බලාපොරොත්තු සුන්වූ කුමන්ත්‍රණය


(මෙම ලිපියේ මුල් කොටස ඉකුත් 16 දා පත්‍රයේ පළවිය.)

කැලණි ගඟේ පාලම් දෙක සමීපයෙත් වැල්ලවත්ත සහ දෙහිවල පාලම් අසලත් කිරුළපන පාලම අසලත් හමුදා මුරකාවල් හා සන්නද්ධ රථ නවතා තැබීමට නියමිත විය. ඊට අමතරව කොළඹ තදාසන්න ප්‍රදේශයේ මර්මස්ථාන වල රේඩියෝ උපකරණ රැගත් හමුදා නිලධාරීන් රඳවා තැබීමට සැලසුම් කෙරිණි.

කොළම නගරය තුළ මූලෝපාය අතින් වැදගත් සන්ධිවලද වාහන සහිත සොල්දාදුවන් රඳවා ගැනීමට තීරණය කෙරිණි. කුමන්ත්‍රණය නවතා දැමීමට පෙර කිරුළපනින් සන්නද්ධ රථ (armoured cars) නවතා තිබූ බවද දැන ගන්නට ලැබිණි. 

මධ්‍යම රාත්‍රියේ  රේඩියෝ සහ ලවුඩ්ස්පිකර රැගත් පොලිස් රථ කොළඹ සමීප ප්‍රදේශවල සැරිසරමින් පැය 24 ක ඇඳිරි නීතිය නිවේදනය කිරීමට සූදානම්ව තැබිණි. ගෙතුළට වී සිටින ලෙස ඒ මගින් මිනිසුන්ට අවවාද කරන අතරම පිටත සිටිනු දුටුවොත් දුටු නැත වෙඩි තබන බවද එහිදී නිවේදනය සූදානම්ව තිබිණි. පුර්ව සූදානමක් ලෙස තිරිඹිගස්යාය පොලිසියේ පොලිස් රථ කිහිපයක පැට්‍රෝල් හිස් කොට තිඹිරිගස් යායේ නවතා තැබිණි. 

ඇඳිරි නීතිය නිවේදනය කරන අතර හමුදා අභ්‍යාසයක් මෙන් කඩිනමින් මූලික ස්ථාපනය කිරීමට සැලසුම් කොට තිබිණි. ඒ අනුව පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මරදාන දුම්රිය ස්ථානය  කොටුව බස් නැවතුම පර්යන්තය, ප්‍රදීපාගාරය කොළඹ වරාය ආදිය හමුදා රැඳවීමට සූදානම් කෙරිණි. මධ්‍යම දුරකතන හා ටෙලිග්‍රාෆ් හුවමාරුව අල්ලා ගැනීමට නියමිත වූ අතර නැවත දන්වනතුරු සියලු දුර සන්නිවේදනය තහනම් කිරීමට කටයුතු සැලසුම් කෙරිණි. ලේක් හවුස් පත්තර කන්තෝරුව හා ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතන ද ටික දවසකට බලෙන් වසා දමා පුවත්පත් ප්‍රකාශන තාවකාලිකව නවතා දැමීමට සූනමින් තිබිණි. 

ඒ දිනවල ශ්‍රී ලංකාව තුළ රූපවාහිනී සේවා නොතිබුණු අතර වඩාත් වැදගත් රේඩියෝ සන්නිවේදන වැඩසටහන් කෙරුණේ රේඩියෝ සිලෝන් තුළිනි. ජනවාරි 27 වැනිදා ප.ව. 11.00 පූර්ණ සන්නද්ධ බලයෙන් මෝටර් සයිකල්වල නැග ටොරින්ටන් චතුරස්‍රය අල්ලා ගැනීමට සුදානමින් කැබිණි. නියමිත හෝරාවේදී හෝල්ඩිෆාස්ට් මුර පදය නිතුත් කළ සැනින් මෙම බළකා රේඩියෝ සිලෝන් ආයතනයට කඩා වැදී එය අල්ලා ගැනීමට නියමිත වූයේය. ඉන් අනතුරුව ආණ්ඩු බලය කුමන්ත්‍රණයකින් අත්පත් කර ගත්බව ගුවන් විදුලිය හරහා රටට නිවේදනය කිරීමට කටයුතු සැලසුම් කෙරිණි.

එම බලාපොරොත්තුව ඇතිව හමුදාවේ කැණීම් කරන පිරිසක් ජනවාරි 25 වැනිදා විශේෂ දුරකථන මාර්ගයක් පහළ වැව පාරේ හමුදා මූලස්ථානයේ සිට කොටුවේ Echelon  චතුරස්‍රයේ හමුදා බැරැක්ක දක්වා එළාලූහ. මෙම රහස් දුරකතන මාර්ගය භාවිත කිරීමට නියමිත වූයේ හමුදාවේ අභ්‍යන්තර සන්නිවේදන උදෙසාය. කර්නල් මෞරිස් ද මෙල් හමුදා මූලස්ථානය සම්බන්ධිකරණ කටයුතු මෙහෙයවන අතර එෆ්. සී. ද සේරම් අරලියගහ මන්දිරයේ කටයුතු භාරව සිටියේය. 

සිරිමාවෝ බණ්ඩාරනායක 

ඔපරේෂන් හෝල්ඩිෆාස්ට් සැලසුම අනුව අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක අත්අඩංගුවට ගැනීමට නියමිත විය. මුලින්ම ජනවාරි 27 දා අග්‍රාමාත්‍යවරිය කතරගම ආගමික වැඩසටහනකට සහභාගි වන්නට සූදානමින් සිටියාය. ඇය 26 සිකුරාදා කොළඹන් නික්ම ගොස් ජන. 28 ඉරිදා සවස කොළඹට යළි එන්නට බලාපොරොත්තු වූවාය. 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ දී අගමැතිවරිය අත්අඩංගුවට ගැනීමේ බලාපොරොත්තුවෙන් ජනවාරි 25 වැනිදා ජේ. නි. පොලිස්පති සිඩ්නි ද සොයිසා දකුණු ප්‍රදේශයට පිටත්ව ගියේය. ඇය හුංගමදී අත්අඩංගුවට ගැනීමට සූදානමින් සිටියේ සහකාර පොලිස් අධිකාරී ඩේවිඩ් තම්බයියාය. ඇයව පරිස්සමෙන් ආරක්ෂා සහිතව නැවත කොළඹට රැගෙන අවුත් රොස්මිඩ් පෙදෙසේ ටින්ටැගල් නිවසේ නිවාස අඩස්සියේ තැබීමට බලාපොරොත්තු  විය. 

කෙසේ වුවද සිරිමාවෝ  හිටිහැටියේම කතරගම චාරිකාව අවලංගු කළ නිසා කටයුතු වෙනස් වූයේය. එසේ වූයේ අග්‍රාමාත්‍ය ලේකම් බ්‍රැඩ්මන් වීරකෝන් ඇයට ඉන් පෙර ගැටඹේ විහාරයෙන් එදිනට ආරාධනාවක් තිබුණු බව මතක් කිරීම නිසාය. කොළඹ විශේෂ වැඩක් යෙදී තිබුණ නිසා ඇය එම ආරාධනය කලින් ප්‍රතික්ෂේප කර තිබිණි. ඇය කතරගම ගියහොත් ගැටඹේ ස්වාමීන් වහන්සේලා ඒ ගැන උරණ විය හැකි බව අග්‍රාමාත්‍ය ලේකම්වරයා මතක් කළේය. එවර ඇය සිය කතරගම චාරිකාව ද අවලංගු කළාය. 

අරලියගහ මන්දිරය 

මෙම අවලංගු කිරීම දැනගත් විගස සැලසුම කඩිනමින් වෙනස් කිරීමට සිදුවිය. ජ්‍යෙ.නි.පො.ප. තම්බයියා ඇය නැවත ඒමට තීරණ කරන්නේදැයි අවධියෙන් පසුවෙද්දී අගමැතිවරියගේ නිල නිවස වූ අරලියගහ මැදුරේදී සෙනසුරාදා රැයේ ඇයව අත්අඩංගුවට ගැනීමට සැලසුම් කෙරිණි. 

අරලියගහ මන්දිරයේ ආරක්ෂාව භාරව ක්‍රියාකළේ සහකාර පොලිස් අධිකාරී ඩබ්.ටී. ඩික්මන්ය. සහකාර පොලිස් අධිකාරී ස්ටැන්ලි ජීරසිංහ කෙටි දැනුම් දීමකින් එතැනට පත්කොට ඩික්මන් වෙනත් තැනකට පත් කරනු ලැබුවේ ජ්‍යෙ. නි. පොලිස්පති දිසානායකගේ නියෝගයෙනි. ස. පොලිස් අධිකාරී වීරසිංහ ජංගල් දිසානායකට අතිශය හිතවත් නැතැත්තෙකි. 

තුන්වැනි කාලතුවක්කු බළකායේ අණදෙන නිලධාරී ලෙෆ්ටිනන්ට් කර්නල් විල්මට් (විලී) ආබ්‍රහම්, සොල්දාදුවන් පිරිසක් සමග අරලියගහ මන්දිරය අල්ලා ගැනීමට ඒ අනුව නියම කෙරිණි. ස්ටැන්ලි වීරසිංහට පැවරුණු කාර්යය වූයේ එම කාර්ය උදෙසා විලී ආබ්‍රහම්ට සහායවීමයි.

හැකි තරම් කඩිනමින් අරලියගහ මන්දිරයට පැමිණ සෘජු මෙහෙයුම් කිරීමේ කාර්යය කර්නල් එෆ්. ඩී. ද සේරම්ට පැවරී තිබිණි. ඊට අදාල මුර පදය වූයේ British Grenadier යන්නයි. එය කාලතුවක්කු බළකායේ යන්නයි. එය කාලතුවක්කු බළකායේ ගමනේ යාම සඳහා වැයූ වාදනයේ නාමයයි. 

කර්නල් ‘ඩිරෙක්’ ද සේරම්, එස්. ඩබ්. ආර්. ඩී. බණඩාරනායකගේ සමිප ඥාතියෙකි. ඔහුගේ බිරිඳ නීද්‍රා ගේ පියා වු ස්ටැන්ලි ඔබේසේකර එස්.ඩබ්. ආර්. ඩී. බණඩාරනායකගේ පළමු ඥාති සොයුරාය) කර්නල් ද සේරම් පෞද්ගලිකව කුමන්ත්‍රණය ගැන බණ්ඩාරනායක මැතිනියට දැනුම්දි ඇයව අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වූයේය.

ඉන් අනතුරුව ඇය සිය දරුවන් වූ සුනේත්‍රා (18), චන්ද්‍රිකා (16) අනුර (12)  සමග රොස්මිඩ් පෙදෙසේ නිවසේ නිවාස අඩස්සියේ තැබීමට අපේක්ෂා කෙරිණි. ඇය කුමන්ත්‍රණය පිළිගෙන අන්තර් පාලක සභාවට සම්බන්ධවීමට කැමති නම්  ඇයට ඒ අවස්ථාව දීමටද තීරණය කෙරිණි. ස්ටර්ලින් පවුම් වලින් ගෙවන සෑහෙන තරමේ විශ්‍රාම වැටුපක්ද ඈට ලබාදීමට බලාපොරොත්තු විය. ඇයට හෝ දරුවන්ට ශාරීරික වශයෙන් හානි කිරීමේ ගැටලුවක් එවිට  පැන නොනගිනු ඇතැයි බලපොරොත්තු විය. 

භයානක ඩයස් දෙපල 

බණ්ඩාරනායක අගමැතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරු 11 දෙනෙක් උන්හ. සියලු කැබිනට් ඇමැතිවරු නිවාස අඩස්සියේ තැබීමට බලාපොරොත්තු වූ අතර විශේෂයෙන් මුදල් ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක (පාර්ලිමේන්තු හා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වූයේ ඔහුය) හා විදේශ කටයුතු හා අමාත්‍යාංශ ලේකම් නීල් ක්වින්ටස්  ඩයස් සිරභාරයට ගෙන පහළ වැව පාරේ හමුදා මූලස්ථානයේ රඳවා තැබීමට තීරණය විය.

ආරක්ෂක අංශය සිංහල බෞද්ධ දේශපාලනිකරණයට ලක්කිරීමේ කටයුතුවලට මුල්වී  ක්‍රියාකළ ඔවුන් දෙදෙනා භයානක ඩයස් දෙපල ලෙස සැලකිණි. ෆීලික්ස් ඩයස්, ඇංග්ලිකන් ක්‍රිස්තියානි අයකු වුවද ආරක්ෂක අංශය සිංහල බෞද්ධකරණය කිරීමේ දී ඔහුද මුල වූයේය. 

හමුදා මූලස්ථානයේ තවත් වැදගත් ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනකුම රඳවා තැබීමට තීරණය වි තිබිණි. සී. අයි.ඩීයේ ජ්‍යෙ. නියෝජ්‍ය ​පොලිස්පති එස්.ඒ. දිසානායක (ජිංගල් දිසානායක) ඉන් එක් අයෙකි. ඔහු ජංගල් දිසානායකගේ සොයුරාය. වැඩබලන  නාවික හමුදා ප්‍රධානි රාජන් කදිර්ගාමර් හා සී.අයිඩියේ පොලිස් අධිකාරී ජෝන් ආටිගල ද ඒ අතර විය. ඔවුන් හමුදා මූලස්ථානයේ බිම් මහලේ බංකරයක රඳවා තැබීමට සැලසුම් කෙරිණි.

එම බිම් මහල අවි ආයුධ, මූනිස්සම් ගබඩා කිරීම සඳහා භාවිත කළ එකකි. යම් කාලයකට සන්නිවේදනය කළ හැකි නොවන ආකාරයෙන් ඔවුන් රඳවා ගැනීමට කටයුතු සූදානම් විය. හමුදා මූලස්ථානයේ මුරකුටි භාරව ක්‍රියා කළේ කැප්ටන් රොබර් පොලියර් නම් නිලධාරියෙකි. කුමන්ත්‍රණයේ හවුල්කරුවකු වූ ඔහුට 27, 28 රාත්‍රි එහි කළ යුතු දෑ භාර වුයේය. පසු කලෙක ප්‍රශ්න කරන අතරතුර හෙතෙම වෙඩි තබා ගත්තේය. හමුදා මූලස්ථානයේ මුර පදය වූයේ ’යතුර‘ යන්නයි. 

නිවාස අඩස්සියේ තැබිය යුතු වූ අනෙකුත් නිලධාරීන් අතර පොලිස්පති අබේකෝන්, ගුවන් හමුදා ප්‍රධානී බාර්කර්, හමුදා අණදෙන නිලධාරී විජේකෝන් ද විය. කෙසේ වුවද වැඩ බලන නාමික හමුදා ප්‍රධානී රාජන් කදිර මාගර් සිටිය යුතු වූයේ හමුදා මූලස්ථානයේය.

මන්ත්‍රීවරුන්, ශ්‍රවස්ත්‍රියේ රඳවා තැබීමේ සූදානම 

ඔපරේෂන් හෝල්ඩ්ෆාස්ට් අනුව විශාල පාර්ලිමේන්තු මන්ත්‍රීන් සංඛ්‍යාවක් සහ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීන් සංඛ්‍යාවක් සහ විරුද්ධ පක්ෂයේ වාමාංශික මන්ත්‍රී පිරිසක් මන්ත්‍රී නේවාසිකාගාරය වූ ශ්‍රාවස්ත්‍රියේ රඳවා තැබීමට බලාපොරොත්තු වූයේය. ඒ අතර ලසසප, මඑපෙ, කොප මන්ත්‍රීවරු සිටියහ.

තමන්ට තර්ජනාත්මක යැයි කුමන්ත්‍රණකරුවන් සැලකූ මාධ්‍යවේදීන් කිහිප දෙනකු ද නිවාස අඩස්සියේ තැබීමට බලාපොරොත්තු විය. සී.එම්.යූ. මහ ලේකම් බාලා තම්පෝ සහ CTUF ලේකම් නාගලිංගම් ෂන්මුගදාසන් ද, ට්‍රිබියුන් පුවත්පතේ සංස්කරණ එස්.පී. අමරසිංහම් ද නිවාස අඩස්සියේ තැබීමට බලාපොරොත්තු විය.

සර් ඔලිවර් ගුණතිලක 

කුමන්ත්‍රණ කටයුතු සාර්ථක වූ පසුව එහි නායකයෝ, කුවීන්ස් හවුස් වෙත එළඹ අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලකගෙන් පාර්ලිමේන්තුව විසුරුවා සෘජුව බලය ලබා ගන්නා ලෙස ආරාධනා කිරීමට බලාපොරොත්තුව සිටියහ. කුමන්ත්‍රණකරුවන් තමන් අත බලය රඳවා තබා ගැනීමට කිසිදු සැලසුමක් සකස් කළේ නැත. 

ඩී. බී. එස්. ජෙයරාජ් විසිනි 

Daily FT හි පළවු Objective of 1962 Coup was the Overthrow of Govt. Overinight  ලිපියේ පරිවර්තනය සමන් පුෂ්ප ලියනගේ.