ප්‍රතිසංස්කරණ අයවැයක- වුවමනාව


අද ශ්‍රී ලංකා ආර්ථිකයේ ඇතිව තිබෙන අර්බුදය, අභ්‍යන්තර හා බාහිර ආර්ථික කටයුතුවල දිගුකාලයක් තිස්සේ මෝරමින් තිබූ ප්‍රශ්නයක පුපුරා යෑමකි. නිදහස ලද දිනයේ සිට රාජ්‍ය ආදායම සහ වියදම අතර නිසි කළමනාකරණයක් නොතිබීම ප්‍රධාන ගැටලුවකි.

එනම්, රාජ්‍ය ආදායමට වඩා වියදම් කිරීමත් එම වියදම් ආවරණය කර ගැනීම සඳහා උද්ධමනයට ඉවහල් වන අරමුදල් යොදා ගැනීමත්ය. එසේම එවැනි අරමුදල් භාවිත කරමින් සිදු කරන ලද බොහෝ ආයෝජන රටේ ආර්ථිකයට ප්‍රතිලාභ ගෙන නොදෙන ඒවා වීමත් ප්‍රධාන ගැටලුවකි. මේ තත්ත්ව සැලකිය හැක්කේ අභ්‍යන්තර ආර්ථිකය විෂයෙහි අනුගමනය කරන ලද අදූරදර්ශී ප්‍රතිපත්ති වශයෙනි.

බාහිර ආර්ථික කටයුතු අතින් බලන විටද ආර්ථිකය පැවතියේ විශාල අර්බුදයකය. එහිලා වෙළෙඳ ගිණුමේ පරතරය ප්‍රධානය. එනම්, අපනයන ආදායම්වලට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් ආනයන සඳහා වැය කිරීම නිසා හට ගත් පරතරයයි. එම තත්ත්වය නැවෙන් කටට යන සංකල්පයෙන් විස්තර කළ හැකිය. එනම්, සියලු දෑ ආනයනය කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවය. ඒ වෙනුවෙන් අවශ්‍ය විදේශ විනිමය ප්‍රධාන වශයෙන් සපයා ගන්නා ලද්දේ ජාත්‍යන්තර ස්වෛරීත්ව ණයවලිනි. 1960 දසකයේ සිට වාර්ෂිකව ඩොලර් බිලියන 6 ත් 7ත් අතර විදේශ ණය ප්‍රමාණයක් ලබා ගනිමින් අත්‍යවශ්‍ය හා අත්‍යවශ්‍ය නොවන ආනයන සිදු කෙරිණි.

විදේශ විනිමය යොදා ගනිමින් විනිමය අනුපාතිකය ස්ථාවර කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලදී. එයින් සිදු වූයේ විදේශීය භාණ්ඩ නියම වටිනාකමට වඩා අඩුවෙන් දේශීය වෙළෙඳපොළේ අලෙවි වීමය.

ඊට අමතරව ආර්ථිකයේ කෙටිකාලීනව ඇති වූ ප්‍රශ්න කිහිපයක් ද ඇත. 2019 දී සිදු කළ බදු කපා හැරීම ඒ අතර ප්‍රධානය. එම තීරණය නිසා රජයේ වාර්ෂික බදු ආදායම රුපියල් බිලියන500 ත් 600 ත් අතර ගණනකින් අඩු විය. සුදුසු අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයෑම ද කෙටිකාලීන ප්‍රශ්නයකි. පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ කෘෂිකර්මය විෂයෙහි ගත් අදූරදර්ශී තීන්දු තීරණ යනාදිය ද මේ ලැයිස්තුවට එකතු විය යුතුය. ආර්ථිකයේ දිගුකලක් තිස්සේ පැවති අභ්‍යන්තර හා බාහිර ප්‍රශ්න උත්සන්න කිරීමට මේවා ඉවහල් විය.

ශ්‍රී ලංකාව 16 වතාවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියේය. එහෙත් ඒ සෑම අවස්ථාවකටම වඩා වෙනස් තත්ත්වයක් මෙවර නිර්මාණය වී තිබේ. පෙර කී 16 වතාවෙහිම අප මූල්‍ය අරමුදල වෙත ගියේ ණය ගෙවීම පැහැර හරින ලද රාජ්‍යයක් ලෙස නොවේ.

ආර්ථිකය ඇතුළත තිබූ ප්‍රශ්නය එළියට නොපෙන්වා මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීමට එම අවස්ථාවලදී අපට පිළිවන් විය. කෙසේවෙතත් අද අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට සිදුව තිබෙන්නේ ණය ගෙවීම පැහැර හැර ඇති රටක් ලෙසය. මගේ අදහස වන්නේ ලංකාව එම ආයතනය වෙත 2019 වර්ෂයේදී යා යුතුව තිබූ බවය.

මේ සන්දර්භයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දැන් සිදු කරන සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව පසුවන්නේ ඉතා දුර්වල තත්ත්වයකය. එම අරමුදල නිර්දේශ කරන සැම යෝජනාවකටම එකඟවනවා හැරෙන්නට ප්‍රතිපත්තිමය තේරීම් අපට නැති බව මගේ විශ්වාසයයි.

එසේම මේ අවස්ථාවේ අපට ඇති එකම පිහිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමයි. විදේශ ණය නොගෙවන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමට ආයෝජකයෝ ඉදිරිපත් නොවෙති.

මින් පෙර අවස්ථාවලදී ශ්‍රී ලංකාවට ණය පහසුකම් ලබා දීමේදී යෝජනා කළ නිර්දේශ ක්‍රියාත්මක කරමින් මෙරට ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් ක්‍රියා නොකළ බවට වන විශ්වාසය එම අරමුදලට තිබේ. එබැවින් ඔවුන් මෙවර අප දෙස බලන්නේ තරමක් වෙනස් විදියකටය. එසේම එම ආයතනය පනවන කොන්දේසි දැඩි ඒවා වීමටද ඉඩ ඇත.

මේ වන විට මෙරට මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 55 ඉක්මවයි. මහ භාණ්ඩාගාරයේ වත්කම් සහ මහ බැංකුවේ ශුද්ධ වත්කම්ද සෘණ මට්ටමක පවතී. මෙවැනි තත්ත්වයක අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට සිදුව තිබේ. එවැනි පසුබිමක එම අරමුදල අපේක්ෂා කරන ප්‍රධානම දෙය වන්නේ ණය තිරසරභාවය ගොඩනගා ගැනීමය.

ශ්‍රී ලංකා බලධාරීන් සමග දැන් සිදු කරමින් සිටින සාකච්ඡාවලදී ඒ අරබයා ඇති වැඩපිළිවෙළ කුමක්දැයි ඔවුන් විමසනු ඇත. එය දිගුකාලීන වැඩපිළිවෙළකි. ඒ වෙනුවෙන් අප දැනට ඉදිරිපත් කර ඇති මූලික වැඩපිළිවෙළ නම් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමයි. එහෙත් මා විශ්වාස කරද පරිදි ඊට වඩා වැඩි යමක් මූල්‍ය අරමුදල අපෙන් බලාපොරොත්තු වේ.

එහිදී දේශපාලන වශයෙන් රට ඇතුළත ජනප්‍රිය නොවන ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කරනු ලැබීමට ඉඩ තිබේ. රටේ ආර්ථිකයේ උද්ගතව ඇති අර්බුදය පිළිකාවක් නම්, අප දැන් සිටින්නේ එහි උග්‍ර අවස්ථාවකය.

රෝගියා සිටින්නේ මරණාසන්න තත්ත්වයකය. බේරා ගැනීමට නම් අවයව කැපීමට වුව සිදු වේ. එනම්, දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීමට සිදු වන බවය. වෙසෙසින්ම සුබසාධන ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීමට අදාළ යෝජනා ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබීමට ඉඩ තිබේ. එසේම පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීමට යෝජනා කරනු ඇත. රාජ්‍ය මූල්‍ය සහ විගණනයට අදාළව විශාල ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් ඔවුහු අපේක්ෂා කරති.

මහ බැංකුවේ ස්වාධීනත්වය ඇති කිරීම ගැනද අවධානය යොමු වනු ඇත. මූල්‍ය ස්ථායීකරණයේදී රටේ උද්ධමනය වැඩි වීම සඳහා ඉවහල් වන මූලාශ්‍රවලින් රාජ්‍ය ණය සම්පාදනය කිරීමට මහ බැංකුවට බොහෝ අවස්ථාවලදී සිදු විය. රටේ උද්ධමනය විශාල වශයෙන් ඉහළ යෑමට එය හේතු විය. පොලී අනුපාත ඉහළ දැමීමට ද මහ බැංකුවට සිදු වූයේ එනිසාය. උද්ධමනය පාලනය සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල අපට යම් උපදෙස් ලබා දෙනු ඇත.

මේ අනුව කිව හැක්කේ මූල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ඡාවලදී නිර්දේශ වන යෝජනා දැඩි ඒවා විය හැකි බවය. ඒවා දේශපාලනික වශයෙන් ක්‍රියාත්මක කිරීම පහසු නොවනු ඇති බව මගේ අදහසයි. එසේම ඒවා තනි දේශපාලන පක්ෂයකට පමණක් කළ නොහැකි අතර එ සඳහා සියලු දේශපාලන පක්ෂවල එකමුතුවක් අවැසිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකමක් ලබා ගත් පසු ආර්ථිකයේ උද්ගතව ඇති සියලු අර්බුද විසඳිය හැකි බව බොහෝ දෙනා සිතති. මූල්‍ය අරමුදල කෝකටත් තෛලයක් නොවෙන බව අප අමතක නොකළ යුතුය. එම ආයතනය ඉතිහාසයේදී ශ්‍රී ලංකාව සමග කර ඇති ගනුදෙනුවල ස්වභාවය විමසීමේදීත් වෙනත් රටවල් සමග කර ඇති ගනුදෙනු සමග සැසඳීමේදීත් කිව හැක්කේ මෙවර සාකච්ඡාවලදී ලංකාව සඳහා ඩොලර් බිලියන3ත් 4 ත් අතර ගණනක ණය මුදලක් අනුමත කිරීමට ඉඩ ඇති බවය. එම මුදල ලැබෙන්නේ ද වාරික වශයෙනි.

රට හමුවේ ඇති ආර්ථික අර්බුදයේ ස්වභාවය විමසීමේදී එම මුදල කිසිලෙසකවත් ප්‍රමාණවත් නොවන බව මගේ අදහසයි. මේ වසරේ පමණක් අප ගෙවිය යතු ණය වාරික සහ පොලිය ඩොලර් බිලියන7 කට ආසන්න මුදලකි. මේ වසරේ සහ මීළඟ වසරේ ණය පොලී වාරික ගෙවීමට ඩොලර් බිලියන 12 කට වැඩි මුදලක් ආර්ථිකයට ලබා ගත යුතුය. එබැවින් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන විසඳුම්වලට එහා යන කාරණා ගැන සාකච්ඡා කළ යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබෙන ණය පහසුකම මගින් සිදු වන්නේ ප්‍රශ්නය මාස6 ක් වැනි කෙටි කාලයකට කල්දමා ගැනීමක් පමණි. රටට විදේශ විනිමය ඉපැයිය හැකි මාර්ග සහ ප්‍රතිසංස්කරණ පිළිබඳව අප ගැඹුරින් සිතා බැලිය යුත්තේ මේ නිසාය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉදිරිපත් කරන ලද අයවැය අතරෙන් අභියෝගාත්මක අයවැය වනු ඇත්තේ මෙවර ඉදිරිපත් කරන අයවැය ලේඛනයයි. අරගලකරුවන් මර්දනය කරන වැඩපිළිවෙළක් ආණ්ඩුව ගෙන යමින් සිටියි. අරගලකරුවන් මර්දනය කළ ද අරගලයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් තවමත් මිනිසුන්ගේ හදවත්හි තිබෙන බව අමතක නොකළ යුතුය. අරගලයෙන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට ආණ්ඩුව අසමත් වී තිබේ. එම ප්‍රශ්නවලට මෙවර ඉදිරිපත් කරන අයවැයෙන් විසඳුම් ලැබෙනු ඇතැයි ඇතැම්හු විශ්වාස කරති. වෙසෙසින්ම රටේ පවතින අධිඋද්ධමනකාරී තත්ත්වය නිසා විශාල පිරිසක් පීඩාවට පත්ව සිටිති.

එසේම ආර්ථික ප්‍රතිසංස්කරණවලට අදාළ නව දිශානතියක් සහිත අයවැයක් වීමද වැදගත්ය. සංවර්ධනය අරමුණු කර ගත් සහ දුප්පත්කම තුරන් කිරීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් සහිත අයවැයක් විය යුතුය. පීඩාවට පත්ව සිටින අය වෙනුවෙන් කෙටි කාලීන සහන සැලසීම ද අවශ්‍යය. විශාල බදු ප්‍රතිසංස්කරණ මෙවර අයවැයෙන් අපේක්ෂා කළ හැකිය. එවැනි බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට යෑමේදී ආර්ථිකයේ නොයෙක් සංකූලතා ඇති වීමටද ඉඩ ඇත.

මේ වන විට රටේ තවත් ප්‍රශ්න කිහිපයක් උද්ගතව ඇත. එකක් නම්, බුද්ධිමතුන් රට අතහැර යෑමය. විදේශයන්හි වාසය කරන ඇතැම් බුද්ධිමත්තු නැවත ලංකාවට ඒමට ද මැළි වෙති. මේ තත්ත්වය විශාල ප්‍රශ්නයකි. පොල්පොට් පාලන සමයේ කාම්බෝජයේ ද මෙවැනි තත්ත්වයක් ඇති විය. එරටේ උගත්තු රට හැර ගියහ. නැත්නම් මිය ගියහ.

නැවත රට ගොඩනැගීමේදී විදේශ රටවලට පුරවැසියන් අධ්‍යාපනය සඳහා යොමු කර යළි රටට ගෙන්වා ගෙන අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ  කිරීමට එරට බලධාරීන්ට සිදු විය. එවැනි දිගුකාලීන සැලැස්මක් සහිත අයවැයක් මෙවර ඉදිරිපත් විය යුතුය. එහෙත් එවැනි සාකච්ඡා සිදු වන බවක් පෙනෙන්නට නැත. මතු වූ දේශපාලන කුණාටුව සමනය කර ගැනීමේ උත්සාහයක නිරතව සිටිනවා හැරෙන්නට ආර්ථික හා සමාජ අර්බුදයට විසඳුම් සොයන බවක් නොපෙනේ.

විනිමය අනුපාතිකයේ ස්ථාවරත්වය, උද්ධමනයේ ස්ථාවරත්වය, විරැකියා අනුපාතිකයේ ස්ථාවරත්වය සහ ජීවන දර්ශකවල ස්ථාවරත්වය යනාදී සාර්ව ආර්ථික දර්ශකවල ස්ථායීකරණය ඇති කිරීම සාර්ව ආර්ථික ස්ථායීකරණය යන්නෙන් අදහස් වේ. දේශපාලන ස්ථාවරත්වය සඳහා කටයුතු කරන ප්‍රමාණයටම ආර්ථික ස්ථායීතාව ගොඩ නැගීමට ක්‍රියා කිරීමද වැදගත්ය.

දේශපාලන ස්ථාවරත්වය නැතිනම් සාර්ව ආර්ථික ස්ථායීතාව ඇති කරගැනීම අභියෝගාත්මකය. ඒ දෙක අතර පවතින්නේ අන්තර් සබඳතාවකි. ආර්ථික ස්ථායීතාව ඇති කර ගතහොත් අප අපේක්ෂා කරන විදේශ ආයෝජන රටට ගෙන්වා ගත හැකිය. හොඳ ඵලදාවක් ලැබීමට සරු පසක් නිර්මාණය කර ගත යුතු පරිද්දෙන් ආර්ථිකය යහපත් කර ගැනීමට නම් ආර්ථික ස්ථායීකරණය ගොඩනගා ගත යුතුය. එබැවින් මූල්‍ය හා පිස්කල් ප්‍රතිපත්තිවල මූලික අරමුණ විය යුත්තේ ආර්ථික ස්ථායීකරණයට අදාළ සුදුසු පරිසරය නිර්මාණය කර දීමය.

(***)

සාකච්ඡා සටහන උපුල් වික්‍රමසිංහ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ අධ්‍යයන පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජනක් කුමාරසිංහ