ප්‍රවිණ ලේඛකයකු සහ විචාරකයකුද වන සමුද්‍ර වෙත්තසිංහ මහතා මෙරට සාහිත්‍යයට කෘති රැසක් දායද කළ සම්මානනීය නිර්මාණ රචකයෙකි. තෙවරක්ම බෞද්ධ සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබා ඇති ඔහු අධ්‍යාත්මික සාහිත්‍ය සම්බන්ධයෙන් ලියූ කෘති බොහෝ දෙනාගේ අවධානයට ලක්විය.
ටෝල්ස්ටෝයි හා සමකාලීනයෝ, චෙකෝෆ්ගේ ජීවන දෘෂ්ටිය, ලූෂන්: නූතන ගීතයේ රූපරචකයා, රත්න ශ්‍රී: නව කවියේ චන්ද්‍රෝදය ඔහුගේ විමර්ශන කෘති කිහිපයක් පමණි. හිමදිය නදිය, හිම බිම අරණ, ප්‍රේමයේ මහ ඇදුරු සමුද්‍රගේ නවකතා අතර කැපී පෙනේ. රතු නදියේ ප්‍රේමය ඔහුගේ නවතම නවකතාවයි. මතු දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් අප කළ සංවාදයක සටහනකි.
• ‘රතු නදියේ ප්‍රේමය’ නවකතාව ඔබ මීට පෙර රචනා කළ ‘ප්‍රේමයේ මහ ඇදුරු’ නවකතාවේම දිගුවක් ලෙස කෙනෙකුට පෙනෙන්න පුළුවන්. මේ නවකතාව ඔබ ගොඩනගන්නේ එසේ සිතාගෙන ද? නැත්නම් ස්වාධීන නවකතාවක් ලෙස ද?
“ඇත්තටම මානවයාගේ ප්‍රේමය නමැති මනෝභාවය පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ මා තුළ වූයේ විශාල කුතුහලයක්. විශ්ව සාහිත්‍යකරුවන්ගේ කවියන් නිර්මාණ ඔස්සේ ඔවුන්ගේ චරිතාපදාන ඔස්සේ, ප්‍රේමය නමැති අපූර්ව මනෝභාවය පිළිබඳ සෑහෙන කාලයක් ගවේෂණය කිරීමට මගේ සිත නැඹුරු වුණා. ප්‍රේමය පිළිබඳ දාර්ශනික මට්ටමේ උසස් සාකච්ජාවක් කළ චින්තකයෙක් තමයි භගවාන් රජනීෂ් ඕෂෝ. ඔහුගේ නිදහස් චින්තනය මා වසඟ කරගත්තා.
ඒ වගේම නොබෙල් සම්මානය ප්‍රතික්ෂේප කළ ප්‍රංශ දාර්ශනික ෂන් පෝල් සාත්‍රෙ ප්‍රේමය සම්බන්ධයෙන් පළ කළ අදහස් ද මට බෙහෙවින් බලපෑවා. මේ සියලු මතවාද ඔස්සේ මානවයාගේ ප්‍රේමය සම්බන්ධ මනෝභාවය අතිශය නවීන ආකාරයට සාකච්ඡා කරන බුද්ධි ජීවියකුගේ චරිතයක් නිර්මාණය කරන්න මට අවශ්‍ය වුණා. ඒ අනුව තමයි ‘ප්‍රේමයේ මහ ඇදුරු’ නවකතාවේ එන මහාචාර්යවරයාගේ චරිතය නිර්මාණය කළේ.
එය බොහෝ දෙනෙක් වටහා ගත්තේ ලංකාවේ එන සුප්‍රසිද්ධ මහාචාර්යවරයකුගේ චරිතය ඇසුරින් කළ නිර්මාණයක් විදිහටයි. ඇත්තටම ඒ නවකතාව ප්‍රේමයේ විවිධ හැඩතල රාශියක් මතු කරන්න ගත්ත උත්සාහයක්. මේ කෘතිය සම්බන්ධයෙන් ප්‍රවීණ ලේඛක අනුරසිරි හෙට්ටිගේ මුහුණුපොතට කදිම හැඳින්වීමක් ලිව්වා. ඔහු කිව්වා ‘ස්ත්‍රී පුරුෂ සබඳතා මහද්වීපික කවුළුවකින් බැලීමට’ මේ කතුවරයා උත්සාහ කර තිබෙන බව. ඉතින් තවදුරටත් ඒ ප්‍රයත්නය ඉදිරියට ගෙන යෑමට තමයි ‘රතු නදියේ ප්‍රේමය’ නම් වූ අලුත් නවකතාව රචනා කළේ. එය ‘ප්‍රේමයේ මහ ඇදුරු’ නවකතාවේම දිගුවක් ලෙස සැලකීමේ කිසිදු වරදක් නැහැ.”
• මෙහි ප්‍රධාන චරිතය ගොඩනැගෙන්නේ මහාචාර්යවරයෙකු මූලික කරගෙන. නිදහස් ප්‍රේමය ජීවන දහම කරගත් නූතන විශ්ව සාහිත්‍යකරුවන් කිහිප දෙනෙකුගේ චරිත ඔබ මෙහි මිශ්‍ර කරනවා. එයින් ඔබ යම් ආකෘතිමය හා පර්ෙය් ෂණාත්මක වෙනසක් අපේක්ෂා කළා ද?
“ඇත්තටම මම නවකතාවෙන් නවකතාවට විවිධ ආකෘති භාවිත කරන්න කැමැති කෙනෙක්. එහෙත් ආකෘතිය වැදගත් වන්නේ නවකතාව පාඨකයාට පහසුවෙන් ග්‍රහණය කරගැනීමටයි. මිලාන් කුන්දේරා නමැති ශ්‍රේෂ්ඨ චෙකෝස්ලෝවැකියානු ලේඛකයා නවකතා ආකෘතිය සම්බන්ධයෙන් දක්වන අදහස්වලට මම බෙහෙවින් ප්‍රිය කරනවා. ඔහු රහස් පරීක්ෂක නවකතා ශෛලිය, අද්භූත නවකතා ශෛලිය, ප්‍රේමකතා ශෛලිය මෙන්ම කාම කතා ශෛලියත් තම නවකතා ආකෘතිය ප්‍රබල කිරීම සඳහා භාවිත කරනවා. විවිධ ශෛලීන් භාවිත කිරීමෙන් නවකතාව වඩාත් ආකර්ෂණීය මාධ්‍යයක් කරගන්න පුළුවන්.
ඒ නිසා ලෝකයේ විශිෂ්ට සාහිත්‍යකරුවන්ගේ ප්‍රේමය සම්බන්ධ අත්දැකීම් සහ ඔවුන් ප්‍රේමය පිළිබඳ දකින අපූර්ව දර්ශනය මේ විවිධ ශෛලීන්වලින් කියන්න මම උත්සාහ කරනවා. විශේෂයෙන්ම ලෝකයේ සත්‍ය වශයෙන්ම ජීවත් වූ පුද්ගලයන්ගේ චරිත සහ අත්දැකීම් නවකතා ලිවීමේදී භාවිත කිරීම සුන්දර අත්දැකීමක්. මම හැම විටම එබඳු අලුත් අත්දැකීම් නවකතාවට භාවිත කරන්න කල්පනා කරන කෙනෙක්. එහිදී මගේ පෞද්ගලික අත්දැකීම් උත්කර්ෂයට නගනවාට වඩා මා ගවේෂණය කළ, අධ්‍යයනය කළ විවිධ චරිතවල අත්දැකීම් ඇසුරින් ප්‍රබන්ධ කාර්යයෙහි යෙදීම මගේ ආශාවයි.”
• ස්ත්‍රී පුරුෂ ආදර සබඳතාවල ගැඹුර ඔබ මේ නවකතාවේ මනෝ විද්‍යාත්මක දෘෂ්ටියකින් ගොඩනගන බව පෙනෙනවා. මේ සඳහා ඔබට විශ්ව සාහිත්‍යයේ ඇතැම් කෘති බලපෑවා ද?
“එහෙම නිශ්චිතව අසවල් කෘති බලපෑවා යැයි කියන්න බැහැ. ඒත් බටහිර සාහිත්‍ය පරිවර්තන පරිශීලනය කරන කෙනකු ලෙස බටහිර සාහිත්‍යකරුවන්ගේ නිදහස් ආකල්ප බොහෝ විට මට බලපෑම් කරලා තියෙනවා. උදාහරණයක් ලෙස කියතොත් ප්‍රාන්ස් කෆ්කා නමැති ලේඛකයා ගැන කීමේදී තමන් ලිංගික ජීවිතය මර්දනය කළ පුද්ගලයෙකු ලෙස ඔහු ප්‍රකාශ කර තිබෙනවා. මට අවශ්‍ය වුණා එබඳු චරිතයක් මේ නවකතාවේදී ගොඩනගන්න. ඒ වගේම ප්‍රංශ ලේඛක ගී ද මෝපසාංගේ කෙටිකතාවක දැක්වෙනවා ‘මට එකම ගැහැනියකට පමණක් පෙම් කළ නොහැක’ යනුවෙන් අදහසක්. මේ අදහස පාදක කරගෙන තවත් චරිතයක් මා මෙහිදී නිර්මාණය කරනවා. එහිදී මා උත්සාහ කරන්නේ මානව සබඳතාවල අපූර්වත්වය, විචිත්‍රත්වය, සුන්දරත්වය ප්‍රකාශ කිරීමටයි.”
• ප්‍රේමය ගැඹුරට විමසා බැලෙන නවකතා අපේ සාහිත්‍යයේ ඇත්තේ අල්ප වශයෙන් බවත්, ලියැවී ඇති ප්‍රේම කතා බොහොමයක් මතුපිට ආදර කතා බවත් බොහෝ විට විචාරකයන් පවසනවා. මේ ගැන ඔබේ අදහස කුමක් ද?
“ඇත්තටම එය නිවැරැදි අදහසක්. ප්‍රේමය විවිධ පැතිකඩවලින් බලා එය දාර්ශනිකව විග්‍රහ කෙරෙන කෘති ලාංකික සාහිත්‍යයේ ඇත්තේම නැති තරම්. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මළගිය ඇත්තෝ’, ‘මළවුන්ගේ අවුරුදු දා’, ‘විලාසිනියකගේ ප්‍රේමය’ සුනේත්‍රා රාජකරුණානායකගේ ‘ප්‍රේම පුරාණය’ වැනි කෘතිවලදී ප්‍රේමයේ ගැඹුර ඉතා අපූරු ලෙස සාකච්ඡා වී තිබෙනවා. ඒ හැරුණු විට ප්‍රේමයේ දාර්ශනික ගැඹුර සාකච්ඡා කෙරෙන කෘති දකින්න ලැබෙන්නේ ඉතාමත් අඩුවෙන්.
මෑතක මා දුටුවා මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ වයෝවෘද්ධ අවධියේදී තිස්ස අබේසේකර ඔහු සමග සම්මුඛ සාකච්ඡාවක් කරන වීඩියෝවක්. එහිදී තිස්ස අබේසේකරයන් වික්‍රමසිංහයන්ට අපූරු යෝජනාවක් කරනවා. ඔහු වික්‍රමසිංහයන්ට කියනවා ප්‍රේම කතාවක් ලියන්න කියලා. එහිදී වික්‍රමසිංහයන් සිනා සෙනවා. ඇත්තටම ප්‍රේමය ගැන ලියන්න ඕනෑ වික්‍රමසිංහ වැනි දාර්ශනික මිනිස්සු. ගැඹුරු මිනිස්සු. සරච්චන්ද්‍රයන් ප්‍රේමය ගැන ලියන විට කොයි තරම් රමණීය ද?”
• නවකතාව සත්‍යයේත් පරිකල්පනයේත් මුසුවක් බව බොහෝ දෙනා පිළිගන්නා කරුණක්. අත්දැකීම කුමක් වුවත් කතාවේ අපූර්වත්වය මතු කරන්නට පරිකල්පනය වැදගත් වන්නේ කොහොම ද?
“ඇත්තටම ජීවන අත්දැකීම් මානව සමාජයේ ඕනෑම කෙනකුට යම් යම් මට්ටම්වලින් තිබෙන දෙයක්. අත්දැකීම් තිබූ පමණින් ලේඛකයෙකු වෙන්න බැහැ. කුඩා අත්දැකීම් බීජයකින් විශාල නවකතාවක් ලියන්නට හැකි වන්නේ ලේඛකයාගේ පරිකල්පන ශක්තියේ ආනුභාවසම්පන්නභාවය නිසයි. ඉස්සර අපේ බොහෝ කවියන් පුවත්පත් වාර්තා දිහා බලාගෙන කවි ලිව්වා. ඒත් අපේ ප්‍රවීණ ලේඛකයෙකු වූ කුලසේන ෆොන්සේකා කියූ දෙයක් තමයි පුවත්පත් වාර්තා බලාගෙන කවි ලිව්වාට නවකතා ලිවිය නොහැකියි කියන කාරණය.
නවකතාවකට විශාල අත්දැකීම් ප්‍රමාණයක් අවශ්‍යයි. කේ. ජයතිලක වැනි විශිෂ්ට ලේඛකයකු පවා සිය අවසාන භාගයේ ප්‍රකාශ කළේ තමන්ගේ අත්දැකීම් නමැති විල සිඳී ගිය බවයි. අලුත් අත්දැකීම් නොමැතිව නවකතා ලිවිය නොහැකි බව ඇත්තයි. ඒත් අනුන්ගේ අත්දැකීම් පවා ගවේෂණයෙන් තමන්ගේ අත්දැකීම් වපසරිය පෝෂණය කරගත හැකියි. බොහෝ රුසියානු ලේඛකයන් තමා ලබන එබඳු අත්දැකීම් ලියා තබා ගැනීමට සටහන් පොතක් භාවිත කළ බව ඔවුන් පිළිබඳ ලියැවුණු විචාර ග්‍රන්ථවල සඳහන් වෙනවා. ටෝල්ස්ටෝයි ‘ඇනා කැරනිනා’ නවකතාව ලිව්වේ තමන්ගේ පෞද්ගලික අත්දැකීමකින් නෙවෙයි. තමාගේ ගම් පළාතේ සිද්ධ වූ සිද්ධියක් පරිකල්පනාත්මකව ගළපා මහා නවකතාවක් නිර්මාණය කළා. මාර්ටින් වික්‍රමසිංහයන් ‘විරාගය’ නවකතාව ලිව්වෙත් ඒ විදිහටයි. පානදුරේ ජීවත් වූ ආචාර්ය අදිකාරම් දර්ශනය අනුගමනය කළ තරුණයකු පිළිබඳ ඇසූ ප්‍රවෘත්තියක් පරිකල්පනාත්මකව ගළපා විරාගය නවකතාව ලිව්වා. මං හිතන්නේ කවර මට්ටමේ අත්දැකීමක් වුවත් සාර්ථක නවකතාවක් ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට පරිකල්පන ශක්තිය අත්‍යවශ්‍යයි. තමාගේ අත්දැකීම් වාර්තා කළ පමණින් සාර්ථක නවකතාවක් වන්නේ නැහැ.”
• ඔබ මේ නවකතාවට යොදාගෙන ඇත්තේ කාව්‍යාත්මක බවින් පෝෂිත බසක්. නවකතාවක භාෂාව තීරණය වන්නේ කොහොම ද?
“මම ලස්සන භාෂා රටාවක්, රමණීය භාෂාවක් සහිත කෘති කියවන්න කැමැති කෙනෙක්. ඉස්සර මා ලියූ ඇතැම් විචාර කෘති කියැවූ මහාචාර්ය සුචරිත ගම්ලත් මට දුන් උපදෙසක් තමයි හැකිතාක් භාෂාව රමණීය කරගන්න කියන එක. ඒ වගේම රත්න ශ්‍රී විජේසිංහ වැනි කවියකුගේ නිර්මාණ අධ්‍යයනය කරන විට පෙනෙනවා ලියන හැම වැකියක්ම නිර්මාණාත්මකව, කාව්‍යාත්මකව ලියන්න දරන උත්සාහය. මේ නිසා මමත් ලියන හැම වැකියක්ම රමණීයව ලියන්න උත්සාහ කරනවා. නිර්මාණශීලි කරගන්න උත්සාහ කරනවා. මගේ ‘හිමබිම අරණ’ නවකතාව පිළිබඳ ප්‍රවීණ ලේඛක සේන තෝරදෙනිය විචාරයක් ලියමින් ප්‍රකාශ කළා එය භාෂා පෙළහරක් කියලා. ඒ වගේම පරිසරය පිළිබඳ ලිවීමේදී කිසිම සිංහල ලේඛකයකු මේ තරම් පරිචයක් පළ කරලා නැහැ කියලා. එහෙම කියන්න හේතුව තමයි නවකතාවක බස පිළිබඳ මම ඉමහත් සැලකිල්ලක් දක්වන එක. මම වඩාත් කැමැති නිර්මාණශීලි, කාව්‍යාත්මක බසකින් යුක්ත නවකතාවලට. භාෂාව අපූර්වත්වයෙන් යුක්ත වීම ඕනෑම සාහිත්‍යාංගයක් ආකර්ෂණය වීමට හේතු වෙනවා. භාෂාව වියළි නම්, නීරස නම් එය කියැවීමට රුචියක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ලියන හැම වැකියක්ම අපූර්වත්වයෙන් හා නිර්මාණශීලිත්වයෙන් සරසා ගැනීමට මම උත්සාහ කරනවා. වාර්තාමය බසකට මම ප්‍රිය කරන්නේ නැහැ.”
ප්‍රවීණ ලේඛක සමුද්‍ර වෙත්තසිංහ
සංවාද සටහන - ගාමිණී කන්දේපොළ