පොලිසිය-පොලිස් ගබඩාවෙන් ගිනි අවි සොරකම් කිරීම


පොලිසිය සම්බන්ධයෙන් ‘‘හොඳ’’ ලිවීමට කොතෙක් පුල පුලා බලා සිටිය ද එම අවස්ථාව හිමිවන්නේ ඉතා විරළ වශයෙනි. වැඩි වැඩියෙන් වාර්තා වන්නේ පොලිස් නිල ඇඳුමට තරම් නොවන පොලිස් නිල ඇඳුමට නිගරුව ගෙන එන සිදුවීම්ය. අප පුවත්පතට ඉකුත් 21 වැනිදා වාර්තා කිරීමට සිදු වූයේ ද එබඳුම පන්නයේ සිදුවීමකි.

මොරවැව පොලිසියේ අවි ගබඩාවෙන් සොරාගත් ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ රැගෙන වාහල්කඩ යාන් ඔය ජලාශයට ආසන්න ‘‘ඉස්සන් වැව’’ සහ ‘‘වැද්දා කන්ද’’ ප්‍රදේශයේ සතුන් දඩයමේ ගිය බව කියන එම පොලිසියේම සැරයන්වරයකු ඇතුළු තිදෙනකු රිමාන්ඩ් කරන ලෙස කැබතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක මහතා නියෝග කළ බව අප පුවත්පත වාර්තා කර තිබිණි.

මුළු සමාජයම සමස්තයක් වශයෙන් පිරිහෙමින් තිබෙන මොහොතක පොලිසියෙන් පමණක් පරම පවිත්‍රත්වයක් අපේක්ෂා කළ නොහැකිය. මන්දයත් පොලිසියට එකතු වන්නේ සමාජයේම සිටින මිනිසුන් වීමත් පොලිසිය පිහිටා තිබෙන්නේ මෙම සමාජයම තුළ වීමත් නිසාත්ය. එහෙත් එසේ යැයි කියා පොලිසියට පහසුවෙන් ගැලවී යා නොහැක. මන්දයත් පොලිසියේ වගකීම අති සුවිශේෂී වන නිසාය.

රටක් පවතින්නේ කුලුනු තුනක් මතය. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය එම කුලුනු තුනය. මින් එක් කුලුනක් හෝ බිඳ වැටීම යනු රටේ පැවැත්ම අනතුරට ලක්වීමකි. පොලිසිය අයත් වන්නේ අධිකරණමය කුලුනටය. අධිකරණමය ක්‍රියාවලියේ සක්‍රියමය දායකත්වය පොලිසිය සතුය. නීතියේ විධානය සහ සාමය පවත්වාගෙන යාමේ වගකීම පැවරී ඇත්තේ පොලීසියටය. ඒ අනුව පොලිසියේ වගකීම ඉතා පුළුල්ය.

නීතියේ විධානය පිළිබිඹු වන්නේ පොලිස් නිලධාරියාගෙනි. එහෙයින් සමාජයේ අනෙකුත් සෑම පුරවැසියකුට වඩා වෙනස් හැසිරීමක් පොලිස් නිලධාරියකුගෙන් ප්‍රකට විය යුතුය. අනෙකුත් පුරවැසියන්ට වඩා බලගතු ආදර්ශවත් හැසිරීමත් පොලිස් නිලධාරියකු පෙන්නුම් කළ යුතුය. එම ආදර්ශවත් හැසිරීම සඳහා වැහැරී නොයන විනයක් තිබිය යුතුය. පොලිස් නිලධාරියා සතු සාඩම්බර පදක්කම විනය විනා අන් යමක් නොවේ.

මොරවැව පොලිසියේ සැරයන්වරයා දඩයමේ යෑම බරපතළ වරදක් ලෙස හඳුනා ගැනෙන්නේ මෙම පරිසරය තුළය. ඔහු දඩයමේ ගොස් ඇත්තේ පොලිසියේ ගිනි අවියක් සහ උණ්ඩ සොරකමක් කරගෙනය. නීතියට, දඬුවමට අල්පෙනෙත්තක තුඩක තරමට බියක් තිබුණේ නම් එබඳු බරපතළ වරදක් ඔහු අතින් සිදු නොවනු ඇත.

අදාල තක්කඩි චෞරයා පොලිස් සැරයන්වරයකු නිසාම නීතිය ගැන නොදන්නවා යැයි සිතිය නොහැක. නීතිය හොඳින්ම දන්නා අයකු අතින් එවැන්නක් සිදුවීම අතිශයින්ම භයානකය. පොලිස් නිලධාරියාගේ අවකල් ක්‍රියා නිසා අපවිත්‍ර වන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිනාමයයි. කීර්තිනාමය, අභිමානය ගිලිහී ගිය පොලිසියකට සමාජය හසුරුවාලීම පහසු නොවේ. පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිද්ධි ගණනාවක් ඉකුත් සමයේ වාර්තා විය. මෙවැනි පහරදීම් දුරාතිතයේ වාර්තා නොවිණි. වාර්තා වූයේ නම් ඒ කලාතුරකිනි. එහෙත් පොලිස් නිලධාරීන්ට පහරදීමේ ප්‍රවණතාවක් මතුවීමෙන් පෙනෙන්නේ පොලිසියේ බලය වියෝ වෙමින් පාතාල බලය ඉස්මතුවීමය.

පොලිසියේ බලය ගිලිහෙමින් පාතාල බලය ඉස්මතුවීම තරම් රටකට අත්විය හැකි වෙනත් විනාශයක් නැත. අප රට යනු පාතාල බලය හමුවේ බොහෝ විනාශයන් අත්පත් කරගත් රටකි. වැර වෑයමෙන් වළක්වාගත යුතු වන්නේ එම විනාශයම වෙයි. පොලිස් නිලධාරියා වැරැදි නොකරන ආදර්ශවත් පුරවැසියකු විය යුත්තේ එහෙයිනි.

(***)