දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය වසරේදී ලැබූ ආදායම රුපියල් කෝටි 260කි. එයින් කෝටි 230ක් අතිකාල දීමනා වශයෙන් ගෙවා තිබේ. මේ කරුණු පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේ ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසිනි. දුම්රිය ගාස්තු යම් මට්ටමකින් සංශෝධනය කිරීමට සිදු වූයේ මේ වියදම් සැලකිල්ලට ගනිමින් බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබිණි.
දුම්රිය දෙපාර්තමේන්තුව රටට නැතිවම බැරි රජයේ ආයතන අතුරින් ඉහළම තලයේ රැඳී සිටින දෙපාර්තමේන්තුවකි. එහෙත් රටේ පාඩු ලබන රාජ්‍ය ආයතන අතුරින් ද දුම්රිය සිටින්නේ ඉහළිනි. මේ හේතුවෙන් රාජ්‍ය - පෞද්ගලික ව්‍යවසායක් වශයෙන් ප්‍රතිව්‍යුහගත කෙරෙන ආයතන අතරේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නමද සඳහන් වෙයි. නැතිවම බැරි වුවද රටේ මහජනතාවගේ බදු මුදලින් දිගින් දිගටම යැපෙමින් සිටීමට වත්මන් තත්ත්වය හමුවේ කිසිදු රාජ්‍ය ආයතනයකට හැකියාවක් නැත. දුම්රිය දෙපාර්තමේන්තුවටද එය අදාළය.
දුම්රියෙන් මහජනතාවට සැලසෙන සේවය කොතරම් අත්‍යවශ්‍ය වුවත් මේ ආකාරයට මේ වගේම ආදායම ගිල දමන බහිරවයකුගේ තත්ත්වයෙන් දෙපාර්තමේන්තුවක් පවත්වාගෙන යාමට හැකියාවක් නැත. සමස්ත ආදායමෙන් සියයට 96කටත් වඩා වැය කරමින් අතිකාල දීමනා ගෙවා දමනවිට දුම්රිය සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය සෙසු පිරිවැය දරාගැනීමට හැකියාවක් නැත. දෙපාර්තමේන්තුවේ සමස්ත සේවක වැටුප් සඳහා එම වසරේදී රුපියල් කෝටි 700ක් වැයකර තිබූ බව ද දුම්රිය ගාස්තු දෙගුණයකින් වැඩි කිරීමට සිදු වූයේ ඒ නිසා බව ද අමාත්‍යවරයාගේ කතාවේ සඳහන්ව තිබිණි.
මේ සංඛ්‍යාලේඛනවලින්ම පෙනෙන ආකාරයට ලංකාවේ දුම්රිය සේවය පවත්වාගෙන යන්නේ ආදායම මෙන් තුන් ගුණයකට ආසන්න වියදමක් දරමිනි. මේ ගණන් හිලව් පසුගිය වසර හා සම්බන්ධ වුවද ඉන් පෙරදීත් තත්ත්වය මෙයට වෙනස් නොවේ. ආදායමට සරිලන ලෙසට වියදම් කළමනාකරණයක් කිසිසේත්ම සිදුව නැත. අද මුළු රටම දුක් විඳින්නේ ද උද්ධමනය අතින්ද ලොවේ සෙසු රටවල් අතරින් කප් ගසා සිටින්නේද දරුවන්ගේ මන්දපෝෂණය ඉහළ ගොස් රටේ ජනතාවගෙන් ලක්ෂ හැටකට අධික සංඛ්‍යාවක් ආහාර අහේනියකින් පීඩා විඳින්නේද ආදායම් - වියදම් අතර පවත්වාගත යුතු සමතුලිත බව පවත්වා ගැනීමට අපොහොසත් වීම හේතුවෙනි. මෙය මහත් ඛේදවාචකයක් නොවන්නේද? මෙතෙක් බලයට පත් හැම ආණ්ඩුවක්ම මෙයට වගකිව යුතු නොවේද?
මෙහිදී දුම්රිය දෙපාර්තමේන්තුවට පමණක් දෝෂාරෝපණය කිරීමෙන් පලක් නැත. බොහොමයක් රාජ්‍ය ආයතනවල තත්ත්වය මෙයට දෙවැනි නොවේ. රජයේ බදු ආදායමෙන් සියයට 96ක් සේවක වැටුප් සඳහා වැය කරන එකම රට බවට ලංකාව පත්ව සිටින්නේද මේ හේතුවෙනි. වහාම කළ යුත්තේ මේ තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගැනීමය. ඒ සඳහා ඍජු දේශපාලන තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය වෙයි. බොහොමයක් ආණ්ඩු හිර වෙන්නේ මේ තීරණ ගැනීමට යාමේදීය.
දුම්රිය සහ ලංගම අමාත්‍යවරුන්ගේ රැකියා සපයන මධ්‍යස්ථාන බවට පත්වීම මේ රටේ දේශපාලන ඛේදවාචකයකි. එම ආයතනවලට දරාගත නොහැකි මෙම සේවක පඩි නඩි ඉහ වහා යාමට එය එක් ප්‍රධාන හේතුවක් විය. එහෙත් දුම්රිය දෙපාර්තමේන්තුවේ එක් වෘත්තීය සමිතියක් කියා තිබුණේ දුම්රිය දෙපාර්තමේන්තුව තුළ දැඩි සේවක හිඟයක් පවතින බවය. රාජ්‍ය ආයතනයක් වශයෙන් සේවක වෘත්තීය සමිති වැඩිම සංඛ්‍යාවකට හිමිකම් කියන දුම්රිය දෙපාර්තමේන්තුවේ සැබෑ තත්ත්වය එය දැයි අපි නොදනිමු.
එහෙත් ඕනෑම දෙපාර්තමේන්තුවක අවශ්‍ය සේවක සංඛ්‍යාව පිළිබඳ නිවැරැදි දත්ත සටහන් ඉදිරිපත් කළ හැක්කේ ස්වාධීන පිරිසක් මගින් සිදු කෙරෙන ස්වාධීන විමර්ශනයකින් අනතුරුව පමණක් බව අපේ විශ්වාසයයි. අතිකාල දීමනා ගෙවීම සාධාරණීකරණයට විවිධ අදහස් දක්වනවාට වඩා මේ අවස්ථාවේ වෘත්තීය සමිති මගින් කළ යුතු වන්නේ ආයතනයේ ආදායම් වියදම් කළමනාකරණයට සහාය දැක්වීමය. ආයතනයත් රැකගෙන රටේ ආර්ථිකයත් කිසියම් හෝ ස්ථාවර මට්ටමකට ගෙන ආ හැකි වන්නේ එවැනි ඵලදායී කැපවීමකින් පමණි.
එවැනි කැපකිරීම් සඳහා සේවකයන් උනන්දු කරවීමට දේශපාලන අධිකාරියෙන්ද සැබෑ මගපෙන්වීමක් තිබිය යුතුය. රජයේ සේවකයන්ගේ අතිකාල දීමනා මාසික වැටුපේම කොටසක් බවට පත්වී ලබා ගන්නා විවිධ ණයවල වාරික ගෙවීමට එම ආදායම නැතුවම බැරි මුදලක් බවට පත්වූයේ කාලයක් තිස්සේමය. තමන්ට ලැබෙන වාසි පිළිබඳ පමණක් සලකා බැලීම හේතුවෙන් බොහොමයක් දේශපාලන නායකයන් මේ ගැටලුවට කවදාවත් අත තැබුවේ නැත.
සැබෑ තත්ත්වය එයයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට සේවක පිරිස් අතිකාල දීමනා සමග ලක්ෂ ගණනින් වැටුප් ලබන බවද සුප්‍රකට රහසකි. අධි සුඛෝපභෝගී ජීවිතවලට පුරුදුව සිටින දේශපාලනඥයන් සිටින රටක එවැනි තත්ත්වයක් තිබීම එක අතකින් පුදුමයට කරුණක් නොවේ. විවිධ ආණ්ඩුවල වැදගත් අමාත්‍ය ධුර දැරූ පළපුරුදු දේශපාලනඥයකු වන බන්දුල ගුණවර්ධන මහතා අපට වඩා හොඳට මේ තත්ත්වය හොඳින්ම දැන සිටින බව අපගේ විශ්වාසයයි.
(***)