පළාත්පාලන ආයතනවල සභිකයන් සංඛ්‍යාව 4714ක් දක්වා අඩු කිරීමට නව සීමා නිර්ණය කොමිෂන් සභා කමිටුවේ වාර්තාවෙන් යෝජනා කර තිබේ. දැනට පළාත් පාලන ආයතනවල සිටින සභිකයන් සංඛ්‍යාව 8,000ක් පමණ වෙයි. 2017 වසරේ අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුව මගින් සම්මත කරනු ලැබූ පළාත් පාලන මැතිවරණ (සංශෝධිත) පනත මගින් එතෙක් සිටි සභිකයන් සංඛ්‍යාව 8,000ක් ඉක්මවන තරමට ඉහළ දැමූ බවද මෙහිදී සඳහන් විය යුතුය. නව සීමා නිර්ණය කොමිෂන් සභාව මගින් සිදුකර ඇත්තේ සභිකයන් සංඛ්‍යාව කලින් තිබූ මට්ටම ආසන්නයට ගෙන එනු ලැබීමය. එය සාධනීය පියවරක් වශයෙන් අපි දකිමු.
නව යෝජනාව අනුව කොට්ඨාස මට්ටමින් තෝරාගනු ලැබූ නියෝජිතයන් සංඛ්‍යාවද අඩු කෙරේ. මීට පෙර 5092ක් වූ එම සංඛ්‍යාව 2882 ක් දක්වා අඩු කරීමට ඇති යෝජනාව අනුව එය ක්‍රියාත්මක වීමට නියමිතය.
මේ සියලු යෝජනා ක්‍රියාත්මක වීමට නම් නව සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපතිවරයා වන මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට පසුගියදා බාරදෙන ලද එකී වාර්තාව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ මගින් පිළිගත යුතු වෙයි.
එසේ වුවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඇතැම් දේශපාලන පක්ෂ ප්‍රකාශ කර ඇත්තේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ අරමුණින් මෙම කමිටුව පත්කර ඇති බවකි. ඒ අනුව නව සීමා නිර්ණය කොමිෂන් සභාවේ යෝජනා කවදා ක්‍රියාත්මක වෙනු ඇතිදැයි කිව නොහැකි තත්ත්වයක් මතුව තිබෙන බව පෙනී යයි.
දේශපාලන පක්ෂවල අදහස කුමක් වුවද පළාත් පාලන ආයතන සභිකයන් සංඛ්‍යාව අඩු කිරීමට කර ඇති යෝජනාව යහපත් එකකි. එහෙත් පැවැති ක්‍රමය වෙනස් කර 2017දී හඳුන්වා දුන් සභිකයන් වැඩි පළාත් පාලන ආයතන සඳහා මැතිවරණය පැවැත්වූයේ 2018 වසරේ පෙබරවාරි 10 වැනිදාය.
එම මැතිවරණයේ ප්‍රතිඵල අනුව තේරී පත්වූ අටදහසකට අධික සභිකයන් සංඛ්‍යාව හේතුවෙන් පුංචි ආණ්ඩු වශයෙන් පොදුවේ හැඳින්වෙන පළාත් පාලන ආයතන පවත්වාගෙන යාමේ ප්‍රායෝගික දුෂ්කරතා ගණනාවක් මතු විය. කලින් තිබුණාට වඩා දෙගුණයක් තරම් වූ සභිකයන් සංඛ්‍යාවකට එකවර රැස්වීමට බොහොමයක් පළාත් පාලන ආයතනවල රැස්වීම් ශාලාවල ඉඩකඩක් නොතිබුණි.
කොළඹ මහ නගර සභාවට පවා මේ ගැටලුවට මුහුණදීමට සිදුවීමෙන් මතු වූ ප්‍රායෝගික දුෂ්කරතාවල තරම වටහාගත හැකිය. එපමණක් නොව එම ආයතනවල තත්ත්වය එලෙසම පවතිද්දී සභිකයන් වැඩිවීම නිසා ඔවුන්ට වැටුප් සහ දීමනා ගෙවීම දෙගුණයකින් වැඩි වී තිබීමද ඇතැම් ආයතනවලට ගැටලුවක් වී තිබිණි.
සමස්තයක් වශයෙන් රටටම එහි බලපෑමක් තිබිණි. සභිකයන් වැඩිවුණා කියා පළාත් පාලන ආයතන මට්ටමින් සිදුවෙමින් තිබූ සේවා ඉටු කිරීමේ කාර්යක්ෂම බව ඉහළ ගිය බවට වාර්තා වූයේ නැත. බොහොමයක් ආයතනවල පාලනය යටතේ යටිතල පහසුකම් අපේක්ෂිත මට්ටමින් ඉහළ ගිය බවට ලකුණක් හෝ නොතිබිණි.
පුංචි ආණ්ඩුවලින් මහජනතාව බලාපොරොත්තු වන සේවා සැපයීමට තේරී පත්වෙන සභිකයන් සංඛ්‍යාව තීරණාත්මක සාධකයක් වන්නේ නැත. සභිකයන් සංඛ්‍යාව වැඩිකර ගැනීම ඒ ඒ දේශපාලන පක්ෂවල මනදොළ සපුරා ගැනීමක් පමණි. තමන්ගේ එකකුට කොහෙන් හෝ මන්ත්‍රී පට්ටමක් ලබාදී ඔවුන්ගේ සිත් සැනසීම මහජනතාවට කරන සේවාවක් වශයෙන් හැඳින්විය නොහැක.
රටට සේවය කිරීමට සැබෑ අවශ්‍යතාවක් තිබෙන ඕනෑම රජයකට ඒ සඳහා සභිකයන්ගේ හෝ මන්ත්‍රීවරුන්ගේ හෝ සංඛ්‍යාව වැඩි කිරීම අවශ්‍ය නොවේ. මේ සියලු සභිකයන්, මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් සිටි ආණ්ඩුවක් අසමත් වීම හේතුවෙන් රටේ මහජනතාව දැඩි ලෙස පීඩා විඳි කාලයක් පසුගිය වසරේ උදා විය.
පසුව එම තත්ත්වය පාලනය කරගෙන රට යළිත් ආර්ථික වශයෙන් යම්තාක් දුරකට බලාපොරොත්තුසහගත තත්ත්වයකට පත් කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය සමත් වී තිබේ. ඔවුන් එම කාර්යභාරය ඉටුකළේ අඩු අමාත්‍යවරුන් සංඛ්‍යාවක් සහිත කැබිනට් මණ්ඩලයක සහ රජයේ මන්ත්‍රීවරුන් සෑහෙන පිරිසක් ඉවත්ව ගිය ආණ්ඩුවක් හැටියටය. සභිකයන් හෝ මන්ත්‍රීවරුන් හෝ සංඛ්‍යාව වැඩි කිරීමෙන් පමණක් රටට පලක් නොවන බවට එය එක් උදාහරණයක් පමණි.
(***)