පාසල් සිසුවා දින වූ සටන


රට පුරා පාසල්වල ප්‍රාථමික පන්ති ආරම්භ වීම සාර්ථක යැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය. එය වූ කලී වසර දෙකකට ආසන්න කාලයකට පසු ආසන්නට ලැබුණු ශුභාරංචියම වේ. මාරාන්තික කොරෝනා උවදුරෙන් ඔත්පළව සිටි රටක් පාසල් වසා දැමීමට සිදු වීම නිසා ඉතා අසාධ්‍ය තත්ත්වයකටම පත් විය. ඒ අසාධ්‍ය රෝගියාගේ පෙනහලුවලට අලුත් හුස්මක් රැගෙන ඒමට ඉහත ප්‍රවෘත්තිය සමත් වී තිබේ.

අනාදිමත් කාලයක් පුරා ශ්‍රී ලාංකේය සමාජය තුළ පැවැත්ම තහවුරු කළ රිද්මයක් තිබේ. දරුවා මූලික කරගත් සිතීමේ රටාවට යටත්ව එම රිද්මය සකස් වී තිබේ. එහිදී දරුවාගේ අධ්‍යාපනය ප්‍රධානය. දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබාදීම සෑම පුරවැසියකුගේම ඒකාන්ත ප්‍රාර්ථනය වේ. කොවිඩ් මාරයා හරහට හිටියේ එම ප්‍රාර්ථනාවටය. දෙවසරකට ආසන්න කාලයක් වසා තිබුණු පාසල් යළි විවෘත වීමේ පසුබිම සකස් වීම ශුභාරංචියක් වන්නේ එහෙයිනි.

නිරුක්ති විද්‍යාවට අනුව ගුරුවරයා යනු “නොදැනීම නමැති අන්ධකාරය දුරු කරන්නා” වේ. මෙම සමාජය තුළ අනුත්තර පූජනීය පිළිගැනීමක් ගුරුවරයා සතුව පවතින්නේ ද එහෙයිනි. මවගෙන් පියාගෙන් පසුව දරුවාගේ ජීවිතයට වැඩිම බලපෑම සිදු කරනු ලබන්නේ ද ගුරුවරයාය. දෙවැනි මව, පියා ලෙස ගුරුවරයා බුහුමන් ලබන්නේ ද එහෙයිනි. රට පුරා පාසල්වල ප්‍රාථමික පන්ති ආරම්භ කිරීමේදී එයට ගුරුවරුන්ගේ සහභාගිත්වය සියයට සියයක්ම ලැබුණු බව වාර්තා වේ. එය ඉතා වැදගත්ය.

ගුරු විදුහල්පතිවරුන්ට වෘත්තීමය ගැටලුවක් තිබේ. ඒ, වැටුප් විසමතාවක්ය. විසි හතර වසරක් පුරා එම ගැටලුවෙන් ගුරුවරු පීඩා විඳිති. සැබැවින්ම එම ගැටලුව විසඳීමට ප්‍රමුඛතාවක් දිය යුතුය. රටේ සිටින සුවිශේෂීතම මානව සම්පත ගුරුවරයා වේ. රටට අවශ්‍ය සෑම ආකාරයකම විශිෂ්ටයන් නිර්මාණය වන්නේ ඔවුන්ගේ දෑතිනි. ඒ සඳහා ඔවුන්ට තෘප්තිමත් මනසක් මෙන්ම නිර්බාධක පරිසරයක් තිබිය යුතුය. ගුරුවරුන්ගේ අරගලය ඒ වෙනුවෙනි.

සිය වසකට පමණ පසුව පැමිණි මාරක වසංගතය හමුවේ රට ඔත්පළව තිබේ. එම පරිසරය තුළ රටට ආදායම් ලැබෙන සෑම මාර්ගයක්ම ඇහිරී තිබේ. කුඩා ආර්ථිකයක් සහිත රටකට මෙබඳු වසංගත ඔරොත්තු නොදේ. එවැනි පසුබිමක වුව ද ගුරු විදුහල්පති අරගලය දෙස විවෘත මනසින් බැලීමට රජය පියවර ගෙන තිබිණි. එය යහපත් ප්‍රවණතාවකි. මුරණ්ඩු හා උද්ධච්ඡ ලෙස ක්‍රියා නොකර හැකි පමණින් එම ගැටලුව විසඳීමට ඉදිරිපත් වීමම ගුරු විදුහල්පති වෘත්තීය සමිති ලද ජයග්‍රහණයකි. ඉල්ලූ දෙයම නොලැබුණ ද සියල්ල ලබාගත හැකි මාර්ගයට පිවිසීම ද ජයග්‍රහණයකි.

ගුරු විදුහල්පති සටන තීව්‍ර වූයේ ඇතැම් දේශපාලනඥයන්ගේ වහසි බස් නිසා බව පැහැදිලි විය. ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ වූ මුල් මොහොතේම උද්ඝෝෂණයකට සහභාගි වූ ගුරු විදුහල්පති වෘත්තීය සමිති නායකයන් කුදලාගෙන ගිය පොලිසිය, ඔවුන් බලහත්කාර නිරෝධායනයකට යොමු කළේය. කුපිත කරවනසුළු මෙවැනි ක්‍රියාමාර්ග නිසා අතරමග සමාදානයක් නොමැති තැනට සටන පත් විය.

ඇතැම් දේශපාලනඥයෝ ගුරු විදුහල්පති අරගලය දෙස දේශපාලන කෝණයෙන්ම බැලූහ. ගුරු විදුහල්පති සටන ආණ්ඩුවට එරෙහිව කරන සටනක් ලෙස ඔවුහු සිතූහ. රජුගේ ආරක්ෂකයා වූ වඳුරාගේ භූමිකාවට පණ දුන් ඒ මැති ඇමැතිවරු ගුරු සංහතියටම නින්දා කළහ. දෙකෙන් එකක් බේරා ගැනීමේ තැනට සටන පත් වූයේ එහෙයිනි. එබඳු දේශපාලනඥයන්ගේ වහසි බස්වලට ප්‍රතිචාර නොදක්වා සිටින්නේ නම්, එය ද යහපත් ප්‍රවණතාවකි.

රටක පැවැත්ම තීරණය වන්නේ එම රට තුළ ඇති සන්සුන් සංහිඳියාව මතය. දරුවාගේ අධ්‍යාපනය ඉන් විශේෂිතය. පාසලක් වැසීම යනු හිරගෙවල් දහයක් විවෘත කිරීම බවට කියමනකි. එහෙයින් පාසල් විවෘතව තබා ගැනීමට සියලු දෙනාගේම දායකත්වය ඇවැසි වේ. ඒ සඳහා නම්‍යශීලීභාවය ද අතිශයින්ම වැදගත්ය. අපට අවසානයේදී වැදගත් වන්නේ, දරුවා මිස අන් කිසිවක් නොවේ.

දරුවා යනු රටේ අනාගතය වේ. ඒ දරුවා නොමග යෑම වෙනුවෙන් වන්දි ගෙවීමට සිදු වන්නේ රටේ අනාගතයට වේ. මානසික සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතය වන්නේ, කොවිඩ් මාරාන්තික වයිරසයේ වැඩිම බලපෑම දරුවන්ට බවය. දරුවාගේ චින්තනයට මෙන්ම ක්‍රියාකාරකම්වලට කොවිඩ් දරුණු බලපෑමක් එල්ල කර තිබේ. මෙම තත්ත්වය පාලනය කරගත හැකි වන්නේ පාසල හා ආගමික මධ්‍යස්ථාන හරහාය. ඉන් පාසල ප්‍රධානය. මන්දයත් විධිමත් අධ්‍යාපනයක් පාසලෙන් ලැබෙන හෙයිනි.

රට පුරා පාසල්වල ප්‍රාථමික පන්ති විවෘත කළ ද පාසල් වේලාවෙන් පසුව ඇතැම් ගුරුවරුන් උද්ඝෝෂණවල නිරත වන බව මාධ්‍ය වාර්තාවල සඳහන්ය. කෙසේ වෙතත් පවතින ගැටලු සාකච්ඡාවෙන් සම්මුතියෙන් විසඳා ගැනීමට සමාජයක් ලෙස අපි සමත් විය යුතු වෙමු. එසේ නොවන්නේ නම්, එමගින් ප්‍රකට වෙන්නේ අපගේ අභ්‍යන්තරයේ ඇත්ත ඇතුළාන්තය වේ. අවසන් විග්‍රහයේදී ජයග්‍රාහකයා විය යුත්තේ දරුවාය. දරුවා ජයග්‍රහණය නොකරන කවර දිනුමකින්වත් මෙරට සමාජයට ඇති ප්‍රයෝජනයක් නැත. ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු කිරීම සෑම පාර්ශ්වයකම වගකීමය.

(***)