නවකතාව, කවිය, කෙටිකතාව, නාට්‍ය වැනි නිර්මාණාත්මක සාහිත්‍යයේ විවිධ ඉසව් මෙන්ම ශාස්ත්‍රීය අධ්‍යයන, පර් යේෂණ ක්‍ෂේත්‍ර නියෝජනය කරමින් කෘති රැසක් ලියා, පළ කොට ඇති සුනන්ද මහේන්ද්‍ර මහතා ජනසන්නිවේදන විෂයයෙහි වර්ධනය වෙනුවෙන් ප්‍රබල දායකත්වයක් සැපැයූ ප්‍රාමාණික විද්වතෙකි.
සුනන්ද මහේන්ද්‍ර මහතා එම ජනසන්නිවේදන, ශාස්ත්‍රීය හා නිර්මාණාත්මක ක්‍ෂේත්‍ර අළලා කළ මෙහෙවර වෙනුවෙන් මෙවර සාහිත්‍ය සම්මාන උළෙලේදී ‘සාහිත්‍යරත්න’ සම්මානයෙන් පිදුම් ලැබුවේය. මෙවර සංවාදය ඔහු සමග පැවැත්වෙන්නේ එය නිමිත්තක් කොටගෙනය.
• ජීවිතයට එක්වරක් පමණක් පිදෙන ‘සාහිත්‍යරත්න’ සම්මානයෙන් ඔබ පසුගියදා පිදුම් ලැබුවා. මෙම ඇගැයීම සම්බන්ධයෙන් ඔබේ අදහස දැනගන්න කැමැතියි.
“සාහිත්‍යරත්න සම්මානය පිදීමේදී ඔවුන් ඉදිරිපත් කළ හේතු පාඨය විමසා බලන විට පැහැදිලි වුණේ, ඔවුන් මනා අධ්‍යයනයකින් පසුව එම සම්මානය ලබා දී ඇති බවයි. දශක කිහිපයක් පුරා විවිධ නිර්මාණ ඔස්සේත්, පර් යේෂණ කෘති ඔස්සේත්, ජනමාධ්‍ය ඔස්සේත් යම් කාර්යභාරයක් ඉටු කරන්නට හැකි වීම ගැන මේ වෙලාවේ මට ඇත්තේ සතුටක්.
බටහිර හා පෙරදිග සන්නිවේදන මූලධර්ම තුලනාත්මක අධ්‍යයනයකට යොමු කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා මගේ වැඩි අවධානය යොමු වුණා. ඒ සම්බන්ධව ශාස්ත්‍රීය සමාජය තුළත් කතාබහක් ඇති වීම යහපත් තත්ත්වයක්.
එහෙත්, ජනසන්නිවේදනය, විචාරය, සාහිත්‍යය ආදී පර් යේෂණ හා නිර්මාණ ක්‍ෂේත්‍ර සම්බන්ධව මගේ පැවැති උනන්දුව අඩු වී නැහැ. එහෙම වුණත් ගුවන්විදුලිය, පුවත්පත ඇතුළු මාධ්‍යවල අද ඇති වී තිබෙන පරිහානිය ගැන කනගාටුවක් තිබෙනවා.”
• උගත් බුද්ධිමතුන් මෙසේ ඇගැයීමට ලක්වීම යහපත් කාරණයක් වුවත්, පොදුවේ ගත් විට උගතුන්ට බුද්ධිමතුන්ට මේ රටේ ලැබී ඇති තැන ගැන බොහෝ දෙනා ප්‍රසාදයෙන් කතා කරන බවක් පෙනෙන්නට නැහැ. උගතුන් රට හැර යාමේ ප්‍රවණතාව ද ඉහළ ගොස් ඇති බවයි මාධ්‍ය තොරතුරු අනුව පෙනෙන්නේ. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක් ද?
“ඒ කාරණය සත්‍යයක්. අද වන විට විශ්වවිද්‍යාල සම්ප්‍රදාය ක්‍රමක්‍රමයෙන් ගිලි ගිලී යන නැවක් වගේ. එදිරිවීර සරච්චන්ද්‍ර, සෙනරත් පරණවිතාන, ඩී.ඊ. හෙට්ටිආරච්චි, ඊ.ඩබ්ලිව්. අධිකාරම්, මහගමසේකර, එඩ්වින් ආරියදාස, අමරදේව වැනි විද්වතුන් නැති වීමෙන් ඇති වූ හිදැස අද සමාජයට ඉතා තදින් දැනෙමින් තිබෙනවා. එවැන්නකු පහළ වීමේ පෙරනිමිත්තක්වත් නැති බවත් පෙනෙනවා. සමාජය අතරමං වීමක් තමයි පෙනෙන්නේ. එවැනි බුද්ධිමතුන් පහළ වන පසුබිමක් සමාජයේ නෑ.
මගේ කල්පනාවේ හැටියට මේ තත්ත්වය මේ රටේ මැති ඇමැතිවරුන්ට තේරෙන්නේ නෑ. ශාස්ත්‍රඥයන් හිඟ මැති සබයක් අපට තියෙන්නේ. ඒ බොහෝ දෙනා බුද්ධිමත් මත ප්‍රතික්ෂේප කරන බවත් පෙනෙනවා. මේක තමයි අපට තිබෙන අර්බුදය. අපට සංගීතයක් තියෙනවා ද කියලා මම මහාචාර්යවරයකුගෙන් ඇහුවාම ඔහු නිරුත්තරව බලාගෙන සිටියා. නිශ්චිත රංග කලාවක් අපට තියෙනවා ද කියලා ඇහුවාමත් ඔහු ඒ විදිහටම හිස් මුහුණක් සහිතව බලාගෙන සිටියා. ඇමැතිවරයකුගෙන් මම ඇහුවා ඔබ සත්‍යවාදීව කතා කරන්නේ නැත්තේ ඇයි කියලා. එතකොට ඔහු කළෙත් නිරුත්තරව මුහුණ දිහා බලාගෙන සිටීමයි.
සමාජයට මේ විදිහටම යන්න දීලා ඔහේ බලාගෙන ඉන්න ඔවුන් තුළ කැමැත්තක් තිබෙන බවයි පෙනෙන්නේ. ඒත් දිගින් දිගටම ජනතාවගේ මනස නිශ්ශබ්ද කරලා පාලන තන්ත්‍රය පවත්වාගෙන යන්න පුළුවන් කියලා මම නම් හිතන්නේ නෑ. මේ පවතින තත්ත්වය තුළ අපට හොඳ ගුරුවරු අහිමි වෙමින් යනවා. සිටින උගත්තු රට අතහැර යනවා. ඔවුන් නැවත එන බවක් පෙනෙන්නේ නෑ.”
• රාජ්‍ය සාහිත්‍ය උළෙල ඇතුළු සංස්කෘතික කටයුතු සම්බන්ධයෙන් මීට ටික කලකට පෙර ඔබට දැඩි විවේචන තිබුණා. ඒ චෝදනා සම්බන්ධයෙන් දැන් ඔබේ ස්ථාවරය කුමක් ද?
“මට හිතෙන්නේ එදාට වඩා දැන් තරමක වෙනස්කම් දකින්න පුළුවන්. රාජ්‍ය සාහිත්‍ය සම්මාන විනිශ්චය මණ්ඩල සම්බන්ධයෙන් එදා සමාජයේ පැවැති දැඩි විවේචන අද අඩු වී තිබෙන බවයි පෙනෙන්නේ. රඹුකන සිද්ධාර්ථ හිමි වැනි කාගේත් ගෞරවාදරයට පාත්‍ර වූ කෙනකුගෙන් විනිවිදභාවය පිළිබඳ ගැටලුවක් ඇති වෙන්න බෑ. මහාචාර්ය උපුල් රංජිත්, නීතිඥ පියල් කාරියවසම් වැනි අයගේ විනිශ්චයන් අසාධාරණ විය හැකි බව සිතන්නට බැහැ.
ඒත් ස්වර්ණ පුස්තක වැනි සම්මාන උළෙලක කෘති විනිශ්චය ගැන මට මේ වෙලාවේ කියන්න අමාරුයි. ඇතැම් වසරවල තෑගි ලැබෙන පොත් කියවන්න හැදුවාම මට දැනුණේ, අති නූතන ලෝකයක මේ ලියැවිලා තියෙන්නේ පසුගාමී පොත් නේද කියලයි. මට නම් හිතෙන්නේ විනිශ්චය මණ්ඩලවල ඉන්න අය මීට වඩා කල්පනාකාරීව හිතුවොත් හොඳයි කියලා.
සාර්ථක විචාරයක්, විනිශ්චයක් ලබාදෙන්නේ කොහොම ද කියන ශාස්ත්‍රීය අවබෝධය දියුණු කරගැනීම තමයි හොඳ. ශාස්ත්‍රීය ශික්ෂණයක් තමන්ට තියෙනවයි කියලා හිතන සමහර අයත් ඇතැම් විට විකාර දොඩවනවා වගේ පේනවා. මේ සියල්ලෙන් පෙන්වන්නේ අධ්‍යාපන සම්ප්‍රදායේ බිඳ වැටීමයි.”
• කොහොම වුණත් මේ ඇගැයීම්වලට ලක්වන පොතපත පිළිබඳ පොදු පාඨක සමාජයේ කිසියම් සංවාදයක් ගොඩනැගීම නේද කළ යුත්තේ?
“එසේ නොවීමට හේතුවක් තියෙනවා. මොන තරම් පොත් ප්‍රදර්ශන තිබ්බත් සමාජයේ යහපත් වෙනසක් ඇති නොවෙන්නේ ඒ හේතුව නිසයි. ඒ තමයි පාසල් මට්ටමින් සාහිත්‍ය සන්නිවේදන විෂය ක්‍ෂේත්‍රවල බිඳ වැටීම. අධ්‍යාපන බලධාරීන් යම් යම් උත්සාහයන් ගත්තත් විධිමත් සැලැස්මක් නැතුව මේ අර්බුදය ජයගන්න බෑ.
විශ්වවිද්‍යාල පද්ධතියේ බිඳ වැටීමේ ප්‍රතිඵලයක් හැටියටම තමයි මේ අර්බුදය පාසල්වලට යන්නේ. පාසල්වල දැන් සාහිත්‍ය ගුරුවරු නෑ. පාසල් සාහිත්‍ය ගුරුවරයා මැරිලා. සමහර විට මරලා වෙන්නත් පුළුවන්. සාහිත්‍යය ඉගෙන ගෙන මොනවට ද, සාහිත්‍යය කන්න ද කියන අදහසේ ඉන්න නිසා වෙන්නත් පුළුවන්.”
• මෙයින් මතු වන අනාගත අර්බුදයට වගකියන්නේ කවුද?
“සමාජය මේ තත්ත්වයට උත්තර හොයන්නේ වෙන විදිහකට. දැන් යමක් කමක් දන්න හැමෝම කරන්නේ දරුවන්ට ඉංග්‍රීසි උගන්වන එකයි, ඊට පස්සේ, තියෙන ඉඩකඩම් විකුණලා පිටරට යන එකයි. නාගරික දරුවන් බොහෝ දෙනා කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. මවුපියන් නිර්භීතව කියා සිටිනවා දරුවා උගතෙක් කරන්න ඕනෑ කියලා. සිංහල ඉගෙන ගෙන ඒක කරන්න බෑ කියන අදහස සමාජයට කාවැදිලා තියෙනවා.
මේක බියකරු අර්බුදයක්, අභියෝගයක්. කවුද උගන්වන්නේ? දේශීයව ගොඩනැගෙන සමාජ චින්තනය නොවෙයි මේ ක්‍රමයෙන් මතු වෙන්නේ. නිදහස් මතවාදී බුද්ධිමය ප්‍රභාවක් සහිත චින්තනය යට යමින් තිබෙනවා. ඒ වෙනුවට එකතු වෙමින් තිබෙන්නේ අනුකාරක ව්‍යාජ නිඝණ්ඨවාදී චින්තනයක්.
ඒ ව්‍යාජ චින්තනය හමුවේ බොහෝ දෙනා හිතන්නේ තාක්ෂණය විතරක් තිබ්බාම ඇති කියලයි. මුලින්ම තිබුණෙ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT). පස්සේ ඒකේ C අකුර කපලා IT වුණා. දැන් I එකත් කැපිලා වගේ පේන්නේ. ඒ නිසා තමයි හැම ගෙදරකම ළමයි ෆෝන් එක ඔබ ඔබා ඔවුන්ගේ ලෝකවලම ජීවත් වන්නේ.”
• ඔබ කියන මේ භාෂා සාහිත්‍යයේ පරිහානිය නූතන සාහිත්‍ය නිර්මාණ රචනයට යම් බලපෑමක් වී තිබෙනවා ද?
“හරිම දුකයි. අපේ කවිය බලන්න. කලාතුරකින් තමයි ප්‍රතිභා සම්පන්න කවියෙක් දෙන්නෙක් හමුවෙන්නේ. කලාතුරකින් හෝ ලියැවෙන එවැනි කෘති සාකච්ඡාවට ලක් වෙන්නේ නෑ. අධ්‍යාපනයේ බිඳවැටීම තමයි සමස්ත සමාජයේ පොදු ලකුණක් වගේ තියෙන්නේ.
හැම තැනම ටියුෂන් වනාන්තර. එෆ්.එම්. නාලිකා ව්‍යසනයක් වෙලා. ගීත කලාව අයාලේ යනවා. ගීත පද රචනා ගන්න දෙයක් නෑ. මහගමසේකර වගේ කවියන්ට වැඳලා ඉල්ලීමක් කරන්න ඕනෑ නැවත මේ සමාජයේ උපදින්න කියලා.
සන්නිවේදන ක්‍ෂේත්‍රයේ බොහෝ තැනුත් අයාලේ යනවා. බොහෝ මාධ්‍යවලට වටිනාම කාරණා බවට පත් වෙලා තියෙන්නේ නළු නිළියන්ගෙ දික්කසාද, පෙම් හබ, දෙවැනි විවාහය, බඩේ ඉන්න දරුවා ගැන, කන බොන දේවල් ගැන. කාටද මේවා දැනගන්න ඕනෑ. කෙනෙක් මට කියන්න පුළුවන්, ඔබ ඔහොම කියන්නේ වයස්ගත නිසා කියලා. වෙන්න පුළුවන්. වයස්ගත වෙනකොට සමාජයේ අල්පශ්‍රැතයන්ගේ දුරවබෝධය හොඳින්ම පෙනෙන්න ගන්නවා.”
සංවාද සටහන ගාමිණි කන්දේපොළ
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර