පළාත් සභාවලින් බලය විමධ්‍යගත කෙරුණාද?


බස්නාහිර පළාත් සභාව යටතේ පවතින බස්නාහිර මාර්ග සංවර්ධන අධිකාරියේ කෝටි 20 ක කොන්ක්‍රීට් ඇතුරුම් යන්ත්‍ර 3 ක් අත්හැර දමා තිබෙන බවත්, අවුරුදු 20 ක් පැරණි වාහන 6 ක් අස්ථාන ගතවී තිබෙන බවත්, අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා සේවකයන් 556 දෙනකු ඊට බඳවාගෙන ඇති බවත් කෝප් කමිටුව ඉදිරියේ හෙළිදරව් වූ බව අප පුවත්පත නොබෝදා වාර්තා කළේය.

මෙම පුවත බස්නාහිර පළාත් සභාවේ මෙහෙවර ප්‍රකාශය සමග සසඳා බැලූ විට බස්නාහිර මාර්ග සංවර්ධන අධිකාරිය මෙහෙවර කරනුයේ සිය මෙහෙවර ප්‍රකාශය ගුරු කොට ගෙන ද යන ප්‍රශ්නය පැන නැගෙන්නේ නිතැතිනි. බස්නාහිර පළාත් සභාවේ මෙහෙවර ප්‍රකාශය ලෙස සඳහන් වන්නේ ‘‘උපරිම මට්ටමින් මුල්‍ය, භෞතික හා මානව සම්පත් හැසිරවීම හරහා සියලු ප්‍රජාවට ප්‍රතිලාභ අත්කර දෙන සාමයක් සහ සහයෝගිතාවක් සපිරි තිරසර සංවර්ධනයක් ස්ථාපිත කිරීම’’ යන්නයි.

ප්‍රශස්ථ මට්ටමින් මුල්‍ය, භෞතික හා මානව සම්පත් හැසිරවීම කෙසේ වෙතත් මෙහෙවර ප්‍රකාශයේ පරිදිම උපරිම මට්ටමින් මානව සම්පත් භෞතික සම්පත් හා මූල්‍ය සම්පත් බස්නාහිර මාර්ග සංවර්ධන අධිකාරියෙන් හසුරුවා ඇති බව එම ප්‍රවෘත්තියේ පැහැදිලිය.
වසර දහයක් ගතවූ පසු කොන්ක්‍රිට් ඇතුරුම් යන්ත්‍ර එකක් පමණක් අවැසි තැනට එකී යන්ත්‍ර තුනක්ම මිලදී ගැනීමෙන් භෞතික සම්පත් උපරිම ලෙස භාවිත කර ඇතිබව පැහැදිලිය.

අනුමත සේවක සංඛ්‍යාවට වඩා සේවකයන් 556 ක් රඳවා ගැනීමෙන් මානව සම්පත් උපරිම අයුරින් හසුරුවා ඇති බව පැහැදිලිය. කෝටි 20 ක් වටිනා සම්පත් දිරා යන්නට ඉඩ හැරීමෙන් මුල්‍ය සම්පත් ද උපරිම ලෙස හසුරුවා ඇති බව පැහැදිලිය. මෙකී සම්පත් ප්‍රශස්ථ අයුරින් හැසිරවිය යුතු වුවද බස්නාහිර මාර්ග සංවර්ධන අධිකාරිය ඒවා හසුරුවා ඇත්තේ එහි මෙහෙවර ප්‍රකාශයේ කියන්නාසේ උපරිම අයුරින්ය.

එහෙත් බස්නාහිර පළාත් සභාවේ මෙහෙවර ප්‍රකාශයේ කියමන පරිදි සියලු ප්‍රජාවට ඒ මගින් ප්‍රතිලාභ අත්කර දේද යන්න විමසා බැලිය යුත්තකි. කෝප් කමිටුවේ ඉහත කී කාරණා විමසුමට ලක්වීමෙන්ම ඒ බව පැහැදිලිය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වැනි සංශෝධනය හඳුන්වාදීමත් සමග ඒ සඳහා ඊට 154 (ආ) සිට 154 (ඩ) දක්වා අලුතින් ඇතුළත් කළ පරිච්ඡේද පළාත් සභා පිහිටු වීමට අදාළ වූයේය. ඒ සමගම 1987 අංක 42 දරන පළාත් සභා පනත ද සම්මත කරගන්නා ලදී. ඒ ඔස්සේ පළාත් සභා  පිහිටුවීමේ මූලික අරමුණ වූ බලය විමධ්‍යගත කිරීමට අමතරව මානව සම්පත් හා භෞතික සම්පත් නිසි පරිදි කළමනාකරණය කිරීමත්, දූෂණ වංචා, ප්‍රමාද, අක්‍රමිකතා අවම කිරීමත් ඒ ඔස්සේ බලා පොරොත්තු විය.

එහෙත් මේ සියලු අරමුණු තිබිය දී සිදුව ඇත්තේ අක්‍රමිකතා, දූෂණ හා වංචා ආදිය විමධ්‍යගත කිරීමක්දැයි ජනතාවට සිතෙන්නේ නම් එහි වරදක් නොමැත.

ඇත්තෙන්ම පළාත් සභා හෝ දිස්ත්‍රික් සභා හෝ වෙනත් ක්‍රමයකින් මධ්‍යම ආණ්ඩුවේ බලතල විමධ්‍යගත කිරීමේ අවශ්‍යතාව මතු වූයේ උතුරු නැගෙනහිර පළාත් සඳහාය. 1926 උතුරට ෆෙඩරල් ක්‍රමය යෝග්‍ය බව මුලින්ම යෝජනා කරනුයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාය. (එවිට උතුරේ තරුණයෝ එම යෝජනාව ප්‍රතික්ෂේප කළහ.)

1956 සිංහලය පමණක් රාජ්‍ය භාෂාව කිරීමට යෝජනා කරන බණ්ඩාරනායක පසුව බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුමට පෙළඹන්නේ උතුරු නැගෙනහිර පළාත් උදෙසා බලය විමධ්‍යගත කිරීමක් අවශ්‍ය වූ නිසාමය. 1968 ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුම කරළියට එන්නේද ඒ නිසාමය. උතුරු - නැගෙනහිර  ප්‍රදේශවලට බලය විමධ්‍යගත කිරීමේ අවශ්‍යතාවක් වූ බවට විවාදයක් නැත. එහෙත් සෙසු පළාත්වල බලය විමධ්‍යගත කිරීම ඔස්සේ ඵලදායී කාර්ය භාරයක් ඉටුවී තිබේද යන්න නැවත නැවත විමසා බැලිය යුතුය. පළාත් සභාවල අක්‍රමිකතා මතුවන වාරයක් පාසා ඒවායින් සිදුව ඇත්තේ අක්‍රමිකතා විමධ්‍යගත කිරීමක් දෝයි අයකුට සිතීම අතිශය සාධාරණ වේ.

(***)