ප්‍රතිපක්ෂ මත ප්‍රකාශ අයිතිය මර්දනයට කාටවත් අයිතියක් නෑ


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාව යනු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයකි. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කෙරෙන දිශාවට අඩංගු බොහෝ කරුණු කාරණා ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගුය. භාෂණයේ හා ලේඛනයේ නිදහස මෙන්ම කැමැති දේශපාලන මතයක් දැරීමේ නිදහස ඇතුළු බොහෝ අයිතිවාසිකම් එහි දක්වා තිබේ. එහෙත් නූතන දියුණු ශිෂ්ටත්වයට සරිලන ප්‍රමාණයෙන් නොවැඩීමේ වරදට පෙර කී මුද්‍රිත අක්ෂර එලෙසින්ම ක්‍රියාවට නොනැගීමේ අවදානම 74 වසරක කාලය මුළුල්ලේම අත්විඳි කටුක යථාර්ථය වේ.

ඉහත ශාපලත් ඉරණමෙන් රට මුදා ගැනීමේ අවශ්‍යතාව සමාජයේ පතුළ බිඳගෙන ප්‍රකාශයට පත් වුව ද එය ජීවමාන යථාර්ථයක් බවට පත් කිරීමට රුධිර පිපාසිත දේශපාලන උම්මත්තකයෝ ඉඩ නොදෙති. එබඳු උම්මත්තකයන්ගේ දීන ගෝලබාලයන් පිරිසක් වීරඹුගෙදර මහපිටිය ප්‍රදේශයේ ඉකුත්දා පැවැති ජාතික ජන බලවේගයේ රැස්වීමකට ප්‍රහාරයක් එල්ල කළහ. මෙම ප්‍රහාරකයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රබලයකුගේ ගෝලබාලයන් ලෙස හඳුනා ගෙන තිබේ.

ප්‍රහාරයෙන් ජාතික ජන බලවේගයේ සාමාජිකයන් කිහිප දෙනකුට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදු වූ බවත්, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ වීරඹුගෙදර පොලීසිය ප්‍රහාරයට පැමිණි පොහොට්ටු ආධාරකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත්, අප පුවත්පත වාර්තා කර තිබිණි. ප්‍රහාරකයන්ට පහර දුන් බව කියන ජාතික ජන බලවේගයේ සාමාජිකයන් දෙදෙනකු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව ද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

දේශපාලනය තුළ විවිධ මත තිබේ. එකී විවිධ මත තිබීමම දේශපාලනයේ විචිත්‍රත්වයට හේතු වේ. තමන් දරන මතය ජනතාවට ප්‍රකාශ කිරීමේ අයිතිය මෙන්ම නිදහස සෑම පුරවැසියකුටම තිබිය යුතුය. මත සියල්ල කිරා මැන බලා තම හෘදය සාක්ෂියට එකඟ මතයට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාවට හැකිය.

එකී මත අතරින් වැඩිම ජනතා ප්‍රසාදය හිමි කරගන්නා මතය ජයග්‍රාහකයා බවට පත්වේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු එයම විනා අන් යමක් නොවේ. ඒ සඳහා වූ නිර්බාධක පරිසරයක් රටේ තිබිය යුතුය. එහෙත් අවි බලයෙන් සියල්ල ජයගත හැකි යැයි සිතන තක්කඩි දේශපාලනඥයෝ එම මග යති. එම තක්කඩි දේශපාලනඥයන්ට අනුව රටේ තිබිය යුත්තේ එකම මතයක් පමණි. ඒ, තමන්ගේ මතය පමණි.

නිදහස මෙන්ම අයිතිවාසිකම් භුක්ති විඳීම සම්බන්ධ අතිශයින් ප්‍රායෝගික කියමනක් දේශපාලන විද්‍යාවේ අන්තර්ගතය. එම කියමන නම්, “ඔබ අත ඇති හැරමිටිය වැනීමට ඔබට ඇති අයිතිය අනෙකාගේ නහය අගින් කෙළවර වේ” යන්නය. ඇතැම් දේශපාලනඥයන්ට මෙබඳු ගැඹුරු කියමන් වටහා ගැනීමට සමත් මොළයක් නැත. එහෙයින් ඔවුහු තම අත ඇති හැරමිටිය අනෙකාගේ නහයේ පමණක් නොව මුළු මුහුණෙහිම වද්දති. ප්‍රහාරයෙන් පසු එන ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ටත්වය මැනීමට නොඑන්නැයි වැනි මතුපිටින් තාර්කික, ඇතුළතින් භයානක කියමන් සමාජගත වන්නේ ඒ අනුවය.

‘‘ඔබගේ මතය මම නොපිළිගන්නා නමුදු එය ප්‍රකාශ කිරීමට ඔබට තිබෙන අයිතියට මම බාධා නොකරමි’’ යන්න නූතන ශිෂ්ට දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයන්හි හිසටත් ඉහළින් පිළිගන්නා අනුහස් සහිත සාරධර්මයකි. ප්‍රජාතන්ත්‍රවාදය එයට හිමි රුවින්, ගුණෙන් හා පැහැයෙන් බැබලෙන්නේ එවිටය. එහෙත් අශිෂ්ට, නොදියුණු, අනීතික හා මුග්ධ දේශපාලනඥයන් සමග මෙන්ම ඔවුන්ගේ ඉඳුල් බුදින බත් බැලයන් සමග එබඳු විශිෂ්ට ප්‍රජාතන්ත්‍රවාදී රටක් බිහි කළ නොහැකි බව 74 වසරක දේශපාලන ගමන් මගෙහි යථාර්ථය වේ.

වීරඹුගෙදර පැවැති ජාතික ජන බලවේගයේ රැස්වීමකට එල්ල වූ ප්‍රහාරය මෙරට දේශපාලන ඉතිහාසයේ වූ ඒ පන්නයේ පළමු ප්‍රහාරය නොවේ. 1948 වසරේ සිට පැවැති සෑම මැතිවරණයකදීම මෙන්ම මැතිවරණයෙන් පසුව මෙබඳු ප්‍රහාර තොග වශයෙන් එල්ල වී තිබේ. සෑම වර්ණයකටම අයත් දේශපාලන පක්ෂ සාමාජිකයෝ විටෙක ප්‍රහාරකයා බවටත්, තවත් විටෙක වින්දිතයා බවටත් පත් වෙති.

ප්‍රචණ්ඩත්වය යනු මැතිවරණයේ නිවුන් සෙහොයුරා බවට හඳුනා ගැනෙන්නේ එහෙයිනි. ජයග්‍රහණය ලැබීමේ මාවතත්, ජයග්‍රහණය සැමරීමේ මාදිලියත් ප්‍රතිවාදියාගේ ඇඟ මස උදුරා ගැනීම යැයි තක්කඩියෝ සිතති. වීරඹුගෙදර ප්‍රහාරයෙන් පැහැදිලි වන්නේ එම අශිෂ්ට මාදිලියම සුන්දර විලාසිතාවක් ලෙස පිළිගන්නා නටබුන් තවමත් තිබෙන බවය.

අවධාරණය කළ යුතු වැදගත්ම කාරණය වන්නේ, රට මේ වැටී ඇති ප්‍රපාතයට හේතුව මෙරට තක්කඩි හා මැර දේශපාලනයම බවය. ඔවුන්ට මේ රටට කිරීමට තවත් විනාශයක් ඉතිරිව නැත. එහෙයින් දැන්වත් මෙම පාදඩ ක්‍රමයෙන් ගොඩට යුතුය. නොඑසේ නම්, අහම්බෙන් හෝ ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් සිටින මෙරට ජනයාට ඉදිරියේදීත් හමුවනු ඇත්තේ පරාජය හා විනාශයම පමණි.