පුංචි ඡන්දයට ආදේශකයක් නෑ


දැනට විසුරුවා හැර තිබෙන පළාත් පාලන ආයතනවල නියෝජිතයන් යළි කැඳවීමේ බලය විෂය භාර අමාත්‍යවරයාට පැවරෙන විධිවිධාන ඇතුළත් පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. එම තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණේ ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථාවට අනුකූල නොවන වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින්මත විචාරණයකින් සම්මත කළ යුතු බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති ඇතුළත් අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසිනි. එම පනත් කෙටුම්පතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ සිවිල් සංවිධාන කිහිපයකි. අදාළ තීන්දුව කතානායකවරයාට දැනුම් දී තිබුණේ ඒ පිළිබඳ නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුවය.

ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා  පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකි. මෙවැනි බැලූ බැල්මට ප්‍රජාතන්ත්‍ර විරෝධී වශයෙන් පෙනෙන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට මන්ත්‍රීවරයා උනන්දු නොවූයේ මන්දැයි ගැටලු‍වකි.

කෙටුම්පතට අදාළ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දුන් අවස්ථාවේ ඇතිවූ උණුසුම් අදහස් දැක්වීම් අතරේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණේ එම කෙටුම්පත ආණ්ඩුව මුල් වී ඉදිරිපත් කළ යෝජනාවක් නොවන බවය. එම අදහස පිළිගත නොහැක.

දැනට පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයකු, පක්ෂ නායකයකු සහ රටේ අග්‍රාමාත්‍යවරයාද වන දිනේෂ් ගුණවර්ධන මහතාටද මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන මෙවැනි පෞද්ගලික යෝජනාවල අන්තර්ගතය සම්බන්ධයෙන් වගකීමක් තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරුකරන බවත් තමන් ජ්‍යෙෂ්ඨයකු ලෙස මන්ත්‍රීවරුන්ට පෞද්ගලික යෝජනා ඉදිරිපත් කිරීමට ඉඩදී ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණත් මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකව අවශ්‍ය ඕනෑම දෙයක් කළ නොහැකි බවද ඔහු සඳහන් කර තිබිණි. 

පෞද්ගලික යෝජනා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තිබෙන අයිතියට අභියෝග කළ නොහැක. එහෙත් එසේ වූ පමණින් ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත් කෙටුම්පත් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේත් ශ්‍රේෂ්ඨාධිකරණයේත් වටිනා කාලය කා දැමීමට උදව් දෙන ආකාරයෙන් ක්‍රියා කිරීමට මන්ත්‍රීවරයකුට අයිතියක් නැත.

එවැනි පනතක් ඉදිරිපත් කරන මන්ත්‍රීවරයකුගේ අයිතිවාසිකම් රැකීමට වඩා අග්‍රාමාත්‍යවරයාගේ වගකීම වන්නේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යය රැක දීමය. අදාළ පනත ඉදිරිපත් කිරීමට පෙර ඒ පිළිබඳ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදීත් පාර්ලිමේන්තු කටයුතු තීරණය කෙරෙන කමිටුවේදීත් සාකච්ඡා නොකළේද යන ප්‍රශ්නයද මෙහිදී පැන නගී.

මේ වනවිට බල රහිත වී තිබෙන පළාත් පාලන ආයතන පණ ගැන්වීම මේ අවස්ථාවේදී කළ යුතු යැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කල්පනා කරන්නේ නම් ඔවුන් කළ යුත්තේ දිගින් දිගටම කල් දමමින් තිබෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජයට බල කිරීමය. එම පුංචි මැතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය වසරේ මාර්තු මාසයේදී ය.

එහිදී එම මැතිවරණය පැවැත්වීම වසරකින් කල් දැමීමට විෂය භාර අමාත්‍යවරයා කටයුතු කළ අතර ඒ අනුව මේ වසරේ මාර්තු මස 20 වැනිදාට පෙර එය පැවැත්වීමට නියමිතව තිබිණි. එහෙත් එම ඡන්දය පැවැත්වීමට මුදල් නැති බව පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අවස්ථාවේ අත්පොළසන් දී ප්‍රීතිඝෝෂා පැවැත්වූ මන්ත්‍රීවරයකු දැන් මියැදුණු පළාත් පාලන ආයතනවලට යළි පණදීමේ යෝජනාවක් ගෙන ඒම ප්‍රජාතන්ත්‍රවාදයට එකඟ නොවන නිර්ලජ්ජිත ක්‍රියාවක් වශයෙන් අපි දකිමු. 

පළාත් සභා මැතිවරණය නොපවත්වා බලය බෙදීම පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීමත් පළාත් පාලන මැතිවරණය නොපවත්වා අක්‍රිය වී තිබෙන එම ආයතන යළි සක්‍රීය කළ යුතු බවට යෝජනා කිරීමත් එකසේ නිෂ්ඵල ක්‍රියාමාර්ග දෙකක් බව පවසමු.

(***)