පාර්ලිමේන්තුවත් පාලනය කළ ජේ.ආර්


(මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළවිය)

ඩිගෝල්ගේ ක්‍රමය ආසියාවේ

ජනාධිපති ක්‍රමය ස්ථාපිත කිරීමෙන් අනතුරුව මහාචාර්ය ඇල්ෆ්‍රඩ් ජෙයරත්නම් විල්සන් ඔහුගේ "The Gaullist System in Asia” නම් පොතේ එය විග්‍රහයට ලක් කළේය. ඔහුගේ නිරීක්‍ෂණ එහි මෙසේ සඳහන්ව තිබිණි. ‘‘ජයවර්ධන අත්කරගෙන ඇති ස්ථාවර විධායක බලය අභ්‍යන්තර පීඩනයකින් හෝ බාහිර බලවේගයකින් පහසුවෙන් සෙලවෙන්නක් නොවේ. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ජනාධිපතිවරයා ප්‍රංශ ජනාධිපතිවරයාටත් වඩා බලසම්පන්න තත්ත්වයකට පත්වීමයි.

අවධානයට ලක්විය යුතු වැදගත් කාරණයක් වන්නේ ජේ.ආර්. හඳුන්වාදුන් ජනාධිපති ක්‍රමය තුළ ඔහු පාර්ලිමේන්තුවට පිටතින් කැබිනට් තනතුරු පිරිනැමීමට ඉඩ නොතැබීමයි. කැබිනට් අමාත්‍යවරයකු හා සමාන්තර බල කේන්ද්‍රණයක් සහිත බලසම්පන්න ජනාධිපති ලේකම් තනතුරක් ඇති කිරීමට ද ජේ.ආර්. අකමැතිවිය. එසේ වූයේ ඇයි ? එම කාරණය මහාචාර්ය විල්සන් විමසුමට ලක් කරයි. ජේ.ආර්. ඊට මෙසේ පිළිතුරු දුන්නේය.

‘‘ජනාධිපතිවරයා වටා සිටින උපදේශකයන් පත් කිරීමට මා අකමැති බව කිව යුතුය. ඊට හේතුව ජනාධිපතිවරයා තමාගේ අගමැතිවරයා සහ කැබිනට් ඇමතිවරු පමණක් උපදේශකයන් ලෙස සිටීම ගැන මා කැමති වීමය. ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ජනතාව නියෝජනය කිරීම ඊට හේතුවයි.

ජේ.ආර්. ඔහුගේ මෙම ස්ථාවරය 1978 මැයි 31 වැනිදා ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අමතමින් ද විස්තර කළේය. ඔහු එම අවස්ථාවේ එය කියා සිටියේ මෙසේය. 

පත්කරනු ලැබූ පළමු විධායක ජනාධිපතිවරයාත්, රාජ්‍ය නායකයාත්, රජයේ ප්‍රධානියාත් මමයි. ඒ අනුව නිල බලයත් වගකීමත් පැවරෙනවා. බොහෝ අය මගෙන් පසුව එම තනතුරට පත්වෙන නිසා මගේ නිල කාලය තුළ පහත ආකාරයේ වටිනාකම් සහිත පූර්වාදර්ශ සැපයීමට මම කැමතියි. පළමු කාරණය මම නිතරම කැබිනට් මණ්ඩලයත්, පාර්ලිමේන්තුවත් හරහා ක්‍රියාත්මක වී පාර්ලිමේන්තු ක්‍රමයත් එහි පැවැත්ම ආරක්‍ෂා කරමින් ඒවායේ බලය අවප්‍රමාණයට ලක් නොකර කටයුතු කරනවා. දෙවැන්න මම කිසිම අවස්ථාවක ජනාධිපතිවරයාගේ මිනිස්සු ගෑනු කියා ඔහුට බලපෑම් කරන කණ්ඩායමක් බිහි කරන්නේ නෑ.’’
ජේ.ආර්. පාර්ලිමේන්තුව පාලනය කළේය.

ජේ.ආර්. විධායක ජනාධිපති ධූරයට පත් වූ විට ඔහු හයෙන් පහක බහුතර බලයක් ඇති පාර්ලිමේන්තුවක් පාලනය කළේය. අගයෙන් පහත දැමූ ව්‍යවස්ථාදායකයට වඩා විධායක ජනාධිපති ඉහළින් රැඳී, ස්වාධීනව සිටිය ද, ජේ.ආර්., හැකිතාක් දුරට පාර්ලිමේන්තුව හරහා කටයුතු කළේය. මන්දයත් එය සැබවින්ම ඔහුගේ රූකඩයක් වූ බැවිනි. එසේ කරමින් තමා ආඥාදායකයකු ලෙස ක්‍රියා කරමින් බලය පරිහරණය කරන්නේය යන චෝදනාවලින් විදින හිරිහැර අඩු කරගත්තේය. ඒ ආකාරයට ආඥාදායකයකු ලෙස ලේබල් නොවැදී, එජාපයේ යෝධ බහුතර බලය, ඔහුට බලාධිකරය පවත්වා ගන්නට හැකියාව ලබා දුන්නේය. ඒ ආකාරයට පාර්ලිමේන්තුව මෙසේ පූර්ණ පාලනයකට නතුකර ගැනීම ඔහුට අවශ්‍ය  විය.

මතභේදයට ලක්වන ආකාරයේ උපක්‍රම කිහිපයකින්ම ජේ.ආර්. ජයවර්ධන මේ ආකාරයට ව්‍යවස්ථාදායකය නොකඩවා පාලනයකට නතුකොට තබා ගත්තේය. පාර්ලිමේන්තවට පත් වූ පසු, මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්‍ෂයෙන් විපක්‍ෂයට යෑම ජේ.ආර්. තම ව්‍යවස්ථාවෙන් නවතා දැමුවේය. ජේ.ආර්. සහ ප්‍රේමදාස විවිධ ජන කණ්ඩායම් එජාපයට බඳවාගෙන 1977 සාමාන්‍ය උදවිය බොහෝ දෙනකු බලයට පත් කළේය. සිය පන්තිය පිළිබඳ සවිඤ්ඥ‌ානක වූ ජේ.ආර්. ට සාමාන්‍ය ජනතාව වෙතින් පත් වූ හිතවාදීන් පිළිබඳව විශ්වාසයක් තිබුණේ නැත. එම නිසා පිල්මාරු කරන්නන්ගෙන් බේරාගෙන රජයේ ස්ථාවරභාවය ආරක්‍ෂා කරගන්නට ඔහුට අවශ්‍ය විය.

අපකීර්තිමත් රාජදුරෙයි සංශෝධනය

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මඩකළපු පාර්ලිමේන්තු මන්ත්‍රී චෙල්ලයියා රාජදුරෙයිට ආණ්ඩු පක්‍ෂයට පැමිණීමට හැකිවනු පිණිස ජේ.ආර්. තමා ගෙන ආ ව්‍යවස්ථාව වෙනස් කළේය. අපකීර්තිමත් ‘‘රාජදුරෙයි’’ සංශෝධනය මගින් විරුද්ධ පක්‍ෂයේ මන්ත්‍රීවරුනට ආණ්ඩු පක්‍ෂයට පැනීමේ හැකියාව ලැබුණ අතර ආණ්ඩු පක්‍ෂයෙන් විරුද්ධ පක්‍ෂයට යෑමේ හැකියාවක් එයින් නොලැබුණේය.

යෝධ පාර්ලිමේන්තු බහුතරය ආරක්‍ෂා කර ගැනීමට ජේ.ආර් කළ තවත් උප්පරවැට්ටියක් නම් ලංකා කම්කරු කොංග්‍රසයේ එස්. තොන්ඩමන්ගෙන් හැර අනෙකුත් සියලුම තම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දින නොයෙදූ ඉල්ලා අස්වීම් ලිපි ඔවුන්ගේ අත්සන් සහිතව ලබා ගැනීමයි.

ජේ.ආර්. සිදුකළ විශාලතම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව නම් 1982 ජනමත විචාරණය පැවැත්වීමයි. ඔහු රටපුරා පැවැත් වූ ජනමත විචාරණයෙන් පාර්ලිමේන්තු කාලය තවත් අවුරුදු හයකට දීර්ඝ කර ගත්තේය. මැතිවරණය පැවැත්විය යුතුව තිබුණේ 1983 අවුරුද්දේය. එය එම වසරේ පැවැත්වීම ජනමත විචාරණයෙන් මගහැර 1989 දක්වා කල් තැබුවේය.

මෙසේ කළේ තමා සතු පාර්ලිමේන්තු බහුතර බලය ඔහුගේ නිලකාලය අවසන්වන තුරු රඳවා තබා ගැනීමටයි. සිරිමාවෝ බණ්ඩාරනායක රජය, සිය නිල කාලය 1975 සිට 1977 දක්වා දීර්ඝ කරනු ලැබූ අවස්ථාවේ විරෝධය පෑවේ ඒ ජේ.ආර් ජයවර්ධනමය. එම අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කර ගැනීමට යැයි පවසමින් 1975 දී තමාගේ දකුණු කොළඹ මන්ත්‍රී අසුනෙන් ඉල්ලා අස් වී නැවත තරග කොට එම අසුන දිනා ගත්තේය. 1983 දී පාර්ලිමේන්තු කාලය වසර හයකින් දිගුකර ගැනීමට ඔහු කිසිම මැලිකමක් දැක්වූයේ නැත. 

තුන් වැනි වරට තරඟ කිරීම

1978 පටන් ජේ.ආර්. ජයවර්ධනගේ විධායක ජනාධිපති ධූරය 1988 දී නිමාවට පත්විය. තමාගේ නිලකාලයේ අවසානය ගෙවී යද්දී පවා හෙතෙම ව්‍යවස්ථාව වෙනස් කොට තුන්වැනි වාරයට ඉදිරිපත් වීමේ අදහස් ඉදිරිපත් කරමින් දේශපාලන චෙස් ක්‍රීඩාවේ යෙදුනේය. වාසනාවට එවැන්නක් සිදු නොවුණේ ඒවන විට ඔහු 82 වැනි වියේ පසු වූ අතර ඔහුගේ භාර්යාව එලීනා,​ ජේ.ආර්. දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බව තරයේ සිතා සිටියාය. 1988 වසරේ ජූලි වන විට ජේ.ආර්. තුන්වැනි වරට තරග නොකරන බව ඔහුගේ සමීපතමයෝ දැන සිටියහ. එහෙත් ශ්‍රීලනිපයට ජනාධිපති අපේක්‍ෂාවක් ඇති නොවනු පිණිස ජේ.ආර්. තුන්වැනි වරට ඉදිරිපත් වීමේ ප්‍රශ්නය කාලයක් යන තුරු විවෘතව පවත්වා ගත්තේය.

1988 සැප්තැම්බර් මාසයේ දී තමා දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව ජේ.ආර්. නිලවශයෙන් නිවේදනය කළේය. එකී නිවේදනයෙන් අනතුරුව එජාපයේ පාර්ලිමේන්තු කමිටුව සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය එක්ව රැස්වීමක් පවත්වන ලදී. මීළඟ ජනාධිපති අපේක්‍ෂකයා තේරීමට ජේ.ආර්. පක්‍ෂයේ අභ්‍යන්තර මැතිවරණයක් පවත්වතැයි සැවොම අපේක්ෂා කළහ. එහෙත් එවැන්නක් නොපැවැත් වූ ජේ.ආර් ඊළඟ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස රණසිංහ ප්‍රේමදාසගේ නම යෝජනා කළ විට සැවොම විශ්මයට පත් වූවෝය. 

රණසිංහ ප්‍රේමදාස

ජේ.ආර්. එජාපය තුළ ජනාධිපති අපේක්‍ෂකත්වය උදෙසා ප්‍රේමදාස හා තරග වැදුණු ලලිත් ඇතුළත් මුදලි හා ගාමිණී දිසානායක ලවා එක්ව ප්‍රේමදාසගේ යෝජිත නම ස්ථිර කරවීම තවත් විශ්මයට හේතුවක් විය. ඒ අනුව රණසිංහ ප්‍රේමදාසගේ නම ඒකමතිකව ජනාධිපති අපේක්‍ෂකත්වයට ඉදිරිපත් විය. 1988 නොවැ. 10 වැනිදා ජනාධිපතිවරණය උදෙසා නාම යෝජනා භාරගැනීම අවසන් විය. 1988 දෙසැ 19 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වුණි.

එජාපයේ රණසිංහ ප්‍රේමදාස ඡන්ද 2569199 (50.43%) ක් ලබා මුල්තැනට පත්විය. ශ්‍රීලනිපයේ සිරිමාවෝ බණ්ඩාරනායක ඡන්ද 2289860ක් ලබා දෙවැනි තැනට පත් වූ අතර ඔසී අබේගුණසේකර (ශ්‍රීලමප) ඡන්ද 235719 (4.63%) ලබා තුන්වැනි ස්ථානයට පත් වූයේ. රණසිංහ ප්‍රේමදාස ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපති ලෙස පත්වූයේය. 1989 පෙබරවාරියේ පැවති මැතිවරණයෙන් එජාපය පාර්ලිමේන්තු ආසන 225න් 125ක් ලබා ගත්තේය.

ජේ.ආර්. විශ්‍රාම ගැනීම

ශ්‍රී ලංකාව මුළුමනින් වෙනස් කිරීමෙන් අනතුරුව ජේ.ආර්. විශ්‍රාම ගත්තේය. ඉන් පසු ඔහු දේශපාලනයේ නිරත වූයේ නැත. එය මහින්ද රාජපක්‍ෂ හා මෛත්‍රීපාල සිරිසේනට වඩා අතිශය වෙනස් තත්ත්වයකි. චන්ද්‍රිකා කුමාරතුංගටත් වඩා යම් වෙනසක් එම විශ්‍රාම යෑම තුළ දිස්විය. වසර 90ක පරිනත විය දක්වා ජීවිතය ගෙවූ ජේ.ආර්. 1996 නොවැම්බර් 1 දා මෙලොව හැර ගියේය. ඔහු ශ්‍රී ලංකාව තුළ ඇති කළ වෙනස්කම් නොවෙනස්ව පැවතියේය.


ඩී. බී. එස්. ජෙයරාජ් විසිනි

“2022/9/14 Daily FT පත්‍රයේ පළ වූ Srilanka was Changed utterly by JR Jayawardane” ලිපියේ පරිවර්තනය-  සමන් පුෂ්ප ලියනගේ.