කවියකු, ගීත පද රචකයකු, කෙටිකතා රචකයකු මෙන්ම විචාරකයකු ද වන සුනිල් ගුණවර්ධන මහතාගේ නවතම කෙටිකතා සංග්‍රහය නිකුත්ව තිබේ. ඒ, “අහසට පෙම් බැඳි ගැහැනිය” නමිනි. මෙම කෘතිය සරසවි ප්‍රකාශනයක් වන අතර, එය ගුණවර්ධන මහතාගේ සත්වැනි කෙටිකතා සංග්‍රහයයි. මතු දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් අප ඔහු සමඟ කළ සංවාදයක සටහනකි.
• ඔබේ නවතම කෙටිකතා සංග්‍රහය වන “අහසට පෙම් බැඳි ගැහැනිය” කෘතියට පදනම් වූ අත්දැකීම් ගැන මුලින්ම කතා කරමු?
“කවදත් මගේ කෙටිකතාවලට පාදක වුණේ මට හමු වූ ගැහැනුන්, මිනිසුන් සහ දරුවන්. මා ජීවත් වූ හා අද ජීවත් වන පරිසර දෙකක් තියෙනවා. පළමුවැන්න මා ඉපදී හැදී වැඩුණු නුගේගොඩ අවට පරිසරය. දෙවැන්න හොරණ නගරය ප්‍රධාන කොටගත් ගම්මාන. මට හමු නොවුණු මා අශ්‍රය නොකළ කිසිවකු ගැන මෙතෙක් කිසිවක් ලියා නැහැ. මගේ සිතේ පැළපදියම් වූ චරිත සමඟ ඇතැම් විට මා වසර විසිපහක් තිහක් විතර ජීවත් වෙනවා.
පසුගිය කතා සංග්‍රහවල වගේම ‘අහසට පෙම් බැඳි ගැහැනිය’ නම් මේ කතා සංග්‍රහයේත් බර්ගර් පවුලක් ගැන කතාවක් තියෙනවා. කාල් මලර් නම් ලේඛකයාගෙන් පස්සේ බර්ගර් ජාතිකයන් ගැන කතා කිරීමේ ගෞරවය මේ කතාවලට හිමි වන බව පරාක්‍රම කොඩිතුවක්කු මහතා සඳහන් කොට තිබුණා.”
• ඔබ කවිය, ගීතය, කෙටිකතාව වැනි සාහිත්‍ය ඉසව් කිහිපයක නියෝජනයක්. තමන්ට මුලින් ලැබෙන වස්තු බීජය මේ මේ සාහිත්‍යාංගයට වඩාත් සුදුසු යැයි කියා එහි යෝග්‍යතාව තීරණය කරන්නේ කොහොම ද?
“අත්දැකීමක් ලැබුණාට පස්සෙ මේ වස්තු විෂය සුදුසු කවියකට ද ගීතයකට ද කෙටිකතාවකට ද කියලා තීරණය කරන්නේ මගේ මනසයි. කවියකට, ගීතයකට එක මොහොතක් සමඟ බැඳුණු මනෝභාවයක් පාදක කරගත හැකියි. ඒ සමඟ ටික කාලයක් හෝ ජීවත් වෙන්න සිද්ධ වෙනවා. කවියක්, ගීතයක්, හිතේ මෝරන්නේ භාෂාවත් එක්ක. ගීතයකදී සුගායනීය බසක් පරිහරණය කරන්න සිද්ධ වෙනවා. ඒත් කවිය ගොඩනැඟෙන්නෙ ගීතයකට වඩා වෙනස් භාෂා මාධ්‍යයකින්.
කෙටිකතාවකදී භාෂාව ගැන ඊටත් වඩා වෙනස් විදිහකට සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. හිතේ මුලින්ම ගොඩනැඟෙන්නෙ අපූරු සිද්ධි හා අපූරු චරිත. චරිතවල හෝ සිද්ධිවල අපූර්වත්වයක් නැති නම් තවදුරටත් කෙටිකතාවක් ගොඩනැඟීමේ තේරුමක් නැහැ.”
• කෙටිකතාව යනු කුමක් ද යන්නට එදා සිට අද දක්වාම විවිධ නිර්වචන ඉදිරිපත් වෙනවා. අතීත කෙටිකතාවෙන් නූතන කෙටිකතාව බොහෝ දුර පැමිණ තිබෙනවා. ඔබට අනුව කෙටිකතාව යනු කුමක් ද?
“වෙනස් වන සමාජයට අනුව සකස් වන කිසිම කලා මාධ්‍යයක් කිසි දවසක නිර්වචනවල සිරගත කරන්න බෑ. එදා කෙටිකතාකරුවා උත්සාහ කළේ කතාවක් කියන්නයි. ඒත් අද කෙටිකතාකරුවා කතාවක් කියන්නට කැප වෙන්නෙ නෑ. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය, ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය, විවිධ මාන දෘෂ්ටි කෝණ ආදියටම අද කෙටිකතාකරුවන් සීමා වෙන්නෙ නෑ. විවිධ ආඛ්‍යාන ක්‍රම අත්හදා බලනවා. ජයතිලක කම්මැල්ලවීර, පියල් කාරියවසම්, කීර්ති වැලිසරගේ, නිශ්ශංක විජේමාන්න, කපිල කුමාර කාලිංග ආදීන් මේ වෙලාවේ මගේ මතකයට එනවා.”
• ඔබ කිව්වා වගේම මෑත කාලීන බොහෝ කෙටිකතාකරුවන් විවිධ අත්හදා බැලීම් මගින් කෙටිකතා කලාව වෙනස් මගකට යොමු කළා. ඒ අත්හදා බැලීම් සාර්ථක වී ඇත්දැයි සිතෙනවා ද?
“ඉහත සඳහන් කළ කෙටිකතාකරුවන් සියලු දෙනා කෙටිකතාව වෙනස් මඟකට යොමු කළ බව කිව හැකියි. මෙතැනදී මට ආරියතිලක පීරිස්, බුද්ධදාස ගලප්පත්ති වගේ අයත් සිහියට නැගෙනවා. ආරියතිලක පීරිස්ගේ ‘ගුවන් පාලම යට’ ගලප්පත්තිගේ ‘නාඳුනන මල් නෙළන්නාගේ මරණය’ වැනි නිර්මාණ මෑත කාලයේ මගේ හද සසල කළ කෙටිකතා. නූතන කෙටිකතාවේ සංක්‍ෂිප්ත ගුණය අකුරටම රකින ලේඛකයෙක් තමයි ජයතිලක කම්මැල්ලවීර. ඒත් පමණට වඩා කෙටිකතාවක් සංක්‍ෂිප්ත වීම ගැටලුවක් බව ‘කැඩපත් දහසක්’ සමඟ ඔහුගේ ‘එකොළහ’ කෙටිකතා සංග්‍රහය සැසඳීමෙන් පෙනී යනවා.”
• ලාංකික පාඨක සමාජය ඇතුළත නවකතාව තරම් කෙටිකතාව ජනප්‍රිය වී නැති බවයි බොහෝ දෙනාගේ හැඟීම. ඊට හේතුව කුමක් විය හැකි ද?
“නවකතාව කියන කලා මාධ්‍යය කෙටිකතාවට වඩා ජනප්‍රිය බව රහසක් නොවෙයි. ඒත් නිස්සාර දේ රචනා කරන නවකතාකරුවන්ම ඒ කලා මාධ්‍යයට හානි පමුණුවනවා. නවකතා නාමයෙන් පිටවන සමහර කෘතිවල පිටු දහයකට දොළහකට වඩා කියවන්න බෑ. එහිදීත් සංක්‍ෂිප්ත ගුණය කෙරෙහි සැලකිලිමත් විය යුතු බවයි මගේ හැඟීම. ඒ අතින් බැලුවාම නවකතාවකට වඩා වෙනස් පාඨක පිරිසක් කෙටිකතාවට රුචි කරන බව පේනවා. මා කෙටිකතා සංග්‍රහ හතක් පළ කරද්දී ඇතැම් කෙටිකතා සංග්‍රහවල දෙවැනි මුද්‍රණත් පළ වෙනවා. හොඳ පාඨක පිරිසක් නොසිටින්න අපි වගේ ලේඛකයන්ට මෙතරම් කෘති සංඛ්‍යාවක් පළ කරන්න ලැබෙන්නෙ නෑ. කෙටිකතාවට කොහොමත් ඉහළ රසඥතාවක් ඇති පාඨක පිරිසක් සිටින බවයි මගේ විශ්වාසය.”
• ඒත් ඇතැම් සාහිත්‍ය කලාවන් පාඨක ලෝකය වැළැඳ නොගන්නේ නිර්මාණවල පවත්නා බංකොළාත්භාවය නිසා බවයි බොහෝ විචාරකයන් පෙන්වා දෙන්නේ. මේ ගැන ඔබේ අදහස කුමක් ද?
“ඇත්තටම සමහර සාහිත්‍යාංග පාඨක ලෝකයෙන් ඈත් වීමට නිර්මාණකරුවන්ගේ අඩුපාඩු බලපාන බව සැබෑවක්. අද පද්‍ය සංග්‍රහයන්ට තිබෙන ඉල්ලුම ඉතාම අඩුයි. මොනවා හෝ ලිවීම කවි ලිවීමක් නොවෙයි. කවිය කියන්නෙ මනා භාෂාත්මක අත්හදා බැලීමක්. බස නොදන්නා කී දෙනෙක් අද කවි ලියනවා ද? ඇතැම් කවි පොත්වල නම් පවා ඒවාට ගැළපෙනවා ද කියන එක ප්‍රශ්නයක්. මා කවියට ඇති ඇල්ම නිසා හොය හොයා කවි පොත් කියවනවා. මෑතකදී මා ආඛ්‍යාන කාව්‍ය කෘති දෙකක් කියෙව්වා. ඒ එකක්වත් මහගමසේකර වැනි කවියකුගේ ආඛ්‍යාන කාව්‍යයකින් අඟලක්වත් ඉදිරි පියවරක් තබා නැහැ. හොඳ කාව්‍ය සංග්‍රහ පළ කළ ප්‍රවීණයෝ අද වැල්වටාරම් වචන හරඹ කවි විදිහට පළ කරනවා. එය අභාග්‍යයක්.
ආරියවංශ රණවීර තවමත් කවියෙක් හැටියට ඉදිරියෙන් ඉන්නවා. මොනිකා රුවන්පතිරණගෙන් පසුව ප්‍රතිභාවක් පළ කළ කිවිඳියන් ඉන්නේ අතළොස්සයි. ඇතැම් කෙටිකතා රචකයනුත් මොනවා හෝ ලියා කෙටිකතා හැටියට සමාජගත කරන්න උත්සාහ දරනවා. ඒත් ඒක සාර්ථක නැහැ. හැමවිටම විවේක බුද්ධියෙන් යුතුව හරවත් යමක් හරවත් ආකාරයෙන් ඉදිරිපත් කළ යුතුයි.”
• විවිධ සම්මාන, ඇගැයීම් හේතුවෙන් ඇතැම් සාහිත්‍යාංග වෙත වැරැදි ප්‍රමිතීන් ගොඩනැඟුණු බවට ඇතැමුන් චෝදනා කරනවා. මේ ගැන මොකද හිතන්නේ?
“සාහිත්‍ය සම්මාන මඟින් වැරැදි ප්‍රමිතීන් ඇති කිරීමට ගන්නා උත්සාහය බුද්ධිමත් පාඨකයා, බුද්ධිමත් විචාරකයා පිළිකුළෙන් බැහැර කරමින් සිටිනවා. සමහර සරසවි ඇදුරන් පවා මේ කාලයේ මහා පාපකර්මයක් කරනවා. කවි නොවන දේවල් කවි විදිහට ඔසවා තැබීමට මේ අය උත්සාහ දරනවා. එය මහා ඛේදවාචකයක්. කෙටිකතා, නවකතා ආදියටත් ඒ ආනිශංසයම ළඟා කරන්න මේ අය උත්සාහ දරනවා. කල්ලිවාදය කර තියාගෙන යන සම්මාන උත්සව තියනවා. අද සුදුසු කෘතිවලට සම්මාන පිරිනැමීම සිදුවන්නේ ඉතාම කලාතුරකින්.
ඇතැමුන් නිර්මාණ බිහි කරන්නෙම ඊළඟ අවුරුද්දෙ සම්මානය බලාගෙන. නොලැබුණොත් කරන්නෙ හතර වටේටම බැණ වදින එක. අද රාජ්‍ය සාහිත්‍ය සම්මාන විනිශ්චය මණ්ඩවලට පවා කල්ලිවාදය ඇතුළත් වෙලා ද කියලා වෙලාවකට හිතෙනවා. මේකෙ විනාශය තියෙන්නෙ මෙතැන නොවෙයි. තමන්ගෙ කෘතියකට හිතවතුන් ලවා සම්මාන ලබාගෙන කවුරු සතුටු වුණත් කමක් නෑ. ඒත් ගොඩක් වෙලාවට මේ කෘති හොඳ කෘති හැටියට පිළි අරගෙන පෙළපොත්වලටත් එකතු වෙන අවස්ථා තියෙනවා. එතැනින් පස්සෙ වෙන විනාශය අමුතුවෙන් කියන්න ඕනෑ නෑ.
අඩුම ගානෙ බුද්ධිමතුන් හැටියට පිළිගන්නා සරසවි ඇදුරන්වත් මේ පිළිබඳව ප්‍රඥාවන්තව බැලුවොත් මුළු මහත් සිංහල සාහිත්‍යයට එයින් අනර්ථයක් වීම වළක්වාගන්න පුළුවන්. හතළිස් පස් වසරක ගුරු ජීවිතයක් සහ විෂය නිර්දේශ සකස් කිරීමට සම්බන්ධ වීමේ අත්දැකීම් ඇතිවයි මා මේ ප්‍රකාශය කරන්නේ.”
සංවාද සටහන ගාමිණි කන්දේපොළ
ප්‍රවීණ ලේඛක සුනිල් ගුණවර්ධන