රටේ ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා දැනට ඇති එකම විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුල වෙතින් ශ්‍රී ලංකා රජය විසින් ඉල්ලා ඇති ණය මුදල අනුමත කරවාගෙන එය ලබා ගැනීමයි. අර්බුදය උග්‍ර වන විට පක්ෂ විපක්ෂ බොහෝ නායකයන් මෙන්ම සමහර ආර්ථික විද්‍යාඥයන් ද ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ණය ගෙවීම නවතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ණය ලබාගත යුතු බවයි. රට දැන් මුහුණ දී සිටින ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා එයට වඩා වෙනස් ප්‍රායෝගික යෝජනාවක් ඉදිරිපත් කිරීමට කිසිදු දේශපාලනඥයකුට, පක්ෂවලට හෝ ආර්ථික විද්‍යාඥයකුට හෝ හැකිවේ යැයි සිතිය නොහැක.
ආර්ථික අර්බුදය හමුවේ රටේ එදිනෙදා අවශ්‍යතා මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ජීවන පැවැත්මට අවශ්‍ය බොහෝ දේවල් මිලදී ගැනීමට සිදුව ඇත්තේ දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් ණය ලබා ගැනීම මගිනි. එවැනි තත්ත්වයක් තුළ දිගින් දිගටම එවැනි අවශ්‍යතා සඳහා වැය කෙරෙන මුදලට වඩා අඩු මිලකට ඒවා ලබාදිය හැකි වාතාවරණයක් තව දුරටත් ශ්‍රී ලංකාවට තිබේද? යන ප්‍රශ්නය පැන නගී.
එවැනි ගැටලුවකට මුහුණ දී සිටින ප්‍රධාන නිෂ්පාදන හා සේවා ආයතන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව ආදිය දැක්විය හැකිය. මේ දිනවල වඩාත්ම කතාබහට ලක් වී ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලයේ ගාස්තු සම්බන්ධයෙනි. මේ වන විට විදුලි ගාස්තු සෑහෙන ප්‍රමාණයකින් ඉහළ දමා ඇත. එසේ වුවද ලබන වසරේ අදියර දෙකකින් තවත් වරක් විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
විදුලි බල ඇමති කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කරන්නේ විදුලි ඒකකයක් නිපදවීම සඳහා රුපියල් පනස් නමයක් පමණ වැය වන බවත් එනිසා විදුලි බල මණ්ඩලයට විශාල පාඩුවක් දැරීමට සිදු වන බවත් ගාස්තු ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නැති බවත්ය.
ඉහතින් සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීමට අපට සිදුව ඇති අතර අප ලබා ගත් සහ ලබා ගන්නා ණය මුදල් ආපසු ගෙවීම සඳහා මූල්‍ය විනයක් ඇති බව එම ආයතනයට තහවුරු කිරීමට රජයට සිදු වේ. වැඩි මිලට භාණ්ඩ නිෂ්පාදනය කර ඒවා අඩු මිලට ලබාදී පාඩු විඳීමෙන් මූල්‍ය විනයක් දැකිය නොහැකි වන අතර එය වුවමනාවෙන්ම අසාර්ථක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමක් ලෙස පෙන්වාදිය හැකිය. විදුලි බිල ඉහළ නැංවීම නිසා මහජනතාවට දැඩි අපහසුතාවක් විඳීමට සිදුවන බව සැබෑවකි.
එසේ වුවද යම් කිසි දෙයකට වැය වන පිරිවැයට වඩා අඩු මිලට ඒවා අලෙවි කිරීමේ හැකියාවක් බංකොලොත් බව ප්‍රකාශයට පත් කර ඇති රටකට නොමැති බව මහජනතාවට වටහා දීම රජයේ යුතුකමක් වේ. අනෙක් අතට ඒ ආකාරයේ මිල ක්‍රමයක් මගින් පාඩු ලබන රටකට ණය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ වෙනත් කිසිදු ආයතනයක් ඉදිරිපත් නොවන බව වටහා දීම ද රජය විසින් කළ යුතුව ඇත.
රජයට තව දුරටත් වැඩි මිලකට ගෙන අඩු මිලට මහජනතාවට භාණ්ඩ හෝ සේවා ලබා දීමේ හැකියාවක් නැත. අඩුම තරමින් නිෂ්පාදන පිරිවැයට සමාන වන ආකාරයෙන් මිල නියම කිරීමට හැකි නොවන තාක් විදුලි බල මණ්ඩලය පාඩු ලබමින් පවත්වාගෙන යාමටත් පාඩු පියවීම සඳහා වෙනත් බදු පැනවීමටත් රජයට සිදු වේ. නිෂ්පාදන වියදමට සරි ලන ලෙස නැවත වරක් මිල ඉහළ දැමීමෙන් මහජනතාව දැඩි අපහසුතාවකට පත් වන බව සැබෑ නමුත් මිල වැඩි කිරීම හැර රජයට විකල්පයක් නැත.
ඕනෑම පෞද්ගලික ආයතනයක් තමන්ගේ නිෂ්පාදන මිල ඉහළ ගොස් ඇති අවස්ථාවක ඊට සරිලන ආකාරයෙන් තම භාණ්ඩ මිල ඉහළ දැමීමට කටයුතු කරනු ඇත. කිරි පිටි, තිරිඟු පිටි ආදිය ගෙන්වන පෞද්ගලික සමාගම් එම භාණ්ඩ මහජනතාවට සහන මිලකට සපයා පාඩු විඳින්නේ නැත. එහෙත් රාජ්‍ය ආයතනයක් පාඩු ලැබූ විට රජය කවරාකාරයකින් හෝ මුදල් සපයාදී එම ආයතනය ආරක්ෂා කිරීම මෙතෙක් පැවති ප්‍රතිපත්තිය විය.
එම ආයතනයේ ණය ප්‍රමාණය ඉහළ ගොස් පාඩු ලබන තත්ත්වයකට පත් වුවද රජයේ රැකවරණය යටතේ එම ආයතනය ආරක්ෂා විය. පෞද්ගලික අංශයට එය කළ නොහැකි නිසා බඩු මිල ඉහළ දමා තමන්ගේ පැවැත්ම ආරක්ෂාව තර කර ගැනීමට ඒවාට සිදු විය. එහෙත් IMFකොන්දේසි හමුවේ විදුලි නිෂ්පාදන පිරිවැයට සමාන වන ලෙස මිල වැඩි කරන ප්‍රතිපත්තියක් ඉදිරියේ දී අනුගමනය කිරීමට සිදු වනු ඇත.
විදුලිය නිෂ්පාදනයට යන වියදම පිළිබඳව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා, වෘත්තීය සමිති සහ සමහර දේශපාලනඥයන් විවිධාකාරයේ මත ප්‍රකාශ කර තිබේ. විදුලි බල ඇමතිවරයා ප්‍රකාශක කර ඇති මිලට වඩා අඩු පිරිවැයක් විදුලි ඒකකයක් නිපදවීමට වැය වන බව ඔවුන්ගේ අදහස වී ඇත. එක් වරක් මිල වැඩි කර තිබියදී මහජනතාව පිට තවත් බරක් පටවන්නට ඇමතිවරයාට හෝ රජයට වුවමනාවක් ඇතැයි සිතිය නොහැක. විදුලිය නිපදවීමට යන වියදම අකැමැත්තනේ වුවත් විදුලි පාරිභොගිකයන්ගෙන් අයකර ගැනීමට රජයට සිදුව ඇත.
මිල වැඩි කිරීමෙන් පාරිභෝගිකයා අපහසුවට පත් වේ. එසේ වුවද කාර්යක්ෂමතාව ඉහළ නංවා කිසියම් ආකාරයක සාධනීය තත්ත්වයක් ඇති කර ගැනීමට රටට, විදුලි බල මණ්ඩලයට සහ පාරිභෝගිකයාට ද අවස්ථාව සැලසෙනු ඇත. මිල ඉහළ යද්දී පාරිභෝගිකයන් හැකි අවම ප්‍රමාණය දක්වා විදුලි පරිභෝජනය අඩු කරනු ඇත. විදුලිය වැය වන තවත් බොහෝ දේ කපා හරිනු හෝ නවතා දමනු ඇත. උදාහරණයක් ලෙස අනවශ්‍ය විදුලි පහන් දැල්වීම, ජලය උණු කිරීම සඳහා විදුලිය යොදා ගැනීම ආදිය අඩු කරනු ඇත. රටේ අනෙකුත් නිෂ්පාදන සමාගම් ද සූර්ය බලය යොදා ගැනීම, විදුලි භාවිතය අඩු කිරීම, විදුලි විගණන පවත්වා විදුලි අරපිරිමැස්ම සඳහා විදි විධාන යෙදීම සහ ජෙනරේටර්ස් යොදා ගැනීම වැනි ක්‍රියාමාර්ගවලට පෙළඹෙනු ඇත. පාරිභෝගිකයාට ද නිෂ්පාදන අංශවලට ද දැරීමට සිදුවන අධික වියදම එවැනි ක්‍රියාමාර්ග ඔස්සේ පාලනය කර ගැනීම සඳහා රජය මෙන්ම විදුලිය බල මණ්ඩලය ද සක්‍රීයව දායක වීම ඉතා වැදගත් වේ.
එහෙත් බොහෝ දෙනකු විසින් චෝදනා කරන්නේ අධික සේවක සංඛ්‍යාවක් සිටීම, ඉහළ වැටුප්, ඉහළ පාරිතෝෂික, නිලධාරීන්ගේ බදු රජය විසින් ගෙවීම සහ නාස්තිය සහ දූෂණය ආදිය විදුලි මිල ඉහළ යාම සඳහා හේතු වී ඇති බවයි. මෙම අංශවල කාර්යක්ෂමතාව ඉහළ නංවා ප්‍රශස්ත නිෂ්පාදන මට්ටමක් ඇති කර ගැනීම සහ ඇතැම් වියදම් කපා හැරීමෙන් මහජනතාව වෙත බර පැටවීම අඩු කර ගත හැකි වේ.
සෑම නිෂ්පාදනයක් වෙනුවෙන්ම අඩුම තරමින් එහි වියදම දැරීමට තරම් වන ආකාරයේ මිලක් ආපසු නොගෙවන්නේ නම් එයට පිළියමක් යෙදිය යුතුය. උදාහරණයක් ලෙස විදුලිය බල මණ්ඩලය විසින් දිවයින පුරා සෑම ප්‍රදේශයකම වීදි ලාම්පු සඳහා විදුලිය සපයනු ලැබේ. එහෙත් ඒවා සඳහා කිසිදු ආයතනයක් විසින් ගෙවීමක් කරනු නොලැබේ.
අතීතයේ දී වීදි ලාම්පු සපයනු ලබන ප්‍රදේශ අයත් වන නගර සභා සහ අනෙකුත් පළාත් පාලන ආයතන ඒ සඳහා වැය වන මුදල ගෙවා ඇති බවට වාර්තා වේ. එසේ වුවද දැන් මුළු වියදමම විදුලි බල මණ්ඩලය විසින්ම දැරීමට සිදුව ඇති අතර ඒ සඳහා වාර්ෂිකව වැය වන මුදල රුපියල් බිලියන තුනකට ආසන්නය. ඒ ඒ ප්‍රදේශවල පළාත් පාලන ආයතන විසින් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවගෙන් බදු අය කරන බැවින් එම ආයතන විසින් වීදි ලාම්පු සඳහා වැය වන විදුලි බිලෙන් කිසියම් ප්‍රමාණයක් හෝ දැරීම යෝග්‍ය වනු ඇත.
විදුලි බල පද්ධතියට ඉතා ඉක්මනින් එක් කර ගත හැකි පුනර්ජනනීය විදුලි නිෂ්පාදන ක්‍රමය වන්නේ සූර්ය බල ශක්තියයි. කෙසේ වුවද පසුගියදා පාර්ලිමේන්තුවේ දී ඇතැම් මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ විදුලි බල මණ්ඩලයේ අකාර්යක්ෂමතාව නිසා එම කටයුතු විධිමත් පරිදි සිදු නොවන බවයි. එබැවින් සූර්ය බල විදුලි නිෂ්පාදනයට පවතින බාධක ඉවත් කර රජයේ මිල ගණන්වලට වඩා අඩු මිලකට විදුලිය නිපදවා ගැනීම සඳහා අවස්ථාව සලසා දෙන්නේ නම් ජනතාවගේ පීඩනය තරමක් දුරට හෝ අඩු කර ගැනීමට හැකි වන අතර රටේ විදුලි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා ද අවස්ථාව සැලසේ.
රජයේ ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාවට නැංවීමේදී ඒ හා සම්බන්ධ වන රාජ්‍ය ආයතන සියල්ල ඊට අනුකූල වන අයුරින් කටයුතු කිරීම, ඒවායේ සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියකි. එසේ වුවද පසුගියදා විදුලි බල ඇමති කාංචන විජේසේකර මහතා සහ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා අතර විදුලි මිල වැඩිකිරීම සම්බන්ධයෙන් පරස්පර අදහස් හුවමාරු වන ආකාරය දැක ගැනීමට හැකි විය. මහජන උපයෝගීතා කොමිසම ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබූයේ එවකට අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. ˝‘‘ශ්‍රී ලංකා විදුලි බල පනතේ සඳහන් වන අන්දමට සාමාන්‍ය ප්‍රතිපත්තිය යටතේ විදුලි මිල ගණන් පිළිබඳ උපදෙස් නිකුත් කළ හැක්කේ ඇමතිතුමාට වන අතර එම ප්‍රතිපත්තියෙන් බදු ව්‍යූහ සිද්ධාන්තයකට අනුව හෝ වෙනත් සිද්ධාන්තයකට අනුව සැකසිය හැකිය. පනතේ තිස්වැනි වගන්තියේ දෙවැනි උප වගන්තිය අනුව මහජන උපයෝගීතා කොමිසම එය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටි කිසිවකුට එයට පරිබාහිරව ක්‍රියාත්මක විය නොහැකිය.
මහජන උපයෝගීතා කොමිසමේ කෙටුම්පත එදා සකස් කළේ මම. එහි තිබෙන බලතල කා සතුවද තිබෙන්නේ කියා මම හොඳින් දන්නවා.˝’’ මාධ්‍ය මඟින් ලැබෙන ප්‍රසිද්ධියට ලොල් බඳින සමහර ආයතන ප්‍රධානීන් වීර චරිත රඟපෑම සඳහා පෙළඹෙන බව මෑත කාලයේදී දකින්නට ලැබුණු සුලභ දර්ශනයක් විය. මාධ්‍ය මගින් ඒවාට ලබාදෙන ප්‍රසිද්ධිය නිසා තමන් ප්‍රකාශ කරන්නේ කුමක්ද යන්න පිළිබඳව හෝ වැටහීමක් නොමැතිව සමහර ආයතන ප්‍රධානීහු කටයුතු කරති.
ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාව මගින් රාජ්‍ය ව්‍යූහය තුළ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර බලය බෙදීම නිශ්චිත මට්ටමකින් සිදු කර තිබේ. එවැනි තත්ත්වයක් තුළ විධායකයට පැවරී ඇති වගකීම්වලට පටහැනිව යන ආකාරයෙන් කටයුතු කිරීමට කිසිදු නියාමන ආයතනයකට බලයක් නැත. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තොරතුරු මගින් තමන්ගේ ව්‍යාපාර ආයතනවලට දැන්වීමකට වඩා ප්‍රසිද්ධියක් ලැබුණේ යැයි කීමට තරම් තත්ත්වයකට පත්වන පුද්ගලයකු මහජන උපයෝගීතා කොමිසම නියෝජනය කළ හැකිද යන්න ගැටලුවකි.
මෙම සභාපතිවරයා පිළිබඳ 2022 ජූලි මස 07 වැනිදා පාර්ලිමේන්තු කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා මෙසේ ප්‍රකාශ කළේය. ˝‘‘ඔබතුමා කැමති ඒව්ව වෙන වෙන තැන්වල කියන්න පුළුවන් ඇති. හැබැයි ඔබතුමා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා විදිහට රටම පිළිගන්න නිසා යම් කිසි ප්‍රකාශයක් කරනකොට යම් කිසි වගකීමක් එක්ක කරන එක තමයි සුදුසු˝.’’
විදුලි මිල ගණන් පිළිබඳව කටුක යථාර්ථය පිටු දැකීමට අපට හැකියාවක් නැත. ණයට ගෙන මඟුල් කෑමේ ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට නොහැකි අවස්ථාවකට ශ්‍රී ලංකාව පත් වී ඇත. සැබෑ තත්ත්වය මහජනතාවට වටහා දෙමින් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අනුගමනය කරමින් සිටින සහ ඉදිරියේ දී අනුගමනය කරන උපාය මාර්ග පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම ගත හැකි එකම පියවර වනු ඇත.
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර