මේ රට ජනතාවගේ ය. එහෙත් රාජ්‍යය පාලකයන්ගේ සහ පරිපාලකයන්ගේ ය. එනම් ජනයාට රාජ්‍යයක් නැති වුණාට පාලක පරිපාලක හවුලට රාජ්‍යයක් ඇත. ඒ නිසා පොදු ජනයා බලාකියා ගැනීමට ආරක්ෂා කිරීමට මැදිහත්වන රාජ්‍යයක් නැත. එහෙත් පාලකයන් පරිපාලකයන් සහ බලවත් වෙළඳ ව්‍යාපාරිකයන් වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන් බලා කියා ගැනීමට ආරක්ෂා කිරීමට සීරුවෙන් සහ පහසුවෙන් සිටින රාජ්‍යයක් ජීවමානව පවතී.
ගැටලුව වන්නේ ඒ පාලකයන්ගේ සහ පරිපාලකයන්ගේ රාජ්‍යය අපේ රාජ්‍යයය කියා මායා දැලක පොදු ජනයා පැටලී සිටීමය. “නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ” කියා කලකට ඉහත දී සුනිල් ආරියරත්න සහ නන්දා මාලිනී ඇතුළු පිරිස වෙන තාලයකින් කියා සිටියේ ඒ බණේ ය. මේ ලියුම කියවන අපේ සහෝදර ජනතාවට තදින් කිව යුතු කරුණ නම්, ඔබ අවබෝධ කරගත යුතු කරුණ නම් ඔබට මට රාජ්‍යයක් නැත, ඇත්තේ භූමියක් පමණක් ය සහ ඒ භූමියද රාජ්‍යයේ බලවතුන් විසින් විනාශ කරමින් අව-භාවිත කරමින් සිටින බවය.
මේ රට ළමා මන්ද පෝෂණයෙන් ලෝකයේ හයවැනි යාය. විදේශ විනිමය සංචිත හිඟය අතින් මේ රට එකසිය අනූ පස්වැනියා ය. ලක්ෂ හතළිස් අටක් වන සිසුන්ගෙන් භාගයක් අධ්‍යාපනය ලබාගත නොහැකිව අවිනිශ්චිත භාවයෙන් සහ අනාරක්ෂාවෙන් ය.
දිනෙන් දින අධ්‍යාපනයෙන් ගිලිහෙන පිරිස වැඩි වෙමින් පවතී. ලක්ෂ හැටකට ආසන්න පිරිසක් ඊළඟ ආහාර වේල ලබා ගත නොහැකිව ලැබේ දෝ නො ලැබේ දෝ යන අවිනිශ්චිත මානසිකත්වයක ය.
එහෙත් ආහාර අර්බුදය සෞඛ්‍ය අර්බුදය ගමනාගමන අර්බුදය ඉන්ධන සහ බලශක්ති අර්බුදය අධ්‍යාපන අර්බුදය ඉන්න හිටින්නට තැනක් ගැනීමේ හෝ හදා ගැනීමේ අර්බුදය යනාදී කී නොකී අර්බුද රාශියකට කොටුවී ඇත්තේ පොදු මහජනතාව මිස පාලකයන් හෝ පරිපාලකයන් හෝ බලවත් වෙළඳ ව්‍යාපාරිකයෝ නොවෙති. “මහ ජනතාවට අමාරු වුණත් මණ්ඩලය රකින්න විදුලි ගාස්තු වැඩිකරන”, පාඩු ලබන ආයතන නඩත්තු කරමින් ලාභ ලබන ආයතන විකුණන/ ප්‍රතිව්‍යුහගත කරන පාලකයන් සහ පරිපාලකයන් හැමදාම කියා දෙන පාඩම ජනතාව දැන්නම් ඉගෙන ගනීවි යන්න මගේ මතය යි.
පාලකයන්ගේ සහ පරිපාලකයන්ගේ රාජ්‍යයයේ බුද්ධිමය පෙරමුණ/ බුද්ධිමත්හු සමාජයට අති දැවැන්ත වංචාවක් කරමින් සිටිති. එසේම පාලකයෝ සහ පරිපාලකයෝ ද පිළිවෙළින් දේශපාලන සහ පරිපාලන වංචාවක් සිදුකරමින් සිටිති. මේ වංචාව කුමක්ද? එනම් පවතින අර්බුදය මුලිනුපුටා දැමීමට නොව කළමනාකරණය කිරීමට පාලකයන් අනුගමනය කරන උපායික තීරණ රට සංවර්ධනය කිරීමේ මහා මෙහෙයුම් ලෙස තර්ක කිරීම එම බුද්ධිමය වංචාව ය. එසේම පාලකයන් සහ පරිපාලකයන්ට හිරිහැරයක් නොවන සේ ඔවුන් ගන්නා තීරණ රටේ පොදුජනතාව වෙනුවෙන් එනම්, පොදු ජන සුබසෙත වෙනුවෙන් ගන්නා තීරණ ලෙස හුවා දැක්වීම දේශපාලන සහ පරිපාලන වංචාව ය.
පාලක පරිපාලක හිතැති හෝ අර්බුදය සහ පීඩාව නිසිලෙස වටහා නොගත් බුද්ධිමතුන් අර්බුදයේ දිග පළල සහ ගැඹුරේ හේතු සහ ඉන් මිදෙන ජනතාවාදී විකල්ප ඉදිරිපත් කරන්නේ නැත. එසේම පාලකයන් සහ පරිපාලකයන් තමන්ට මේ අර්බුදයට විසඳුමක් නැතැයි කියා කියන්නේ ද නැත. ඒ වෙනුවට ඔවුන් කරමින් සිටින්නේ රට අර්බුදයට යද්දී තම පාලක පරිපාලක රාජ්‍යය ආරක්ෂා කර ගැනීමට, ශක්තිමත් කර ගැනීමට, සහ ඊට අවශ්‍ය බලය තහවුරු කර ගැනීමට කටයුතු කිරීම ය.
1991 ඉන්දියාවද මෙවැනිම අර්බුදයකට මුහුණ පෑ බවත් ඊට හේතු වූයේ සෝවියට් කඳවුරේ බිඳ වැටීම සහ ගල්ෆ් අර්බුදයත් බව කියාපාන පාලක කටකාරයෝ ලංකාව මේ තත්ත්වයට වැටුණේ කොරෝනා කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටීම නිසා බව කියා සිටිති.
ඔවුහු කාරණා දෙකක් මඟ හරිති. අර්බුදයෙන් ඉන්දියාව රාජ්‍යයක් ලෙස නොවැටුණේ ඇයි යන්න සහ ලංකාව වැටුණා පමණක් නොව ලෝක රාජ්‍ය ලයිස්තුවේ එකසිය අනූපස් වැනි තැනට වැටුණේ ඇයිද යන්න ගැන ඔවුහු අවධානය යොමු නොකරති. කොවිඩ් වසංගතය බලපෑ සියලුම රාජ්‍ය විදේශ සංචිත අතින් සිටින්නේ ලංකාවට ඉහළින් ය. ලංකාව ඒ සියල්ලට පහළින් සිටින්නේ දේශපාලන හේතුවක් නිසා මිස කෝවිඩ් නිසා නොවන බව මේ හය හතර නොදත් සේ පෙන්වන කටකාරයන් නොදන්නවා නොවේ. ඔවුන් කරමින් සිටින්නේ බුද්ධිමය දේශපාලන වංචාවකි. රට අර්බුදයට ගෙන ගිය දේශපාලකයන්ගේ වගකීම වහං කිරීමකි.
රටේ රාජ්‍ය ආයතනවල සේවකයන් බඳවා ගෙන ඇති ආකාරය මේ වංචාව හෙළිදරව් වන කරුණකි. එනම් ඒ ඒ අමාත්‍යංශ සහ අනුබද්ධ ආයතනවලට බඳවා ගෙන ඇති අති බහුතරයක් ඒ ඒ ඇමැතීන්ගේ ඡන්ද බල ප්‍රදේශ වල අය ය. අදාළ පුද්ගලයන් පොකුරු පිටින් නීති රෙගුලාසි අවභාවිත කරමින් හෝ කඩමින් බඳවා ගෙන ඇති ආකාරය නිරීක්ෂණය කිරීමට අවශ්‍ය කෙනකු එකී අය බඳවාගත් කාලයේ අදාළ ඇමති කවුදැයි දැන ගැනීම පමණක් සෑහේ.
මෙය දශක ගණනාවක් තිස්සේ සිදුවන්නකි. රාජ්‍ය සේවය විනාශ කළේ මේ රටේ පාලකයන් මිස ජනතාව නොවේ ය. මේ වනවිට ලෝකයේ දියුණු රටවල රාජ්‍ය සේවක අනුපාතය ජනගහනයෙන් 250 ට එක් අයෙකි. ලංකාවේ ඒ අනුපාතය ජනගහනයෙන් 17 ට එකෙකි. එ්ත් කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඇත්තේ බින්දුවේ ය. මේ දේශපාලකයන්ගේ හපන් කම් මිස වෙන කිසිවකුගේ නොවේය.
සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ලෙස ජනසවිය වැඩසටහන ‘සමෘද්ධි වැඩසටහන’ බවට පත් වූයේ දේශපාලන අරමුණු නිසා මිස සමාජ ආරක්ෂණය වඩාත් වැඩි දියුණු කිරීමට නොවේ ය. අද එය අර්බුද සහ දිළිඳුකම පිටුදැකීම සඳහා නොව ඒවා වර්ධනය කිරීම සඳහා පිටුබලය සපයනවා යැයි කිව හැක්කේ රස්සා දහස් ගාණක් නඩත්තු වනවා මිස දිළිඳු කමේ නම් අඩුවීමක් නොපෙන්වන නිසා ය.
පාඩු නොලබන සහ ලාභ ලබන අංශ ප්‍රතිව්‍යුහගත කිරීමට උනන්දුව තිබෙන පාලකයන් ‘සමෘද්ධිය’ ප්‍රතිව්‍යුහගත නොකරන්නේ එය ඡන්ද යාන්ත්‍රණයක් ලෙස පාවිච්චි කළ හැකි නිසා මිස සමාජ ආරක්ෂණය තහවුරු කිරීම සඳහා නොවන බව අප තේරුම් ගත යුතුය. වැඩකට නැති එවැනි ව්‍යාපාරයකට යොදවන ජනතා ධනය සහ සම්පත් ගඟට කපන ඉණි වැනිය. පුළුවන් නම් ඔය කටකාරයන් ඒ ගැන හිතන්න.
නව ලිබරල්වාදය යනු රාජ්‍යය කුඩා වී වෙළඳපොළ පුළුල් වීම බව අපේ පාඨකයන් අසා ඇතැයි සිතමි. එහෙත් මේ රටේ සිදුවන්නේ එයත් නොවේ. පාලකයන්ගේ සහ පරිපාලකයන්ගේ පැවැත්මට සහ නඩත්තුවට ගැළපෙන ලෙස රාජ්‍යය කුඩා වී මහජනයාට එරෙහිව එය බලවත් වී ශක්තිමත් වී වෙළඳාමේ සහායකයන් පහසුකම් සපයන්නන් සහ කොටස්කරුවන් බවට පත්වී අඩුවක් පාඩුවක් නැතිව කල් ගෙවීම ය.
ඒ අනුව රාජ්‍යය දැන් කුඩා වී ඇත. එනම්, එය පාලකයන්ගේ පරිපාලකයන්ගේ සහ බලගතු වෙළෙන්දන්ගේ කටයුතු සහ පහසුකම් සැපයීමට පමණක් සීමා කරගෙන ඇත. එසේම මෙවැනි රාජ්‍යයක් සේවය කරනුයේ අනුග්‍රහ දක්වනුයේ ක්‍රය ශක්තිය ඇති අයට එනම් මිල දී ගැනීමේ හැකියාව ඇති අයට පමණි. ඒ අනුව මෙවැනි රාජ්‍යයක් පාලකයන්ගේ පරිපාලකයන්ගේ බලගතු වෙළෙන්දන්ගේ සහ ක්‍රයශක්තිය ඇති අයගේ ය. එවැනි රාජ්‍යයකින් පොදු ජනයාට ඇතිවන සෙතක් නැත.
ඉතින් රටක් ඇති එහෙත් රාජ්‍යයක් නැති අපි මිහි තලයේ අසරණයෝ වෙමු. පාලකයන් පරිපාලකයන් සහ බලගතු වෙළෙන්දන් ගේ අණසකට සහ අයිතියට යටත්ව ඇති රාජ්‍යය ඔවුන්ට අවශ්‍ය දේ පමණක් කරති, කරවා ගනිති. ජනතාව ඔවුන්ට රාජ්‍යය දී ඇත්තේ බද්දට නොව නිකම්මය. සියලු ප්‍රතිසංස්කරණ සහ තීන්දු තීරණ පාලකයන්ගේ සුබසෙත සඳහා ය. මෙතරම් අහේනියක් ජන සමාජය මත පතිත වී තිබිය දී අන්ත අසරණ ජනයා වෙනුවෙන් ගත් එකම තීන්දුවක් වත් නැති වීම ඊට එක උදාහරණයකි.
මින් ජනයා උගත යුතු පාඩම කුමක් ද? මේ රටේ පාලකයන්ට ඔවුන්ගේ පාලක සංවිධාන සහ ආයතනවලට කිසිදු මානුෂීය හැඟීමක් පීඩිත ජනයා කෙරෙහි නොමැති බවය. එසේම ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්තරවල අනුපාන මිස විශේෂ වටිනාකමක් ජනයා වෙනුවෙන් සඳහන් නොවන බවය.
ඉන් මිඳීම සඳහා කළයුත්තේ අවිධිමත් ව කලබල කිරීම නොව අරමුණක් ඉදිරි දර්ශනයක් ප්‍රතිපත්ති මාලාවක් සහ වැඩපිළිවෙළක් ඔස්සේ සංවිධානගත වීමය. ඒ සඳහා පාරට බැසීම නොව ක්‍රය ශක්තියක් නැති ජනයා ඇති, පාලකයන් සහ පරිපාලකයන් විසින් අත්හැර දමන ලද ජනසමාජයට බැස ඔවුන් දැනුවත් කිරීම පළමු පියවර විය යුතුය යන්න මෙවර මගේ ‘කිවි දා දැක්ම’ ය. හාමතේ ඉන්න වුන් දැන් ඉතින් නැගිටියව් කීමට පෙර හාමතේ සිටින්නට වීමේ හේතු ගැන ජන සමාජය දැනුවත් වීම සහ දැනුවත් කිරීම වඩා වැදගත්ය ප්‍රමුඛ යන්න මගේ අදහසය.
(***)
කොළඹ විශ්වවිද්‍යාලයේ
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ,
ධම්ම දිසානයක