පුංචි ඡන්දය පෙරැළියක ආරම්භයක්


මෙවර කිවිදා දැක්ම ලියන්නේ 2022 වර්ෂයේ අවසාන සතියේය. 2022 කියන්නේ සාමාන්‍ය වසරක් නොව අපේ රටේ ඉතාමත් තීරණාත්මක වසරක් වූ බව ඔබට මතකය. මේ වසරේ මාර්තු මාසයෙන් ආරම්භ වූ ආර්ථික සහ දේශපාලනික හැලහැප්පීම් තවමත් නිමාවට පත්වී නැත.

එවකට පැවති ආණ්ඩුවෙන් ඇමැතිවරුන් 02ක් ඉවත් කළේ මාර්තු 03 වැනිදාය. එතැනින් ආරම්භ වූ අභ්‍යන්තරික ගැටුම අප්‍රියෙල් වනවිට තවත් උත්සන්න කළේය. අප්‍රියෙල් 03 අගමැති ඉතිරි වන්නට අනෙකුත් ඇමැතිවරුන් ඉල්ලා අස්විය. අප්‍රියෙල් 12 දින රට බංකොලොත් රටක් බවට ප්‍රකාශයට පත් කෙරිණි. මැයි 09 රටම ගිනිගත් සිදුවීම් ගණනාවක් සිදුවූ අතර එය නිමා වූයේ අගමැතිවරයාටත් ඉල්ලා අස්වී ත්‍රිකුණාමලයට යන්නට සිදුවීමෙන්ය. 

ජුලි 09 වැනි දින ජනාධිපතිවරයාත් ඉල්ලා අස්වූ අතර ජුලි 20 වැනි දින පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට සිදු වූයේය. 

මේ සිදුවීම් පෙළේ දේශපාලන තත්ත්වය සාකච්ඡා කරන්නට මම මෙහිදී උත්සාහ ගන්නේ නැත. මේ සිදුවීම් සමග ගැට ගැසී ඇති දේශපාලන තත්ත්වය මේ වනවිටත් විවිධ පැතිවලින් සාකච්ඡා වී ඇත. මගේ තේරුම් ගැනීම වන්නේ 2022 යනු අපේ රටේ දේශපාලන ඉතිහාසයේ සංකීර්ණතම වර්ෂයක් බවය. 1987/88 කාලයටත් වඩා බරපතළ දේශපාලන සංකීර්ණත්වයක් මතුවූ වර්ෂයක් බවය. 

මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන්නේ ගෙවී යන මේ වසරේ තත්ත්වය ගැන නොව එළඹෙන 2023 වසරේ සිදුවිය හැකි දේශපාලන උපකල්පන කීපයක් පිළිබඳවය. 

සරලවම ගතහොත් මගේ දේශපාලන නිරීක්ෂණය වන්නේ 2023 යනු මෙරට දේශපාලනයේ රාජ්‍ය බලය වෙනස්විය හැකි ඉතාමත් තීරණාත්මක වසරක් වන බවය. 

පුංචි ඡන්දය මාර්තුවේ 

දැනට නෛතිකව කරුණු පෙළගැසී ඇති ආකාරයට ප්‍රාදේශීය සභා ඡන්දය පවත්වා පළාත් පාලන ආයතන පිහිටුවීම ලබන වසරේ මාර්තු 20 දිනට පෙර නිමා කළ යුතුය. ඡන්දය පැවැත්වීම පමණක් නොව ප්‍රාදේශීය සභා හා නගර සභා පිහිටුවා ඒවායේ ප්‍රධානීන් පත්කර නිමා කළ යුතුය. ඒ නිසා ජනවාරි පළමු සතියේ සිට ඒ ඡන්දය ප්‍රකාශයට පත් කරමින් ඉදිරි කටයුතු කරන්නට මැතිවරණ කොමිසමට බලකෙරී ඇත. 

ආණ්ඩුව දිගටම බලන්නේ මේ මැතිවරණය කල් දමා ගන්නටය. ඒ සඳහා මේ වනවිට නෙකෙරූ දෙයක් නැත. ඒ සියලු උත්සාහයන් පරාජයට පත් කරන්නට විපක්ෂයට හැකිවිය. මේ වනවිට මේ පිළිබඳව නියෝගයක් (රිට් ආඥාවක්) ඉල්ලා පෙත්සමක්ද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇත. 

මගේ නිරීක්ෂණය වන්නේ ඡන්දය කල් දමන්නට ආණ්ඩුව දරන උත්සාහය පාරා වළල්ලක් වීම අනිවාර්ය බවය. ඡන්ද කල් දමන්නට උත්සාහ කිරීමෙන් ලැබෙන්නට තිබූ ඡන්ද ටිකවත් නොලැබී යන තැනට වැඩ යෙදිය හැකි බව ඉතාමත් පැහැදිලිය. ආණ්ඩුව මේ ඡන්දයෙන් පළා යන්නට උත්සාහ කිරීම නිසා බරපතළ විපාක දැනටමත් අත්විඳිමින් සිටින්නේ ආණ්ඩුවේ මේ සභාවල දැනටමත් සිටින නියෝජිතයෝය. ඒ නියෝජිතයන්ට මීළඟ ඡන්දයට ඉදිරිපත් වන්නටත් ඒ අයගේ පවුල්වල අය ඉඩ දෙන්නේ නැති ගාණට මේ අවුල වර්ධනය වී ඇත. 

ඡන්දයට ඉදිරිපත් කරන්නට අපේක්ෂකයන් සොයා ගැනීම ඡන්දය දිනනවාටත් වඩා අමාරු තැනකට ගමන් කිරීම ප්‍රධාන දේශපාලන පක්ෂයකට සිදුවිය හැකි බරපතළම ව්‍යසනයක්ය. ආණ්ඩුවේ සිටින ප්‍රධාන පක්ෂවලට මේ ඉරණම උදාවී ඇත. සමහර දිස්ත්‍රික්කවල අපේක්ෂකයන් තෝරාගැනීම කොතරම් අසීරුවී ඇත්ද යන්න පෙනීයන එක සාධකයක් වන්නේ අපේක්ෂකයන් ගෙන්වා ගැනීමට කප්පම් දෙන්නට  ලන්සු තැබීමය. එක දිස්ත්‍රික්කයකට යෝජනා කර ඇති කප්පම වන්නේ හිටපු සභාපතිවරයෙක් නැවත ඡන්දය ඉල්ලනවා නම් ඔහුට රුපියල් ලක්ෂ 20 පමණ දෙන බවය. උපසභාපතිවරයකුට ලක්ෂ 10 ක් දෙන බවය. මේ ආරංචි සත්‍ය නම් අපේ රටේ මැතිවරණ දේශපාලනයට සිදුවිය හැකි ඉරණම පිළිබඳව අලුතින් කියන්නට දෙයක් නැත.

මැතිවරණ වියදම් පිළිබඳව අලුත් නීති හදන්නට විජයදාස රාජපක්ෂ ඇමතිවරයා උත්සාහ කරන බවට ආරංචියක් ඇත. එතුමා නීති හදද්දී සමහරුන් කලු සල්ලි විසි කරමින් ඡන්දය සූදුවක් කරන්නට උත්සාහ ගැනීම පෙන්නුම් කරන්නේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරමය. මැතිවරණ මූල්‍ය පිළිබඳව ශක්තිමත් නීතියක් හරහා ජාවාරම්කාරයන්ගේ බලපෑම දේශපාලනයෙන් ඉවත් කිරීමට උත්සාහ ගැනීම අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත්වී ඇත. මෙවර පුංචි ඡන්දය යනු 2018 ප්‍රාදේශීය සභා මැතිවරණයටත් වඩා බලපෑම් සහගත එකක් වන බව ඉතාමත් පැහැදිලිය. මේ  වර්ෂයේ ඉදිරි දේශපාලන හැලහැප්පීම් පදනම් වන්නේ මේ මැතිවරණය මතය.
ජනාධිපතිවරණයක් එයිද? 

මේ දිනවල සමහරුන් ප්‍රකාශ කරන්නේ මීළඟ වර්ෂයේ නොවැම්බර් මාසයෙන් පසුව හදිසි ජනාධිපතිවරණයක් කැඳවිය හැකි බවත් ඒ වෙනකල් අනෙක් මැතිවරණ කල් දමන්නට රජය උත්සාහ දරන බවත්ය. මෙතැන එකක් ඇත්තේය. ඒ කියන්නේ දැනට පවත්වන්නට  ඇති මැතිවරණ කල් දමන්නට රජය උත්සාහ ගන්නා බවය. එය ඇත්තක් වූවාට ඉක්මන් ජනාධිපතිවරණයක් කැඳවීමේ හැකියාවක් ව්‍යවස්ථාවෙන් සොයාගත නොහැකි බව මගේ අදහසය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 30 (3) (අ) වගන්තියේ තිබෙන්නේ බලයේ සිටින ජනාධිපතිවරයාට දෙවැනි වරටත් තරග කිරීමේ අභිලාෂයක් තිබේ නම් තමන්ගේ ධුර කාලයෙන් වසර 04 ගතවූ තැන නව ජනාධිපතිවරණයක් කැඳවිය හැකි බවය. 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ අවස්ථාව පාවිච්චි කරමින් නියමිත කාලයට වසරකට පමණ කලින් ජනාධිපතිවරණයක් කැඳවූ බව ඔබට මතකය. 

සමහරුන් තර්ක කරන්නේ මේ වගන්තියම යොදා ගනිමින් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් 2023 නොවැම්බරයෙන් පසුව ජනාධිපතිවරණයක් කැඳවනු  ඇති බවය. එතුමා එවැන්නක් ප්‍රකාශ කර නැති බව සැබෑවක්ය. එහෙත් අනෙකුත් අය මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණය කල්දැමීමට හේතුවක් ලෙසින්ද මේ කථාව කියනු දැකිය හැකිය. 

මේ පිළිබඳව නෛතික තත්ත්වය නොදන්නා අය මිස අනෙක් අය දන්නා පරිදි කිව යුතු කාරණයක් වන්නේ මේ තර්කයට කිසිදු නෛතික පදනමක් නැති බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (ඉ) වගන්තිය මගින් නිශ්චිතව ප්‍රකාශ කර ඇත්තේ ඉහතින් සඳහන් කළ ‘අභිලාෂය ප්‍රකාශ කර ජනාධිපතිවරණයක් කැඳවීමේ අයිතිය’ පාර්ලිමේන්තුවෙන් පත්වෙන අනුප්‍රාප්ත ජනාධිපතිවරයකුට හිමි නොවන බවය.

එම වගන්තිය වන්නේ (31-ඉ) 40 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ ජනාධිපති ධුරයට පත්වන අනුප්‍රාප්තක තැනැත්තෙකුට මේ අනු ව්‍යවස්ථාවේ (අ) ඡේදය මගින් ජනාධිපතිවරයකු  වෙත පවරා ඇති අයිතිය ක්‍රියාත්මක කිරීමේ හිමිකමක්  නොමැත්තේය’ කියාය. ඒ නිසාම හදිසි ජනාධිපතිවරණයක් පිළිබඳව ඉදිරිපත් වන අදහස් පදනමක් නැත. 

මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල වත්මන් ජනාධිපතිරයාට හා මේ ආණ්ඩුවට බරපතළ ආකාරයෙන් බලපාන බව සැබෑවක්ය. එහෙත් ඒ බලපෑම නිසාම ඉක්මන් ජනාධිපතිවරණයකට අභිලාෂ කැඳවීමේ ව්‍යවස්ථාමය ඉඩක් ඇත්තේ නැත. 
මහ මැතිවරණයක් ළඟයිද?

මෙවැනි තත්ත්වයක් තුළ රටේ ජනමතයේ විකෘති තත්ත්වයක් ඇති වුවහොත් එයට ඇති එක් විසඳුමක් විය හැක්කේ 2023 වර්ෂයේ අග භාගයේ මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමය. මේ සඳහා නෛතික ඉඩක් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ගොඩනැගී ඇත. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එකඟ වී ඇත්තේ පාර්ලිමේන්තුවේ ආයු කාලයෙන් හරි අඩක් (වසර 2) ගෙවී ගිය පසු එය විසුරුවා හැරීමේ බලයක් විධායක ජනාධිපතිවරයාට ඇති බවය.

මගේ නිරීක්ෂණය වන්නේ මේ රටේ 2023 වර්ෂය යනු පළාත් පාලන මැතිවරණය සහ මහ මැතිවරණයක් පැවැත්වෙන වර්ෂයක් විය හැකි බවයි. එය එසේ විය හැක්කේ රටේ ජනමතය සහ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය අතර තිබෙන විකෘතිය පළාත් පාලන මැතිවරණයෙන් එළියට පැමිණීමට නියමිත නිසාය.

රටේ ජනතාව සිටින්නේ ආණ්ඩු ක්‍රමයේ සහ ආණ්ඩුවේ වෙනසක් බලාපොරොත්තුවෙන්ය. ඒ වෙනස යනු හුදු නැවතත් පරණ දේශපාලන ආකෘතියටම බලය ලබාදීමක් නොවිය හැකි අතර මේ පිළිබඳව ආණ්ඩුව පමණක් නොව විපක්ෂයද සංවේදී බවක් පෙනෙන්නේ නැත.

මීළඟ ආණ්ඩුවක් පිහිටුවන්නට නම් මිලියන 04 පමණ තරුණ (18-36 වයස් කාණ්ඩය) ජනතාව දිනාගැනීමේ දේශපාලනයක් නිර්මාණය කිරීම අනිවාර්යය. එය හුදු පැරණි කයිවාරුකාර පවුල්වාදී ආකෘතියෙන් කිරීමේ කිසිදු ඉඩක් නැත. එසේම කයිවාරුකාර විප්ලවවාදී ආකෘතියෙන්ද ද එය කිරීමේ ඉඩක් නැති බව පැහැදිලිය.

2023 වසරේ පුංචි ඡන්දයෙන් ආරම්භ වන්නේ බරපතළ පෙරළියක ආරම්භයක් යැයි මා යෝජනා කරන්නේ මේ තත්ත්වය තුළය.

මහාචාර්ය චරිත හේරත්