රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිරිය කෙහෙලි ප්‍රකාශනයක් ලෙසිනි. මතු දැක්වෙන්නේ එම නවකතාව පසුබිම් කොටගෙන අප කළ සංවාදයකි.
ඔහු රචනා කළ බොහෝ නවකතා සහ පරිවර්තනය කළ බොහෝ පරිවර්තන නවකතා අතරින් කෘති කිහිපයක්ම විවිධ සම්මාන ආදියට පාත්‍රවිය. ජොආනා (රාජ්‍ය සාහිත්‍ය සම්මානය), කන්තපුර (රාජ්‍ය සාහිත්‍ය සම්මාන නිර්දේශ) කොන් කළ දෝණි (ගොඩගේ සාහිත්‍ය සම්මානය), රික්ෂෝකාරයා (ගොඩගේ සාහිත්‍ය සම්මාන නිර්දේශ), සසංකාර (ස්වතන්ත්‍ර නවකතා බෞද්ධ සාහිත්‍ය සම්මාන) ආදිය ඉන් කිපයකි.
• ‘භවනිරෝධ’ නවකතාවට පදනම් වන මූලාශ්‍ර ඈත ඉතිහාසය සහ පුරාණ බෞද්ධ සාහිත්‍යය දක්වා දිවයනවා. මේ තේමාත්මක මූලාශ්‍ර නූතන නවකතාවක් සඳහා ප්‍රතිනිර්මාණය කිරීමේදී ඔබ ලැබූ අත්දැකීම් කෙබඳුද?
මහාවංශය ගත්තොත් එහි වැඩිම පරිච්ඡේද සංඛ්‍යාවක් දුටුගැමුණු රජතුමා වෙනුවෙන් වෙන්වන බව අපි දන්නවා. ඉන්පසු සද්ධාතිස්ස රජු දුටුගැමුණු රජුගේ සොහොයුරා හැටියට ගන්නවා. ඒත් ඊට පස්සේ ඉතිහාසය අපි පරික්ෂා කළොත් සද්ධාතිස්ස රජුගේ දෙවැනි පුතා ඉතාම සුළු කාලයකින් එනම් මාසයයි දින දහයකින් බලයෙන් පහවන පාලකයෙක්.
ඒත් එයා ගැන කිසිම සඳහනක් නැති තරම්. ඉතිහාසය කියවගෙන යනකොට මට කාලයක් තිස්සේ තිබුණා කුතුහලයක් මොහු මොනවගේ චරිතයක්ද කියල හොයන්න. ඒවගේම මේ යුගයේ පැවැති සමාජ, ආගමික දේශපාලන තත්ත්වය නැවත කියවා බලන්න. ‘ථුල්ලත්ථන’ චරිතය මේ නවකතාව තුළ ප්‍රතිනිර්මාණය වෙන්නෙ එහි ප්‍රතිඵලයක් හැටියටය. ථුල්ලත්ථන චරිතය වංශ කතාවල සඳහන් නොවෙතත් ඔහුට මුහුණ පාන්නට සිදුවූවා යැයි සිතෙන අප්‍රමාණ සිද්ධි මාලාව තමයි මේ නවකතාවේ මතුවන්නේ. ඇත්තටම එය ථුල්ලත්ථන කුමරුවන්ගේ කතාව පමණක් නොවන බව අප තේරුම් ගත යුතුයි.
• මේ චරිත නිරූපණවල කලාත්මක අගය පෝෂණයවීම සඳහා ප්‍රේමය වැනි සංකල්ප ඒවායේ ගැඹුර, සුන්දරත්වය ඔබ ඉතා කදිමට නවකතාවට බද්ධ කරනවා. ඒ ගැන ඔබේ අදහස දැනගන්න කැමැතියි.
ඔව් ඒ නිරීක්ෂණය නිවැරැදියි. ‘ප්‍රේමය’ කියන කාරණය බුද්ධ දර්ශනයෙන් බැහැරව යන්නේ නෑ. බුදුන් වහන්සේ දක්වන්නේ ප්‍රේමය ක්ලේශයක් බවයි. ඒත් පෘතග්ජනයන් හැටියට අපි ප්‍රේමයේ සුන්දරත්වය දකිනවා. සිද්ධාර්ථ – යශෝධරා ප්‍රේමකතාව ගිහි සමාජය සුන්දරත්වයෙන් කියවා ගන්නවා. සාංසාරික ප්‍රේමය සම්බන්ධයෙන් නකුල මාතා - නකුල පිතා වැනි කතාවල බුදුන් වහන්සේ පවා දේශනා කරල තියෙනවා.
බටහිර ශිෂ්ටාචාරය තුළ වුණත් ඒ අගය කිරීම දිගින් දිගටම සිද්ධ වුණා. ‘ආත්මීය සහකරු’, ‘අනෙක් අර්ධය’ වැනි සංකල්ප ඔවුන් තුළ තියෙනවා. මෙන්න මේ කියන සාංසාරික ප්‍රේමය කියන කාරණයත් මට අධ්‍යයනය කිරීමේ වුවමනාව තිබුණා. ප්‍රේමය ක්ලේශයක් ය යන බුදුන් වහන්සේගේ අදහස අවසානයේ මතුවන්නේ එහි ප්‍රතිඵලයක් හැටියට.
• අත්දැකීමක් තිබුණ පලියට නවකතාවක් නිර්මාණය වන්නේ නෑ. අත්දැකීම ප්‍රකාශ කිරීමේ දී ලේඛකයාගේ පරිකල්පනාත්මක දායකත්වය නවකතාවේ සාර්ථකත්වයට බලපාන්නේ කොහොමද?
ඒ පරිකල්පනාත්මක දායකත්වය ඒ ඒ ලේඛකයාට ආවේණිකයි. බටහිර හෝ ආසියානු කුමන කෘති පරික්ෂා කරල බැලුවත් ඒ ඒ ලේඛකයා ගොඩනැගූ පරිකල්පන අනන්‍යතාව තමයි කෘතියේ සාර්ථකත්වයට බලපා තිබෙන්නේ. උදාහරණයකට රාම චන්ද්‍ර කතාමාලාව අරගෙන බැලුවොත් රාම, සීතා, රාවණා චරිත පරිකල්පනය මත තමයි ගොඩනඟන්නේ. ඒ පරිකල්පනයේ විශේෂත්වය අප එදා සිට කියවා තිබූ රාමායනය මහා කාව්‍යයේ ඇතුළත් මනුෂ්‍යත්වයෙන් ඉහළ, විශ්වාසය කළ නොහැකි අත්භූත සිද්ධි වෙනුවට මේ චරිත මහ පොළොවේ පය ගසාගත් චරිත බවට පත්කරනවා. ඒක තමයි පරිකල්පනයකදී වැදගත් කාරණය බවට පත්වෙන්නේ.
අපට මේ වගේ නව පරිකල්පනාත්මක මැවීම් සඳහා ඉතිහාසයේ ඕනෑතරම් හිස්තැන් තිබෙනවා. එකක් තමයි මේ නවකතාවේ සාකච්ඡා කරන ථුල්ලත්ථන චරිතය. මගේ පරිකල්පනය මම මේ චරිතය තුළ ගොඩනඟනවා. ඒත් මේ පරිකල්පනය සඳහා ලේඛකයකුට පරිකල්පන ශක්තිය වගේම අධ්‍යයනයත් අවශ්‍යයි.මම නම් හිතන්නේ පැරැණි බෞද්ධ සාහිත්‍යයම නූතන නිර්මාණකරුවන්ට හොඳ නිර්මාණ තෝතැනි.
• ඒත් ඒ බව නූතන නිර්මාණ රචකයන් බොහෝ දෙනකු තේරුම් අරගෙන තිබෙනවායැයි ඔබ සිතනවාද?
මම හිතන්නේ ඒ තත්ත්වය ප්‍රමාණවත් නෑ. බොහෝ දෙනා හදාරනවා කියලා කරන්නේ උඩින් පල්ලෙන් අතගාන එකයි. සමහර විට මේ අය කාලයක් ගිහින් අත්දැකීම් ලබලා ඇසූ පිරූ තැන් ඇති අය වෙන්න බැරිකමක්නෑ. ඒත් වර්තමානයේ නිසි අභ්‍යාසයක් තියෙනවා නම් ඔවුන්ට ඉතාම හොඳ නිර්මාණ කිරීමේ හැකියාව තිබෙනවා. එදා සමාජයට වඩා අද සමාජය බොහෝ වෙනස්. හැබැයි වර්තමාන සමාජයේ යම් දෙයක් විවෘතව කතා කිරීමට අවස්ථාවක් ඇත්තේම නැති නම් දක්ෂ නිර්මාණකරුවාට පුළුවන් ඒක අතීත සිද්ධියක් එක්ක බද්ධ කරමින් ප්‍රශ්න කරන්න.
ඒ නිසා අධ්‍යයනය, පර් යේෂණය ගවේෂණය කියනදේ නිර්මාණ රචකයාට අනිවාර්යයි. මගේ අත්දැකීම් අනුව පුවත්පත් කලාවේ වසර ගණනක් ගත කරල, පරිවර්තන ක්ෂේත්‍රයේ බොහෝ කල් ඉඳල තමයි මට ස්වතන්ත්‍ර නවකතාවක් ලියන්න ලැබෙන්නේ. එතෙක් කල් ඒ අත්දැකීම්වලට පෝෂණය වෙන්න ඉඩ දෙන්න සිදුවුණා. හැමෝටම මේ තත්ත්වය එක විදිහට බලපාන්නෙ නැතුව ඇති. ඒත් මට නම් නවකතාවකට සෑහෙන කාලයක් අවශ්‍යයි. පාඨකයාගේ බුද්ධියට අවමන් නොකිරීමට නවකතා කරුවා බැඳී සිටිය යුතුයි. ලෝකයේ ප්‍රකට නවකතා බිහි වූ පසුබිම් පුවත් බැලුවොත් ඒවා රචනා කිරීමට විශාල කාලයක් ගත් බව පෙනෙනවා.
• ඔබ ලාංකික සාහිත්‍යය මෙන්ම ලෝක සාහිත්‍ය ප්‍රවණතා ගැනද දැනුම් තේරුම් ඇති අයෙක්. ලාංකික සාහිත්‍යයේ වර්තමානය ගැන මොකද හිතන්නේ?
සිංහල නවකතා පළවෙන්නෙ ඉතාම සීමිත ප්‍රමාණයයි. ඉංග්‍රීසියට පරිවර්තනය වීමට තරම් ජාත්‍යන්තර මට්ටමේ තැබිය හැකි කෘති පහළ වෙනවාද කියන එක විමසිය යුතු කරුණක්. මේකට එක හේතුවක් තමයි අපි පුංචි දූපතක් වීම. ඒ කුඩා දූපත තුළ පවතින සංකීර්ණතා හරි අඩුයි.
අනිත් පැත්තෙන් අපේ සමහර ලේඛක ලේඛිකාවන් බයයි සමහර කාරණා ගැන විවෘතව ලියන්න. තිස් අවුරුදු යුද්ධය බරපතළ අත්දැකීම් පිරුණු තැනක්. ඒත් මේ ගැන ගැඹුරින් ලියැවුණු නවකතා අපට හමුවන්නේ නෑ. එහෙම දෙයක් ලියන්න නම් ලේඛකයාට හොඳ අධ්‍යයනයක් අවශ්‍යයි.
මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නෙවිල් ප්‍රනාන්දු මහතා සෑහෙන කාලයක් යුද හමුදාවේ ප්‍රධාන මානසික උපදේශකවරයා හැටියට කටයුතු කරලා තියෙනවා. එතුමා දේශනයක් අවස්ථාවේ අප සමග ප්‍රකාශ කළා පලාලි සමාජයේ අත්දැකීම්. සාමාන්‍ය මිනිසුන් විදුලිය නැතුව අඳුරේ ගත කළ ජීවිතය. පළාතම අඳුරේ. කඳවුරේ විදුලිය තිබෙනවා. කඳවුරේ සිට ඈතට විහිදෙන පරිදි විදුලි ආලෝක සවිකර තිබෙනවා සතුරා එන බව හඳුනාගැනීමට පහසුවෙන පරිදි.
මේ වෛද්‍යවරයා කියනවා ඔහු එළියට ඇවිත් බලනවිට ළමයි පිරිසක් ඈතින් අර විදුලි එළිය යට වාඩිවෙලා ඉන්නා බව. ඔහු යනවා එතැනට. හොයල බැලුවාම ඒ අවුරුද්දේ උසස් පෙළ ලියන ළමයි ගෙවල්වල විදුලිය නැති නිසා කඳවුර ළඟට ඇවිත් ඒ එළියෙන් පාඩම් කරනවා.
සමහරවිට අපේ ලේඛකයන්ට ඒ අත්දැකීම් ආගන්තුකයි. සටන්බිමක ඉඳගෙනම ඒ දරුවො තමන්ගේ අනාගතය වෙනුවෙන් සටන් කරනවා. මෙන්න මේ අත්දැකීම් අවකාශය ලේඛකයා සොයා යා යුතුව තිබෙනවා.
ප්‍රවීණ ලේඛක, පරිවර්තක කුමාර සිරිවර්ධන
සංවාද සටහන ගාමිණි කන්දේපොළ