බදු බරෙන් උද්ධමනයෙන් බැට කන්නෝ


රජයේ නව බදු සම්බන්ධයෙන් වෘත්තිකයන්ගෙන් එල්ලවී තිබෙන්නේ දැවැන්ත විරෝධතාවකි. රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිලක් තුන් ගුණයකින් හෝ ඊටත් ඉහළ අගයකින් වැඩිවී තිබේ. ඒ හේතුවෙන් අද රුපියල් සියයක වටිනාකම රුපියල් 30 ක් බවට පත්ව තිබෙන බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි.

භාණ්ඩ හා සේවා මිල එසේ ඉහළ යාම නිසා උද්ධමනයද ඉහළ ගොසිනි. එසේම ණය පොලී අනුපාත ද ඉහළ යාම හේතුවෙන් ණය වාරිකද නොකියාම හා නොදන්වාම ඉහළ දමා හමාරය. සියල්ල එසේ වූවාට රටේ අතිවිශාල බහුතරකයගේ ආදායම තිබුණාට වඩා කඩා වැටී ඇවුරුදු කිහිපයකි. ඒ නිසා ලංකාවේ දුප්පතුන් සංඛ්‍යාවද ඉහළ ගොසිනි.

ලෝක බැංකුව කියන හැටියට 2021 දී දවසකට රුපියල් 1,332 ක ආදායමක් උපයන පිරිස ජනගහනයෙන් සියයට 13.1 කි. 2022 දී එය සියයට 25.6 දක්වා ඉහළ ගොසිනි. එසේ නම් මෙසේ දුප්පතුන් ගොඩට වැටී සිටින්නෝ මධ්‍යම පාන්තිකයෝ මිස අන් කවරහුද?
බදු ඉහළ නැංවීමට එරෙහිව පාරට බැස සිටින්නෝ ඔවුහුය.

රාජ්‍ය අංශයේ සේම පෞද්ගලික අංශයේ සෙවකයෝද ඒ අතර සිටිති. පාරට බැසීමට අකමැති ඇතැම් අය රට හැර ගොසිනි. වෛද්‍යවරු ඒ අතරින් ප්‍රමුඛයෝය. ලංකාවේ ජනප්‍රිය පෞද්ගලික බැංකුවක ඉහළ කළමනාකරණයේ සිටි වෘත්තිකයන් 650 ක් පමණ රට හැර ගියේද මෙවැනි හේතු නිසා බව දැන් ප්‍රකටය. පවතින තත්ත්වය හමුවේ වෘත්තිකයන් රට හැර යාම තවත් ඉහළ යනු ඇතැයි කියැවෙයි.

බදු ගෙවිය යුතු බව කවුරුත් දනිති. ඒ නිසා බදු ගෙවීමට කවුරුත් අකැමැති බවක් කිව නොහැකිය. බදු ගෙවන සියල්ලන්ටම තිබෙන බරපතළ ප්‍රශ්නය වන්නේ තමන් ගෙවන බදුවලින් නිකමුන් පෝෂණය කිරීමය. ඒ බදු  සල්ලි කොල්ලකෑමය. ගෙවන බදු රටේ යහපතට සහ තමන්ගේම යහපතට යොදවන බවක් නොපෙනෙන නිසා බදු ගෙවීමට බරපතළ විරෝධයක් ගොඩ නැගීම සහේතුකය. බදු අය කරගැනීමේ වගකීම පැවරී තිබෙන්නේ දේශීය ආදායම්, සුරාබදු හා රේගු දෙපාර්තමේන්තුවලටය. එහෙත් ඒ ආයතන තම වගකීම් නිසි ලෙස ඉටු නොකරයි.

හොඳම උදාහරණය කැසිනෝ බද්දය. කැසිනෝ සමාගම් තම ජීවිත කාලයේදී එක්වරක් පමණක් ගෙවිය යුතු බද්දක් පැනවූයේ 2015 දීය. එක් සමාගමක් ගෙවියයුතු බද්ද රුපියල් බිලියනයකි. රටේ පවතින කැසිනෝ සමාගම් ගණන හතරකි. ඒ අනුව ඒ සමාගම් හතරෙන් අය කරගත යුතු බදු ආදායම රුපියල් බිලියන හතරකි. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව 2021 දී හෙළිකළ හැටියට ඒ සමාගම් හතර මගින් ඒ වනවිටත් ගෙවා නැති බදු ප්‍රමාණය රුපියල් බිලියන 2.67කි. ගතවී තිබෙන කාලය අවුරුදු හයකි.

එහෙත් බදු අය කරගන්නා රාජ්‍ය ආයතන නිහඬය. සාමාන්‍ය මනුෂ්‍යයෙක් බදු නොගෙවා සිටියොත් අදාළ රාජ්‍ය නිලධරයෝ එසේ නිහඬව සිටිත්ද? නැත, නඩු හා දඩ නිසැකය. එහෙත් බදු නොගෙවන කැසිනෝ සමාගම්වලට නඩුත් නැත. දඩත් නැත. ඒ නිසා ඒ සමාගම් 2015 දී ගෙවිය යුතු බදු අදටත් නොගෙවා සිටියි.

එහෙත් මේ අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණය නඩත්තු කිරීමට අතිවිශාල මුදල් සම්භාරයක් පොම්ප කරයි. 2021 වන විට රජයේ සේවකයන් සංඛ්‍යාව 14,93,000 කි. ඔවුන්ගේ වැටුප් හා වේතනවලට පමණක් 2021 දී වැය කර තිබෙන මුදල රුපියල් බිලියන 845 කි. එය 2021 දී රජය උපයාගත් ආදායමෙන් සියයට 58 කි.

ඒ අනුව මේ ඵලදායීතාවක් නැති, අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණය නඩත්තු කිරීමට තව තවත් බදු ගෙවන්නේ කුමකටදැයි බදු ගෙවන්නන්ට කල්පනාවීම අහේතුකද? හාස්‍යයට කාරණය වී තිබෙන්නේ බදු රැස්කර ගැනීමේ වගකීම පැවරී තිබෙන එහෙත් එය නිසි ලෙස ඉටු නොකරන රාජ්‍ය ආයතනවල සේවකයන්ද අසාධාරණ බදුවලට එරෙහිව පාරට බැස සිටීමය. රුපියල අවප්‍රමාණයවීම, උද්ධමනය ඉහළයාම, බැංකු ණය පොලී අනුපාත වැඩිවීම යනාදී හේතු ඔවුනට ද අදාළය. එහෙයින් ඔවුනගේ විරෝධයද සහේතුකය.

කොයි කාගේත් විරෝධයට ප්‍රමුඛ හේතුව භාණ්ඩ හා සේවා මිලත් උද්ධමනයත්, ණය පොලී අනුපාතත්, ඩොලරයේ වටිනාකමත් ඉහළ ගොස් ආදායම් පල්ලම් බැස තිබියදී ඉහළ අනුපාතවලින් බදු වැඩි කිරීමය. ගන්නා බදු කොල්ලකන බවත් ඒ බදු සල්ලි නාස්තියට හා දූෂණයට ගොදුරු වන බවත් දැන දැනම තව තවත් බදු ගෙවීමට පෙළඹෙන්නේ කවුදැයි ප්‍රතිපත්ති සම්පාදකයන්ට නොපෙනීම අවාසනාවකි.

ජනතාවගෙන් ගන්නා බදු සල්ලිවලට කරන්නේ කුමක්දැයි බදු ගෙවන ජනතාවට දැකගත හැකි විශ්මිත ක්‍රමවේදයක් දැනටත් රටේ නොපවතියි. තොරතරු දැන ගැනීමේ පනත යටතේ එවැනි ඉල්ලීමක් කළත් බොහෝ විට තොරතුරු නොදෙයි. එසේ නොදී සිටින්නෝද රාජ්‍ය නිලධාරීහුය.

රාජ්‍ය සේවය සම්බන්ධයෙන් පවතින මේ කලකිරීම, අප්‍රසන්නභාවය සහ ජුගුප්සාව නිසා අයුක්ති සහගත සහ අසාධාරණ බදුවලට එරෙහිව පෞද්ගලික අංශයෙන් විරෝධතාවක් එල්ලවීම අහේතුක නොවේ. මක් නිසාද යත් පෞද්ගලික අංශයේ සේවකයන්ට පින් පඩි නොගෙවන හෙයිනි.

නාස්තිය, දූෂණය, අකාර්යක්ෂමතාව, ඵලදායිතාවක් නැතිකම, හොරකම, කොල්ලකෑම යනාදිය තිබියදී ඉහළ බදු පනවා මුදල් රැස් කිරීම හිල් තිබෙන භාජනයකට වතුර රැස් කිරීමට සමාන ක්‍රියාවකි. මක් නිසාද යත් එසේ රැස්කරන ධනය අර හිල්වලින් කාන්දු වන හෙයිනි. හොරකම් හා කොල්ලකෑම් තිබෙන රටක රජය ජනතාවගෙන් බදු අය කිරීම වැරැදි බව දීඝ නිකායේ කූට දත්ත සුත්‍රයෙහිද සඳහන් වෙයි. බුද්ධ දේශනා නිතර හුවා දක්වන දේශපාලකයන් අධික අසාධාරණ සහ අයුක්ති සහගත බදු පැනවීමට පෙර ඒ බුදු බණ ද මෙනෙහි කරගත යුතුය.

රජයේ බදු ආදායම අඩුවීම අර්බුදයට එක් හේතුවක් මිස එකම හේතුව නොවේ. රාජ්‍ය මුල්‍ය කළමනාකරණය දුර්වලවීම ප්‍රබල  හේතුවකි. හොරකම් හා කොල්ලකෑම් යහමින් සිදුවන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයෙහි පවතින හිල් සහ දුර්වලතා නිසාය. ඒ නිසා අකාර්යක්ෂම හා දූෂිත කළමනාකරණ පිළිවෙත් හා ක්‍රමවේද එලෙසම පවත්වාගෙන යමින් බදු පමණක් ඉහළ නැංවීමෙන් අපේක්ෂිත අරමුණු ඉටුනොවේ. බදු ගෙවන ජනතාවට ඇත්තේ සාධාරණ සැකයකි. එසේම බියකි. ඒ බිය සහ සැකය පහකිරීමට ප්‍රතිපත්ති සම්පාදකයන් කිසිවක් නොකරවන්නේද හිතාමතාම දැයි ඇත්තේ සැකයකි.

අනෙක් කාරණය අධ්‍යාපන, සෞඛ්‍ය හා ප්‍රවාහන ක්ෂේත්‍රවල නියුතු රාජ්‍ය ආයතන සහ ඒවායේ සේවයේ නියුතු සේවකයන් සහ නිලධාරීන් තම තමන්ගේ යුතුකම් හා වගකීම් නිසිලෙස ඉටුකරමින් ඒ සේවා කාර්යක්ෂමව සහ ඵලදායීව මෙහෙයවන්නේ නම් තමන් ඇතු‌ළු රටේ සමස්ත ජනතාවටම ඒ සේවා පෞද්ගලිකව සපයා ගැනීමට අධික බදු ගෙවමින් විශාල වැය බරක් දැරීමට සිදුනොවන බවද අවබෝධ කරගත යුත්තෝය.

අද රටේ ජීවත්වන මධ්‍යම පාන්තිකයන්ට ඇති විශාල වැය බරක් දැරීමට සිදුවී තිබෙන්නේ අධ්‍යාපන සෞඛ්‍යය සහ ප්‍රවාහන පහසුකම් පෞද්ගලිකව සපයා ගැනීමට සිදුවී තිබෙන හෙයිනි. ඔවුනට ඒවා පෞද්ගලිකව සපයා ගැනීමට සිදුවී තිබෙන්නේ ඒ ක්ෂේත්‍රවල රාජ්‍ය අංශයෙහි පවතින අකාර්යක්ෂමතා සහ ඵලදායිතාවක් නැති නිසාය. ඒ ක්ෂේත්‍රවලින් රාජ්‍ය අංශය කාර්යක්ෂම නම් සහ ඵලදායී නම් ඉහළ බදු ගෙවීමට වුවද මධ්‍යම පාන්තිකයන් කැමැති බව ඉහළ රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රතිපත්ති සම්පාදකයෝ අවබෝධ කරගත යුත්තෝය.

ලංකාවේ ප්‍රමුඛ ආර්ථික පර් යේෂණායතනයක් වන වෙරිටේ රිසර්ච් පවසන ආකාරය. 2021 අය-වැය යෝජනාවලින් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර තිබෙන්නේ සියයට හයක් පමණකි. ඒ අය-වැය යෝජනා 31 ක ප්‍රගතියද සියයට හයකි. ප්‍රගතිය හෙළි නොකළ යෝජනා ප්‍රතිශතය සියයට 48 කි. ඒවායේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 82 කි. ප්‍රගතිය හෙළි නොකළ පොරොන්දුවලට වෙන්කළ මුදල්වලින් සියයට 58 ක්ම වෙන්කර තිබෙන්නේ පොරොන්දු තුනකටය.

මුදල් ප්‍රතිපාදන වෙන්කළ සෞඛ්‍ය සේවා, ජල සැපයුම් සහ ළමා අධ්‍යාපන ව්‍යාපෘති රැසක්ද නොසලකා හැර තිබෙන බව වෙරිටේ රිසර්ච් කියයි. අය-වැය යෝජනා සම්බන්ධයෙනුත් පවතින්නේ එවැනි තත්ත්වයක් නම් අනෙක් ක්ෂේත්‍රවල කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව ගැන කළ යුත්තේ කවර කතාද? ඉදින් මේ අකාර්යක්ෂම සහ දූෂිත රාජ්‍ය යාන්ත්‍රණය නඩත්තු කිරීමට බදු ගෙවන්නට කැමැත්තෝ කවරහුද?

අය වැය ඉලක්කවත් නිශ්චිතව ගණනය කළ නොහැකි සහ තක්සේරු කළ නොහැකි රාජ්‍ය සේවයක් රටේ පවතින බව වෙරිටේ රිසර්ච්හි මතයයි. ඊට එක් උදාහරණයක් ලෙස ඔවුන් ගෙන හැර දක්වන්නේ දුම්වැටි සඳහා වන නිෂ්පාදන බද්දය. 2023 ජනවාරි 01 වැනිදා සිට ඒ බද්ද සියයට 20 කින් වැඩි කළේ දුම්වැටි නිෂ්පාදන බදු ආදායම රුපියල් බිලියන 140 ක් දක්වා වැඩි කර ගැනීමේ බලාපොරොත්තුවෙනි. වෙරිටේ රිසර්ච්හි ගණනය කිරීම් අනුව රජයේ ඒ බලාපොරොත්තු ඉටු නොවෙයි.

ඉන් රජයට උපයා ගත හැක්කේ රුපියල් බිලියන 92 ක ආදායමකි. බිලියන 140 ක බද්දක් උපයා ගැනීමට නම් දුම්වැටි නිෂ්පාදන බද්ද සියයට 147 කින් වැඩි කළ යුතු බව වෙරිටේ රිසර්ච් හි මතයයි. අකාර්යක්ෂම හා වගකීමෙන් තොරව කටයුතු කිරීම මුදල් අමාත්‍යාංශයෙහිද ස්වභාවය බව ඒ තොරතුරුවලින් අනාවරණය වෙයි. අසාධාරණ හා අයුක්ති සහගත බදු ගෙවන්නැයි කියන්නේ එවැනි රාජ්‍ය යාන්ත්‍රණයක් නඩත්තු කිරීමටද?

වැඩ කරන ජනතාව මත ඉහළ බදු බරක් පැටවුවද දෙස් විදෙස් මහා පරිමාණ සමාගම් හා ධනකුවේරයෝ බදු සහන ලබති. ඉහත කී ලෙස  කැසිනෝ සමාගම්වල හිමිකරුවෝ ද ඒ අතර සිටිති. උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ පිහිටුවන ව්‍යාපාරවලට පිරිනමන බදු නිදහස් කාලය අවුරුදු 25කි. උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස යම් ව්‍යාපෘතියක් හඳුනා ගැනීමේ බලය ඒ පනතෙන් පිරිනමා තිබෙන්නේ ආයෝජන මණ්ඩලයට සහ විෂයභාර ඇමැතිටය.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතට වැටෙන ව්‍යාපෘති සඳහා පිරිනමන බදු නිදහස් කාලය අවුරුදු 40 කි. එසේ බදු නිදහස පිරිනැමීමට අවශ්‍ය වන්නේ කැබිනට් අනුමැතිය පමණකි. පාර්ලිමේන්තුවේ අනුමැතියක්වත් ඊට අවශ්‍ය නොවේ. අර්බුද රැසකට මැදිවූ රටක් අවුරුදු 25 සිට 40 අතර කාලයක් එසේ බදු අය නොකිරීම හෙවත් බදු නිදහස් පිරිනැමීම හිඟන්නකු තරු පහේ හෝටලයකට ව්‍යාපාරිකයකු කැඳවා රාත්‍රී ආහාරය පිරිනැමීමකට සමානය. වැඩ කරන ජනතාව මත උසුලන්නට බැරි බරක් පටවා ඇත්තේ එබඳු රටකය. බදු අය කළ යුතුය. ලිච්ඡවීහු එය කළෝ මෙලෙසිනි.

රොන් ඇරගෙන සෙමින්
යන බිඟු ලෙසින් කුසුමින්
ලොවට දුක් නොදෙමින්
ගනිති අය පඬුරු පෙර නියමින්


(බුදුගුණ අලංකාරය 47 වැනි පද්‍යය)

සටහන - ගුණසිංහ හේරත්