ශ්‍රී ලංකා මහ බැංකුව අවස්ථා දෙකකදී ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 4.5 කින් පහත හෙළීය. ඒ අනුව එක් අවස්ථාවකදී සියයට 2.5 කින් ද පසුගිය සතියේදී සියයට 2 කින් ද ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩු කළේය. ප්‍රතිපත්ති පොලී අනුපාතිකය යන්නෙන් මූලිකව අදහස් වන්නේ මහ බැංකුව වෙළෙඳපොළ පොලී අනුපාතිකවලට මැදිහත් වීමේ අරමුණින් තීරණය කරන පොලී අනුපාතයටය.
ඒවායෙන් දැක්වෙන්නේ වාණිජ බැංකු සතුව මුදල් අතිරික්තයක් ඇති වුව හොත් එවැනි අවස්ථාවල එම මුදල් මහ බැංකුවේ තැන්පත් කළ අතර එහිදී සලකා බලන්නේ නිත්‍ය ඉතුරුම් අනුපාතයයි. එසේම වාණිජ බැංකුවල මුදල් හිඟයක් උද්ගත වුව හොත් එම බැංකුවලට මහ බැංකුවෙන් මුදල් ණයට ලබා ගත හැකිය. එහිදී සලකා බැලෙන්නේ නිත්‍ය ණය පහසුකම් අනුපාතයයි. මෙම පොලී අනුපාත දෙක වෙළෙඳපොළේ සෙසු පොලී අනුපාත තීරණය කිරීමට බලපායි.
මහ බැංකුව විසින් මෙපරිදි සහතික කරනු ලබන පොලී අනුපාත යටතේ වාණිජ බැංකු වෙළෙඳපොළේ අනිකුත් ආර්ථික කටයුතු සිදු කරයි. ණය ලැබීම් ඉතිරි කිරීම් භාර ගැනීම් වැනි කටයුතු ඒ අතර ප්‍රධානය. ඒ හරහා මහ බැංකුවට ඉතිරි කිරීම් හා ණය ලබා දීමේ පොලී අනුපාත සඳහා බලපෑම් කිරීමට හැකිය.
ආර්ථික අර්බුදය පැවති අවස්ථාවේ මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 7 සිට සියයට 16 දක්වා ඉහළ නංවන ලදී. ඉන්පසු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අදාළව යම් යම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන විට නිත්‍ය ණය පහසුකම් අනුපාතය සියයට 12 ක් ලෙසත් නිත්‍ය ඉතිරි කිරීම් අනුපාතය සියයට 11 ක් ලෙසත් අඩු විය. එහිදී මහ බැංකුව දැඩිව අවධාරණය කළ ආකාරයට වෙළෙඳපොළ පොලී අනුපාත අඩු විය හැකි තත්ත්වයක් අපේක්ෂා කෙරිණි.
මේ අවස්ථාවේ ඉතිරි කිරීම්වලට අදාළ පොලී අනුපාතය වාණිජ බැංකු විසින් වේගයෙන් පහත හෙළනු ලැබීය. එහෙත් ණය ලබා දීම්වලට අදාළ පොලී අනුපාත මේ දක්වා සැලකිය යුතු අගයකින් අඩු කර නැත. තවදුරටත් වෙළෙඳපොළ ණය පොලී අනුපාත පවතින්නේ සියයට 20 ඉක්ම වූ අගයකය. ණය පොලී අනුපාත ඒසා ඉහළ මට්ටමක තවදුරටත් පවත්වා ගෙන යෑමට තුඩු දෙන සාධාරණ හේතු නොමැත.
එක් පැත්තකින් උද්ධමනය පහළට ගමන් කර තිබේ. එය මේ වන විට සියයට 12 මට්ටමට පැමිණ ඇත. අනෙක් පැත්තෙන් ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු වී තිබේ. එම අගය සියයට 16 සිට සියයට 12 දක්වා අඩු වී ඇත. එසේම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී බැංකු අංශයට අයහපත් බලපෑම් එල්ල වනු ඇති බවට වෙළෙඳපොළේ දැඩි අවිනිශ්චිතතාවක් ද හට ගත්තේය.
එහෙත් එයින් බැංකු පද්ධතියට කිසිදු බලපෑමක් සිදු නොවන බව බොහෝ දෙනා දනිති. බැංකුවල කොටස් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියේ ඒ බව පෙන්වමිනි. මේ සියලු තත්ත්වවලින් පැහැදිලි වන්නේ තවදුරටත් ණය ලබා දීමේදී අය කරන පොලී අනුපාත ඉහළ අගයක පවත්වා ගෙන යෑමට තරම් සාධාරණ හේතු නොමැති බවය. එය පහත හෙළීමට පිළිවන. එය දැනට ලබා දී තිබෙන ණයවලට ද අදාළ වන පරිදි අඩු කළ හැකිය.
එය එසේ නොවන විට සිදු වන දෙය නම් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අදාළ පරිසරය සකස් නොවීමය. ආර්ථිකයක් අර්බුදයකට ගිය විට එය යළි නගා සිටුවීමට අදාළ ක්‍රියාමාර්ග ගනිද්දී වඩාත් වැදගත් වන්නේ මූල්‍ය අංශය බැංකු අංශය සහ ව්‍යාපාර අංශය කොතෙක්දුරට අවදානම් ප්‍රිය කරන්නේ ද යන කරණය උඩය. ඊට අදාළ ලංකාවේ තත්ත්වය පිරික්සීමේදී පෙනී යන්නේ මූල්‍ය බැංකු සහ ව්‍යාපාර අංශ අවාදනම් අප්‍රිය කරන තත්ත්වයක පසු වන බවය.
ඔවුන් හුදෙක් අපේක්ෂා කරන්නේ තම ලාභය පමණි. එයින් සිදු වන්නේ ආර්ථිකය එහි අර්බුදයෙන් මිදීම ප්‍රමාද වීමය. එය ඉතා අහිතකර තත්ත්වයක් වන අතර එමගින් විශාල පිරිසකගේ ජන ජීවිතයට සෘණාත්මක බලපෑම් ඇති කරයි. මේ සන්දර්භයේ මූල්‍ය බැංකු සහ ව්‍යාපාර අංශ අවදානම් ප්‍රියකරන්නන් බවට පත් විය යුතුය.
මහ බැංකුව දැනට අවධානය යොමු කර තිබෙන්නේ බැංකු අංශයේ ණය පොලී අනුපාත පහත හෙළීමටය. කොවිඩ් වසංගතය අවස්ථාවේදීත් ආර්ථික අර්බුදය උද්ගත වූ අවස්ථාවේදීත් ණය ලබා දීමේදී නොයෙක් කොන්දේසි පනවනු ලැබීය. එම තත්ත්වය ව්‍යාපාර ණය ගැනීම් පුද්ගල ණය ගැනීම් සහ දේපොළ මිලදී ගැනීම්වලට අදාළ ණය ගැනීම්වලට බලපෑවේය. එම කොන්දේසි යටතේ ණය ලබා දීමේදී අය කරන පොලී අනුපාත පහළ ගියද ණය ලබා ගත හැක්කේ සීමිත පිරිසකට පමණි.
මිනිසුන් බොහෝ දෙනකුගේ වත්කම් පහළ බැස තිබේ. තවත් අයගේ රැකියා අහිමි වී ඇති අතර ඒ හේතුවෙන් ආදායම් ද අඩු වී ඇත. මෙවැනි තත්ත්වයක මිනිසුන්ට ණය ගැනීම පහසු නොවේ. එබැවින් ණය පොලී අනුපාත පහත හෙළීමට සමගාමීව මේ කොන්දේසි ලිහිල් කිරීම ද අවශ්‍ය වේ.
බැංකු අංශයේ බොල් ණය ප්‍රමාණය පසුගිය කාලයේදී ඉහළ ගොස් ඇත. ලීසිං පහසුකම් ඇතැම් පාරිභෝගිකයන් විසින් අයථා ලෙස භාවිත කරනු ලබන තත්ත්වයක් ද දැක ගත හැකිය. මේ ආකාරයට රටකට ඉදිරියට යා නොහැකිය. එබැවින් පුරවැසියන්ගේ යුතුකම වන්නේ ලබා ගත් ණය ලීසිං වාරික නියමිත ආකාරයට ගෙවීමය. එමගින් සෞඛ්‍ය සම්පන්න යහපත් මූල්‍ය වෙළෙඳපොළක් නිර්මාණය කර ගත හැකිය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකු අංශය සම්පූර්ණයෙන්ම මුදා හැර ඇති බැවින් ණය පොලී අනුපාත පහත හෙළමින් ණය කොන්දේසි ලිහිල් කිරීමට වාණිජ බැංකුවලට පිළිවන. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පෞද්ගලික සමාගම් බැඳුම්කර හිමියන් ද නිදහස් කර ඇත. ඒ සඳහා කිසිදු සාධාරණ හේතු දැක්වීමක් කළේ ද නැත. සේවක අර්ථසාධක අරමුදලට සහ සේවක භාරකාර අරමුදලට එයින් වැඩිමනත් බලපෑමක් එල්ල වේ.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකු ඉතිරි කිරීම්වලට කිසිදු අයහපත් බලපෑමක් එල්ල නොවන බව ජනාධිපතිවරයාත් මහ බැංකු අධිපතිවරයාත් පැවසූහ. එයින් බැංකුවල තිබෙන ඉතිරි කිරීම්වලට බලපෑමක් එල්ල නොවන බව සැබෑවක් වුවද සේවකයන් නිත්‍ය විදියට කරන ඉතිරි කිරීම්වලට බලපෑම් එල්ල වේ.
සේවක අර්ථසාධක අරමුදල සඳහා සේවකයන්ගෙන් කෙරෙන අය කිරීම් සැලකිය හැක්කේ ද නිත්‍ය ඉතිරි කිරීමක් වශයෙනි. සේවක අර්ථසාධක අරමුදල සැලකෙන්නේ පුද්ගලයන්ගේ අනිවාර්ය ඉතිරි කිරීමක් හැටියටය. මෙම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් එම අනිවාර්ය ඉතිරි කිරීමට ලබා දෙන පොලී අනුපාතය අඩු කර තිබේ.
සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල කාලයක් තිස්සේ පරිපාලනය කරන ලද්දේ ඉතා දුර්වල ආකාරයටය. එසේම එම අරමුදල් රජයට අඩු පොලියට ණය සපයන මූලාශ්‍ර වශයෙන් පවත්වා ගෙන යන ලද්දේය. එහෙත් ඊපීඑෆ් සහ ඊටීඑෆ් ප්‍රතිලාභීන්ට හිමි වූයේ සියයට 11 ත් 12 ත් අතර අඩු ප්‍රතිලාභ අනුපාතිකයකි.
පෞද්ගලික අංශයේ ඇතැම් ආයතනවල සහ රාජ්‍ය අංශයේ සමහර සංස්ථා හා දෙපාර්තමේන්තවල මේ ආකාරයේ වෙනත් අරමුදල් පවතින අතර ඒවායේ ප්‍රතිලාභීන්ට සියයට 20 ත් 30 ත් අතර ඉහළ අගයක ප්‍රතිලාභ අනුපාතික හිමි වේ. ඊපීඑෆ් සහ ඊටීඑෆ් අරමුදල් නිසි පරිදි කළමනාකරණය නොවීම නිසා ඒවායේ ප්‍රතිලාභීන්ට අඩු ප්‍රතිලාභ අනුපාතිකයක් හිමි වන බවට කාලාන්තරයක් තිස්සේ මැසිවිලි නැගේ.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් සිදු වූයේ එම අරමුදල්වල සාමාජිකයන්ට ලැබෙමින් තිබූ අඩු ප්‍රතිලාභ අනුපාතිකය තවත් පහළ හෙළීමකි. ප්‍රතිලාභ අනුපාතිකය සියයට 8 දක්වා අඩු කිරීමක් මෙයින් සිදු ව තිබේ.
ශ්‍රී ලංකාවේ මුළු බැඳුම්කර ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 8.2 ක් පමණ වේ. එම බැඳුම්කරවලින් සියයට 36 ක් පමණ තිබෙන්නේ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අරමුදල්වල මුදල්ය. ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් වූයේ ඒ භාණ්ඩාගාර බැඳුම්කර පමණි. අප්‍රිකානු රටක් වන ඝානාව ද එහි ණය ප්‍රතිව්‍යුහගතකරණය කළේය. එයින් එරටෙහි බැඳුම්කර මිලදී ගෙන සිටින සියයට 85 ක් පමණ ආවරණය කර තිබීම විශේෂත්වයකි.
මෙහි ඇති වැදගත්ම කාරණය නම් සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල පිහිටුවීමේ අරමුණුය. ඒවා ඇති කර තිබෙන්නේ සේවකයන්ගේ සැඳෑ කාලය සුවයෙන් ගත කිරීමට අවශ්‍ය ඉතිරි කිරීමක් වශයෙනි. මෙම අරමුදල් මේ ආකාරයට සූරා කනු ලැබීමෙන් විශාල සමාජ ආරක්ෂණ ගැටලුවක් ඉදිරියේදී උද්ගත වනු ඇත.
එහිදී මිනිසුන්ට සිය සැඳෑ සමය සුවයෙන් ගත කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම අපහසු වනු ඇත. පැවති අධිඋද්ධමනය හේතුවෙන් මේ අරමුදලේ මූර්ත වටිනාකම සියයට 50 න් පමණ අඩු වූ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ආණ්ඩුව කරන්නට යන දෙයින් මේ අරමුදලේ වටිනාකම තවත් පහළ යනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස රජයට ඉදිරියේදී සුබසාධක වියදම් වැඩි කිරීමට සිදු වන තත්ත්වයක් ඇති විය හැකි බව මගේ නිගමනයයි. මෙයින් රටේ සේවක පන්තියට දැඩි අසාධාරණයක් සිදු වන අතර ඔවුන් වහලුන් සේ සලකා කටයුතු කිරීමක් දැකිය හැකිය.
(***)
සාකච්ඡා සටහන උපුල් වික්‍රමසිංහ
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ