දහතුන්වැනි සංශෝධනය පණගන්වන යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පුවත පසුගිය දිනෙක ලංකාදීප පුවත්පත වාර්තා කළේය. දහතුන්වැනි සංශෝධනය ශක්තිමත් කිරීමට අදාළ අණ පනත් ගෙන ඒම ගැන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට සූදානමින් පසුවන බව ද එම පුවතේ දැක්වේ.
1987 වසරේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලැබුවේ එවකට ශ්‍රී ලංකාණ්ඩුව ඉන්දීය රජය සමඟ ඇති කරගත් ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් වශයෙනි. දමිළ භාෂාව රාජ්‍ය භාෂාවක් බවට පත්කිරීමත් පළාත්සභා කරා බලය බෙදා හැරීමත් එහි මූලික අරමුණු විය. දශක ගණනාවක් තිස්සේ උතුරු නැගෙනහිර දමිළ වැසියන් විසින් කරන ලද ඉල්ලීම අනුව ජනවාර්ගික අර්බුදය සමථ කරනු සඳහා බලය විමධ්‍යගත කිරීම මෙම සංශෝධන යේ අරමුණ විය.
උතුරේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස දහතුන්වැනි සංශෝධනයෙන් පළාත් සභා ක්‍රමය කරළියට ගෙන ආවත් වසර 20ක් තිස්සේ පළාත් සභා පිහිටුවා ඒවා ක්‍රියාත්මක කරන ලද්දේ උතුරු නැගෙනහිර හැර සෙසු පළාත්වලයි. එසේ සෙසු පළාත් කරා බලය විමධ්‍යගත කිරීමේ ඉල්ලීමක් එම පළාත්වල ජනතාව ගෙන් මතු නොවූ පසුබිමක් තුළ පළාත් සභා පිහිටුවීම සම්පත් අපතේ හරින අනවශ්‍ය ක්‍රියාවක් බවට පත්විය. පළාත් සභා පිහිටුවීම නිසා රාජ්‍ය සේවාවේ බලාපොරොත්තු වූ ආකාරයේ කාර්යක්ෂම බවක් ද ඇති නොවූයේ ය.
ඒ ඇරත් නාමිකව මිස පළාත් සභා කරා නිසි බලය බෙදාහැරීමක් සිදු නොවීය. රාජ්‍ය බලතල විමධ්‍යගත කිරීම වෙනුවට සිදුවූයේ විධායකය ඔස්සේ පූර්ණ බලතල ක්‍රියාත්මක වීම ය.
මෙවැනි පසුබිමක් තුළ බලය බෙදාහැරීමේ අවශ්‍යතාව තිබූ උතුරු නැගෙනහිර ප්‍රදේශවල හැර සෙසු පළාත්වල, පළාත් සභා පිහිටුවීමෙන් සමස්ත පළාත් සභා ක්‍රමය පොදු ජනයාගේ අප්‍රසාදයට ලක් වූයේ මේ තුළින් සිදු වූ සම්පත් නාස්තිය නිසා ය.
මේ අතර 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ බලය බෙදාහැරීම විධිමත් කිරීමේ පියවර කලින් කලට උතුරු නැගෙනහිර දමිළ ජනයාගේ ඡන්දය දිනා ගැනීම උදෙසා ඉදිරිපත් කරන සුලබ රැවටිලි බසක්ම වූයේය.
යාපනයේ තරුණ ජනතාවට පෙඩරල් ක්‍රමය යෝජනා කළ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා, නිදහස ලබා දස වසක් ගත වෙන තැන පැය විසි හතරක් තුළ සිංහලය රාජ්‍ය භාෂාව කරන බවට සිංහල බහුතර ජනතාවට පොරොන්දු වූයේය.
දමිළ බස කතා කරන ජනයාට තම රට තුළ තමන්ගේ භාෂාවෙන් කටයුතු කිරීමේ අයිතිය එයින් ගිලිහී ගිය අතරම ජන වර්ග දෙක යා කරන බසක් ලෙස පැවති ඉංග්‍රීසිය භාවිතා කිරීම ද ඒ සමග අඩාල වූයේය. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දෙමළ බස රාජ්‍ය භාෂාවක් බවට පත්කිරීමට අදාළ වගන්තිය ඇතුළත් වූයේ ඒ නිසාය. පොදුවේ භාවිතා වන බසක් සහිතව යම් ප්‍රදේශයක විසිර ඉන්නා ජනතාවකට ආවේනික සංස්කෘතික රටාවන් ඇති විට ඔවුන්ගේ කටයුතු පිළිබඳ තීරණ ගැනීම සඳහා රාජ්‍ය කටයුතුවල යම් යම් බලතල ලබාදීම ශිෂ්ට ලෝකයේ ලක්ෂණයකි. දහතුන්වැනි සංශෝධනය බල ගැන්වීමෙන් කරනුයේ අලුත් ලෝකයේ පිළිගත් ශිෂ්ටත්වය කරා රට තල්ලු කිරීමකි.
මෙරට රාජ්‍ය නායකයන් දමිළ ජනයා නියෝජනය කළ නායකයන් සමග එක්වී බලය විමධ්‍යගත කිරීම සඳහා කලින් කලට ඉදිරිපත් කළ සෑම යෝජනාවක්ම පසුගාමී උද්ඝෝෂණ ඉදිරියේ හකුලා ගැනීමට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස හටගත් ජනවාර්ගික අර්බුදය උත්සන්න වීම නිසා පැන නැගුණු යුද්ධයේදී ලක්ෂයකට අධික ජනකායක් ජීවිත පිදූහ. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බලය විමධ්‍යගත කිරීමේ යෝජනාවලට එරෙහිව නැගෙන උද්ඝෝෂණ පසුබිමේ ඇති චේතනා හා මත කිහිප ආකාරයකින් හඳුනාගත හැකිය.
බලය විමධ්‍යගත කරනු ලැබූ රටවල් ප්‍රගතිය කරා ගියා මිස ඒ හේතුවෙන් රටවල් භේදභින්න වී දුගතිය කරා ගියේ නැත. ප්‍රාන්ත රාජ්‍යය විසි අටක් ඇති ඉන්දියාව ඊට හොඳ ම උදාහරණයකි. එසේ බලය විමධ්‍යගත කිරීම ඉන්දියාවේ ප්‍රගතියටම හේතුවිය. මේ වන විට ලෝකයේ සංවර්ධනය කරා වේගයෙන් පා නගන රටවලින් එකක් බවට ඉන්දියාව පත්ව තිබේ.
පැරණි හණමිටි අදහස් අතහැර බලය විමධ්‍යගත කිරීම කෙරේ ධනාත්මක ආකල්පයකින් දකින්නට දැන් කාලය පැමිණ තිබේ.
(***)