බදු ආදායම් නැංවීමට විකල්ප


(සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)

දෙදහස් දහනවයට පෙර ලංකාවේ වැට් බදු අය කළේ අවුරුද්දකට රුපියල් මිලියන 12 කට වැඩි සැපයුමක් තිබූ ආයතනවලින් සහ පුද්ගලයන්ගෙනි. 2019 බලයට පත්වූ අලුත් ආණ්ඩුව  වැට් බදු අය කළ සීමාව රුපියල් මිලියන 12 සිට රුපියල් මිලියන 300 දක්වා ඉහළ දමයි. එනම් රුපියල් මිලියන 300 කට වඩා පහළ සැපයුමක් තිබූ ආයතන හා පුද්ගලයන් වැට් බද්දෙන් නිදහස් කරයි.

300 දොළහෙන් බෙදුවොත් එය (300-12) බදු අය කරන සීමාව 25 ගුණයකින් පහළ දැමීමකි. එය ලෝකයේ කොහේවත් නොවන දෙයකි. බදු අයකරන ඒ සීමාව යළි රුපියල් මිලියන 300 සිට 80 දක්වා පහත දමයි. 80 දොළහෙන් බෙදුවොත් එය 25 ගුණයක තිබූ බදු අය කළ සීමාව හය ගුණයක් (80-12) දක්වා පහළ දැමීමකි.

කළ යුතුව තිබුණේ 2019 ට පෙර තිබූ තත්ත්වයට හෝ ඊට ළංවන මට්ටමකට බදු අය කරන සීමාව පහත දැමීමයි. එහෙත් ආණ්ඩුව එසේ නොකරයි. මිලියන 80 මිලියන 12 න් බෙදුවොත් (80-12) ලැබෙන පිළිතුර 6.6 යි. එසේ කිරීමෙන්ද වැඩි පිරිසක් බදු ගෙවීමෙන් නිදහස් කරයි. බදු ගෙවීමෙන් නිදහස් කර තිබෙන පිරිස දැනටත් ඉතා ඉහළය. බදු යාන්ත්‍රණය නියමාකාරයෙන් ක්‍රියාත්මක වීමට නම් රටක තිබෙන සෑම අංශයක්ම වැට් බද්දට යටත් කළ යුතුය.

තරගය තිබෙන්නේ එකතු කළ අගය මත අය කරන වැට් බද්ද හා පිරිවැටුම් බද්ද අතරය. පිරිවැටුම් බද්ද හොඳ බද්දක් කියා ලෝකය පිළිගන්නේ නැත. පිරිවැටුම් මත බදු අය කරද්දී බදු මත බදු පැටවෙයි. බොහෝ රටවල් පිරිවැටුම් බදු ඉවත් කර එකතු කළ අගය මත අය කරන බද්ද හදුන්වා දුන්නේ එහෙයිනි.

1998 වනතුරු ලංකාවේ තිබුණේද පිරිවැටුම් බදුය. එය ඉවත්කර භාණ්ඩ හා සේවා බද්ද (G.S.T.) ගෙනාවේ 1998 දීය. G.S.T සහ Vat අතර වෙනසක් නැත. වැට් බද්ද සැපයුම් දාමයේ සෑම තැනකදීම කරන අගය එකතු කිරීම් මත බදු අය කරයි. ඉතින් ඒ වැට් බද්ද හෙවත් අගය එකතු කිරීම මත අය කරන බද්ද නියමාකාරයෙන්  ක්‍රියාත්මක වීමට නම් රටේ තිබෙන සෑම වාණිජ ක්‍රියාවලියක්ම ඒ බද්දට යටත් කළ යුතුය. නැතහොත් සෑම වාණිජ ක්‍රියාවලියකින්ම වැට් බදු අය කළ යුතුය. ඇතැම් භාණ්ඩ හා සේවා බද්දෙන් නිදහස් කළ විට සැපයුම්දාමය කැඩෙයි. එමගින් යළිත් බදු මත බදු පැටවෙයි.

ලංකාවේ දැනටත් භාණ්ඩ හා සේවා 300 ක් පමණ වැට් බද්දෙන් නිදහස්ය. ඒ තුන්සියයෙන් 250 කට 2024 ජනවාරි 01 වැනිදා සිට වැට් බද්ද පැනවීම සඳහා දැනටත් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ. එය ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට නියමිතය. අලුත් භාණ්ඩ හා සේවා 250 ක් වැට් බද්දට යටත්වීම සහ වැට් බදු අනුපාතය සියයට 15 සිට 18 දක්වා ඉහළ නැංවීම මත 2024 ජනවාරි 01 වැනිදා සිට භාණ්ඩ සහ සේවා මිල තව තවත් ඉහළ යයි. එමගින් ලංකාවේ ජනතාවගේ ජීවන වියදම ද තව තවත් ඉහළ යයි.

 වැට් බද්ද අයකරන සීමාව ද රුපියල් මිලියන 80 ක නොතබා එය රුපියල් මිලියන 20 ක් පමණ දක්වා අඩු කිරීමේ ප්‍රවණතාවක් ද දක්නට ලැබෙයි. හේතුව ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස්කර ගන්නා බදු  මුදල ඉතා පහළ මට්ටමක පැවැත්වීමය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දැනට කරන සාකච්ඡා නිම වී ණය ගෙවීම යළි ආරම්භ කරන්නට වූ කල රටේ ආදායම ඉහළ නංවා ගැනීමට සිදුවෙයි. රටේ ආදායම ඉහළ නංවා ගැනීමට එක්කෝ අපනයන ආදායම ඉහළ නංවා ගත යුතුයි. නැතිනම් බදු ආදායම ඉහළ නංවාගත යුතුය. ඒ නිසා වැට් බද්ද අය කරන සීමාව රුපියල් මිලියන 80 සිට පහළට දැමීමට සිදුවනු නියතය.

ලංකාවේ වාර්ෂික බදු ආදායමෙන් සියයට 80 ක්ම ලැබෙන්නේ වැට් වැනි වක්‍ර බදුවලිනි. සෘජු බදුවලින් ලැබෙන්නේ බදු ආදායමෙන් සියයට 20 කි. මේ තත්ත්වය රටේ පවතින්නේ දිගු කලෙක සිටය.

එහෙත් එය වැරදිය. නොතිබිය යුතු තත්ත්වයකි. වැට්, ජාතිය ගොඩනැගීමේ බද්ද සහ සමාජ ආරක්ෂණ බද්ද වැනි වක්‍ර බදු දුප්පතාට සේම පොහොසතාට ද බලපාන්නේ සමාන අයුරිනි. අඩු ආදායමක් තිබෙන පුද්ගලයන්ගෙන් වැඩි ප්‍රතිශතයක් බදු ලෙස අය කර ගනියි.

හේතුව ඔවුන්ගේ සම්පූර්ණ ආදායම පහළ මට්ටමක පැවැතීමය. එහෙත් ඉහළ ආදායමක් ලබන පුද්ගලයන් වක්‍ර බදු ලෙස ගෙවන්නේ තම සමස්ත ආදායමෙන් අඩු ප්‍රතිශතයකි. දශක ගණනාවක් තිස්සේ දිගින් දිගට එසේ වීම වැළැක්වීමට නොහැකිව තිබෙන්නේ ඇයි ?

ලංකාවේ බදු ප්‍රතිපත්ති තීරණය කරන්නෝ ප්‍රතිපත්ති සම්පාදකයෝය. ඒ අනුව රටේ සමස්ත බදු ආදායමෙන් සියයට 80 ක් වක්‍ර බදු මගින් එකතු කරගන්නේ සහ එසේ එකතු කර ගැනීමට තීරණය කරන්නේ ඒ ප්‍රතිපත්ති සම්පාදකයන්ය. 2015 දී යහපාලන ආණ්ඩුව බලයට පත් වූ පසුව ඒ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ රටේ සමස්ත බදු ආදායමෙන් සියයට 80ක් වක්‍ර බදු මගින් අය කර ගැනීම වැරැදි ප්‍රතිපත්තියක් බවය. එහෙයින් එය සියයට 60 දක්වා අඩු කරන බවට ඒ අග්‍රාමාත්‍යවරයා 2015දී පොරොන්දු වෙයි. ඍජු බදු ආදායම සියයට 40ක් දක්වා ඉහළ නංවන බවට ද ඒ අග්‍රාමාත්‍යවරයා එදා පොරොන්දු විය.

අදටත් රජයේ බදු ආදායමෙන් සියයට 80ක් උපයා ගන්නේ වක්‍ර බදු මගිනි. දැන් අප සිටින්නේ 2015 නොව 2023 ය. ගතවී තිබෙන කාලය අවුරුදු 8කි. එහෙත් අසූවයි විස්සේ බදු ප්‍රතිපත්තිය දිගටම ක්‍රියාත්මක වෙයි. ඒ ප්‍රතිපත්තියට විරුද්ධ වීමට පුංචි මිනිසුන්ට අවබෝධයක් නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ ලංකාවේ රජයේ බදු ආදායම ප්‍රමාණවත් නැති බවය. ඒ නිසා ධන බද්දක් පනවන්නැයි මූල්‍ය අරමුදල නිතර කියයි. ධන බද්ද (Weath Tax) ලංකාවට අලුත් දෙයක් නොවේ. අපේ රටට එය හඳුන්වා දුන්නේ 1958 දීය. එහෙත් 1992දී එය අහෝසි කරයි.

ධන බද්දට අමතරව ප්‍රවේණි බද්දක් (Inheritance Tax) පැනවිය යුතු බව ද මූල්‍ය අරමුදල කියයි. මූල්‍ය අරමුදල නිර්දේශ කරන අනෙක් බද්ද තෑගි බද්දයි. තෑගි බද්ද (Gift Tax) ලංකාවට අලුත් දෙයක් නොවේ. එයද 1958දී හඳුන්වා දී 1992දී අහෝසි කළ බද්දකි. මූල්‍ය අරමුදල මේ නිර්දේශ කරන්නේ රජයේ බදු ආදායම ඉහළ නංවා ගැනීමටය.

මූල්‍ය අරමුදල කියන්නේ බදු තුනම එනම් ධන බද්ද, ප්‍රවේණි බද්ද සහ තෑගි බද්ද යන තුනම 2025 ජනවාරි 01 වැනිදා වන විට ක්‍රියාත්මක විය යුතු බවය. මූල්‍ය අරමුදල ලංකා ආණ්ඩුවට එසේ කියා තිබෙන්නේ 2023 මාර්තු මාසයේ දී නිකුත් කළ වාර්තාවකිනි. දැනට වැට් බද්දෙන් නිදහස් කර තිබෙන භාණ්ඩ හා සේවා ද වැට් බද්දට යටත් කළ යුතු බව මූල්‍ය අරමුදල ඒ වාර්තා වෙන්ම ලංකා ආණ්ඩුවට නිර්දේශ කරයි.

ඒ නිර්දේශය 2024 ජනවාරි 01 වැනිදාට පෙර ක්‍රියාත්මක කළ යුතු බවද මූල්‍ය අරමුදල කියයි. ඒ නිර්දේශය ක්‍රියාත්මක කිරීම සඳහා වන පනත් කෙටුම්පත දැනටත් ඉදිරිපත් කර හමාරයි.

වැට් බද්ද සියයට 15 සිට 18 දක්වා ඉහළ නැංවීමේ තීරණය ද 2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ආණ්ඩුව දැනටමත් ප්‍රකාශයට පත් කර හමාරය. බදු අනුපාතය එසේ තවත් සියයට තුනකින් ඉහළ නැංවීම සහ දැනට වැට් බද්දට යටත් නොවන භාණ්ඩ සහ සේවා 250ක් වැට් බද්දට යටත් කිරීම නිසා ජනතාවගේ ජීවන වියදම නිසැකයෙන්ම ඉහළ යයි.

එහෙයින් මා යෝජනා කරන්නේ වැට් බදු එකම අනුපාතයකින් එනම් සියයට 18කින් අය නොකර අනුපාත හෙවත් ප්‍රතිශත තුනකින් අය කළ යුතු බවය. අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා සඳහා සියයට පහක් (5%) පමණ ද සුඛෝපභෝගී භාණ්ඩ සහ සේවා සඳහා සියයට 20කට ඉහළ ප්‍රතිශතයකින්ද වැට් බදු අය කළ යුතු බව මගේ යෝජනාවයි.

අත්‍යවශ්‍ය සහ සුඛෝපභෝගී නොවන භාණ්ඩ සහ සේවා සඳහා පැනවිය යුත්තේ සියයට 15ක පමණ වැට් බද්දකි. ප්‍රතිශත තුනකින් එසේ වැට් බද්ද ක්‍රියාත්මක කළ හොත් අඩු ආදායම්ලාභීන්ට දරාගත නොහැකි ලෙස ජීවන වියදම ඉහළ යාමද පාලනය කරගැනීමට හැකි වෙයි.

බදු පරිපාලනයේ පහසුව සඳහා බව කියමින් එකම අනුපාතයකින් එනම් සියයට 15කින් හෝ 18 කින් වැට් බද්ද ක්‍රියාත්මක කිරීම වර්තමානයේ රටේ පවතින තත්ත්වය මත අසාධාරණය, අයුක්තිසහගතය. ඒ අයුක්තිය සහ අසාධාරණය වන්නේ රටේ ජනතාවගෙන් අතිවිශාල බහුතරයක් වන අඩු ආදායම්ලාභී සහ පහළ මැදි ආදායම්ලාභී ජනතාවටය. එහෙයින් ඔවුනට සහනයක් සැලසෙන පරිදි වැට් බද්ද මා ඉහත කී ලෙස අනුපාත හෙවත් ප්‍රතිශත තුනකින් ක්‍රියාත්මක කළ යුතුය. එසේම වැට් බදු අය කරන සීමාව රුපියල් මිලියන 80 නොතබා රුපියල් මිලියන 20කට වඩා අඩු කළ යුතුය.

ඒ අතර දැනටමත් සූදානම් වෙමින් සිටින පරිදි දැනට වැට් බද්දට යටත් නොවන භාණ්ඩ හා සේවා 300 අතරින් හැකි උපරිම ප්‍රමාණයකින් වැට් බදු අය කළ යුතුය. ඊට අමතරව විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අහෝසි කළ යුතුය. ඒ යෝජනා හතර ක්‍රියාත්මක කළහොත් බදු බරින් පීඩිත ජනතාවට සහනයක් සැලසෙයි. එසේම රජයේ ආදායම් ද නිසැකවම ඉහළ යයි. එසේ බදු ආදායම ඉහළ නංවා ගැනීමට විකල්ප එකක් නොව රැසක් තිබෙන බව ප්‍රතිපත්ති සම්පාදකයන් අවබෝධ කරගත යුතුය.

(***)