පාස්පෝට් කන්තෝරුවේ තදබදය වළක්වන්න බැරිද?


විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) ලබා ගැනීම යළිත් වරක් මහමෙර තරණය කිරීමක් බවට පත් වෙමින් තිබේ. කාලයකට පෙර තිබූ අධික පිරිසක් පෝලිම්වල රස්තියාදු වන තත්ත්වය පසුගිය දිනවල යළි දැකගත හැකි විය. ගමන් බලපත්‍රය ලබා ගැනීමට දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගැනීමකින් තොරව බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට දිනපතා විශාල පිරිසක් පැමිණීම නිසා එහි දැඩි තදබදයක් නිර්මාණය වී තිබිණි.

ඇතැම් පිරිස් ගස් යට පවා රැඳී රාත්‍රිය පහන් කර තිබූ බව ද වාර්තා විය.දහස් ගණනක් දිනකට පාස්පෝට් ලබා ගැනීමේ චේතනාවෙන් පැමිණියත් දිනයකට බාරගන්නා අයැදුම්පත් සංඛ්‍යාව 500ක් පමණ බව ද සඳහන් වෙයි.

මුළු රටකටම සේවය සැපයිය යුතු ආයතනයක දිනකට සපුරා දෙන්නේ 500 දෙනකුගේ අවශ්‍යතාව පමණක් නම් එතැන අසීමිත තදබදයක් හට ගැනීම පිළිබඳ පුදුම විය යුතු නැත. අම්පාර, ත්‍රිකුණාමලය, නුවරඑළිය සහ යාපනය ආදී දුර බැහැර ප්‍රදේශවලින් පාස්පෝට් ලබා ගැනීමට පැමිණෙන පිරිස්වලට එය ලබා ගැනීමකින් තොරව ආපසු යාම තේරුමක් නැත.

එහෙත් කොළඹ නගරයේ මහ පාරක් අයිනේ දින කිහිපයක් ගත කිරීම ද කළ නොහැක. එය මානුෂික වශයෙන් ඉතා සංවේදී තත්ත්වයකි.

පාස්පෝට් එකක් ලබා ගැනීම සඳහා ජනතාව මේ තරම් දුක් විඳිය යුතු ද? මේ වනවිට ඉහළ නංවා ඇති ගාස්තු අනුව පාස්පෝට් එක ලබා ගැනීමට විශාල මුදලක් වැය කළ යුතුය. අඩුම තරමින් ගෙවන මුදලට හෝ සරිලන සේවාවක් ලබාදීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව අපොහොසත් වන්නේ නම් කොතැනක හෝ බරපතළ වැරැද්දක් තිබිය යුතුය.

උද්ගත වී තිබෙන තත්ත්වය මගහැරීම සඳහා ජූනි මස සිට නව ක්‍රමයක් හඳුන්වා දෙන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලු‍ක්පිටිය මහතා අපගේ ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව අයැදුම් පත්‍රය මාර්ගගත ක්‍රමයට ලබාගෙන එම ගමන් බලපත්‍රය දින තුනකින් නිවෙසට තැපෑලෙන් යොමු කෙරෙනු ඇත. ඒ සඳහා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් හඳුනාගෙන ඇඟිලි සලකුණු යන්ත්‍ර සවිකර නිලධාරීන් පුහුණු කිරීම අවසන් කර ඇති බව ද ඒ මහතා සඳහන් කර තිබිණි.

මෙවැනි ක්‍රමයක් මීට පෙරද ක්‍රියාත්මකව පැවති බව අපගේ මතකයේ තිබේ. ඒ කාලයේ මාර්ගගත ක්‍රමයට දිනයක් සහ වේලාවක් වෙන් කරගෙන ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණ පාස්පෝට් එක රස්තියාදුවකින් තොරව ලබා ගැනීමට හැකියාව තිබිණි. හොඳින් ක්‍රියාත්මක වෙමින් පැවති එම ක්‍රමය වෙනස් කරනු ලැබුවේ කාගේ බලපෑමකින්දැයි සොයා බැලිය යුතු යැයි අපි සිතමු. ක්‍රියාත්මක වෙමින් පැවති ක්‍රමයක් අවිචාරවත් ලෙස වෙනස් කර ජනතාව කරදරයට පත් කළ නිලධාරීන් සිටී නම් ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගත යුතු බව අපගේ වැටහීමය.

දැඩි තරගකාරිත්වයක් සහ තදබදයක් යටතේ මෙවැනි සේවාවක් ලබා ගැනීමේ දී ඒ අතරට තැරැව්කරුවන් රිංගා ගැනීම ද බලාපොරොත්තු විය යුත්තකි. පෝලිමේ ගොස් කරගත නොහැකි වැඩ පෝලිමේ නොසිට කර දෙන තැරැව්කරුවන් සිටින බවටත් අතට විශාල මුදලක් ලබාදුන් විට පාස් පෝට් එක ලබා ගැනීමේ කටයුතු ඔවුන් ඉටුකර දෙන බවටත් චෝදනා එල්ල වන බව ද සඳහන්ය. ඒ පිළිබඳව සොයා බැලීම ද බලධාරීන්ගේ වගකීමකි.

මාර්ගගත ක්‍රමයට අනුව දිනයක් සහ වේලාවක් වෙන් කරගත හැකි ක්‍රමය මීට පෙර ක්‍රියාත්මකව තිබිය දී සේවාව ලබා ගැනීමට උත්සාහ දැරූ බොහෝ පිරිසකට ඉතිරි වූයේ බලාපොරොත්තු කඩවීමක් පමණි. මෙය වඩාත්ම සංකීර්ණ වූයේ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇති පරිදි ඡායාරූප ලබා ගැනීමෙන් අනතුරුව මාර්ගගත ක්‍රමය ඔස්සේ දිනයක් සහ වේලාවක් ලබා ගැනීමට උත්සාහ දැරූ පිරිසටය.

ලබාගන්නා ඡායාරූප වලංගු වන්නේ දින 90කට පමණක් බවට දෙපාර්තමේන්තුව නීතියක් පනවා තිබේ. එහෙත් දින 90ක් තුළ වේලාවක් සහ දිනයක් ලබා දීමට දෙපාර්තමේන්තුව අපොහොසත් වූ බව පසුගිය සති කිහිපය තුළ එම ක්‍රමයට උත්සාහ කළ බොහොමයක් දෙනාගේ අත්දැකීම බවට පත්ව තිබිණි. අවසානයේ බොහෝ දෙනකුට දැන් සිදුව ඇත්තේ ඡායාරූප ගැනීමට වැය කළ මුදල ද අහිමි කර ගැනීමය.

ඡායාරූප ගැනීමකින් තොරව පාස්පෝට් අයැදුම්පත් බාරදීම සඳහා දිනයක් හා වේලාවක් ලබා නොගත යුතු බවට නීතියක් පැන වූවා නම් ඡායාරූප අවශ්‍යතාව සම්පූර්ණ කළ අයැදුම්කරුවන්ට දිනය සහ වේලාව ලබා දීමට දෙපාර්තමේන්තුව සමත් විය යුතුය. පාස් පෝට් කන්තෝරුව වටේ විශාල ජනකායක් රැස් වූයේ එසේ සිදු නොවීම ඇතුළු අඩුපාඩු හේතුවෙනි.

දින තුනකින් පාස්පෝට් එක තැපෑලට යොමු කිරීමට කටයුතු කරන බවට ආගමන විගමන පාලක ජනරාල්වරයා කරන ප්‍රකාශය දෙස අප බලන්නේ එම පසුබිමේ සිටිමිනි. ඔහු තම වචනය අනුව කටයුතු කර පාස්පෝට් ලබාදීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කරනු ඇතැයි යන බලාපොරොත්තු දල්වාගෙන අපි බලා සිටිමු.

(***)