නියමිත පරිදි මාර්තු 09 වැනිදාට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සහාය ලබා දීම ප්‍රතික්ෂේප කරන්නේ නම් භාණ්ඩාගාරය සහ අදාළ සෙසු රාජ්‍ය ආයතනවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට සූදානම් බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබේ. අපගේ සහෝදර සන්ඩේ ටයිම්ස් පුවත්පත කළ විමසීමක දී මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා මේ බව සඳහන් කර තිබිණි. කොමිසම සැලසුම් කර ඇති පරිදි මාර්තු 09 වැනිදා පළාත්පාලන මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු කරන අතර අනපේක්ෂිත යමක් සිදුවුවහොත් ඊට මුහුණ දීමට ද කොමිසම සූදානම් බවත් ඒ මහතාගේ ප්‍රකාශයේ සඳහන් වෙයි.
මේ දිග හැරෙන්නේ පළාත්පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය 10 වැනිදා ලබාදුන් තීන්දුවේ පසුකම්පන බව පෙනෙන්නට තිබේ. විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු විසින් ගොනු කරනු ලැබ තිබූ රීට් පෙත්සම් කිහිපය පිළිබඳ සිය තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබුණේ පළාත් පාලන මැතිවරණය නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිසම ප්‍රතිඥා දී ඇති බැවින් මැතිවරණය පැවැත්වීම සඳහා මැන්ඩමස් ආඥාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවය. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට බාධාවක් ඇතිවීමට ඉඩක් නැත.
එය එසේ වුවද දිස්ත්‍රික් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් පසුගිය දිනෙක හමුවූ අවස්ථාවේ දී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබුණේ පළාත් පාලන ඡන්දයට විවිධ බාධා කිරීම් 20 ක් පමණ සිදු වී ඇති බවකි.
භාණ්ඩාගාරයෙන් මුදල් නිදහස් කරන ලෙසට කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් නොලැබීමෙන් පෙනී යන්නේ එවැනි බාධා තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළ විවිධ බාධා කිරීම් අතර දේශපාලන අධිකාරියෙන් ද බාධා කිරීම් සිදුවූ බව ද සඳහන් වී තිබිණි. වෙනත් බාධා කිරීම් නොසලකා හැරිය හැකි වුවද දේශපාලන අධිකාරියෙන් සිදුවන බාධා සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකිරීම අවශ්‍යය. කුමන උප්පරවැට්ටියක් හෝ යොදවා මැතිවරණය පැවැත්වීමට තිබෙන අවස්ථාව අහෝසි කර දැමීමට දේශපාලන අධිකාරියට හැකියාව තිබීම ඊට හේතුවයි.
මැතිවරණය නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිසම ප්‍රතිඥා දී ඇති බැවින් මැතිවරණය පැවැත්වීම සඳහා ආඥාවක් නිකුත් කිරීමට අවශ්‍යතාවක් නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ලබා දීමෙන් පසුවත් මැතිවරණය සඳහා මුදල් මුදා හැරීමට භාණ්ඩාගාරය පියවරක් ගැනීම ප්‍රමාද කිරීම දේශපාලන අධිකාරියේ බලපෑමෙන් සිදුවන්නක් බවට රටේ ජනතාව අතර ප්‍රබල සැකයක් මතුවෙමින් තිබෙන බවත් සඳහන් කළ යුතුය. එය එසේ නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ අවදානමකට මුහුණ දී සිටින බව නිසැකය.
පළාත් පාලන මැතිවරණය සැලකෙන්නේ මේ රටේ පාලන කේන්ද්‍රය තුළ කුඩාම මැතිවරණය වශයෙනි. එහෙත් එය ව්‍යවස්ථාවට අනුව පැවැත්විය යුතු මැතිවරණයකි. මැතිවරණ පැවැත්වීම ජනතාවගේ අයිතියක් මිස ආණ්ඩුවේ අයිතියක් නොවේ. දැනටමත් වසරකින් කල් දමා තිබෙන පුංචි මැතිවරණය තවදුරටත් කල්දැමීමට ආණ්ඩුවට කිසිදු ආකාරයකින් සදාචාරාත්මක අයිතියක් නැත.
විවිධ තර්ක යොදා ගනිමින් ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු ඡන්දයක් කල් දැමීමෙන් ආණ්ඩුව ලෝකයට ලබා දෙන්නේ නරක පණිවුඩයකි. එයින් රටට හෝ ආණ්ඩුවට හෝ ලැබෙන වාසියක් නැත. එය අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් තිබෙන යහපත් ප්‍රතිරූපයට කැළලකි.
මැතිවරණ කොමිසම පවසන පරිදි පෙබරවාරි මාසය සඳහා වියදම් වශයෙන් භාණ්ඩාගාරයෙන් මිලියන 800 ක මුදලක් ඉල්ලා ඇතත් මේ වන තුරු එය ලබා දී නැත. එකවර නොව කොටස් වශයෙන් මේ මුදල් ලබා දීම ප්‍රමාණවත් බව ද දන්වා තිබුණත් එයින් සුළු ප්‍රතිශතයක් හැර අනෙක් මුදල පිළිබඳ තවමත් භාණ්ඩාගාරය ප්‍රතිචාරයක් දක්වා නැත.
එසේම මැතිවරණ නිලධාරීන්ගේත් ඡන්ද අපේක්ෂකයන්ගේත් ඉන්ධන කෝටාව වැඩිකර දෙන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීම ද වතුරේ ගොසින් ඇති බව පෙනී යයි. තමන්ගේ අවශ්‍යතා සඳහා මුදල් සහ වෙනත් සහාය නොලැබෙන්නේ නම් අධිකරණයට යන බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කරන ප්‍රකාශයට සාධාරණ පදනමක් තිබෙන බව මේ සිදුවීම් පෙන්වා දෙයි.
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ලබන 22 – 23 සහ 24 දිනවලට යෙදී තිබුණත් දැන් එය කල් දමා තිබේ. අවශ්‍ය සියලු අරමුදල් සහ පහසුකම් ලැබී ඇති බව ද මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබිණි. එවැනි පසුබිමක මැතිවරණ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා මුදල් නිදහස් නොකිරීමේ අරමුණ කුමක්ද යන්න ජනතාව ප්‍රශ්න කරනු ඇත. ඒ සඳහා උත්තර දිය යුත්තේ ආණ්ඩුවයි.
(***)