බලය බෙදීමේ වර්තමාන දේශපාලනය


13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පවතින ජනප්‍රිය මතය වන්නේ එය ඉන්දියාවේ මැදිහත්වීම මත පිටතින් හඳුන්වා දෙන ලද්දක් බවය. ඒ 1987 දී දෙරටේ නායකයන් විසින් අස්සන් තැබූ ඉන්දු-ලංකා ගිවිසුමත් සමගය. එහෙත් අප අමතක නොකළ යුතු කාරණය නම්, ඉන්දීය මැදිහත්වීම සිදු වන්නට ප්‍රථම එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් සර්වපාක්ෂික සාකච්ඡාවක් පැවැත්වුණු බවය.

උතුරේ සන්නද්ධ කණ්ඩායම් හා ශ්‍රී ලංකා ආණ්ඩුව අතර ලංකාවේ ජනවාර්ගික ගැටුමට විසඳුම් සෙවීම සඳහා 1985 දී තිම්පු සාකච්ඡා පැවැත්විණි. ඊට සමගාමීව සර්වපාක්ෂික සාකච්ඡා මාලාවක් පැවැත්වුණු අතර ඒවායේදී පළාත් සභා ක්‍රමයක් පිළිබඳ සාකච්ඡා විණි. ඊටත් ප්‍රථමයෙන් දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමයක් යම් දුරකට ක්‍රියාත්මක විය. එමගින් දිස්ත්‍රික් මට්ටමින් සීමිත බලය බෙදා හැරීමේ ක්‍රියාවලියක් ඉදිරිපත් කෙරිණි.

1957 බණ්ඩාරනායක-චෙල්වනායගම් සාකච්ඡාවලදී රට සභා ක්‍රමයක් පිළිබඳ සාකච්ඡාවක් තිබිණි. එහෙත් එය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ලැබුණේ නැත. යළිත් 1965 දී එවක අගමැති ඩඩ්ලි සේනානායක හා එස්.ජේ.වී. චෙල්වනායගම් අතර බලය බෙදා හැරීම සඳහා සාකච්ඡා පැවැත්විණි. මේ අනුව බලන විට පෙනී යන්නේ බලය බෙදීම සඳහා වන සාකච්ඡා කාලයක් තිස්සේ තිබී ඇති බවය. ඒ වෙනුවෙන් උත්සාහ ගත් සෑම අවස්ථාවකදීම විපක්ෂය නියෝජනය කළ දේශපාලන පක්ෂ ඊට විරුද්ධ විය. සිංහල ජාතිකවාදී ඡන්ද ඊට හේතු විය. 1987 දී සිදු වූයේද එයයි. ඉන්දු- ලංකා ගිවිසුම හරහා ගෙනා පළාත් සභා ක්‍රමයට විපක්ෂ කණ්ඩායම් පමණක් නොව ආණ්ඩු පක්ෂයේම ඇතැම් පාර්ශ්ව ද විරුද්ධ විය.

ඒ අනුව එජාප ආණ්ඩුව යටතේ බලය බෙදා හැරීම සඳහා ගෙනා පළාත් සභා ක්‍රමයට එවක විපක්ෂය නියෝජනය කළ ශ්‍රීලනිපය හා ජවිපෙ විරුද්ධ විය. එහෙත් 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ නායකත්වයෙන් යුතුව ශ්‍රීලනිපය බලයට පත් වූ පසු බලය බෙදීම අරබයා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ද ගෙනාවේය. ඊට විරුද්ධව කටයුතු කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් විපක්ෂයයි. මෙයින් පැහැදිලි වන්නේ ශ්‍රීලනිපය හා එජාපය ආණ්ඩු බලය හොබවන විට බලය බෙදීම සඳහා කටයුතු කළ ද ඔවුන් විපක්ෂයේ සිටින විට ඊට විරුද්ධ වන බවය.

පළාත් සභා ක්‍රමය ගෙනාවේ ජනවාර්ගික ගැටුලවට විසඳුමක් හැටියටය. එහෙත් පළාත් සභා ක්‍රමය වැඩි වශයෙන් ක්‍රියාත්මක නොවූයේත් සුළු ජනයා වැඩි වශයෙන් වෙසෙන උතුරු හා නැගෙනහිර පළාත්වලය. එවකදී උතුරු නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධුරය දැරූ වර්ධරාජා පෙරුමාල් මහතා ඉදිරිපත් කළ මතභේදාත්මක අදහස් නිසා එම පළාත් සභාව විසුරුවා හරින ලදී. යළිත් 2009 දී යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු නැගෙනහිර පළාත් සඳහා පළාත් සභා මැතිවරණ පවත්වා එම සභා ස්ථාපිත කෙරුණි.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල ලබා දීම සම්බන්ධයෙන් බලයේ සිටි කිසිදු ආණ්ඩුවක් ක්‍රියාත්මක වූයේ නැත. ඊට බලපෑ ප්‍රධාන හේතුව නම් දකුණේ සෑම දේශපාලන පක්ෂයක්ම දේශපාලන බලය දිනා ගැනීමේදී සිංහල ජාතිකවාදී ඡන්ද කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන නිසාය. එසේම පළාත් සභා ක්‍රමය වැඩි වශයෙන් ක්‍රියාත්මක වූයේ දකුණේ පළාත්වල නිසා ඉඩම් හා පොලිස් බලතල විමධ්‍යගත කළ යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වූයේ නැත.

උතුරු හා නැගෙනහිර පළාත් හැරුණු විට සෙසු පළාත්හි පළාත්සභාවල බලය දිනා ගන්නේ බලයේ සිටින පක්ෂයයි. එබැවින් පළාත් සභාවලට පූර්ණ බලතල ලබා දිය යුතු බවට වන ඉල්ලීම් ඉදිරිපත් වන්නේ නැත. එය පුදුමයක් නොවේ. එහෙත් මේ ගැටලුව මතු වන්නේ උතුරු හා නැගෙනහිර පළාත් සභා පිහිටුවූ පසුය. උතුරු නැගෙනහිර පළාත්වාසී ජනතාවගේ ප්‍රකට මැසිවිල්ල වී තිබෙන්නේ ඔවුන් මධ්‍යම ආණ්ඩු පාලනය යටතේ නොසලකා හැරීම්වලට ලක්ව ඇති බවත් දෙවැනි ගණයේ පුරවැසියන් බවට පත්ව ඇති බවත්ය. එබැවින් තමන්ගේ ප්‍රාදේශීය නියෝජනයක් සහිත බල ව්‍යුහයක් අවශ්‍යය යන ඉල්ලීම ඔවුන්ගෙන් ඉදිරිපත් විය.

යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු නැගෙනහිර පළාත්වල පළාත් සභා පූර්ණ වශයෙන් පිහිටු වීය. ඒත් සමගම මුලින් ම පැමිණියේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නයයි. පොලිස් බලතල පිළිබඳ ප්‍රශ්නය අද වුවද ඒ තරමටම දේශපාලන සංවාදයේ මධ්‍යයට පැමිණ නැත. පසුගිය දිනෙක ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් කැඳ වූ සර්ව පාක්ෂික රැස්වීමේදී ද පොලිස් බලතල පිළිබඳ ප්‍රශ්නයට ප්‍රමුඛාවධානයක් දෙන බවක් පෙනෙන්නට නොතිබිණි. ආණ්ඩුව ඊට අතගැසීමෙන් වැළැකී සිටින බවක් පෙනේ.

කෙසේවෙතත් ඉඩම් බලතල පිළිබඳ ප්‍රශ්නය එහිදී සාකච්ඡාවට ලක් විය. උතුරු නැගෙනහිර පළාත්වල ජනයාට තමන්ගේ ඉඩම්වල හිමිකම සම්බන්ධ ප්‍රශ්න තිබේ. එක් පැත්තකින් ඔවුන්ගේ ඉඩම් යුද්ධය කාලේ හමුදාව විසින් අත්පත් කර ගන්නා ලද බවට චෝදනා නැගේ. ඒවා යළිත් තමන්ට ලබා දිය යුතු බවට ඔවුහු හඬ නගති. අනිත් පැත්තෙන් ඉඩම් අහිමි ගොවි ජනතාවගේ ප්‍රශ්නයක් එම ප්‍රදේශවල කාලයක් තිස්සේ පවතී. පළාත් සභාවලට පැවරී ඇති බලතල පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන්නට නම් ඉඩම් බලතල ලබා දිය යුතු බවට වන ඉල්ලීම ඔවුන්ගෙන් ඉදිරිපත් වේ. එබැවින් ඉඩම් පිළිබඳ කාරණය සංවේදී වන්නේ එම ප්‍රදේශවලටය.

ජනවාර්ගික හා ආගමික වශයෙන් තියුණු ලෙස බෙදුණු සමාජයක ජනවාර්ගික ප්‍රශ්නය පැන නැග තිබේ. දේශපාලන තලයේදීත් එම බෙදීම් ප්‍රකාශයට පත් වේ. එසේම දේශපාලන පක්ෂ බලය ලබා ගැනීම සඳහා ජනවාර්ගික හා ආගමික දෘෂ්ටිවාද භාවිත කරයි. එවැනි තත්ත්වයක බලයේ සිටින කිසිදු ආණ්ඩුවක් බලය බෙදා හැරීමේ වගකීම තනිව භාර ගැනීමට කැමැත්තක් නොදක්වයි. එබැවින් මේ බලය බෙදීම පිළිබඳ සාකච්ඡා වන හැම අවස්ථාවකදීම සර්වපාක්ෂික සමුළු කැඳවේ. පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා කළේද සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමය.

විවිධ දේශපාලන අරමුණු වෙනුවෙන් ද සර්ව පාක්ෂික සමුළුවාර කැඳවනු ලැබේ. ඒවායෙහි සැබෑ අරමුණ බලය බෙදීම අර්ථවත් කිරීම නොව සුළු ජන පක්ෂවල සහයෝගය ලබා ගැනීමටය. එසේම කල්මැරීමේ දේශපාලන උපයාමාර්ගයක් හැටියට ද මේවා යොදා ගැනේ. විශේෂයෙන්ම යුද්ධය අවසන් අදියරේ පවතින විට මහින්ද රාජපක්ෂ මහතා මෙවැනි සර්ව පාක්ෂික සමුළු කැඳවූ අතර ඒවායෙහි අරමුණ වූයේ යුද්ධයට එරෙහිව දේශීයවත් විදේශීයවත් මතු වූ විරෝධය යම්තාක් දුරකට සමනය කර ගැනීමය.

වර්තමාන ජනාධිපතිවරයා සර්වපාක්ෂික සමුළුවක් කැඳවූයේ ඔහුගේ බල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ අදහසින් බව මගේ නිරීක්ෂණයයි. ජනාධිපතිවරයා 13 වැනි සංශෝධනය නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතු බව කියයි. පොලිස් බලතල ගැන සඳහන් නොකළ ද ඉඩම් බලතල සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණිය යුතු බවද ඔහු කියයි. 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා පළමුව කළ යුතු වන්නේ පළාත් සභා මැතිවරණ පැවැත්වීමයි. මේ වන විට පළාත් සභාවල තිබෙන්නේ නිලධාරී පාලනයකි. එතන තිබෙන්නේ බලය මධ්‍යගත කිරීමක් මිස විමධ්‍යගත කිරීමක් නොවේ. පළාත් සභා මැතිවරණ පවත්වා ප්‍රාදේශීය නියෝජනයට ඉඩ නොදී බලය විමධ්‍යගත කිරීම ගැන කතා කිරීම පරස්පර විරෝධී කාරණයකි.

ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව මේ අවස්ථාවේදී මැතිවරණයකට ඉදිරිපත් වීමට විශාල බියක් දක්වන බව පැහැදිලි කරුණකි. පසුගියදා පැවැත්වූ සර්වපාක්ෂික සමුළුවට සහභාගී වූ දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසා තිබුණේ පළාත් සභා මැතිවරණ ගැන කතා කළ විට ජනාධිපතිවරයා නිහඬ වූ බවය. බලය බෙදා හැරීමේ විසඳුම ශක්තිමත් කිරීමේ අවංක දේශපාලන වුවමනාවකට වඩා ජනාධිපතිවරයා හා ඔහුගේ කණ්ඩායමේ බල දේශපාලන අවශ්‍යතා ඉස්මත්තට පැමිණ ඇති බවක් පෙනේ. වත්මන් ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන උපාය උපක්‍රම තෝරන නිසා ඔහු මේ කාරණයේදී පරෙස්සම් වනවා වන්නට පිළිවන.

මේ කාරණය සම්බන්ධ ඉන්දියානු භූමිකාව විමසා බැලීමත් වැදගත්ය. එහිදී 1980 දසකයේ පැවති තත්ත්වය හා අද තත්ත්වය අතර පැහැදිලි වෙනසක් තිබේ. විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දීමට සාපේක්ෂව ඊට සරිලන ආකාරයේ බටහිර ප්‍රමුඛ වූ විදේශ ප්‍රතිපත්තියක් ජයවර්ධන ආණ්ඩුව ක්‍රියාත්මක කළේය. එය ඉන්දියාවේ නොසතුටට හේතුවක් විය. ඉන්දිරා ගාන්ධි මහත්මිය ඉන්දියාවේ අගමැති ධුරයට පත්වූ පසු ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට මැදිහත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස උතුරේ සටන්කාමී සංවිධානවලට ඉන්දියාවෙන් උදව් උපකාර ලැබිණි. ඊට බලපෑ ප්‍රබල හේතුව වූයේ ජයවර්ධන මහතාගේ විදේශ ප්‍රතිපත්තියයි. ලංකාවේ දසක ගණනාවක් පුරාවට පැවති යුද්ධයට එම විදේශ ප්‍රතිපත්තිය හේතු වූවා යැයි කිව හැකිය.

එහෙත් වත්මන් ඉන්දියානු භූමිකාවට අලුත්ම භූ දේශපාලනික සන්දර්භයක් බලපා තිබේ. එනම්, ඉන්දු පැසිෆික් කලාපයේ ආධිපත්‍ය අරබයා ඉන්දියාව හා චීනය අතර තිබෙන තරගයයි. එහිදී ඉන්දියාව අනුගමනය කරන උපායමාර්ගය තරමක් සංකීර්ණ එකකි. එක් පැත්තකින් ඉන්දියාව, ඇමෙරිකාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව සමග එක්වී ක්වොඩ් සංවිධානය හරහා චීන ආධිපත්‍යයට එරෙහිව කටයුතු කරමින් සිටියි. එසේවුවද ඉන්දියාව චීනය සමග ඍජු ගැටුමකට අවතීර්ණ වී නොමැත. බ්‍රික්ස් සංවිධානයේ ඉන්දියාවත් චීනයත් එක්ව කටයුතු කරයි. ඉන්දියාව ද්විත්ව උපායමාර්ගයක් අනුගමනය කරන බවක් පෙනේ.

දෙමළ ජනයා ලංකාවේ සුළුතරයක් වුවත් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ බහුතරය ඔවුන්ය. මේ නිසා දෙමළ ජනයාගේ ප්‍රශ්නය මත ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට මැදිහත්වීමේ හැකියාව ඉන්දියාවට තිබේ. ඒ, ලංකාවේ දෙමළ ජනයාට ප්‍රශ්නයක් මතු වූ විට එය ඉන්දියාවේ ප්‍රශ්නයක් බවට පත් වන හෙයිනි.

එහෙත් ඉන්දියාව එවැනි මැදිහත්වීමක් කරන්නේ ඔවුන්ගේ භූ දේශපාලනික උපායමාර්ග අනුවය. චීනය සමග පවතින තරගයේදී තම බලපෑමේ කලාපයේ ශ්‍රී ලංකාව රඳවා ගැනීම ඉන්දියාවේ අභිලාෂය වී තිබෙන බව පෙනේ. එබැවින් වත්මන් ඉන්දීය මැදිහත්වීම මෙම නව සන්දර්භය ඇතුළත තේරුම් ගත යුතු බව මගේ අදහසයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  සුමිත් චාමින්ද

සාකච්ඡා සටහන  උපුල් වික්‍රමසිංහ