පළමු වසරට දරුවන් ඇතුළු කරගැනීමේ ප්‍රශ්නය


රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට 2024 වසරට සිසුන් ඇතුළත් කරගන්නා උපදෙස් ඇතුළත් චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබේ. ඒ අනුව මෙවරත් පළමු ශ්‍රේණියේ සමාන්තර පන්තියකට සිසුන් 40 බැගින් ඇතුළත් කරගන්නා අතර ඉන් සිසුන් 35 දෙනකු සම්මුඛ පරීක්ෂණ මගින්ද පස් දෙනකු ක්‍රියාන්විත රාජකාරියේ යෙදුණු ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සාමාජිකයන්ගේ ළමයින්ගෙන්ද තෝරා ගැනේ.

පාරට බැසීම මාරාන්තික අත්දැකීමක් වී ඇති රටක, රෝහල් ගතවීම  මරාන්තික අත්දැකීමක් වී ඇති රටක දරුවකු පාසලකට ඇතුළත් කර ගැනීමද මරාන්තික අත්දැකීමකි. පළමු වසරට ඇතුළත් කර ගත යුතු දරුවකු සිටින ඒ දරුවාට ‘‘හොඳ’’ අධ්‍යාපනයක් ලබාදීමේ සිහිනයක සිටින දෙමාපියෝ ඒ මාරක අත්දැකීම මේ මොහොතේ අත්විඳිමින් සිටිති.

සැබැවින්ම දරුවකු පාසලකට ඇතුළත් කර ගැනීම එසේ ‘‘මාරක’’ විය යුතු නැත. එහෙත් මේ රටේ එය එසේය. එය එසේ වී තිබෙන්නේ මේ රටේ අධ්‍යාපන ක්‍රමය තුළ ‘‘පංති බේදය’’ ඉහළින්ම තිබෙන හෙයිනි. නිදහස ලබා හැත්තෑපස් වසරක් ඉක්ම ගියද මෙම පංති බේදය තුරන් කිරීමට සමත් දියුණු ක්‍රමවේදයක් ආදේශ වී නැත. අධ්‍යාපනයට කරන ‘‘වියදම්’’ වනාහි වියදම් නොව ‘‘ආයෝජනයක්’’ බව වටහා ගැනීමට අසමත් වීමේ තාර්කික අන්තය මෙරට පාසල් අධ්‍යාපනය අභ්‍යන්තරයෙන් දරුණු නාය යෑමකට ගොදුරු වීමය.

අප රටේ පාසල් වර්ග දෙකක් තිබේ. ඒ සුපිරි පාසල් සහ එසේ නොවන පාසල් වශයෙනි. දරුවාට වඩාත් භාග්‍යවත් අනාගතයක් නිර්මාණය කර දීමට නම් ඒ දරුවා සුපිරි පාසලකට ඇතුළත් කළ යුතුය යනුවෙන් මතයක් සමාජගත වී තිබේ. දෙමාපියන්ට අදාළව එම හැඟීම සාධාරණය. එහෙයින්  ඇතැම්හු විවාහයටත් පෙර සිටම ඒ වෙනුවෙන් සුදානම් වෙති. නිත්‍යානුකූල ලියකියවිලි නොමැතිනම් ව්‍යාජ ලියකියවිලි සකස් කරති.

සමාජගතව ඇති තවත් එක් මතයක් වන්නේ ‘කූඨ ලේඛන’ සෑදීමේ වරදට මේ රටේ දෙමාපියන් බහුතරයක් හිරේ විලංගුවේ සිටිය යුතු බවය. යහපත් පුරවැසියකු වීමට ඇති ප්‍රධාන බාධාවක් වී තිබෙන්නේ මෙම ක්‍රමය බව ඉතා පැහැදිලිය.


පවතින මෙම ක්‍රමය තුළ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ආදි ශිෂ්‍ය සංගම් චෞර කප්පිත්තන් බවට පත්වීම වැළැක්විය නොහැකිය. දරුවා පාසලට ඇතුළත් කරගැනීම සඳහා අල්ලස්ගත් විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා විවිධ මාෆියාකරුවන් අත්අඩංගුවට ගත් පුවත් වෙනුවෙන් ඉදිරියේදී ප්‍රවෘත්ති විකාශය තුළ පුවත්පත්වල වැඩි ඉඩක් වෙන් කිරීමට සිදුවනු ඇත. දරුවා පාසලට ඇතුළත් කරගැනීම සඳහා තානායම් කරා රැගෙන ගොස් ලිංගික අල්ලස් ඉල්ලූ විදුහල්පතිවරයකුට අදාල ප්‍රවෘත්තිය මෙයට දෙතුන් වසරකට පෙර වාර්තා වූවකි. තත්ත්වය එපරිදි වනවිට මේ රට හදන්නේ කොහොමද යන්න මගහැර යා නොහැකි ප්‍රශ්නයකි.

පහ වසර ශිෂ්‍යත්ව විභායට අපොස සාමාන්‍ය පෙළ විභාගයට මෙන්ම අපොස උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන මේ රටේ සෑම දරුවකුටම ලැබෙන්නේ එකම ප්‍රශ්න පත්‍රයකි. කොළඹ හෝ නාගරික සුපිරි පාසල්වල හෝ ඉගෙන ගන්නා දරුවාට මෙන්ම අධික හද්ද වන්නිකරේ අතිශයින්ම දුෂ්කර පාසලක ඉගෙන ගන්නා දරුවාට එකම ප්‍රශ්න පත්‍රයක් දීම කොතරම් දුරට යුක්ති සහගත ද යන්න ප්‍රශ්න නොකරන සමාජයක අපේ දූ දරුවෝ බහුතරයක් අසාධාරණයට ලක්ව සිටිති.

අධ්‍යාපනයේ සම අවස්ථාව මූලික මානව හිමිකමකි. සෑම පාසලක්ම එක සේ දියුණු කළ නොහැකිය. එහෙත් දියුණු පාසලක අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව පුළුල් කළ යුතුය. ළඟම පාසල හොඳම පාසල බවට පරිවර්තනය කිරීමට සමත් වන්නේනම් එය බරපතළ සමාජ ප්‍රශ්නයකට සවිමත් පිළිතුරක් වීම ඒකාන්තය. එය එසේ වනවිට දෙමාපියන්ගේ වියදම් ද සීමාවනු ඇත. දරුවාට සතුටෙන් ඉගෙන ගැනීමට අවස්ථාව උදාවනු ඇත. ප්‍රශ්නය වන්නේ ‘‘අහෝ ඒ රට කවද උදාවේද’’ යන්නය.  

(***)