ජාතික විගණන කාර්යාලය මේ දිනවල නිකුත් කරන ඇතැම් වාර්තාවල සඳහන් කරුණු විමසා බලන විට රට මේ තරම් බංකොලොත් වී ආර්ථිකය කඩා වැටීම පිළිබඳ පුදුම විය යුතු නැත. මහජන මුදල් අවභාවිතය එතරම් ඉහළ මට්ටමක පැවති බව එම වාර්තා මගින් තහවුරු වෙමින් තිබේ. මේ සම්බන්ධ අලුත්ම වාර්තාව ආගමික ස්ථානවලට සම්බන්ධ වීම සිද්ධියේ බරපතළ බව තවත් උග්‍ර කර තිබේ.
මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ආගමික ස්ථාන ගණනාවකට 2018 වර්ෂයේ දී ලබාදී තිබූ රුපියල් කෝටි 48කට ආසන්න මුදලක් අවභාවිත කර තිබෙන බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එම වාර්තාවේ සඳහන් ය. සසුනෝදය වැඩසටහන යටතේ ලබාදී තිබූ මේ මුදලින් නිසි පරිදි ප්‍රයෝජන ගෙන නැති බවත් එලෙස වැඩක් නොකෙරී තිබුණත් එම මුදලට සිදුවූ දෙයක්ද නැති බවත් හෙළි වී තිබේ.
පන්සල්, පල්ලි වැනි ආගමික සිද්ධස්ථාන ගණනාවක් ඒ මුල්‍යාධාර භාවිත කර සංවර්ධන කටයුතු නිසි ලෙස නිමකර නැත. එසේ වුවද එම මුදල් ලබාදුන් මධ්‍යම සංස්කෘතික අරමුදල එම මුදල් සම්බන්ධයෙන් පසු විපරමක් පවා කර නැති බවත් ජාතික විගණන කාර්යාලය සිය වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල භාර අමාත්‍යංශයත් එහි නිලධාරීන් සහ අමාත්‍යවරයාත් මේ පසුවිපරම සිදු නොවීම සම්බන්ධයෙන් වගකීම දැරිය යුතුය. එම අරමුදලේ තැන්පත්ව ඇත්තේ කිසිවකුගේ පෞද්ගලික බූදලයක මුදල් නොවේ. ඒවා මහජනතාව සතු මුදල් බැවින් ඒවා ලබාදීමට අනුමැතිය දුන් සියලු දෙනා ඒ සම්බන්ධ වගකීමෙන් බැඳී සිටින බැවිනි.
ඕනෑම අරමුදලකින් මුදල් නිකුත් කිරීමේදී එම ව්‍යාපෘතියට අදාළ ගෙවීම් ලබාගන්නාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමකින් තොරව මුදල් ලබාදීම නීති විරෝධී ගනුදෙනුවක් වශයෙන්ද සැලකිය හැක. ලබන්නා කවුදැයි නොදැන මුදල් නිකුත් කිරීම යටින් මුදල් අවභාවිතය සහ දූෂිත ක්‍රියාවක සියලු ලකුණු තිබෙන බව නොරහසකි. එය දැන දැන සිදුකරන වැරැද්දක් යටතට ද ගැනෙන බව පෙන්වා දිය යුතුය.
මෙහිදී වඩාත් සැලකිල්ලට ගත යුත්තේ කෝටි 48ක මුදලක් පිල්ලි යාමට ආගමික ස්ථාන සම්බන්ධ වීමය. මෙය කිසිසේත් සිදු නොවිය යුත්තකි. ආගම නංවාලීම සහ ආගමික ස්ථාන සහ ආගමික වත් පිළිවෙත් පවත්වාගෙන යාම සඳහා ආධාර ලබාදීමේ දී මධ්‍යම සංස්කෘතික අරමුදල නිසි ක්‍රමවේදය අනුගමනය නොකර 2019දී අවස්ථා 63ක දී රුපියල් කෝටි 03කට ආසන්න මුදලකට අදාළ චෙක්පත් සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අමාත්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් සහ සේවකයන්ට ලබාදීමට කටයුතු කර තිබූ බවද වාර්තාවේ දැක්වෙයි. මෙය පැහැදිලිව රජයේ මුදල් රෙගුලාසි උල්ලංඝනය කිරීමකි. මේ මුදල් යම්කිසිවකු යටිමඩි ගසා ගත්තාදැයි අපි නොදනිමු. එහෙත් එවැනි අක්‍රමිකතාවකට සියලු පහසුකම් මේ නොසැලකිලිමත් බව හරහා ප්‍රදානය කර තිබේ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් මේ ආකාරයට අමාත්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන්ට සහ සේවකයන්ට ලබාදීමට අවසර ලබාදුන්නේ කවුදැයි වහාම සොයාබැලිය යුතු නොවේද? මීට වගකිවයුතු නිලධාරීන් පමණක් නොව දේශපාලනඥයන්ද ප්‍රශ්න කිරීම්වලට ලක්කර සත්‍යය සොයාගැනීම අවශ්‍යය. යළිත් මෙවැනි අක්‍රමිකතා සිදුවීම වළක්වා ගත හැක්කේ එවැනි තද පියවරක් ගැනීමෙන් පමණි.
මේ දිනවල තමන්ගේ විදුලිය බිල විශාල ලෙස වැඩි වී ඇතැයි ඇතැම් පන්සල්වල ස්වාමීන් වහන්සේලා දැඩි ලෙස විරෝධය පාමින් සිටිති. මෙසේ විරෝධය දක්වන භික්ෂූන් වැඩ වෙසෙන පන්සල් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ප්‍රතිපාදන ලැබූ ආගමික ස්ථාන අතර තිබේදැයි සොයා බලා එසේ ලබාගත් මුදලින් නිසි ප්‍රයෝජන ගෙන ඇතිදැයි පරීක්ෂා කිරීම ද කළ යුතුය. ලබාගත් මුදලින් පන්සලට, ප්‍රදේශයට හෝ දායකයන්ගේ කටයුතුවලට හෝ කිසිදු වැඩක් සිදුකර නැත්නම් එම මුදල් නිසි ලෙස ප්‍රයෝජනයට ගත යුතු යැයි බලකිරීමට සංස්කෘතික අරමුදලට හැකි විය යුතුය.
අඩුම තරමින් සූර්ය පැනල සවි කිරීමට හෝ එම මුදල් භාවිතයට ගන්නැයි ආගමික සිද්ධස්ථානවලින් ඉල්ලීමක් කළ යුතුය. එසේ නොවන්නේ නම් සහ එවැනි ආගමික සිද්ධස්ථානවලට කිසිදු පියවරක් නොගන්නේ නම් රටේ ජනතාවට හැඟී යන්නේ ආගමික සිද්ධස්ථාන හරහා කෝටි ගණනක මුදල් අවභාවිතයක් සිදුවී තිබෙන බවය. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඇතැම් නිලධාරීන්ගේද සහාය ඊට ලැබී ඇති බවද පැහැදිලිය. නැතහොත් දේශපාලන බලපෑමක් හේතුවෙන් එය සිදුවී ඇති බව පෙන්වා දිය යුතුය.
මේ රටේ ආගම නංවාලීම, ආගමික ස්ථාන සහ ආගමික වත්පිළිවෙත් පවත්වාගෙන යාම වැනි කාරණා දේශපාලනය හා තදින්ම බැඳී පවතී. මේ විෂය ඡන්ද මැෂිමක් බවට පත්වූ අවස්ථා අතීතයේදී තිබිණි. එය වර්තමානයේ නොපවතින බවක් හෝ අනාගතයේදී එසේ නොවන බවක් හෝ පිළිබඳ කිසිවකුටත් සහතිකයක් දිය නොහැක. එහෙත් මේ අවශ්‍යතා ඉටුකර ගැනීමට මහජනතාව සතු මුදල් යොදවා ගැනීම රාජ්‍ය මුදල් අවභාවිතයකි. මැතිවරණයක් ප්‍රකාශ කළ අවස්ථාවක නම් එය මැතිවරණ දූෂණයකි. මේ සිද්ධි සම්පූර්ණයෙන් පිටුදැකිය යුතුය. එසේ වුවද තමන්ගේ පෞද්ගලික ධනය යොදවා ඕනෑම ආගමික ස්ථානයක් දියුණු කිරීමට ඕනෑම දේශපාලනඥයකුට නිදහස තිබෙන බවද පෙන්වා දෙනු කැමැත්තෙමු.
(***)