පාන් ගෙඩියේ බත් පැකට්ටුවේ මිල බහින්නේම නැද්ද?


පාන් පිටි කිලෝවක මිල දැනට මාස කිහිපයකට  පෙර රුපියල් 400 ක් ආසන්නයේ පැවතිණි. එවිට පාන් ගෙඩියක මිල රුපියල් 200 ඉක්මවා ඉහළ ගියේය. පාන් පිටිවලින් නිපදවන කෙටි කෑම වර්ගවල මිල ගණන් ද බේකරි හිමියන් විසින් සාමාන්‍ය පාරිභෝගිකයකුට දැරිය නොහැකි තරමට මිල නංවනු ලැබීය.

මේ හේතුව නිසා ඇතැම් රොටි කඩ, ආප්ප කඩ සහ කුඩා රෙස්ටුරන්ට් පමණක් නොව ඉඳිආප්ප වෙළෙඳසල් ද වැසී ගියේය. ආපන ශාලා, හෝටල්වලට ආහාර ගැනීමට ගොඩවෙන පාරිභෝගිකයන් බිල අතට ලැබෙන තුරු සිටියේ මහත් තැතිගැන්මකිනි. පිසූ ආහාර මිල ඒ තරම් ඉහළ ගොස් තිබිණි.

දැන් තත්ත්වය වෙනස්ය. පාන් පිටි කිලෝවක මිල රුපියල් 220 ක් තරමට අඩු වී තිබේ. එහෙත් පාන් ගෙඩිය ඇතුළු සෙසු පිටි කෑම මිල ගණන් අඩු වුණේ යන්තමිනි. පාන් ගෙඩියක් තවමත් අලෙවි වෙන්නේ රුපියල් 170 සිට 180 දක්වා මිල ගණන්වලටය. ඇතැම් පළාත්වල මිල මීට වඩා අඩු වුවද ඒ පාන් ගෙඩියක ප්‍රමාණය මීට ඉහත තිබූ ප්‍රමාණයෙන් අඩක් තරමට බැහැලාය. ආප්පයේත්, ඉඳිආප්පයේත් මිල අඩු වුණේ ඉතා සුළු පරිමාණයෙනි.

එසේම කෙටි කෑම වර්ග සඳහා වැඩි වශයෙන් යොදාගනු ලබන අල, ලූනු, සැමන් සහ බිත්තර මිල ගණන් ද අඩුය. එහෙත් කෙටි කෑම මිල අඩු නැත. ඇතැම් පළාත්වල බේකරි නිෂ්පාදනවල මිල ගණන් රුපියල් 10 කින් පමණ අඩු කළත් ඒවායේ ප්‍රමාණය ද ඊට සාපේක්ෂව අඩු කර තිබේ. මේ සියලු‍ දෙයින් පහර වැදී ඇත්තේ සාමාන්‍ය පාරිභෝගිකයාටය. ඔවුන්ගේ අතේ රැඳෙන සොච්චම් මුදලට කෑ හැකි කෙංගෙඩියක් නැත.

සහල් මිල සම්බන්ධයෙන්ද ඇත්තේ මෙවැනිම කතාවකි. ආනයනික සහල් කිලෝව රුපියල් 170 තරමට මිල අඩුවට අලෙවි වන අතර දේශීය සහල් මිල ගණන්ද මීට මාස කිහිපයකට පෙර පැවතුණාට වඩා අඩු වී තිබේ. එහෙත් බත් පැකට්ටුවේ මිල අඩු වී නැත. අල, පරිප්පු මිල ගණන් පමණක් නොව කුකුළු මස් සහ මාළු මිල ගණන්ද මීට මාස කිහිපයකට පෙර මිල ගණන් සමඟ සසඳන කල අඩු වී තිබේ. එහෙත් මාළු බත් පැකට් එකේ, කුකුළු මස් බත් පැකට් එකේ මිල ගණන් එසේමය.

මිල අඩු නොවන්නේ මන්දැයි විමසූ කල ලැබෙන්නේ එකම වර්ගයේ උත්තරය. වෙනත් වියදම් වැඩි බව සහ ගෑස් මිල ඉහළ ගිය බවය. එහෙත් ගෑස් මිල ගණන් විශාල ලෙස අඩු වූ කාලසීමාවේදීත් පිසූ ආහාර මිල ගණන් අඩු නොකෙරුණි. බඩු මිල ගණන් යන්තමින් අඩු වූ පමණින් සකස් කළ ආහාර අඩු මිලට ලබා දිය නොහැකි බව අපි දනිමු.

එහෙත් අතට දැනෙන තරමට සහල්, පාන් පිටි, අල, ලූනු, පරිප්පු, කුකුළු මස්, මාළු මිල ගණන් අඩුවන විට එම මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලබා නොදීම බරපතළ වැරැද්දකි. පාන් ගෙඩියට, බත් පැකට් එකට, කෙටි කෑමකට පැරැණි මිල ගණන්ම අය කිරීම දැනට පවතින නිෂ්පාදන මිල ගණන්වලට සාපේක්ෂව ඉහළ මිලක් බව පෙන්වා දිය යුතුය.

මෙහිදී පාරිභෝගිකයාට සිදුවන අසාධාරණය පිළිබඳ සොයා බැලීමේ වගකීම පැවරෙන්නේ පාරිභෝගික සේවා අධිකාරියටය. එහෙත් දිනපතා පිසූ ආහාර මිලදී ගන්නා මිලියන ගණනක් වන පාරිභෝගිකයන් මේ ඉහළ මිල ගණන් හේතුවෙන් මුහුණ දෙන අසාධාරණයෙන් මුදාගැනීමට පාරිභෝගික සේවා අධිකාරියෙන් සෙතක් ඉටුවන බවක් නොපෙනේ.

මෙවැනි ගැටලු‍වලට පිළියම් යෙදීමට අවශ්‍ය තරම් නිලධාරීන් පිරිසක් තමන් සතුව නැතැයි පවසා පාරිභෝගික සේවා අධිකාරියට අතසෝදා ගැනීමට හැකියාවක් නැත. මේ අධිකාරිය පිහිටුවා තිබෙන්නේ පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් රැකීමට මිස ආහාර නිෂ්පාදකයන් රැකීමට නොවන බැවිනි. 

පාරිභෝගික අධිකාරිය තමන්ගේ ප්‍රමුඛතා පිළිබඳ සැබෑ අවබෝධයෙන් ක්‍රියා කරන්නේ නම් පාරිභෝගිකයන් විඳින අපහසුකම්වලට යම් තරමක සහනයක් ලබා දිය හැකි බව අපගේ විශ්වාසයයි. බිත්තරයක් පාලන මිලට වඩා රුපියල් කිහිපයක් වැඩිපුර විකුණන වෙළෙඳසල් වැටලීම පමණක් තමන්ගේ කාර්යය නොවන බව පාරිභෝගික අධිකාරිය තේරුම් ගත යුතුය.

වැටලීම් කර දඩ ගැසීම හෝ නඩු පැවරීම පහසු රාජකාරියකි. එහෙත් දිනපතා මිලියන ගණනක් වන පිසූ ආහාර මිලදී ගන්නා පාරිභෝගිකයන්ට සිදුවන අසාධාරණ වැළැක්වීම ඊට වඩා බරපතළ කාර්යයකි. ඒ සඳහා ඉක්මනින් පිළියම් යෙදීම අවශ්‍යය. දැනට අඩු වී තිබෙන මිල ගණන් යළි ඉහළ නොයන බවට කිසිදු සහතිකයක් නොමැති බැවිනි.

(***)