බදු පැනවීමේ අමිහිරි යථාර්ථය


වත්මන් ආණ්ඩුවෙන් පසුගියදා පැනවූ සහ ඉහළ නැංවූ බදු සහ එම බදු මෙරට ආර්ථිකයට, ව්‍යාපාරවලට අපනයන අංශයට බලපාන ආකාරය සම්බන්ධයෙන් රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය:- වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමැතිවරයා වශයෙන් ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් මෙතෙක් නොවූ ආකාරයේ බදු යෝජනා රාශියක් ඉදිරිපත් කළා. දැන් ඒවා එකින් එක ක්‍රියාත්මක වීම ආරම්භ වී තිබෙනවා. ව්‍යවසායකයකු හැටියට නොව පුරවැසියෙක් හැටියට සමස්තයක් වශයෙන් ඔබ මේ ගැන සිතන්නේ කුමක් ද?

පිළිතුර:- සෘජු බදු හා වක්‍ර බදු යනුවෙන් බදු වර්ග දෙකක් තිබෙනවා. මේ අතුරු අයවැයේ දී සෘජු බදු වැඩිකර ගැනීමට විශේෂයෙන් ඉලක්ක කර තිබෙනවා. ව්‍යවසායක භූමිකාවෙන් ඔබ්බට ගොස් මේ දෙස බලනවිට එය මේ අවස්ථාවේ නොකරම බැරි දෙයක් හැටියට පෙනෙනවා. මේ වනවිට ආර්ථිකයේ දැඩි උද්ධමනකාරී තත්ත්වයකට සියලු දෙනා මුහුණ දී සිටිනවා. මේ වනවිට උද්ධමනය සියයට 70 ඉක්මවා ගිහින්.

ආහාර උද්ධමනය සියයට 93 ඉක්මවා තිබෙනවා. මේ පසුබිමේ රට ඉදිරියට ගෙනයාම ලොකු ප්‍රශ්නයක්. රජයේ ආදායම හා වියදම අතර පරතරය සියයට දහයක් දක්වා වර්ධනය වූවා. මෙවන් පසුබිමක කවුරු රට පාලනය කළත් රජයක් හැටියට කළ යුතු ප්‍රධාන කාරණා කීපයක් තිබෙනවා. උද්ධමනය නැතිනම් දිගුකාලීනව භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාමේ වේගය පාලනය එතැන දී අත්‍යවශ්‍යයි. රටක් හැටියට උද්ධමනය පාලනයේ දී ආර්ථිකයේ හැකිලීමක් ද සිදුවෙනවා.

පසුගිය කාලයේ මහ බැංකුව ට්‍රිලියන ගණනින් මුදල් අච්චු ගසා ආර්ථිකයට මුදාහැරියා. මේ නිසා ආර්ථිකය ප්‍රසාරණය වුණා. ඉල්ලුම වැඩිවීමක් මෙයින් සිදු වූවා. මේ නව මුදල් න්‍යායේ ප්‍රතිඵලයක් වශයෙන් උද්ධමනය ඉහළ ගියා. ඉල්ලුමට සරිලන සැපයුම නොමැතිවීමත් මෙයට බලපෑවා. දැන් උද්ධමනය පාලනයට මීට ප්‍රතිවිරුද්ධ ක්‍රියා කරන්න වෙනවා. එනිසා අනිවාර්යයෙන් බදු වැඩි කරන්න වෙනවා. ඒ වගේම ආර්ථිකයට මුදල් සැපයුම අඩු කරන්නත් වෙනවා. ජනතාව අතේ ගැවසෙන මුදල් බැංකු පද්ධතියට ගන්න වෙනවා. මෙසේ කරන විට සමාහාර ඉල්ලුම අඩු වෙනවා. භාණ්‍ඩ හා සේවා මිල දී ගැනීමේ හැකියාව මේ හේතුවෙන් අඩු වෙනවා. උද්ධමනය පාලනයවීමත් මෙමඟින් සිදුවන අතරම රටේ ආර්ථික කටයුතු අඩපණවීමකුත් දැකගන්න පුළුවන්. රැකියා අහිමිවීම, පෞද්ගලික අංශයේ වර්ධනය අඩාලවීම මේ පසුබිමේ සිදුවෙනවා. අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ මේ තත්ත්වයට මුහුණදිය යුතුයි.

රජයේ ආදායම හා වියදම අතර පරතරය පියවා ගැනීමට අපට සිදුවෙනවා. දැන් ලංකාව මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිටිනවා. මූල්‍ය අරමුදල කරන්නේ ගෙවුම්ශේෂ හිඟයක් ඇති රටවලට එම හිඟය පියවා ගැනීමට ණය පහසුකම් සැපයීමයි. සියයට දහයක්ව ඇති රාජ්‍ය ආදායම් වියදම් පරතරය සියයට පහකට අඩු කරගන්න කියා මූල්‍ය අරමුදල කියනවා. කැමැති වුවත් අකමැති වුවත් අපට මූල්‍ය අරමුදලට යන්නම වෙනවා.

ණය ගෙවීම පැහැරහැර ඇති අවස්ථාවක ජාත්‍යන්තර විශ්‍වාසය තහවුරු කර ගැනීමට ඒ පියවර නොගෙනම බැහැ. මූල්‍ය අරමුදල අපට ණය දෙනවා මෙන්ම ඔවුන් කොටසක් තබාගෙන ලංකාව මුදල් පරිහරණය කරන ආකාරය පාලනය කරනවා. මූල්‍ය අරමුදල අපට ණය දුන්නොත් ජාත්‍යන්තරයේ අපට ණය දීමට බියෙන් සිටින අයගේ බිය දුරුවෙනවා. එනිසා මේ වේලාවේ මූල්‍ය අරමුදලට නොගිහින්ම බැහැ. රටේ තිබෙන තත්ත්වය දෙස බලනවිට බදු වැඩි කිරීමත්, මූල්‍ය අරමුදලට යාමත් යන දෙකම කරන්න වෙන බව පුරවැසියෙක් හැටියට කියන්න පුළුවන්. මේ වේලාවේ පටි තද කරගන්නම වෙනවා. ගෙවුණු වසර කීපයක රටේ බදු ආදායමත් රජයේ වියදමත් සසඳා බැලුවොත් මේ කාරණය හොඳින් තේරුම් ගන්න පුළුවන්. බදු ආදායම නැංවීමට කටයුතු කරන විට අමාරුවක් දැනෙනවා. පුරවැසියෙක් හැටියට මේ බදු නැංවීමෙන් මට පෞද්ගලිකව රිදුනත් රටේ තත්ත්වය අනුව එයට විරුද්ධවීමේ සදාචාරාත්මක අයිතියක් අපට නෑ.

ලංකාවේ සෘජු හා වක්‍ර බදු අතර පවතින අනුපාතය හොඳ නැහැ. දියුණු ආර්ථිකයක සෘජු බදු අනුපාතය ඉහළයි. වක්‍ර බදු අනුපාතය අඩුයි. තරාතිරමකින් තොරව වක්‍ර බදු ගෙවනවා. රටේ සුළු පිරිසක් අතර වැඩි සම්පත් ප්‍රමාණයක් බෙදීයාම “ගිනි කොෆිෂන්ට්” නමින් හැඳින්වෙනවා. ලංකාවේ මේ තත්ත්වය ඉහළ මට්ටමකට ගොස් තිබෙනවා. තිබෙන කෙනාට තිබෙනවා. නැති කෙනාට ඇත්තෙම නැහැ. ඒත් වක්‍ර බදු මේ නැති අයත් ගෙවනවා. මේ තත්ත්වය වෙනස් කරන්න නම් සෘජු බදු වැඩි කරන්න වෙනවා. දියුණු ආර්ථිකයක වක්‍ර බදුවලට සංසන්දනාත්මකව ඍජු බදු දායකත්වය වැඩියි. වැඩියෙන් බදු ලිපි ගොණු විවෘත කිරීමට අවධානය යොමුවීම වැදගත් කරුණක්. නිසි පරිපාලනයකින් මේ කටයුතු කිරීම අවශ්‍යයි. සෘජු බදු හා වක්‍ර බදු අතර පවතින මේ අසමතුලිතතාව නැතිකර ගැනීම අවශ්‍යම වෙනවා. රජයේ ආදායමට ජාතික ආර්ථිකයට සෘජු බදු දායකත්වය වැඩි කිරීමට අවධානය යොමු කර තිබීම සාධනීය තත්ත්වයක්.

ප්‍රශ්නය:- මේ බදු යෝජනාවලට ව්‍යාපාරිකයන් ව්‍යවසායකයන් බොහෝ දෙනෙක් අඩු වැඩි වශයෙන් චෝදනා කරනවා. මේවා ව්‍යාපාරිකයන් තැතිගන්වනසුළු යෝජනා පමණක් නොව මේ බදු දරා ගැනීමට නොහැකිව ව්‍යාපාර වැසීයන තත්ත්වයට පත්ව ඇති බවට චෝදනා නැගෙනවා. මේ පිළිබඳ ඔබේ අදහස කුමක් ද?

පිළිතුර:- ව්‍යාපාරිකයෙක්, ව්‍යවසායකයෙක් හැටියට මට මේ කාරණය ටිකක් වෙනස් විධියට දකින්න වෙනවා. රට මුහුණ දී සිටින තත්ත්වය හමුවේ බදු වැඩි කරන්න වෙනවා. ඒකට විරුද්ධ වෙන්න අපට බැහැ. එහෙත් යෝජනා කර තිබෙන බදු ටිකක් සැර වැඩියි. දැන් අපි ඉන්නේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නටත් වඩා එහා තැනක. එවැනි තත්ත්වයක මේ බදු දරාගන්න අමාරුයි. බැක්ටීරියා සහ වයිරස් ප්‍රහාරවලට අමතරව දිලීර ප්‍රහාරයකුත් ආර්ථිකයට තිබුණා. 2012දී සියයට හතක් පමණ වූ ආර්ථික වර්ධන වේගය 2019 අවසන් කාර්තුව වනවිට සියයට 1.6කට පමණ අඩු වී තිබුණා. ලංකාවට කොරෝනා එන විටත් ආර්ථිකයට පහර වැදී තිබුණා. ආර්ථික වර්ධනය සෘණ මට්ටමකට යන තැනක ලංකාව සිටියා.

අද වනවිට ලංකාව සෘණ ආර්ථික වර්ධනයක් වාර්තා කරන්නේ ඉහත කී පසුබිම යටතෙයි. ලබන වසරේදී මේ සෘණ අගයේ යම් අඩුවීමක් පෙන්නුම් කරාවි. කොහොම වුවත් ලංකාව ආර්ථික වශයෙන් ඉන්නේ නරක තැනක. ගෙවුම්ශේෂ හිඟය මේ තත්ත්වයට විශේෂ බලපෑමක් කර තිබෙනවා. මේ කුමන පසුබිමක් යටතේ වුවත් සෘජු හා වක්‍ර බදු එක්වරම වැඩිවීම ආයතනවලට දරාගන්න පුළුවන් ද කියා ප්‍රශ්නයක් තිබෙනවා. ආයතනවල ලාබයට අයකළ සියයට 24ක බද්ද දැන් සියයට 30ක් ගෙවන්න වෙනවා. ඒ ලාබය එළියට ගන්නවා නම් තවත් සියයට 15ක් ගෙවිය යුතුයි. මෙහෙම බැලුවොත් යම් ආයතනයක් ලබන ලාබයෙන් සියයට 45ක් බදු වශයෙන් ගෙවන්න වෙනවා. අද වනවිට ආයතනවලට ලාබ ලබන්න පුළුවන් ද කියන එකත් ප්‍රශ්නයක්.

වැට් අනුපාතය වැඩි කිරීම සමාජ ආරක්‍ෂණ දායකත්ව බද්ද පැනවීම යනාදියත් සමග ලොකු බලපෑමක් ව්‍යාපාරික ආයතනවලට සිදුවෙනවා. වැට් නැවත ක්ලේම් කළත් සමාජ ආරක්‍ෂණ දායකත්ව බද්ද එහෙම කරන්න බැහැ. මේකට කියන්නේ “කැස්කේටින් ඉෆෙක්ටි” කියලයි. මේක අපට පිරිවැයක්ම වෙනවා. මේවායේ එකතුව ගත්තාම සියයට විස්සක් විතර වේවි. මේක ලාබය මත නෙමෙයි. මේ වැඩිවීම ව්‍යාපාරික ආයතනවලට කොතරම් දුරට දරා ගන්න පුළුවන් ද කියන එක තවත් ප්‍රශ්නයක්.

මුලින් වැට් අය කළේ රුපියල් මිලියන 300ක වාර්ෂික ආදායමක් ලැබූ ආයතනවලින්. දැන් මේ සීමාව වාර්ෂික ආදායම රුපියල් මිලියන 120 දක්වා අඩු කර තිබෙනවා. මේ නිසා බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මේ බද්දට යටත් වෙනවා. එක පැත්තකින් මේ හඳුන්වාදීම හොඳයි. නැති නම් බදු ගෙවීමේ අසමතුලිතතාවක් ඇති වෙනවා.

එසේ නොවුණොත් එකම භාණ්ඩය නිපදවන ආයතන වුවත් වෙළෙඳපොළේ දී සමාන පිටියක් නෙමෙයි තිබෙන්නේ. එහෙත් නව බදු යෝජනා හරහා ඒ තත්ත්වය සෑහෙනදුරට සමනය කර තිබෙනවා. තරා තිරමකින් තොරව වක්‍ර බදු ගෙවනවා නම් මේ බදුත් තරාතිරමකින් තොරව ගෙවිය යුතුයි. ගෙවුණු වසර දෙකහමාරක් තිස්සේ අපි හොඳටම බැට කෑවා. දැන් ඉන්නේ හතිවැටිලා. මීට වසර විස්සකට කලින් රයිගම් කියල එකක් කවුරුත් දන්නෙ නැහැ. ඒ වගේම මීට වසර විස්සකට කලින් තිබූ සමහර ලොකු සමාගම් දැන් නැහැ. මෙයින් කියැවෙන ලොකු පණිවිඩයක්  තිබෙනවා. මේ සමාගම් නැති වුණා කියා රට නැති වෙන්න බැහැ. ඒ නිසා අලුත් ව්‍යාපාර මේ රටේ ගොඩනැගෙන්න ඕන. පසුගිය කාලයේ ඇති වූ ප්‍රශ්න සමග බොහෝ සුළු හා මධ්‍ය ව්‍යාපාර වැසී ගියා. ඉතිරි වී තිබෙන ටිකට මේ වගේ බදු පැනෙව්වාම ඒවාට අත්වන ඉරණම ගැන සිතන්න ඕන.

බදු එපා කියා මම කොහොමටවත් කියන්නේ නැහැ. 2019දී බදු ප්‍රතිපත්තිය ලිහිල් කිරීම කළ ලොකු වැරැද්දක්. මේ නිසා විශාල වශයෙන් බදු ආදායම අහිමි වුණා. ලක්‍ෂ දහය ඉක්මවා තිබූ බදු ලිපිගොනු ගණන දැන් ලක්‍ෂ පහකටත් වඩා අඩු වී ඇති බව කියැවෙනවා. ආදායම් බදු ගෙවන ආදායම් සීමාව ඉහළ නැංවීම මෙයට හේතුවූවා. මෙහෙම බදු ආදායම් අඩු වුණාම රටේ එදිනෙදා වියදම්වත් කරන්නේ කොහොමද? රටේ ආදායම් වියදම් අතර ලොකු අසමතුලිතතාවක් තිබෙනවා.

රටේ සියලු දෙනා නිශ්චිත කාලයකට පටි තදකරගන්න සූදානම්. එහෙත් ඒ කාලයෙන් පසු සහනයක් ලැබෙනවා කියන සහතිකය රජයෙන් දිය යුතුයි. විනාශ වූ ජපානය නැගිට්ටේ එහෙමයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රැක ගන්නේ නැතිව රටට අනාගතයක් නෑ. රටක ආර්ථිකයේ ජීවනාලිය සුළු හා මධ්‍ය ව්‍යවසාය කියන්නේ ඒ නිසයි. එනිසා මේ ආයතන වැටීම නවත්වා ඒවාට ජීව රුධිරය ලබාදීම සියලු දෙනාගේ වගකීමක්. දිගුකාලීන ජාතික සැලැස්මක් මේ ක්ෂේත්‍රයට අවශ්‍යයි.

ධනවාදී ආර්ථික ක්‍රමයට සියයට අසූවක් ආර්ථික කටයුතු හසුරුවන්නේ පෞද්ගලික අංශයයි. මේ අංශය අර්බුදයට ගියොත් නිර්මාණය වන්නේ ඉතා දරුණු අර්බුදයක්. යෝජනා ගේන්න කතා කරන්න පුළුවන්. මේ මොනවා කළත් බදු දැල හරියට එලාගත්තෙ නැත්නම් වැඩක් නැහැ. බදු පරිපාලනය හරියට නූනොත් වැටෙන්නේ පරණ තැනටමයි. එනිසා බදු යෝජනාවල ඉලක්කම් තිබුණටම වැඩක් නෑ.

ප්‍රශ්නය:- රඳවා ගැනීමේ බද්ද නැවත හඳුන්වාදීම නව බදු යෝජනාවල දක්නට ලැබෙන විශේෂ ලක්‍ෂණයක්. ඒ වගේම ලංකාවේ සෘජු බදු හා වක්‍ර බදු අනුපාතයේ තිබෙන අසමතුලිතතාව ගැනත් බොහෝ දෙනා කතා කරනවා. මේ කාරණා පිළිබඳ ඔබේ අදහස කුමක් ද?
පිළිතුර:- ඇත්තටම රඳවා ගැනීමේ බද්ද නැවත හඳුන්වාදීම මම දකින හොඳ ලක්‍ෂණයක්. එදා යහපාලන ආණ්ඩුව බදු ප්‍රතිසංස්කරණයක් කළා. අපට පැහැදිලි ස්ථාවර බදු ප්‍රතිපත්තියක් නැහැ.

ඒ ඒ අවස්ථාවට අනුව මෙවලමක් හැටියට බදු පාවිච්චි කරනවා. ඒ බදු ප්‍රතිසංස්කරණ වසර පහකට වෙනස් නොවන බව ප්‍රකාශ කළා. ඒත් අද වන විට මේවාට සිදුව තිබෙන්නේ මොකක්ද? ඉන්දියාව දියුණු මට්ටමක ඉන්නත් ලංකාව එසේ නොවන්නත් හේතුව මොකක්ද? ඒ රටේ රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා නම් කවුරු ආණ්ඩු කළත් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය ඒකට හොඳ උදාහරණයක්. ඒක තීරණය කරන්නේ එරට දේශපාලනඥයන් නෙමෙයි. විදේශ සේවාවේ සිටින ප්‍රවීණයන්.

මූල්‍ය ප්‍රතිපත්ති ෆිස්කල් ප්‍රතිපත්තිත් එහෙමයි. ඒත් අපේ රටේ එහෙම එකක් නැහැ. එදා හඳුන්වා දුන් බදු ප්‍රතිසංස්කරණ 2019 අගභාගයේ කණපිට හැරෙව්වේ ඒ නිසයි. අවශ්‍යතාවක් නොවූවත් කලින් සිටි අය කළ නිසාම වෙනස් කිරීම මේ රටේ පුරුද්දක්. ඒ ආකාරයට දුරදිග නොබලා රඳවා ගැනීමේ බදු නැති කිරීම ලොකු වැරැද්දක්.

රඳවා ගැනීමේ බද්ද රටකට ඉතාම ලේසියෙන් හසුරුවන්න පුළුවන් බද්දක්. උපයන විට ගෙවීමේ බද්ද මේකට හොඳ උදාහරණයක්. මේ බද්ද අයකරන ආකාරය එම බද්ද හොඳද නරකද කියන එක නෙමෙයි මේ කියන්නේ. පොලී ආදායම් ලබන විට එයින් සියයට පහක් බදු වශයෙන් අයකර ගන්නවා. ලාභාංශවලට අයකරන සියයට 15, සේවා සැපයීමේදී ලබන ආදායමෙන් අය කරන ගාස්තු, කුලී ආදායම් මත අය කරන ගාස්තු යනාදිය ඒ ගෙවීම් කරන මොහොතෙම අය කරගන්න පුළුවන්. මේ බදු පරිපාලනය හරි පහසුයි.  ඒ වගේම ලොකු පරිපාලන ජාලයක් අවශ්‍යත් නැහැ. බදු පැනෙව්වා වගේ නෙමෙයි බදු අයකර ගැනීම ලොකු ප්‍රශ්නයක්.

සෘජු බදු මෙතැනදී විශේෂයි. එනිසා එදා රඳවා ගැනීමේ බදු අහෝසි කිරීම ආර්ථිකයට ලොකු ප්‍රශ්නයක් වුණා. රජයේ ආදායම අඩුවීමට මේ කාරණය ලොකුවට බලපෑවා. රජයේ ආදායම අඩුවීම නිසා එදිනෙදා වියදම් පියවා ගන්න පවා මුදල් අච්චු ගැසුවා. එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය ඉහළ ගියා. රඳවා ගැනීමේ බදු ඉවත් කරන්න කියා කවුරුන් හෝ කිව්වාද? ආණ්ඩුවට මුදල් නොගෙන ඒ මුදල් ආයතනවලම රඳවා හොඳ විධියට යොදාවි කියා රඳවා ගැනීමේ බදු අහෝසියෙන් බලාපොරොත්තු වෙන්න ඇති. ඉල්ලුම වැඩි කිරීම හරහා නිෂ්පාදනය වැඩි කර ආර්ථිකය වේගවත් කිරීම අපේක්‍ෂා කළා. එහෙත් අවාසනාවට කොරෝනා ආවා. නව කර්මාන්ත බිහි වුණේ නෑ. තිබූ ඒවා වැසුණා.

ඒ නිසා බලාපොරොත්තු කඩ වුණා. ඇති වූ ඉල්ලුම ආනයනවලට ගියා. රටේ ඩොලර් අනවශ්‍ය දේට ගියා. බදු ආදායම් අහිමි වුණා. රට බංකොලොත් වුණා. ආර්ථිකයේ මනා පාලනයක් නොතිබීමේ බැරෑරුම් ප්‍රතිවිපාක අද සැමට දකින්න පුළුවන්. හරියට ආර්ථිකය පාලනය කළා නම් අද මේ විපත ඇති වෙන්නේ නැහැ. එනිසා දැන්වත් දිගු කාලීන සැලසුමක් ඇතිව නොවෙනස් ප්‍රතිපත්ති රටට අවශ්‍යයි. දේශපාලනඥයන්ගේ ඡන්ද දිනීම අරමුණු කරගත් ප්‍රතිපත්තිවලින් තොරව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. එසේ නොකළොත් රටක් ඉතිරි වන්නේ නැහැ.

ඒ වගේම මුලින් කී ආකාරයට මෙරට සෘජු හා වක්‍රබදු අනුපාතයේ ලොකු විෂමතාවක් තිබෙනවා. දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස වක්‍ර බදු අනුපාතය තව අඩු වී සෘජු බදු දායකත්වය වැඩි විය යුතුයි. දැන් පනවා ඇති සෘජු බදු අනුව යම් වෙනසක් ඉදිරියේදී සිදුවෙන්න පුළුවන්. ඒත් එය ප්‍රමාණවත් වෙන එකක් නැහැ. එනිසා මේ කාරණය සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුයි. මේවා නොකර ගොඩයාමක් නැහැ.

ප්‍රශ්නය:- රටක ක්‍රියාත්මක අපනයන ආශ්‍රිත කර්මාන්ත සහ සේවා එම රටේ විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධාන මාර්ගයයි. එහෙත් නව බදු හරහා මෙම ක්ෂේත්‍රය උත්තේජනය කිරීමට වඩා අධෛර්යවත් කරන බවට මත පළ වෙනවා. අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන ප්‍රධානියෙක් වශයෙන් ඔබ මේ සම්බන්ධව දක්වන ආකල්පය කෙබඳුද?

පිළිතුර:- අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් නොකළොත් අනාගතයේ බරපතළ ප්‍රශ්න ඇති වෙනවා. ඩොලර් ප්‍රශ්නය විසඳගන්න වෙන්නේ අපනයනය හරහා. හැමදාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න පුළුවන්ද? අනික ඒවායෙන් ලැබෙන්නේ ණය. තවත් ණය අරගෙන ගෙවන්නේ කොහොමද? මේ දක්වා මොනවා කතා කළත් අපනයන වර්ධනට අවශ්‍ය නියම උත්තේජනය දුන්නේ නැහැ. ඒක මේ ආර්ථිකයේ තිබෙන ලොකු ප්‍රශ්නයක්. අපනයන ආදායම් මත සියයට 30ක බද්දක් පැනවීම නව බදු යෝජනාවල ඉතාම නරක යෝජනාව හැටියට මම දකිනවා. සියයට 14ක් වූ බද්ද සියයට 30ක් කිරීම අපනයනකරුවන් අධෛර්යවත් කරන්නක්.

සෘජු විදේශ ආයෝජකයන් මේ රටට එනවා නම් ඔවුන් මේ බදු පිළිබඳ සොයා බලනවා. රටට ආදායම ලබාගැනීම පිළිබඳ විවාදයක් නැහැ. ආයෝජකයන්ට මොන රටත් එකයි. ඔවුන් බලන්නේ වඩා පහසු පරිසරයක්. ඒ නිසා මේවා ආයෝජනවලදී අහිතකරව බලපාන්න ඉඩ තිබෙනවා. බදුවලින් නිදහස්ව තිබූ තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයට සියයට 30ක බද්දක් පැනවීමත් තවත් බරපතළ කාරණයක්. මේ ක්ෂේත්‍රයේ වැඩ කරන අයට පරිගණකය තබාගෙන මේ රටේ සිටියත් වෙනත් රටක සිටියත් එකයි. ඔවුන් සිටින තැන ඉඳගෙන අදාළ සමාගමට සේවා සපයනවා.

ලංකාවට මේ සේවා සමාගම් එන්නේ සාපේක්‍ෂ අඩු මුදලට එම ශ්‍රමය ලබාගන්න පුළුවන් නිසයි. ආදායම් මේ රටට එනවා. ලාබය මේ රටින් පිටට ගෙනයන බවට තර්ක කරන්න පුළුවන්. එහෙත් මේ කර්මාන්ත හරහා මේ රටේ ගොඩනැගෙන යටිතල පහසුකම්, පුහුණු ශ්‍රමය අමතක කරන්න බැහැ. එනිසා මෙවන් බදු අය නොකරන රටවලට මේ සමාගම් යන්න ඉඩ තිබෙනවා. එනිසා මේ ක්ෂේත්‍රයට පනවා ඇති බදු අහිතකරව බලපාන්න පුළුවන්.


රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ

සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ