පසුගිය දිනක මම මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ‘‘කාව්‍ය විචාරය’’ නමැති පොතෙහි අන්තර්ගත ‘‘රසවාදය හා කාව්‍ය විවේචනය’’ මාතෘකාවෙන් යුත් අගනා නිබන්ධනය කියවීමි. මෙකල වෙසෙන තරුණ කවි කිවිඳියන් මෙන්ම විචාරකයන් ද එය අනිවාර් යෙන් අධ්‍යයනයට ලක් කළ යුත්තක් යැයි සිතමි. අබල දුබල කවි ශක්තියට හා නොමේරූ විචාර බුද්ධියට එය වාජීකරණ ඖෂධයක් වනු නියතය.
එම නිබන්ධයෙහිලා ඔහු පහත එන අනගි ප්‍රකාශය කර ඇත. එය අනගි වන්නේ ගැඹුරින් වටහා ගත යුතු සත්‍යයක් එහි ගැබ්වන හෙයිනි.
උසස් කවියා විචාරකයෙක් ද වෙයි. කවියා මෙන් හොඳ විචාරකයා ද කවියෙකි. සාහිත්‍ය කෙත වගා කරන්නෙකි.
තම ප්‍රකාශයෙන් අනතුරුව එය ඒත්තු ගැන්වීම පිණිස වික්‍රමසිංහයෝ පහත දැක්වෙන අටුවා පාඨය ලියති.
‘‘කවියා කිසියම් වස්තුවක් තමාගේ අත්දැකීමෙහි පිහිටා ගද්‍යයට හෝ පද්‍යයට නගනු සඳහා තම හැඟීම හා කල්පනාවත් බුද්ධිය හා වශ්‍යවචෝභාවයත් උපයෝගී කොට ගනියි. මේ සතර ඒකාත්මකව සංයෝග වන සැටියෙන් ඔහුගේ කාව්‍යය ද උසස් වෙයි. කාව්‍යය නොහොත් කවියාගේ උත්පාදනය යන නමින් හැඳින්වෙන්නේ මේ සංයෝගයෙහි ඵලයයි. විචාර බුද්ධියෙන් තොරව අර සතරෙහි නිර්මල සංයෝගයක් ලැබිය නොහැකිය. උසස් කවියා හොඳ විචාරකයෙකියි කීවේ එහෙයිනි.’’
නිර්මාණකරුවන් මෙන්ම විචාරකයන් ද තම සිත යොමු නොකරන එහෙත් මැනවින් ඒත්තු ගත යුතු සත්‍ය සාධකයක් වික්‍රමසිංහයන්ගේ අටුවා පාඨයෙන් අවධාරණය වෙතියි සිතමි. එනම් කලා කෘතිය ආස්වාදනය කරන විචාරකයාට මෙන්ම එය උත්පාදනය කරන කලාකරුවාට ද විචාර බුද්ධිය එකසේ අවශ්‍ය බවයි. අසාර්ථක කලා කෘතිය අවිචාරත්වයේ අශිෂ්ට ප්‍රතිඵලයක් මිස අන් කුමක්ද? ඒ අනුව සාර්ථක කලා කෘතිය විචාර බුද්ධියේ ඉෂ්ට ප්‍රතිඵලයක් ලෙස හැඳින්වීම කවර වරද ද ?
ආස්වාදනයට මෙන්ම උත්පාදනයට ද විචාර බුද්ධියම උපස්තම්භික වන්නේ නම් කාව්‍ය විචාරයේ දී විචාරකයා මෙන්ම තත් කාර්යට අයෝග්‍ය වන්නේ නොවේ. ආස්වාද පරිචය විචාරකයාට මෙන්ම කවියාට ද සාධාරණ වන හෙයිනි, ‘‘උසස් කවියා විචාරකයෙක් ද වෙයි’’ යනුවෙන් මාර්ටින් වික්‍රමසිංහයන් අවධාරණයෙන් පැවසුවේ එසේ සිතූ නිසා බැව් පැහැදිලිය.
නූතන ප්‍රවීණ පරම්පරාවට අයත් ප්‍රශස්ත කවියෙකු විසින් ඉදිරිපත් කරන ලද විවේචනයක් මම 2021 නොවැම්බර් මස 16 වැනි අඟහරුවාදා ලංකාදීප පුවත්පතේ ‘වීමංසා’ සාහිත්‍ය අතිරේකයේ පළවුණු සම්මුඛ සාකච්ඡාවෙන් කියැවීමි. මෙය වූ කලී කවියෙකු පමණක් නොව, ගීත රචකයෙකු කෙටි කතාකරුවෙකු හා විචාරකයෙකු ද වන සුනිල් ගුණවර්ධනයන් සමග පවත්වන ලද සාකච්ඡාවකි.
සමකාලීන සිංහල සාහිත්‍ය ලෝකයට එළඹ ඇති උපද්‍රව අරබයා කළ අවංක, සත්‍ය හෙළිදරව්වක් වන එහි ලා ඔහු විසින් නූතන නව කවියන්ගේ කව් පස පිළිබඳව ඉදිරිපත් කරන ලද විවේචනය වනාහී එකී නව කවියන්ගේ වෙසෙස් අවධානයට යොමු විය යුත්තකැයි මම අවධාරණයෙන් පවසනු කැමැත්තෙමි.
එම විවේචනය මෙසේය.
‘‘.... මොනවා හෝ ලිවීම කවි ලිවීමක් නොවෙයි. කවිය කියන්නෙ මනා භාෂාත්මක අත්හදාබැලීමක්. බස නොදන්නා කී දෙනෙක් අද කවි ලියනවා ද? ඇතැම් කවි පොත්වල නම් පවා ඒවාට ගැළපෙනවාද කියන එක ප්‍රශ්නයක්. මා කවියට ඇති ඇල්ම නිසා හොය හොයා කවි පොත් කියවනවා. මෑතක දී මා ආඛ්‍යාන කාව්‍ය කෘති දෙකක් කියෙව්වා. ඒ එකක්වත් මහගමසේකර වැනි කවියකුගේ ආඛ්‍යාන කාව්‍යයකින් අඟලක්වත් ඉදිරි පියවරක් තබා නැහැ. හොඳ කාව්‍ය සංග්‍රහ පළ කළ ප්‍රවීණයෝ අද වැල්වටාරම් වචන හරඹ කවි විදිහට පළ කරනවා. එය අභාග්‍යයක්...’’
කරුණාරත්න අමරසිංහ