ශ්‍රී ලංකාවේ තරුණ දේශපාලන නියෝජනය පිළිබඳව වූ සම්මන්ත්‍රණයක කතාවක් කිරීම සඳහා ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය’ කළ ඉල්ලීම මා බාරගත්තේ ඉතා කැමැත්තෙනි. එය පැවැත්වුණේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ය. තරුණ කථිකයන් තුන් දෙනකු, එනම් තරුණයන් දෙදෙනකු සහ එක තරුණියක සහභාගී වූ එම සම්මන්ත්‍රණය තුළ ඒ තිදෙනාම අවධාරණය කළ ප්‍රමුඛ එක් කරුණක් වූයේ නියෝජිතවරණ තුළ තරුණ සහ ස්ත්‍රී පංගුව සාධාරණ මට්ටමින් නොතිබීමේ ගැටලුවය. මා ද ඔවුන් සමඟ එකඟය. එහෙත් පංගු ලබා ගැනීමේ සහ බෙදා ගැනීමේ කතාව තරමක් ඉදිරියට ගෙන යා යුතු බව එම සම්මන්ත්‍රණය තුළ මා මතු කළ අදහසය.
තරුණයන් ඉල්ලන නියෝජිත පංගුව නැතහොත් කෝටා එක කුමක් ද? දශක ගණනාවක් තිස්සේ නඩත්තු වන අශීලාචාර දේශපාලනය දිගටම නඩත්තු කරගෙන යාම සඳහා වූ තරුණ පංගුව ද? එනම් ඒ ක්‍රමය දිගටම නඩත්තු වන්නට දී ඒ ගැන කිසිදු විචාරයක් නැතිව තමනුත් එකී ක්‍රමයේ කොටස්කරුවන් හෝ කොටස්කාරියන් හෝ වීම සඳහා ඉල්ලන පංගුවක් ද? එසේත් නැතහොත් ඒ වෙනුවට වඩාත් ශීලාචාර සමාජ දේශපාලන ක්‍රමයක් ගොඩනැගීමේ ක්‍රියාවලියක් සඳහා වන මෙහෙයුමක තරුණ පංගුව ද? මෙවර කිවි දා දැක්ම’ තුළ මා උත්සාහ ගෙන ඇත්තේ ඒ ප්‍රශ්න කීපය මැදි කරගෙන ශ්‍රී ලංකාවේ තරුණ දේශපාලන නියෝජනය ගැන බරසාර කථිකාවක් සඳහා මුල පිරීමක් කරන්නට ය.
දේශපාලනයේ පමණක් නොව ප්‍රතිපත්ති සම්පාදන, ව්‍යවස්ථා සම්පාදන සහ පරිපාලන ක්ෂේත්‍රවල තරුණ නියෝජනය අඩුවීම ශ්‍රී ලංකාවට පමණක් අදාළ තත්ත්වයක් නොව ගෝලීය තත්ත්වයකි. 1980 ගණන්වල සිට සියලුම ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය අඩු වී ඇති අතර ඡන්දය ප්‍රකාශ කිරීමේ අඩුවීම තරුණයන් අතර වඩාත් වැඩි ය. 2015 යුරෝපීය තරුණ සංසද වාර්තාවට අනුව, යුරෝපීය සංගමයේ සාමාජික රටවල් 28 හි ජාතික මැතිවරණ සඳහා තරුණයන් බොහෝ දුරට නොපැමිණ ඇත.
වයස අවුරුදු 16 හෝ 18 සහ 24 අතර සුදුසුකම් ලත් ඡන්දදායකයන්ගෙන් සියයට 60ක් පමණ, තම රටේ මෑත කාලීන ජාතික මැතිවරණවලට ඡන්දය ප්‍රකාශ නො කිරීමට තීරණය කර ඇත. පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයෙන් තරුණ ප්‍රජාව ඈත් වීම පමණක් නොව ඔවුන් අදේශපාලනික වීම පිළිබඳ සමාජ සංවාදයක් අවශ්‍ය වන්නේ එම පසුබිම වඩවඩාත් පුළුල් සහ ගැඹුරු වෙමින් පවතින නිසාය. එසේම මේ තත්ත්වය හුදු තරුණ පංගුවකින් විසඳා ගත නො හැකි බරපතළ සමාජ-දේශපාලන අර්බුයක් වන නිසාය.
බොහෝ සමාජවල දේශපාලනය ශතවර්ෂ ගණනාවක් තිස්සේ වැඩිහිටි, බොහෝ විට පිරිමි, ධනවත් සහ බලකාමී පුද්ගලයන්ගේ වසමක් වී ඇත. දේශපාලන සම්ප්‍රදායක් බවට පත් වී ඇත. එම තත්ත්වය දේශපාලන වාද විවාදවලින් සහ තීරණ ගැනීමෙන් ක්‍රමානුකූලව තරුණයන් බැහැර කිරීමට හේතු වී ඇති අතර එමඟින් තරුණ නියෝජනය අඩු වීම සාධාරණීකරණය වී සාමන්‍ය දෙයක් බවට පත් වී ඇත. දේශපාලන ක්‍රියාවලීන් තුළ තරුණ තරුණියන් වැදගත් කාර්යභාරයක් ඉටු කළ යුතු බවට පුළුල් එකඟතාවක් සහ සංවාදයක් තිබියදීත්, තරුණයන් දේශපාලනයට සහභාගී වීම සමහර රටවල බරපතළ ගැටලුවක් වී ඇත. ලංකාව එවැනි රටකි.
ප්‍රජා සහ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලන ආයතනවලට තේරී පත් වීම සඳහා අපේක්ෂකත්වය ලබා ගැනීම පවා ප්‍රාදේශීය පමණක් නොව ජාතික දේශපාලන බලවතුන් විසින් තීරණය කරන කටයුත්තක් වී ඇත. ඒ නිසාම ප්‍රාදේශීය දේශපාලනය පවා බලවතුන්ගේ වැයික්කි බවට පත් වී තරුණ නියෝජනය ඒ බලවතුන්ගේ සබඳතා සහ ආශිර්වාදය මත තීරණය වන තත්ත්වයක් නිර්මාණය වී ඇත. තරුණ පංගුව වැඩිකර ගැනීමේ ඉල්ලීම් යාදිනි බවට පත්වී ප්‍රාදේශීය සහ ජාතික දේශපාලන බලවතුන් ගම්බාර සහ රට බාර දෙවියන් බවට පත් වී ඇත්තේ මේ පසු බිමේ ය.
තරුණ කාන්තාවන්ගේ ඉරණම මීටත් වඩා බරපතළය. ඉහත තත්ත්ව විසින් ඔවුන් ද්විත්ව පීඩනයකට සහ අසරණභාවයකට පත් කරනු ලැබ ඇත. ලංකාව වැනි රටක පවතින ස්ත්‍රී පීඩනය සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්ත්‍රී දෘෂ්ටිවාදයේ බලවත්කම නිසා වන පීඩාව එකකි. තරුණ ස්ත්‍රීන් තරුණ ප්‍රජාවට අයිති වීම නිසා සිදුවන පීඩනය තවත් එකකි. මෙවැනි පසුගාමී තත්ත්වයන් නැතිකර දැමීමට නොව ඒ සඳහා වන අවම ආරම්භය ලෙස තරුණ සහ ස්ත්‍රී පංගුව උපකාරී වනු ඇත.
ලංකාවේ තරුණ සහ ස්ත්‍රී පංගුව පිළිබඳ සංවාදය එක්තරා විධියකට ප්‍රභූ සහ නිර්-ප්‍රභූ සීතල විවාදයක් බවට පත් වී තිබේ. ප්‍රභූන්ගේ දරුවන්ට හෝ ස්ත්‍රීන්ට පංගු ප්‍රශ්නයක් නැත. ඔවුන්ට සෑම තැනකම සෑම මොහොතක ම සියලු දොරවල් විවෘතය. එහෙත් නිර්-ප්‍රභූ තරුණයන්ට සහ ස්ත්‍රීන්ට පංගුව අදාළය. එහෙත් ඔවුන්ගේ පංගුවත් අර ප්‍රභූන් විසින් අව-භාවිත කරනු ලබමින් සිටී.
එහෙත් ඒ පංගුවෙන් පංගුවක් ලබා ගැනීම සඳහා දේශපාලක බලවතුන් සහ ඔවුන්ගේ අතවැසියන් අභිමුව කොයිතරම් නම් බාරහාර වන්නට, කොයිතරම් නම් බැගෑපත් වන්නට, ආවතේවකම් කිරීමට සහ දොළ පිදේනි පිදීමට තරුණ තරුණියන්ට සිදුවනවාද? යන්න අපේ තරුණ ප්‍රජාවේ සමාජ-දේශපාලන සංවාදයේ ප්‍රමුඛ මාතෘකාවක් විය යුතු ය, යන්න මගේ යෝජනාව ය. එවිට තරුණ ප්‍රජාව විසඳා ගත යුතු, ඒ සඳහා සංවාද කළ යුතු කාරණා බරපතළ බව වැටහෙනු ඇත.
වර්තමානයේ තරුණ තරුණියන් මතු කරන පංගුව පිළිබඳ අදහස විධිමත්ව සහ තර්කානුකුලව මුල්වරට ඉදිරිපත් වූයේ 1990 මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක සභාපතිත්වය දැරූ තරුණයන් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ය. ඒ කොමිසම තරුණ තරුණියන් ලක්ෂයකට ආසන්න ගණනක් ඝාතනය වීමේ පසුබිම මත පත් කෙරුණකි. එතැන් සිට නියෝජිතවරණ ප්‍රතිසංස්කරණ සහ සංශෝධන තුළ විවිධ සාධාරණයන්ට සහ කෙනෙහිලිකම්වලට භාජන වූ තරුණ සහ ස්ත්‍රී පංගුව මේ වනවිට පවතින්නේ ද අර්බුදයක ය. තරුණයන් සහ ස්ත්‍රීන් හඬ නගන්නේ මේ පංගුව සාධාරණ මට්ටමකට ගෙන ආ යුතු ය යන අදහස මුල් කරගෙනය.
එහෙත් අපි අපේ අවධානය තවත් අතකට යොමුකරමු. තරුණයන්ට හෝ ස්ත්‍රීන්ට මේ පංගුව පිළිබඳ ප්‍රශ්නය අදාළ වන ආකාරය විවිධය. දේශපාලනයට ඒමට කැමති සමහර තරුණයන්ට සහ ස්ත්‍රීන්ට පංගුව හෝ කෝටාව අදාළ නැත. සමහර තරුණයන්ට සහ ස්ත්‍රීන්ට පංගුව නිසා අවස්ථාව ලැබී ඇත. සමහර තරුණයන්ට සහ ස්ත්‍රීන්ට පංගුවේ තම පංගුව ලබා ගැනීම සඳහා දේශපාලකයන්ගේ හෝ බලවතුන්ගේ අන්තේවාසිකයන් හෝ අනුගාමිකයන් වීමට සිදුව ඇත. සමහර තරුණයන්ට සහ ස්ත්‍රීන්ට පංගුව නිසාවත් අවස්ථාවක් ලැබී නැත. ඒ සඳහන් කළේ තරුණ සහ ස්ත්‍රී පංගුව දෙස බැලිය යුතු අංශ කීපයක් ය.
මේවා එකින් එක ගෙන බලමු. දේශපාලනයට ඒමට කැමති සමහර තරුණයන්ට සහ ස්ත්‍රීන්ට පංගුව හෝ කෝටාව අදාළ නැත යන්න පළමුවැන්නය. ඒ තරුණයෝ සහ ස්ත්‍රීහු වනාහි එක්කෝ බලවතුන්ගේ හෝ දේශපාලකයන්ගේ දරුවෝ සහ ඥාතීයෝ ය. නැතහොත් ඒ තරමටම සමීප සබඳතා ඇති අය ය. එසේත් නැතහොත් තම කණ්ඩායමට ඡන්ද පදාසයක් කඩා ගැනීමට හේතුවන ප්‍රසිද්ධ ස්ත්‍රීන් හෝ තරුණයන් ය. මේ තරුණයන් හෝ ස්ත්‍රීන් කිසි දිනෙක නියෝජිත පංගු ගැන කතා කරන්නේ නැත. ඔවුන් ට ඒ පංගුවෙන් ඇති වැඩක් නැත.
සමහර තරුණයන්ට සහ ස්ත්‍රීන්ට පංගුව නිසා අවස්ථාව ලැබී ඇත යන්න දෙවැනි අදහස ය. සමහර තරුණයන්ට සහ ස්ත්‍රීන්ට පංගුවේ තම පංගුව ලබා ගැනීම සඳහා දේශපාලකයන්ගේ හෝ බලවතුන්ගේ අන්තේවාසිකයන් හෝ අනුගාමිකයන් වීමට සිදුව ඇත යන්න තෙවැනි අදහසය. එනම් ඔවුන්ට ඒ අවස්ථාව ලබා ගැනීමට දියුණු ප්‍රජාතන්ත්‍රීය විධික්‍රමවලට වඩා පෞද්ගලික හිතවත්කම් සහ අනුග්‍රහයන් දේශපාලකයන් හෝ ආසන සංවිධායකයන් හෝ සමග නඩත්තු කිරීමට සිදුවනු ඇත.
එය නඩත්තු කිරීමට සිදුවන්නේ කිසිදු විචාරයක් විවේචනයක් විරෝධය දැක්වීමක් නොමැතිවය. ‘‘එවැනි පසුබිමක තරුණයන් ඇත. තරුණ දේශපාලනය නැත. ස්ත්‍රීන් ඇත; ස්ත්‍රී දේශපාලනය නැත.’’ මේ තත්ත්වය ඉතාම බලවත් වී ඇත්තේ නිතර බලයට පත්වන පක්ෂවලය. බොහෝ සමකාලීන වාමාංශික පක්ෂවල විශේෂයෙන්ම ජවිපෙ සහ පෙරටුගාමී වැනි පක්ෂවල මේ තත්ත්වය ඉතාම අඩු ය.
සමහර තරුණයන්ට සහ ස්ත්‍රීන්ට පංගුව නිසාවත් අවස්ථාවක් ලැබී නැත යන්න සතර වැනි අදහස ය. එනම් අති විශාල තරුණ සහ ස්ත්‍රී ජනකායක් දේශපාලන නියෝජිතයන් වීමේ අභිලාෂයෙන් සිටියත් ඔවුන්ට පංගුව නිසාවත් ඒ අවස්ථාව ලැබී නැත. මන්ද තරුණ සහ ස්ත්‍රී පංගුව පවා දේශපාලකයන්ගේ සහ බලවතුන්ගේ ඥාතී සහ සමීපතමයන්ගේ තරුණ දූ පුතුන්ගෙන් ම පුරවා දමා අපි තරුණයන්ට සහ කාන්තාවන්ට අවස්ථාවක් දුන්නා යැයි උදාන පාඨ නැගීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන සංස්කෘතියක් මෙරට වර්ධනය වී ඇති නිසා ය. මෙය තේරුම් ගැනීමට පාර්ලිමේන්තුවේ, පළාත් සභාවල, සහ ප්‍රාදේශීය ආණ්ඩුවල තරුණ, ස්ත්‍රී ප්‍රතිශතය සහ ඔවුන්ගේ සම්බන්ධතා විශ්ලේෂණයට ලක් කරන්න.
මේ අනුව ලංකාවේ තරුණ සහ ස්ත්‍රී පංගුව පිළිබඳ සංවාදය එක්තරා විධියකට ප්‍රභූ සහ නිර්-ප්‍රභූ සීතල විවාදයක් බවට පත් වී තිබේ. ප්‍රභූන්ගේ දරුවන්ට හෝ ස්ත්‍රීන්ට පංගු ප්‍රශ්නයක් නැත. ඔවුන්ට සෑම තැනකම සෑම මොහොතක ම සියලු දොරවල් විවෘතය. එහෙත් නිර්-ප්‍රභූ තරුණයන්ට සහ ස්ත්‍රීන්ට පංගුව අදාළය. එහෙත් ඔවුන්ගේ පංගුවත් අර ප්‍රභූන් විසින් අව-භාවිත කරනු ලබමින් සිටී.
මෙයට විසඳුම කුමක් ද? තරුණයන් සහ ස්ත්‍රීන් අනෙකුත් අය හා එක්ව පංගු පේරුව නොව සියලු දෙනාට සමාන අවස්ථා සාධාරණව ලැබෙන විමුක්තිකාමී නිදහස් සමාජයක් සඳහා වයස් සහ ලිංග භේද පරයා යන ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකසා ගත යුතු ය යන්න ඒ සඳහා වන මගේ යෝජනාව ය. ඒ වැඩපිළිවෙළ පවත්නා ක්‍රමය නඩත්තු කිරීම නොව නව ප්‍රගතිශීලී ක්‍රමයක් ඇරඹීම සඳහා වූවක් විය යුතු ම ය.
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ,
ධම්ම දිසානායක