පාර්ලිමේන්තු සබා ගැබ කැටයමින් සැරසූ කලාකරුවා අද අසරණයි


(තිලකරත්න කුරුවිට බණ්ඩාර)

ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරයේ සබා ගැබෙහි විරාජමාන වන විසිතුරු ධජ පන්තිය ද සබය ආලෝකවත් කරන මනහර නෙරළු තුරු හිස් සිහිගන්වන ලඹ දෙන යෝධ පහනද – ප්‍රධාන පිවිසුම් දොරටුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව කැටයම් කළ රිදී ඇගෑ ද්වාර ඵලකද්වය නිර්මාණය කළ අසහාය කලාකරුවා වන කළුතර විමල් වික්‍රමසුරේන්ද්‍රයන් අද දෙපයින් ඇවිදීමේ හැකියාව ද නැතිව අසරණ වී සිටී.

ඔහු විසින් නිර්මාණය කරන ලද උස අඩි හයහමාරකින්ද පළල අඩි හයහමාරකින්ද යුත් ටොන් දෙකක් බර සාම්ප්‍රදායික තේජවන්ත සිංහ ප්‍රතිමාවක් ජනාධිපති කාර්යාල අභ්‍යන්තරයේ දෙස් විදෙස් රාජ්‍ය අමුත්තන්ගේ මන නුවන් ඇදගනිමින් තිබේ.

සුරේන්ද්‍රයන්ගේ විශ්වකර්ම නිපුණතා දුටු දේශීය මෙන්ම විදේශීය අනුග්‍රාහකයන් කිහිපදෙනෙකු ඔහුට එතෙර පදිංචියට පැමිණෙන ලෙස ආරාධනා කළද ඔහු ඒවා ප්‍රතික්ෂේප කළේ තමන් උපන් මවුබිම තරම් උතුම් වාසභූමියක් මේ මිහිපිට වෙනත් නැතැයි කියමිනි.

එහෙත් ඔහුට අද දෙපයින් ඇවිදීමට නොහැකි වී ඇත්තේ පෙර කී කලා කෘති නිර්මාණය කිරීමට හිටි පියවරින් සිට මිටි පහර ලක්‍ෂ ගණන් ගසමින් වෙහෙස වූ බැවිනි. අද ඔහු අතින් බත් පත අනාගෙන කන්නට බැරි වී ඇත්තේ කටු මිටි හරඹයෙන් ඇඟිලි පුරුක් අබලදුබල වී ඇති බැවිනි.

1936 දෙසැම්බර් 16 වැනිදා ජන්ම ලාභය ලැබූ වික්‍රම සුරේන්ද්‍රයන් අයත් වන්නේ අපේ ඓතිහාසික අවුකන පිළිමය නෙළු අනුරාධපුර මහමෙව්නාවේ සමාධි පිළිමය නෙළු දඹුලු ලෙනේ ප්‍රතිමා පන්තිය නෙළු විශ්වකර්ම කලා පරපුරට බවට සැකයක් නැත.

‘‘අවුකන පිළිමය නෙළන කාලයේ ඒ ශිල්පියාට අපිත් ළඟින් ඉඳන් කටු මිටිවත් දෙන්න ඇති. ඒ පින් මහිමයෙන් අපටත් යම් කුසලතාවක් ලැබුණා වෙන්න ඇති’ කියන විමල් වික්‍රම සුරේන්ද්‍ර, එදා සිට එක්රැස් කළ තමන්ගේ විශිෂ්ට කලා කෘති එකතුව දිවිහිමියෙන් විකුණන්නේ නැතැයි එදා කීවත්, අද අසරණ වී සිටින බැවින් ලංකාවේ තබා ගන්නා යම් අනුග්‍රාහකයකුට හෝ රජයට විකිණීමට හිත හදාගෙන සිටී.

පාසල් අධ්‍යාපනයෙන් පසු 1956 දී කලාගුරු ජේ.ඩී.ඒ. පෙරේරා සූරීන් අධිපති පදවිය උසුලන අවදියේ රජයේ ලලිත කලායතනයේ චිත්‍ර කලාව කැටයම් කලාව හා මූර්ති කලාව ප්‍රගුණ කරන සමයේ කළ ප්‍රාර්ථනය ඔහු විසින් නිර්මාණය කරන ලද සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන්ගේ දුෂ්කර ක්‍රියා ප්‍රතිමාව කළුතර බෝධිය විහාරයේ විද්වතුන්ගේ වන්දනාවට පාත්‍ර වෙමින් වැඩ සිටී.

එසේම වතිකානයේ වැඩ වෙසෙන ශුද්ධ වූ පාප් වහන්සේ සමස්ත ලෝක වාසීන්ට ආශිර්වාද කරනු පිණිස සුරත දරා සිටින යෂ්ටි හිස දැක්වෙන කුරුසියේ විසල් අනුරුවක් නිර්මාණය කර ප්‍රදානය කර ඇත. එම මාහැඟි අවස්ථාව ඔහුට උදාකරදී ඇත්තේ ඇන්ස්ලම් පෙරේරාය.

එසේම මාලිගාවත්ත ප්‍රදීප මාවතේ ඉදිකළ අප ස්වාමි දුවගේ දේවස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ වන්දනාවට වඩා හිඳුවා ඇත්තේ සුරේන්ද්‍රයන් තඹ තහඩුවෙන් නිර්මාණය කළ ජේසු ස්වාමිදරුවන්ගේ ප්‍රතිමාවකි. එය මෙරට මෙන්ම විදේශිකයන්ගේද මහත් ප්‍රශංසාවට පාත්‍ර වී ඇත.

ශ්‍රී ලංකාවේ බෞද්ධ කලාකරුවකු අතින් මෙවන් ප්‍රතිමාවක් නිර්මාණය කිරීම වූ කලී හුදෙක් කලා කෘතියක් නිර්මාණය කිරීමක් පමණක් නොවේ. එම සංසිද්ධිය සාමයික සහජීවනය ද තහවුරු කිරීමක් සේ සැලකේ.

මේ නිර්මාණයට අත ගැසීමට පෙර ක්‍රිස්තුන් වහන්සේගේ චරිත ගණනාවක් පරිශීලනය කර, උන්වහන්සේගේ සුවිශේෂී චරිත ලක්‍ෂණද දේශනාවේ හරයද, ප්‍රමුඛ දේහ ලක්‍ෂණද හඳුනාගෙන, බර්ට්රම් දබරේරා පියතුමන් විසින් ඉතාලියෙන් ගෙන්වා දෙනු ලැබූ කුඩා කුරුසියේ රිද්මය අනුව අඩි 4x4 ගේජ් 18 පැතලි තඹ තහඩු ගණනාවකින් මේ ප්‍රතිමාව නිමකර තිබේ.

මෙහිදී මේ රුව හැඩගැන්වීමට මිටි පහර ලක්‍ෂ හයහමාරක් පමණ ගසන්නට සිදුවූ බව ඔහු සිහිපත් කරයි. ඒ සඳහා එදා වියදමින් රුපියල් තිස් පන් දහසක් පමණ වෑල්ඩින් පමණක් භාවිත කර තිබේ. නොකඩවා මාස තුනකට අධික කාලයක් මේ සඳහා ඔහු සෙසු ශිල්පීන් සමග ගතකර ඇත.

කලාවත්, තාක්‍ෂණයත්, විද්‍යාවත් කාර්මික ඥානයත් එක්තැන්වීමෙන් නිර්මිත මේ ක්‍රිස්තුන් වහන්සේගේ මේ ප්‍රතිමාව හා සමසුන් කෘතියක් සමස්ත ආසියාවේම නැති බව පවසන වික්‍රමසුරේන්ද්‍රයෝ යුරෝපයේ හෝ එවැන්නක් ඇත්නම් එකක් හෝ දෙකක් පමණ වෙතියි පවසති.

යුදෙව්වන් ක්‍රිස්තුන් වහන්සේට දුන් තරම් කටුක දුක් වේදනා මේ ප්‍රතිමාව නිර්මාණයේදී තමන්ද විඳි බවත් කලකට ඉහත ඔහු මා සමග කී බව මතකය.

බුදුරජාණන් වහන්සේ හෝ ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රතිමා නිර්මාණය පෙර ශුභ මුහුර්තියක් බලා නිසි වත් පිළිවෙත් ඉටු කරන බවද ඔහු කියයි.

රනින්, රිදියෙන්, දැවයෙන්, තඹවලින්, වීදුරුවලින් හෝ ලෝහයෙන් කළ විවිධ කලා කෘති දෙස් විදෙස්හි විරාජමාන වෙතත් ඒවා නිර්මාණය කළ කලාකරුවා අද සිටින තත්වය ඉතා ඛේදනීය වෙයි.

අදත් ඔහුගේ කෘති එකතුවේ මහත් බැතියෙන් තබාගන සිටින අත් දහසකින් යුත් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයන්ගේ අර්ධොන්නත ලෝහමය පුවරුව සුරේන්ද්‍රයන්ගේ විස්කම් හැකියාව මූර්තිමත් කරන්නැයි මට හැඟුණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉදිකර ඇති ශ්‍රී ලංකාවේ කාසියේ විකාශය පිළිබිඹු කරන ‘‘කාසි තොරණ’’ ජගත් කීර්තියට පත් සුවිශේෂී නිර්මාණයකි. ජගත් මහ බැංකු අධිපතිවරුන්ගේ සංවත්සරය ලෝක මහ බැංකු ප්‍රධානීන්ට පරිත්‍යාග කිරීමට ඔහු නිර්මාණය කළ මල් ලිය කැටයමින් යුත් සමෙන් කළ හුරුබුහුටි පෙට්ටගමද, තවත් ජගත් සමුළුවක ජන නායකයන්ට තිළිණ කිරීමට සමෙන් නිර්මාණය කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රාජසභාවද ඔහුගේ සුවිශේෂී නිර්මාණ අතර ප්‍රමුඛස්ථානයක් ගන්නකි.

ජගත් කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා පාර්ලිමේන්තු මන්දිරයේ මෙන්ම ඔහුගේ විශේෂ ඉදිකිරීම්වල කලාත්මක නිර්මාණ දායකත්වය ලබා ගන්නට අමතක කළේ නැත.

‘‘මේ මනරම් පාර්ලිමේන්තු මන්දිරය ශ්‍රී ලංකාවේ හා ලෝකයේ මුදලින් මිල කළ හැකිය. එහෙත් මෙහි කලා නිර්මාණ මිල කිරීමට ආසියාවේ හෝ ලෝකයේ මුදල් ප්‍රමාණවත් නොවෙතැ’’ යි ප්‍රථම විධායක ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතා මහත් අභිමානයෙන් සඳහන් කර ඇත.

පාර්ලිමේන්තු මන්දිරය විභූතිමත් කිරීමට දායක වූ ඒ අසමසම විමල් වික්‍රම සුරේන්ද්‍ර කලාකරුවා අද සිය දෑතත් දෙපයත් වලංගු නැතිව අසරණ වී කළුතර දූව පන්සල පාරේ පිහිටි නිවසට වී කල් ගෙවන්නට ඉඩ හැරීම ජාතියේ අකෘතඥවීමක් නොවේද?

මේ පිළිබඳ රජයේද, සංස්කෘතික අමාත්‍යවරයාගේද සෙසු වගකිවයුත්තන්ගේද අවධානය යොමු වේවා!

විමල් වික්‍රමසුරේන්ද්‍ර මහතාගේ දුරකථන අංකය- 0702788882