මෙවර කිවිදා දැක්ම මගින් සාකච්ඡා කරන්නේ අපේ රටේ සමාජ අවිඥානයේ (Social unconscious) තිබෙන ඉතාමත් කේන්ද්‍රීය ගැටලුවක් ගැනය. දේශපාලනයේ මතුවෙන ප්‍රධාන මාතෘකාවක් ද වන්නේ මේ අදහසය. මෙවර කිවිදා දැක්මෙන් විමසා බලන්නේ අපේ රටේ සමාජ දේශපාලන අවකාශයේ නිතර මතුවෙන ප්‍රශ්නයක් වන ප්‍රජාතන්ත්‍රවාදය රටේ ස්ථාවරත්වයට බාධාවක් ද යන්න පිළිබඳවය.
මරදානේ විරෝධය
මේ පිළිබඳව නැවතත් ලියන්නට හේතු වූයේ මේ සතියේ පැවැති විරෝධතා පා ගමන පිළිබඳව ආණ්ඩුවේ ප්‍රතිචාරයත් සමගය. ආණ්ඩුවේ සමහරුන් කීවේ ‘මේ කාලයේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ රටේ ස්ථාවරත්වයට බාධාවක්’ යැයි කියාය. විශේෂයෙන්ම කොළඹ සිවිල් සමාජයේ සමහරුන් පවා ‘අරගලය කරන්නට වෙහෙසුනා’ මෙන් බරපතළ ආකාරයෙන් වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාවලට ප්‍රතිචාර දක්වන බවක් පෙනෙන්නේද නැත. එසේ ඒ අය (කොළඹ සිවිල් සමාජය) නොවෙහෙසෙන්නේ හේතු දෙකක් නිසාය. එකක් වන්නේ වර්තමාන ආණ්ඩුවේ ක්‍රියා කලාපය තමන්ගේ එදිනෙදා ජීවිතයට එතරම් ගැටලුවක් නොමැති එකක් යැයි ඒ අය හිතන නිසාය. අනෙක් කාරණය වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට යම් අවස්ථාවක් දිය යුතු යැයි ඒ අය සිතන නිසාය.
මෙතැන පළමු හේතුව තුළ තිබෙන්නේ යම් ආකාරයක ආත්මාර්ථකාමීත්වයක්ය. ඒ කියන්නේ කොළඹ කේන්ද්‍රියව සිතන අයට අවශ්‍ය වන්නේ තමන්ට පහසු ආකාරයෙන් ඉන්ධන ටික ගන්න පහසුකම් තිබීම වැනි දේවල් මිස වෙන දෙයක් ගැන නොවේ. ඒ ඉන්ධන සඳහා විදේශ මුදල් හොයන සමාජයේ යටි මහලේ අයට බදු ගහමින් ඒ පීඩිතයන් ‘බිත්තියටම හේත්තු’ කිරීමට ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගවලට විරුද්ධ වීම තමාට අදාළ නැති දෙයක් බවට පත්වන්නේ ඒ නිසාය. තමන්ගේ වැටුපටත් බදු ගහන්නට ආණ්ඩුව සැරසෙන බවට තිබෙන ආරංචියට ඒ සමාජයේ අය සංවේදීය. එහෙත් පහළ මාලයේ ජනතාවගේ බදු බර, පොහොර ප්‍රශ්නය වැනි දේවල් තමන්ට අදාළ නැති ගාණට ඉන්නට කොළඹ සිවිල් සමාජය සූදානම් වී සිටින්නේ මා මුලින් සඳහන් කළ ආත්මාර්ථකාමයේ තර්කය නිසාය.
රනිල්ටත් අවස්ථාවක් දිය යුතු යැයි මතුවෙන තර්කයට ද එතරම් ශක්තිමත් පදනමක් නැත. වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කරන්නට ජනතාව 1999 සහ 2005 තීරණය නොකළ නිසා ඔහුට ඒ තනතුරට පත්වන්නට නොහැකි වූ බව සැබෑවක්ය. එහෙත් එතුමන් අගමැතිවරයා ලෙසින් පස් වතාවක් පත් වූ අයෙක් බව සිහියට ගැනීම වැදගත්ය. ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියා කළ ආකාරයේ ආද්‍රානග්‍රාහීත්වයක් වත්මන් ජනාධිපතිවරයා තුළින් පෙන්නුම් නොකරන බව සැබෑවක්ය. එහෙත් ඔහුගේ කණ්ඩායම යනු ගෝඨාභය මහතාගේම කණ්ඩායම බව තේරුම් ගැනීමත් මෙහිදී ඉතාමත් අවශ්‍යය.
මරදානෙන් මතු වූ විරෝධයේ ප්‍රධානම සටන් පාඨය වූයේ පීඩාකාරී මර්දනය නැවැත්විය යුතු බවය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදවා ගනිමින් සිදුකරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා නැවැත්විය යුතු බවය. ඒ සටන් පාඨ මේ මොහොතේ රටේ දේශපාලනයට ඉතාමත් අදාළ බව මගේ අදහසය. ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ඉතාමත් වැදගත් කාරණය වන්නේ රටේ ජනමතය නිවැරදිව නියෝජනය වීම ආරක්ෂා කිරීම මිස රට යනු තමන්ගේ පෞද්ගලික බූදලයක් ලෙසින් ජනතාවගෙන් ඈත්කර තබා ගැනීම නොවේ.
ප්‍රජාතන්ත්‍රවාදය හා ආර්ථික දියුණුව
1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරද්දී එවකට සිටි ජයවර්ධන රජය කල්පනා කළේ රටේ ආර්ථික දියුණුව සහ ප්‍රජාතන්ත්‍රවාදය එකට ගමන් නොකරන බවයි. ආර්ථිකය දියුණු කිරීමට නම් විධායකය පාර්ලිමේන්තුවෙන් පිටතට ගලවා තැබිය යුතු බව එහි ප්‍රධාන තර්කය විය. විධායක ජනාධිපති ධුරය නිර්මාණය වූයේ ඒ තත්ත්වය තුළය. ජයවර්ධන මහතාගේම වචනයෙන් කිවහොත් ‘ගැහැනියෙක් පිරිමියෙක් බවට හෝ පිරිමියෙක් ගැහැනියෙක් බවට පත් කිරීම’ හැර අනෙක් ඕනෑම දෙයක් රට තුළ කළ හැකි බලයක් නිර්මාණය කිරීම මේ ජනාධිපතු ධුරයේ අපේක්ෂාව බවය. එහෙත් මේ තනතුර ගොඩනැගීමත් සමග රට තුළ ඇති වූ ගැටලුකාරීත්වය විමසා බැලුවහොත් මේ කියන චින්තනයේ ඇති භයානකත්වය හොඳින්ම පෙනී යනු ඇත.
1978 පටන් ගත් ප්‍රජාතන්ත්‍රවාදය රටේ ආර්ථික දියුණුවට අහිතකරය. යන පිළිගැනීම රටට උරුම කළේ ව්‍යසනයක්ය. ලේ ගංගාවක්ය. 1980 වර්ජනයට සහභාගි වූවන් 60 දහසක් පාරට ඇද දැමුණි. 1983–2009 කාලය පුරා උතුරින් ඇවිලුනු ගින්නෙන් සිංහල/දෙමළ ජනතාව දහස් ගණනක් මරා දැමුණි. 1988–90 කාලයේ දකුණින් මතු වූ ගින්නෙන් 60 දහසක් සිංහල තරුණයෝ මරා දැමුණහ. ජයවර්ධන මහතා විශ්‍රාමිකව නිදහසේ මියගිය නමුත් ප්‍රේමදාස, ලලිත්, ගාමිණී වැනි එජාපයේ නායකයෝ මහ මග මරා දැමුණු යුගයක් බව ඒ භීම සමය පත්විය. එපමණක් ද නොවේ ඉන්දියාවේ අගමැති රජිව් ගාන්ධි මහතා ද මදුරාසියේදී ඝාතනය වූයේ අපේ රටේ මේ ව්‍යසනයේම කොටසක් ලෙසිනි.
සංවර්ධනයට ප්‍රජාතන්ත්‍රවාදය යළිත් බාධාවක් යැයි තර්කයේ අපි හමුවේ ඇති ශේෂ පත්‍රය (Balance Sheet) පැවැති මාරාන්තික හා ම්ලෙච්ඡ එකක් බව යළිත් සිහිපත් කළ යුත්තේ අපි නැවතත් ඒ ගමන් මගට හැරී ඇද්දැයි සැකයක් මතුවන නිසාය.
ප්‍රජාතන්ත්‍රීය අවකාශය තුළ තීරණ ගැනීමට යම් ආකාරයකින් කාලයක් ගතවන බව සැබෑවක්ය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති වටිනාකම වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් කඩාවැටෙන්නේ නැති තරමට නිවැරදි වීමේ අවස්ථාව ඒ තුළ රැඳී තිබෙන නිසාය. වෙනත් ලෙසකින් කිවහොත් ලෝකයේ යම් අර්බුදයකදී වඩාත් නිවැරැදි පිළිතුර සොයාගත හැක්කේ ප්‍රජාතන්ත්‍රීය ඉඩ ආරක්ෂා වෙන පාලනයක් තුළය. අන්තිමටම වැටෙන්නේ ප්‍රජාතන්ත්‍රීය වශයෙන් විවෘතම රටය. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදු ඡන්දය පාවිච්චි කිරීම පමණක් නොව ප්‍රශ්නයකට නිවැරදිම විසඳුම සොයා ගැනීමට ඇති හොඳම ක්‍රමවේදය ය.
ඒ නිසා රටේ ආර්ථිකය දියුණු කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය හැකිලිය යුතු යැයි මතුවන තර්කයේ පදනමක් නැත. පසුගිය මාර්තු, අප්‍රියෙල්, මැයි මාසවල අපේ රටේ මතු වූ ආර්ථික අර්බුදයට හේතුව ප්‍රජාතන්ත්‍රවාදය හකුලුවා විධායක ජනාධිපතිධුරය හරහා ගත් සමහර අමනෝඥ තීරණය.
මගේ පිළිගැනීම වන්නේ 1988–89 විනාශයටත්, 1983-2009 උතුරේ ගැටුම හරහා ඇතිවූ විනාශයටත්, 2018–22 ආර්ථිකය කඩාවැටීමේ විනාශයටත් වගකිව යුතු පළමු හේතුව මේ රටේ ප්‍රජාතන්ත්‍රීය තීරණ අවකාශය වසා තැබීම බවය.
දැන් රටේ මතුවෙමින් තිබෙන අරගලය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමට එරෙහිව මතුවන විරෝධයක්ය. ජනතා උද්ඝෝෂණ/ජනතා රැස්වීම් හෝ විරෝධතා යනු ප්‍රජාතන්ත්‍රීය සමාජයේ ශිෂ්ට සම්පන්න මෙවලම්ය. ඒවා යටපත් කිරීමෙන් සිදුවන්නේ බලයේ සිටින අය සියලු ගැටලුවලට පිළිතුරු දන්නවා වැනි දෙයක් සිදුවීමය. එසේ සිතාගෙන වැඩ කරන්නට යාමෙන් සිදුවිය හැකි ව්‍යසනය දැනටමත් අපි අත්දැකීමෙන් දන්නා කාරණයක්ය.
ප්‍රජාතන්ත්‍රවාදය හා ස්ථාවරත්වය
සමහරුන් සිතන්නේ රටේ මේ වන විට ගොඩනැගී තිබෙන ස්ථාවරත්වය යළිත් වතාවක් අවුල් වීමක් ප්‍රජාතන්ත්‍රවාදය නිසා සිදුවන බවය. පොලිසිය යොදවා නිරායුධ මිනිසුන් පෙළපාළි යන එක වළක්වන්නේ මේ තර්කය නිසාය. රටක ස්ථාවරත්වය යනු කඩාවැටුණු පවුල් පාලනයක් මතුපිටින් වසාගෙන පවත්වාගෙන යන පාලනයක් නොවේ. මේ රටේ රාජ්‍ය පාලන යාන්ත්‍රණ සියල්ලම මේ වන විට තිබෙන්නේ බරපතළ බංකොලොත්භාවයකය. පළාත් සභා වසා දමලාය. පළාත් පාලන ආයතන ධුර කාලය නිමා වී වසරක් ගෙවිලාය. ජනතාව පත් කළ ජනාධිපති අස් වී ගෙදර ගොස්ය. පසුගිය ඡන්දයෙන් එක දිස්ත්‍රික්කයක එක් මන්ත්‍රීධුරයක්වත් ජයගන්නට නොහැකි වූ පක්ෂයක් ආණ්ඩුව වෙලාය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් භාගයකට පමණ බරපතළ ආරක්ෂාවක් නොමැතිව ගමේ යන්නට නොහැකි තත්ත්වයට පත්වෙලාය. මේ දෙස බලද්දී පෙනීයන්නේ බංකොලොත් වී තිබෙන්නේ ආර්ථිකය පමණක් නොවන බවය. දේශපාලනයටත් සිදු වී තිබෙන්නේ ඒ වැඩේමය.
මෙවැනි තත්ත්වයක පාරට එන මිනිසුන් පොලිසිය දමා පළවා හැරීම යනු ස්ථාවර රටක් පවත්වාගෙන යාම නොව අස්ථාවරත්වය වසා ගන්නට උත්සාහ කිරීමය. මගේ තේරුම් ගැනීමට අනුව අප සිටින්නේ එක වළකට වැටී ගොඩ එන අතර තවත් වළකට වැටෙන්නට ආසන්නයේය. ආර්ථික වළට රට වැටුණේ අනෙක් මත ඉවසන ප්‍රජාතන්ත්‍රවාදය වසා දමා තිබූ නිසාය. මීළඟට දේශපාලන වළකට අපි වැටෙන්නට නියමිතව ඇත්තේ අනෙක් අයගේ මතවලට ඇති ඉඩ පොලිසිය දමා වසන්නට උත්සාහ කිරීම නිසාය.
මගේ මේ සතියේ කිවිදා දැක්ම වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන මැදිහත්වීම් (රැස්වීම්, පෙළපාළි, විරෝධතා) යනු ස්ථාවරත්වයට බාධාවක් නොව රටේ ස්ථාවරත්වයේ ප්‍රකාශන බවය.
මහාචාර්ය චරිත හේරත්