළ ඉතාම සුලභයි. මගේ පැත්තෙන් බැලුවොත් මට වඩාත් ළංවිය හැකි වචන ඒ වෙනුවෙන් යොදන්නයි මහන්සි ගන්නෙ. චිත්‍ර ශිල්පීන් තමන් ළඟ තිබෙන වර්ණවලින් විවිධ ආකාරයේ චිත්‍ර අඳිනවා වගේ ඒ ඒ නිර්මාණ රචකයන් ඔවුන්ට අනන්‍ය විදිහට ලියනවා.

ඔවුන්ට ඔවුන්ගේ නිර්මාණ පරිසරය විවිධ විදිහට බලාපන්න පුළුවන්. උසස් පෙළ කාලෙ විතර මගේ පුරුද්දක් තිබුණා ගීත රසවිඳින අතරේ ඒ ගීත පදාමාලා ලියා ගැනීමට. ඈත කඳුකර හිමව් අරණේ වගේ ගීතයක් මට දැනුණෙ මම අටේ පන්තියේ වගේ ඉන්නකොට. ඒ වචනවල තිබෙන  ඇතුළාත්න  රසභාවයන් ගැන හොයන්න හිතෙන්නෙ ඊට පස්සේ. මේ නිරීක්ෂණ එක්ක තමයි කෙනෙකුගේ භාෂාත්මක පරිසරය ගොඩ නැගෙන්නෙ.

ඔබ අපූර්වත්වය ගැන කිව්වා. නිර්මාණකරුවෙක් නිර්මාණයක් කළාට පස්සේ ඒ නිර්මාණයේ අපූර්ව ගුණයක් තියෙනවා නම් ඒක වඩාත් හොඳින් දැනෙන්නෙ රසිකයාට. නිර්මාණකරුවා හැකි තරම් උත්සාහ ගන්නවා රසිකයාට සමීප වෙන්න.

• වර්තමානයේ ගීත කලාවට සිදුවී ඇති අභාග්‍යසම්පන්න තත්ත්වය ගැන ප්‍රවීණයන් සිටින්නේ තදබල කලකිරීමකින්. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

මේක කනගාටුදායක තත්ත්වයක්. මේ තත්ත්වය දරුණුවට බලපාන්නෙ අපේ අනාගත පර්ම්පරාවට. වර්තමාන සමාජයේ සාහිතය කලා ක්ෂේත්‍ර ගත්තොත් කවියේ නවකතාවේ කෙටි කතාවේ යම් වර්ධනයක් දකින්න පුළුවන්. ඒ ක්ෂේත්‍රවල නවක නිර්මාණකරුවන් බිහි වෙනවා. ඔවුන්ට අවස්ථා තිබෙනවා. අගය කිරීම් ලැබෙනවා. නිර්මාණ අලෙවි  වෙනවා.

ඒත් ගීතයට එහෙම තත්ත්වයක් නෑ. අලුත් ගීත කලාව තනිකරම ඩිජිටල් අවකාශයක හිරවෙලා. එයින් ක්ෂේත්‍රයේ වර්ධනයක් සිද්ධ වෙන්න නෑ. විද්‍යුත් නාලිකාවලිනුත් අලුත් නිර්මාණකරුවන්ගේ අර්ථවත් ගීතවලට ඉඩ ලැබෙන්නෙ නෑ. සමහර නාලිකා ප්‍රචාරය කරන්නේ දඟලන්න, නටන්න පුළුවන් ඇඟට දැනෙන ගීත විතරයි. බුද්ධියට මනසට අමතන ගීතවලට තැනක් ලැබෙන්නෙ නෑ. ඒවා ඕලාරික ගීත.

ඉතාම වටිනා ගීත රචනා කරන නවක නිර්මාණකරුවන් අද අප අතර ඉන්නවා. ඒත් ඒ ගීතවලට තැනක් ලැබෙන්නෙ නෑ. අලුත් පරම්පරාවේ දරුවන්ට වැඩිපුරම අහන්න ලැබෙන්නේ අර ඕලාරික ගීත. ඒ අතරේ පාසලේ සාහිත්‍යයට භාෂාවට ලැබෙන ඉඩකඩ අඩුවෙමින් තිබෙනවා. කලා නිර්මාණයක් ගැඹුරින් රසවිඳ තේරුම් ගන්න පුළුවන් විදිහේ රසික පරම්පරාවක් අපේ රටේ අධ්‍යාපනයෙන් බිහිවන පසුබිමක් නෑ. දරුවන්ගෙ රසිකත්වය පිබිදීගෙන එන කලෙ ඔවුන්ට හරි දේ හොඳ දේ නොලැබුණොත් තියෙන දේ ඇහෙන දේ ග්‍රහණය කර ගන්නවා. මේක බරපතළ තත්ත්වයක්.