හිඟ බදු ගෙවීම පැහැර හැරි මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිටවූ බව සඳහන් පුවතක් සුරාබදු දෙපාර්තමේන්තුව උපුටමින් නොබෝදා වාර්තා කළේය. සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ බලපත්‍ර අත්හිටවූ සමාගම්වල නිෂ්පාදනය හා නිෂ්පාදන තොග බෙදාහැරීම ද තහනම් බව ය.
රටකට තිබිය යුත්තේ එක නීතියකි. එයට තරාතිරම් බේදයක් නැත. පොදු මහජනයා ආහාරයට ගන්නා පාන් කාලටත් බදු ගෙවති. ඒ බද්ද ගෙවීමට අකැමැතිනම් පාන් නොකා සිටිය යුතු ය. බොහෝ වෘත්තිකයන් දැන් කරමින් සිටින්නේ එය ය. තම පඩිපතට අධික බද්දක් වදින විට ඔවුහු රට හැර යති. මත්පැන් නිෂ්පාදන සමාගම් බදු ගෙවීමට අකැමැති නම් කළ යුතුව තිබෙන්නේ එම ව්‍යාපාරයෙන් ඉවත්වීමය. එසේ නොමැතිව බදු ලිපි රැගෙන එන නිලධාරීන්ට යහමින් සලකා කීයක් හෝ අතමිට මොළවා කෝටි ප්‍රකෝටි ගණනින් ලාබ ඉපයීම නොවේ.
අපගේ ප්‍රවෘත්තියට අනුව හිඟ බදු ගෙවීම් පැහැරහැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම් පහ ගෙවීම පැහැර හැර ඇති බදු මුදල්වල වටිනාකම රුපියල් කෝටි 66ක් පමණ වේ. මෙම සමාගම් නොගෙවූ හිඟ බදු මුදල්වලට සියයට තුනක අමතර බදු මුදලක් අයවීම හේතුවෙන් ඔවුන්ගේ බදු මුදල්වල ප්‍රමාණය තවත් ඉහළ ගොස් ඇතැයි සුරා බදු දෙපාර්තමේන්තුව පවසන බව ද අප ප්‍රවෘත්තියේ සඳහන් ය.
අප රටේ බරපතළම ප්‍රශ්නය වන්නේ නීති නොමැතිවීම නොවේ. ඒ ඒ ක්ෂේත්‍රවලට අදාළව ප්‍රමාණාත්මක නීති පද්ධති තිබේ. ප්‍රශ්නය තිබෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී ය. එය නිසි පරිදි සිදු නොවීමය. මත්පැන් නිෂ්පාදන සමාගම් පහක් රුපියල් කෝටි 66ක් පමණ වනතුරු හිඟ බදු නොගෙවා සිටීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ දැන් ය. දැන් හෝ නීතිය ක්‍රියාත්මක වීම වැදගත් ය. එහෙත් මුල් අදියරේ දී ම නීතිය ක්‍රියාත්මක වූයේ නම් රුපියල් කෝටි 66ක් වැනි විශාල මුදලක් ගොඩනොගැසෙනු ඇත.
නීතිය ක්‍රියාත්මක වීම අඩාලවීමට ප්‍රධාන කාරණාව වන්නේ ඒවා ක්‍රියාත්මකවීම සිදුවන්නේ මිනිසුන් අතින්වීම ය. ඇතැම් මිනිසුන්ගේ වංචාව, සොරකම තිබෙන්නේ රුධිරගතව ය. එවැන්නකු නිලධාරියකු බවට පත්වූ විට එබන්දකු සමග ගනුදෙනු කිරීම වෞරකප්පිත්තන්ට ඉතා පහසුවකි. ප්‍රමිතියෙන් බාල ඖෂධ ගෙන්වීමේ ජාවාරමට අදාළව කෙරෙන පරීක්ෂණවලින් ඔප්පු වන්නේ ද එම කාරණය ම වේ.
මත්පැන් නිෂ්පාදන සමාගම් යනු පාඩු ලබන ව්‍යාපාර නොවේ. එම සමාගම් යම් යම් අභියෝගවලට ලක්වන අවස්ථා නැතුවා නොවේ. එහෙත් සමස්තයක් වශයෙන් ගත් කල්හි එය ලාබ ලබන ව්‍යාපාරයකි. එහෙයින් එම ලාබයෙන් රජයට ගෙවිය යුතු පංගුව ගෙවිය යුතු ය. එය ඕනෑම ව්‍යාපාරයකට අදාළව වලංගු තත්ත්වයකි. සමාජයේ කොටසක් ‘සූර්’ කළා යැයි කියා එම වගකීම පැහැරහැරිය නොහැකි ය.
අප සමාජයේ ඇති එක් මතයක් වන්නේ ‘ලොකු ලොක්කන් අල්ලාගත් විට ඕනෑම ජාවාරමක් නිරුපද්‍රිතව කරගෙන යා හැකි’ බව ය. එබඳු කියමන් ජීවමාන යථාර්ථ බවට පත්වූ අවස්ථා ද තිබේ. මත්පැන් නිෂ්පාදන සමාගම් බදු පැහැරහැර තිබෙන්නේ එසේ යැයි සමාජ මතයකි. ගමේ මිනිසා හීනියට හෝ සප්පායම් වනවිට කටගැස්මට ගන්නේ මෙබඳු මාතෘකා ය. එහෙයින් මත්පැන් නිෂ්පාදන සමාගම් ඒ සම්බන්ධයෙන් ද අවධානයෙන් සිටිය යුතු ය.
(***)