පෙරැළියකට වෙනස්කම් පැතිකඩ


රට පුරා පැවැති අරගල තරමක් සන්සුන් වී තිබේ. අරගලයෙහි නිරත වූ ජන කොටස් විසින් අවධාරණය කරන ලද වෙනස්කම් සඳහා පෙනී සිටින වගකීම අපට ඇත. අරගලය පරාජය කර නැවත පැරැණි රාමුවට ඇතුළු වීමට උත්සාහ කිරීම භයානකය. ජීවත් වීම පහසු කරන සහ සේවය සිදුවන ක්‍රම සංශෝධනයක් රටට අවශ්‍යය.

අලුත් ව්‍යවස්ථාවක් ගැන අදහස් ඇත. ව්‍යවස්ථාව වෙනස් කිරීම සමාජය එකතු කරන ක්‍රමයකි. ආර්ථිකය නිවැරැදි මගට ගැනීම එයට වඩා වැදගත්ය. ආර්ථික අර්බුදය සෑම ජන කොටසක්ම පීඩාවට පත් කර තිබේ. ජීවත් වීම අපහසු තරමට ප්‍රශ්න පැන නැගී ඇත. පරිහානියක සිටින ශ්‍රී ලංකාව එයින් ගලවා ගැනීම අප සියලු දෙනා සතු වගකීමකි.

බලශක්ති, ප්‍රවාහන, අධ්‍යාපන, සෞඛ්‍ය, වරාය හා ගුවන් සේවා ඇතුළු අංශවල පුනර්ජීවනයක් අවශ්‍යය. අලුත් අදහස් ඇති ඇමැතිවරුන් පත් කර විධිමත්ව, කළමනාකරණය කිරීම වැදගත්ය. එයට සමාන්තරව නවීන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් යෝජනා කළ යුතුව තිබේ. ආණ්ඩුව ව්‍යාපාර මෙහෙයවන ගතානුගතික රාමුවෙන් ඉවත්ව, ව්‍යාපාර කළ හැකි පිරිසට ඒවා කරන්නට ඉඩ දිය යුතු අතර, නියාමනය සහ සමාජ සුබසාධන පැති සඳහා පූර්ණ නැඹුරු වීම සුදුසුය.

හැසිරීම වෙනස් තාක්ෂණික යුගය

තමන් වැර වෑයමෙන් වැඩ කිරීම එක ක්‍රමයකි. කාර්යය බෙදා දී ඒවා මෙහෙයවන අතර, එමගින් සාර්ථකත්වය ලබාගැනීම අනෙක් ක්‍රමයකි. ශ්‍රමයට වඩා දැනුමට ස්ථානයක් ඇත. ආයෝජනය වෙනුවට ආයෝජනය කරවීම වැදගත්ය. නිදහස ලබන කාලයේ වැවිලි, ඛනිජ තෙල්, ගෑස්, බැංකු හා ප්‍රවාහන ඇතුළු පෞද්ගලික ව්‍යවසාය පද්ධතියක් රටට තිබුණි.

පසුගිය කාලයේ පැවැති ආණ්ඩු එම ව්‍යවසාය රජයට පවරාගෙන මෙහෙයවීමෙන් වඩාත් හොඳ කාර්ය දර්ශකයක් අපේක්ෂා කරන්නට ඇත. දශක ගණනාවකට පසු එහි අවාසි අප ඉදිරියෙහි තිබේ.  යුද කාල පරිච්ඡේදයෙන් පසු උද්ගත වූ තත්ත්වය ද සලකා බැලිය යුතු කරුණකි. යුද්ධයක් පැවැති කාලයේ දුගීකම දුරැලීම සඳහා ජාත්‍යන්තර සහාය ලැබිණ. මැදි ආදායම් මට්ටමට පැමිණි පසු ආධාර නතර වූ අතර, වාණිජ ණය ගැනීමට සිදු විය. 

වාණිජ ණය ලබාගත් ආණ්ඩු ඒවායෙන් සමාජය නඩත්තු කරන, ජනතාවට සහන දෙන සහ රාජ්‍ය සේවය තරකරන ජනප්‍රිය ව්‍යාපෘතිවල නිරත වූ අතර, ඒවායෙන් ණය ගෙවන්නට විනිමය උත්පාදනය කළේ නැත. 

මාර්ග, ගුවන්තොටුපොළ, වරාය වැනි දීර්ඝ කාලීන ව්‍යාපෘතිවලින් අපේක්ෂිත වාසි ඇති නොකළේය. ඒවාට බලපෑ හේතු තිබුණි. දැන් කළ යුත්තේ අලුත් මාවතක් තෝරා ගැනීමය. විවෘත ආර්ථික ක්‍රමය තුළ අභියෝග ඇත. නිසි අවස්ථාවේදී තීරණ ගත යුතුව තිබේ. පෞද්ගලික අංශය ආර්ථිකය තරගකාරීව වර්ධනය කරන සාධකයක් බව ජාත්‍යන්තර අත්දැකීම් දක්වයි. ධනය උත්පාදනය රජයට කළ නොහැක.

හොඳ සහ නරක විපාක ගැන තර්ක ඇත. විවෘත ආර්ථිකය හඳුන්වා දුන් මුල් කාලයේ අවස්ථා ඇති, පුළුල් සමාජයක් නිර්මාණය කරගත හැකි විය. ශ්‍රී ලංකාව දැනට පසුවන දුර්වල ස්ථානයෙන් ගැලවීම සඳහා තවත් වටයකින් අවස්ථා බිහි කළ යුතුය. ආර්ථිකය තවත් විවෘත කරන තීරණ ගත යුතුය. දෙස් විදෙස් ආයෝජන සඳහා පුළුල් සැලැස්මක් රටට අවශ්‍යය. මූල්‍ය ක්‍රම හා නීති වෙනස් කළ යුතුව තිබේ. අසංවිධානාත්මක, චක්‍රීය ක්‍රම වෙනස් කරන අතර, අකාර්යක්ෂම ආර්ථිකය ප්‍රතිසංවිධානයට පියවර ගත යුතුය. 

බලවත් වෙනස්කම් කළ යුතු පැති සමහරක්

බලශක්ති අංශය මෙහිදී ප්‍රමුඛය. පිරිවැය අඩු කළ යුතු වේ. පවතින විශාල ඉල්ලුම සපයන්නට සිදු වේ. ඛනිජ තෙල්, විදුලිය, ගෑස්, බැංකු හා මූල්‍ය, අධ්‍යාපන සහ සෞඛ්‍ය ඇතුළු අංශවල ආණ්ඩුවකට කළ හැකි ව්‍යාපාරවල සීමාවක් ඇත. පසුගිය කාලයේ බලශක්ති අංශයෙහි දුබලතා පැනනැගුණ අතර සැපැයුම බිඳ වැටිණි. ඛනිජ තෙල් ආනයනය, බෙදාහැරීම හා අලෙවිය අධික වියදමක් දරන්නට සිදුවන, අවදානමක් ඇති අංශයකි. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම දැනට කරගෙන යන ව්‍යාපාරවලට තුන්වැනි පාර්ශ්වයක් ඇතුළු කළ හැකි අතර, එය සංස්ථාවේ පාඩු අවම කරන අතර, පාරිභෝගිකයන්ට උසස් සේවාවක් සපයනු ඇත. 

තෙල් හා ගෑස් බෙදාහැරීම සඳහා නළ මාර්ග ඉදිකළ හැකි අතර, ත්‍රිකුණාමලය වැනි ස්ථානයක පිරිපහදුවක් ස්ථාපිත කරන්නට අවස්ථාවක් තිබේ. ඛනිජ තෙල් නිෂ්පාදන අපනයනය කළ හැකි පරිදි මහා පරිමාණ ආයෝජන කැඳවිය හැකි අතර, එයින් විනිමය ලබාගත හැක. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තෙල් සංචිත පවත්වාගෙන යා හැකි පරිදි පියවර ගැනීම ද වැඩදායකය. 

විදුලිබල අංශයේ ද වෙනස්කම් කළ හැකිය. විදුලිය උත්පාදනය කරගත නොහැකි තැනට රට පත්ව ඇත. අඩු මිලට නිපදවිය හැකි අංශ තිබියදී අධික මිල ගෙවා දැවි තෙල් බලාගාර නඩත්තු කිරීම අපරාධයකි. කාර්යක්ෂම අලුත් මාධ්‍ය කෙරෙහි නැඹුරු විය යුතුය. 

දැනට රට තුළ ජනනය කරන විදුලිය ප්‍රමාණය මෙන් දහ ගුණයක විදුලිය බලයක් පුනරින් ආශ්‍රිත ප්‍රදේශයේ සුළං බලයෙන් උත්පාදනය කළ හැක. 

සූර්ය විදුලිය උත්පාදනයට ද අවස්ථාව තිබේ. ඒකක පිරිවැය ජල විදුලියටත් වඩා අඩුය. ජල විදුලිය බලාගාරවල නවෝත්පාදන ක්‍රම ඇති කළ හැක. ටර්බයින්වලින් ඉවතට යන ජලය නැවත ඉහළට පොම්ප කර විදුලිය නිපදවන ක්‍රම ඇත. එහිදී තාක්ෂණය සඳහා සූර්ය තාපය භාවිත කෙරේ. එහෙත්, ආයෝජනය සඳහා ආණ්ඩුවට මුදල් නැත. පෞද්ගලික ව්‍යවසාය කැඳවා ආයෝජන වේගවත් කළහොත් පාරිභෝගිකයන්ට අඩු මිලට විදුලිය සැපැයිය හැකිය. අතිරේක විදුලිය ඉන්දියාවට අලෙවි කළ හැක. ව්‍යුහය පුළුල් කළහොත්, ආදායම් උපයන අංශයකි. දැන් අධික පාඩු ලබන අතර, ගාස්තු වැඩි කරන විට වන්දි ගෙවන්නේ පොදු ජනතාවය.

ඛනිජ තෙල් හා විදුලිය යන අංශවල වෙනස්කම් ඇති කළහොත් ආර්ථිකයට පහසුවකි. අඩු මිලට විදුලිය හා තෙල් ලැබෙන රටක කර්මාන්ත හා සේවා අංශවල පිරිවැය පහත වැටේ. වහා කළ යුතු ප්‍රතිසංස්කරණ ගැන අවධානය යොමු නොකර, දූෂණය හා වංචා ගැන කතා කරමින් කාලය නාස්ති කිරීම ගැටලු තවත් සංකීර්ණ කර ඇත. 

යටිතල පහසුකම් සංවර්ධනය පෞද්ගලික අංශයට

වරාය, ගුවන්තොටුපොළ, අධිවේගී මාර්ග ඉදිකිරීම, නඩත්තුව යනාදී කාර්යවලින් ආණ්ඩුව ඉවත් විය යුතුය. ඒවායේ බර ආයෝජකයන්ට පවරන අතර, එයින් ඉතිරි වන ශක්තිය මහජන සුබසාධනයට වැය කළ හැකි වේ. සෞඛ්‍ය, අධ්‍යාපනය, මූල්‍ය, ටෙලිකොම් හා රක්ෂණ වැනි අංශවල ද රාජ්‍ය හා පෞද්ගලික අංශයේ තරගකාරීත්වයක් අවශ්‍යය.

පාඩු ලබන ආයතන පමණක් නොව ලාබ උපයන අංශ පවා දක්ෂ ව්‍යවසායකයන්ට පැවැරීම වැඩදායකය. එය ආණ්ඩුවේ අය වැය ලේඛනයේ පීඩනය අඩු කරයි. අවස්ථා සැපැයීම හේතුවෙන් අලුත් ව්‍යවසායකයෝ බිහි වෙති. රැකී රක්ෂා අවස්ථා ඇතිවන අතර, අධ්‍යාපනය අවසන් ශිෂ්‍ය ප්‍රජාව රජයට බඳවා ගැනීම අවශ්‍ය නොවනු ඇත. 

සාර්ථක ව්‍යවසාය ගණනාවක් තුළින් ලැබෙන බදු ආදායම ද රජයට වාසියකි. දැනට ආණ්ඩුව කරගෙන යන මෙම අංශවලින් විශාල පාඩු සිදුවන අතර, මහජනතාවගෙන් අයකරන අධික බදුවලින් ඒවා පියවමින් සිටී. මෙම ක්‍රම ප්‍රතිසංවිධානය වැදගත්ය.

ව්‍යාපාර අත්හැරීමෙන් පසු ආණ්ඩුවේ වැදගත්කම කුමක් ද යන ප්‍රශ්නය ද වැදගත්ය. නියාමනය ඉතාම වැදගත් අංශයකි. විදුලිය බලය, ජලය, ඛනිජ තෙල්, අධ්‍යාපන, සෞඛ්‍ය හෝ ඕනෑම අංශයක තද නියාමනයක් අවශ්‍ය කෙරේ. ක්ෂේත්‍ර ගැන පළපුරුදු විද්වත් නිලධාරීන් පත් කර ක්ෂේත්‍ර නියාමනය කළ හැකි අතර, පාරිභෝගිකයන්ට පීඩා ඇති කරන අවස්ථාවල වහා මැදිහත්වන බලයක් දිය හැකිය. රජය ව්‍යාපාර කිරීමේදී සිදුවන දූෂණ හෝ වංචා අඩු කෙරෙන ක්‍රමානුකූල බවක් මෙමගින් ඇති කළ හැකිය.

අධ්‍යාපන හා සෞඛ්‍ය අංශ අලුත් ආර්ථිකයක කැපී පෙනෙන ක්ෂේත්‍රයන්ය. අධ්‍යාපනය හා සෞඛ්‍ය අංශවල දියුණුව, දුරස්ථ ප්‍රතිකාර ක්‍රම අන්තර්ජාල අධ්‍යාපනය මගින් විශාල පරිවර්තනයකට ඉඩ තිබේ. අලුත් ආයෝජනවලට ඉඩ දීමෙන් නැවුම් අවස්ථා රටට ලැබේ. එක කොටසකට ප්‍රශ්න පැන නැගෙන බව පිළිගත හැක. ඔවුන් වෙනුවෙන් රක්ෂණය හා ශිෂ්‍යත්ව ක්‍රම ඇති කළ යුතුය. ඉගෙනගැනීමටත්, වෛද්‍ය ප්‍රතිකාර සඳහාත් විදේශගත වන පිරිස හා ඔවුන් නාස්ති කරන විනිමය ප්‍රමාණය රට තුළ නැති අවස්ථා සම්බන්ධ සාක්ෂියකි.

ආර්ථික අර්බුදයකින් ගැලවෙන මාර්ගය

අර්බුදයකින් ගැලවී අලුත් වෙනස්කම් ඇති කිරීම පහසු නැත. ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයක අදහස් විශාල ප්‍රමාණයක් තිබේ. හරි වැරැදි දේ ජනතාව දන්නේ නැත. අත්හදා බැලීම් සඳහා අවුරුදු අසූවක් නාස්ති කර ඇති ශ්‍රී ලංකාව නැවත නැවතත් පරණ ආගාධයෙහි වැටීම සුදුසු නොවේ. ආර්ථිකය ගොඩනගන මාර්ගය පැහැදිලිව තෝරාගත යුතුය. පටු දේශපාලන මතිමතාන්තරවලින් මට්ටු වී ඇති ශ්‍රී ලංකාව ඉක්මනින්, තද තීරණ, නිවැරැදි සැලසුමකට යා යුතුය. බරපතළ අනතුරක සිටින අතර විනිවිද පෙනෙන, ඉතාම යුක්ති සහගත ක්‍රම ගැන සාකච්ඡා කිරීම පලක් නැත. දක්ෂ වෛද්‍යවරයකුට හොඳම ශල්‍යාගාරයකදී නොකරන සැත්කම් පවා යුද බිමකදී කරන්නට සිදු වේ. අවස්ථාව අනුව තීරණ ගත යුතුය.

ආර්ථිකය ගොඩනැගීමට ගන්නා තීරණ මිහිරි නැත. කැපවීමේ ප්‍රතිඵලය ලැබෙන්නේ අනාගතයේය. අද තීරණ ගැනීමෙන් අපගේ දරුවන් සැපවත්ව කල්ගත කරනු ඇත. ලෝකයේ අනෙක් රටවල් අනුගමනය කළ ක්‍රම ප්‍රසන්න නැත. ඉන්දියාව, චීනය, කොරියාව, වියට්නාමය වැනි රටවල පවා නායකයෝ අපහසු තීරණ ගෙන නිර්භීතව ක්‍රියාවට නැංවූහ. නිෂ්පාදනය වැඩි කළ අතර, මොනවා හෝ නිපදවා අපනයනය කළහ. අවශ්‍ය ආයෝජන ලෝකයේ කොතැනකින් හෝ කැඳවන තීරණ ගත් බව සඳහන් කළ යුතුය. 

සාමාන්‍ය ජනතාවට අත්වන පීඩනය ගැන සලකා ප්‍රතිසංස්කරණ අත්හැර දැමිය හැක. ජනප්‍රියත්වය සලකා තව තවත් ණය ගෙන ජනතාවට සහන දෙන යෝජනා ක්‍රම හඳුන්වා දිය හැක. ණය නොගෙවන රටට ණය දෙන්නට කිසිවකු නැත. ප්‍රමාද කිරීමෙන් ආර්ථික අර්බුදය තවත් උත්සන්න වන අතර, පවතින අභාග්‍යයෙන් ගැලවෙන්නේ නැත. මහජනතාව විඳින වේදනාව කිසිසේත් අඩු නොවේ. දේශපාලන පක්ෂවලට ලස්සන වචන දහස් ගණනක් තිබේ. එහෙත්, ආර්ථික විද්‍යාව වෙනස් එකක් නොවේ. දියුණුව සඳහා ගමන් කළ හැකි ලෙහෙසි, විකල්ප මාර්ග වර්තමානයේ නැත. 

වෘත්තීය සමිති සහ දේශපාලන විරුද්ධත්වය

ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙහි තරම නැවත නැවතත් මතක් කළ යුතුය. අවශ්‍ය ආනයන සඳහා විදේශ විනිමය නැත. ණය හා පොලී වාරික පවා ගෙවාගත නොහැක. රජයේ ආදායම පිරිහී ඇති අතර, ආදායමෙන් සියයට අසූවක් රජයේ සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවන්නට වැය කෙරේ. විනිමය උපයන, ජාතික ආදායම වැඩි කරන ක්‍රමෝපාය අවශ්‍යය. අය වැය හිඟය, විනිමය උත්පාදනය, කර්මාන්ත හා ව්‍යාපාර නැවත නගාසිටුවීම, ආයෝජන නැංවීම වැනි කරුණු සලකා අලුත් ප්‍රතිසංස්කරණ මාලාවක් පාර්ලිමේන්තුවට වහාම ඉදිරිපත් කළ යුතුව ඇත.

දේශපාලන ක්‍රමය තුළ පවතින සංකීර්ණභාවය ඉදිරියේ ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම පහසු නැත. දේශපාලනඥයෝ චෝදනා කරති. ආණ්ඩු පෙරලා බලය නැවත ගන්නට වෑයම් කරන්නට ඉඩ තිබේ. අර්බුදය හමුවේ සාමූහික තීරණ ගත යුතු අතර, එකඟතාව ඉතාම වැදගත්ය. එහෙත්, මෙරට සමාජය නිතර කැළඹේ. වෘත්තීය සමිති විරෝධතා, වැඩ වර්ජන බහුල විය හැක. ජනතාව නොසන්සුන් කරනු ඇත.

පරිනත පිරිස ජනතාව දැනුම්වත් කළ යුතු අතර, පටු අදහස් වැපිර වීම අර්ථවිරහිතය. සමාජ විනය වැදගත් වන අතර, සමහර අවස්ථාවල විරෝධය පාලනය කරන්නට අලුත් නීති පනවන්නට සිදු වේ. නායකයන් විශ්වාස කරන වගකීමක්  නායකයන්ට ඇති අතර, ජනතාව දිනාගත හැකි ඔවුන්ට පිළිගත හැකි දර්ශනයක් ඉදිරිපත් කරන්නට නායකයෝ සමත් විය යුත්තෝය. දියුණුවට පත් රටවල පාලකයන් හා ජනතාව අතර තිබුණ අන්තර් සම්බන්ධතාව ඉතාම වැදගත් අංගයකි.

සත්‍යය දකින ජන ප්‍රජාවකට ආමන්ත්‍රණය

මෙම පැති අතරින් සත්‍යය දකින්නට සමත් ප්‍රජාවක් අපගේ රටට අවශ්‍ය කෙරේ. රට ගොඩනගන්නට අනුගමනය කරන ක්‍රම කෙරෙහි විශ්වාසයක් අවශ්‍යය. මෙම අභියෝගාත්මක පසුබිමක ගැනෙන තීරණ පහසු ඒවා නොවේ. කැපවීමෙන් යම් කාලයක් ගත කළහොත් ඉදිරියේදී ජයග්‍රහණ අත්වේ. වෙනස්කම් ඇති කරන තද තීරණ ගැනීමට අපගේ නායකයන් සූදානම් ද? එරෙහිව එන විරෝධතා ඉදිරියේ නිර්භීතව ක්‍රියා කළ හැකි ද යන්න අප ප්‍රශ්න කළ යුතුය. ක්‍රමය වෙනස් කරන නිසි පියවර අනුගමනය කළහොත් වෙහෙසකර ගමන අවසානයේ රටට සංවර්ධනයක් ඇති වේ.

රැවැටිලිකාර ක්‍රම මගින් ඊළඟ ඡන්දය දක්වා ගමන් කළහොත් නැවතත් අරගලයකට, විප්ලවයකට සාධක සපයනු ඇත. බලශක්තිය, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහන, වරාය, රක්ෂණ, ටෙලිකොම් වැනි අංශ පැතිරවීමෙන් ආර්ථිකය පුළුල් කළ හැක. ව්‍යාප්ත කිරීමෙන් සහ පෞද්ගලික අංශය, විදේශ ආයෝජන තුළින් ලබාගත හැකි ප්‍රසාරණය ආර්ථිකය බලවත් කරනු ඇත. දැන් සිදුවෙන්නේ එය නොවේ.

පවතින වත්කම්වලට අනුව ශ්‍රී ලංකාවේ පැවැත්ම සකස් කිරීමකි. වත්කම් අඩු වන විට සමාජයට එය විඳින්නට සිදුවනු ඇත. මැදි ආදායම් මටට්මේ සිට අඩු ආදායම් නැත්නම් දුප්පත් රටක තැනට පත්වනු ඇත. සමාජයක් දුප්පත් කර ප්‍රශ්න විසඳීම හොඳ ආණ්ඩුකරණයක් නොවේ. ප්‍රතිපත්ති සකස් කළ යුත්තේ රටක් දියුණු කරන්නටය. සම්පත් උපද්දවන අතර, ඒවා සමාජයේ සියලු කොටස් වෙත ලැබෙන්නට සැලැස්වීම වැදගත්ය.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස [email protected] ලිපිනයට යොමු කරන්නේ නම් කෘතඥ වෙමි.

මිලින්ද මොරගොඩ විසිනි